07 සඤ්ඤා වර්ගය

11. පඤ්ච සඤ්ඤා සූත්‍රය

1. ´´මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.

2. ´´කවර පසක්ද යත්, අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය යන පසයි.

3. ´´මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.

12. දුතිය පඤ්ච සඤ්ඤා සූත්‍රය

1. ´´මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.

2. ´´කවර පසක්ද යත්, අනිත්‍ය සංඥාය, අනාත්ම සංඥාය, මරණ සංඥාය, ආහාරයෙහි පිලිකුල් සංඥාය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාය යන පසයි.

3. ´´මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.

13. අරියවුද්ධි සූත්‍රය

1. ´´මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ආය්‍ර්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.

2. ´´කවර පසකින්ද යත්, ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.

3. ´´මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ආය්‍ර්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.

4. ´´මේ ලෝකයෙහි යම් ආය්‍ර්‍ය ශ්‍රාවකයෙක් ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගය, ශ්‍රුතය යන මෙයින් වැඩේද, එබඳුවූ, විචක්‍ෂණවූ, ඒ සත්පුරුෂ තෙම මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය´´ යි වදාළ සේක

14. දුතිය අරියවුද්ධි සූත්‍රය

1. ´´මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවිකා තොමෝ ආය්‍ර්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ.

2. ´´කවර පසකින්ද යත්, ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.

3. ´´මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවිකා තොමෝ ආය්‍ර්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ.

4. ´´මේ ලෝකයෙහි යම් ආය්‍ර්‍ය ශ්‍රාවිකාවක් ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගයෙන්ද, ශ්‍රුතයෙන්ද වැඩේද, එබඳු සිල්වත් උපාසිකා තොමෝ මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය´´ යි වදාළ සේක

15. අලංසාකච්ඡා සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.

2. ´´කවර පසකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම, තෙමේත් සීලයෙන් යුක්තවූයේ වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්තවූයේ වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.

16. අලංසාජීව සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සමාන දිවි පැවැත්මට සුදුසු වූයේ වෙයි.

2. ´´කවර පසකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම, තෙමේත් සීලයෙන් යුක්තවූයේ වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්තවූයේ වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සමාන දිවි පැවැත්මට සුදුසු වූයේ වෙයි.

17. උස්සොළ්හි පඤ්චම සූත්‍රය

1. ´´මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හා් භික්‍ෂුණියක් හෝ පඤ්ච ධර්‍මයන් වඩාද, පඤ්ච
ධර්‍මයන් බහුල කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. මේ ආත්මයෙහි රහත් වීම හෝ උපාදිශෙෂය ඇති කල්හි අනාගාමි වීම හෝ වේ.

2. ´´කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ඡන්‍දය හේතුකොට ඇති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎධිපාදය වඩාද, වීය්‍ර්‍ය හේතුකොට ඇති සමාධිය හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎද්ිපාදය වඩාද, චිත්තය හේතුකොට ඇති සමාධිය හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඎද්ධිපාදය වඩාද, වීමංසාව හේතුකොට ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තවූ ඎද්ධිපාදය වඩාද, අධික මාත්‍ර වීය්‍ර්‍යයම පස්වෙනිකොට ඇත්තේ වේද, යන පසයි.

3. ´´මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හා් භික්‍ෂුණියක් හෝ පඤ්ච ධර්‍මයන් වඩාද, පඤ්ච ධර්‍මයන් බහුල කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. මේ ආත්මයෙහි රහත් වීම හෝ උපාදිශෙෂය ඇති කල්හි අනාගාමි වීම හෝ වේ.

18. දුතිය උස්සොළ්හි පඤ්චම සූත්‍රය

1. ´´මහණෙනි, මම සම්බොධියෙන් පූර්‍වයෙහිම බුදුබවට නොපැමිණියේ, බොධිසත්ත්‍ව වූයේම පඤ්ච ධර්‍මයක් වැඩූයෙමි. පඤ්ච ධර්‍මයක් බහුල වශයෙන් කෙළෙමි. කවර පඤ්ච ධර්‍මයක්ද යත්?

2. ´´ඡන්‍දය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්ධිපාදය වැඩූයෙමි.

3. ´´වීය්‍ර්‍යය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්ධිපාදය වැඩූයෙමි. චිත්තය හේතුකොට ඇති සමාධිය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්ධිපාදය වැඩූයෙමි. විමංසාව අධික මාත්‍ර උත්සාහය පස්වෙනිකොට ඇත්තේ වීමි.

4. ´´මහණෙනි, ඒ මම වනාහි මේ අධික මාත්‍ර උත්සාහය පස්වෙනි කොට ඇති ධර්‍මයන් වැඩූ බැවින්, බහුල වශයෙන් කළ බැවින්, යම් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැමූයෙම්ද, ඒ ඒ කාරණය ඇත් කල්හි, ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමි. අනෙක ප්‍රකාරවූ ඉර්ධි විධිය අනුභව කරන්නෙමියි එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පය්‍ර්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. බමුණ, මේ ඎද්ධි ප්‍රාතිහාය්‍ර්‍යයයි කියනු ලැබේ.

ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමි. ඉදින් ඒ මම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත් ඵල සමාධියට හා අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි කැමතිවීම්ද, ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමියි වදාළ සේක.´´

19. එකන්තනිබ්බිදා සූත්‍රය

1.´´මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ඒකාන්තයෙන් කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධවීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බොධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.

2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කයෙහි අශුභය අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද, මොහුගේ මරණ සංඥාව වනාහි තමන් කෙරෙහි මනාව එළඹ සිටියා වේද යන පසයි.

3.´´මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ඒකාන්තයෙන් කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධවීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බොධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.

20. ආසවක්ඛය සංවත්තන සූත්‍රය

1. ´´මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ආශ්‍රවයන් නැසීම පිණිස පවතිත්.

2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කයෙහි අශුභය අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද, මොහුගේ මරණ සංඥාව වනාහි තමන් කෙරෙහි මනාව එළඹ සිටියා වේද යන පසයි.

3. ´´මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ආශ්‍රවයන් නැසීම පිණිස පවතිත්.

( සඤ්ඤා වර්‍ගය නිමි. )

__________

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>