33. කිංමූලක සූත්‍රය

1. ´´මහණෙනි, අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?´´

2. ´´ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.´´

3. ´´මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.´´

´´ස්වාමීනි, යහපති´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

4. ´´මහණෙනි, අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?´´

5. ´´මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.´´

´´ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්‍දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්‍ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ මිදීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්‍රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම භාරකොට ඇත්තෝය.´´

6. ´´මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.´´

32. පුණ්ණිය සූත්‍රය

1. ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?´´

2. ´´පුණ්ණියය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.

´´පුණ්ණිය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අත්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.

3. ´´පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.´´

31. සති විපන්න සූත්‍රය

1. ´´මහණෙනි, සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.

2. ´´මහණෙනි, යම් සේ ගසක්, කොළ අතු මිරිකී ගියේ (-විපරීත වූයේ) එහි පතුරුද, පිරී වැඩීමට නොයයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට නොයයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.

3. ´´මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.

4. ´´මහණෙනි, යම් සේ ගසක් අතු කොළ සහිත වූයේ එහි පතුරුද පිරී වැඩීමට යයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට යයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.

30. කුසීතවත්‍ථු සූත්‍රය

1. ´´මහණෙනි, මේ කුසීත වස්තූහු (කම්මැලිකමට කරුණු) අටෙකි.

2. ´´කවර අටක්ද? මහණෙනි, මෙහි භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වේද, ඔහුට මෙසේ සිතක් වෙයි. ´මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේය´ කියාය. ´කටයුත්ත කරන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පළමුවන කුසීත වස්තුවය.

3. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් කටයුත්ත කරණ ලද්දේ වේද, ඔහුට මේ සිත වෙයි. ´මම වනාහි කළයුත්ත කෙළෙමි. කටයුත්ත කරණ මගේ කය වෙහෙසවිය. අනේ මම දැන් හාන්සි වෙමි,´ (කියාය.) හේ හාන්සි වෙයි. වීය්‍ර්‍යය පටන් නොගනී. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනී. මහණෙනි, මෙය දෙවන කුසීත වස්තුවය.

4. ´´මහණෙනි, නැවතද භික්‍ෂුව විසින් මග යා යුතු වෙයි. ඔහුට මේ සිත වෙයි. ´මා විසින් මග යා යුතු වන්නේය,´ (කියාය.) මග යන මාගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය තුන්වන කුසීත වස්තුවය.
´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යන ලද්දේය. ඔහුට මේ සිත වෙයි. මම මග ගියෙමි. මග යන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සතරවන කුසීත වස්තුවයි.

´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව නොලැබේද, ඒ මගේ කය ක්ලාන්තය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පස්වන කුසීත වස්තුවයි.

5. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව ලැබේද, ඒ මගේ කය බරය, වලංගු නැත, පෙඟුන මෑ ඇට ලොඩක් මෙනැයි සිතමි. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සයවන කුසීත වස්තුවයි.

6. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් ඇතිවූයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මට වනාහි මේ හාන්සිවීමට සුදුසුවූ යම්තම් ආබාධයක් උපන්නේය. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සත්වන කුසීත වස්තුවයි.

7. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂු තෙම ලෙඩින් නැගිටියේ වෙයි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙයි. ´ඒ මගේ ඇඟ දුබලය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)´ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීය්‍ර්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය අටවන කුසීත වස්තුවයි. මහණෙනි, මේ කුසීත වස්තු අටය.

8. ´´මහණෙනි, මේ වීය්‍ර්‍ය වස්තු අටකි.

9. ´´කවර අටක්ද යත්? මහණෙනි, භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මා විසින් කටයුත්තක් කළයුතු වන්නේය. කටයුත්තක් කරණ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නැත. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ පළමුවන වීර්ය වස්තුවයි.

10. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව වැඩය කළේ වෙයි. ඔහුට මෙසේ සිතක් වේ. ´මම වැඩය කෙළෙමි. මම වැඩය කරන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ දෙවන වීර්ය වස්තුවයි.

11. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යායුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මා විසින් මග යා යුතු වන්නේය. මග යන්නාවූ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නොවේ. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ තුන්වන වීර්ය වස්තුවයි.

12. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග ගියේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මම මග ගියෙමි. මම මග යන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ සතරවන වීර්ය පටන්ගැනීමයි.

13. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත භෝජනයක් ඇති පමණ පුරා නොලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා නොලදිමි. ඒ මගේ ඇඟ සැහැල්ලුය. වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ පස්වන වීර්ය වස්තුවයි.

14. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ´මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලදිමි. ඒ මගේ ඇඟ බලවත්ය, වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ සවන වීර්ය වස්තුවයි.

15. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් වූයේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ´මට මේ යම්තම් ලෙඩක් වුණේය. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ වැඩිවිය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ සත්වන වීර්ය වස්තුවයි.

16. ´´මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ලෙඩින් නැගිටියේ වේ. ගිලන්කමින් ලඟදී නැගිටියේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ´මම වනාහි ලෙඩින් නැගිටියෙමි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙමි. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ නැවත මතු විය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීය්‍ර්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීය්‍ර්‍යය පටන් ගනී. මහණෙනි, මේ අටවන වීර්ය වස්තුවයි. මහණෙනි, මේ වීය්‍ර්‍ය වස්තු අටය.

29. සෙඛපරිහානි සූත්‍රය

1. ´´මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී.

2. ´´කවර අටක්ද යත්? කටයුතුවල ඇලී සිටීමය. කථාවෙහි ඇලී සිටීමය, නින්දෙහි ඇලී සිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී සිටීමය, ඉඳුරන්හි දොර නොරක්නා ලද බවය. අහරෙහි පමණ නොදන්නා බවය. සම්බන්‍ධයන්හි ඇලී සිටීමය, පමාවෙහි ඇලී සිටීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී.

3. ´´මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී.

4. ´´කවර අටක්ද යත්? කටයුතුවල ඇලී නොසිටීමය. කථාවෙහි ඇලී නොසිටීමය, නින්දෙහි ඇලී නොසිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී නොසිටීමය, ඉඳුරන්හි රක්නා ලද දොර ඇති බවය. අහරෙහි පමණ දන්නා බවය. සම්බන්‍ධයන්හි නොඇලීමය, ප්‍රමාදයෙහි නොඇලීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී.

28. ඛිප්පනීසන්ති සූත්‍රය

1. ´´එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ´´ඇවැත් භික්‍ෂූනි,´´ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ´´ඇවැත්නි,´´ යි ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සෙ මෙය වදාළහ.

2 – 15 මේ ඡේද මේ නිකායේ 7 වර්ගයේ 27 සූත්‍රයේ 1 ඡේදය මෙන් වෙත්. ´´මහණෙනි,´´ වෙනුවට ´´ඇවැත්නි´´ යෙදිය යුතුයි.

27. නිරායත්තවුත්තිච්ඡා සූත්‍රය

1. ´´එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ´´ඇවැත් භික්‍ෂූනි,´´ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ´´ඇවැත්නි,´´ යි ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සෙ මෙය වදාළහ.

2. ´´ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් ඇත්තාහ.

2. ´´කවර අට දෙනෙක්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝකවෙයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත ගසා හඬයි. සිහි මුළා බවට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

3. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති ඔහුට ලාභය නූපදියි.

4. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශෝක ඇති, වැළපීම් ඇති, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි.

5. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය ඇති, මදය ඇති, ප්‍රමාදය ඇති, හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

6. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නැත්තේ, ශෝක නැත්තේ, වැළපීම් නැත්තේ, සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුත නොවූයේයයි කියයි.

7. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති, මදය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

8. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභයෙන් නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශොක නැති, වැළපීම් නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

9. ´´ ඇවැත්නි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභ ඇති, මත් ගතිය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි. ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙන ලෝකයෙහි ඇත්තාහ.´´

26. විත්‍ථත අට්ඨ සම්පදා සූත්‍රය

1. ´´මහණෙනි, මේ සම්පත් අටකි. කවර අටක්ද? උත්සාහ සම්පතය, ආරක්‍ෂා සම්පතය, කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, සමවූ ජීවිකාවය, ශ්‍රද්ධා සම්පතය, ශීල සම්පතය, ත්‍යාග සම්පතය, ප්‍රඥා සම්පතය, මහණෙනි, මේ සම්පත් අටයි.

2.
(1) ´´අප්‍රමාද ඇත්තේ, කර්‍මාන්ත කරණ තන්හි උට්ඨාන වීය්‍ර්‍යයෙන් යුක්තවුයේද, කර්‍මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්‍ෂා කෙරේද, ශ්‍රද්ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?

(2) මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක´´

3. ´´මහණෙනි, උත්සාහ සම්පත්තිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, මහණෙනි, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.

4. ´´ මහණෙනි, ආරක්‍ෂා සම්පත්තිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීය්‍ර්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. මහණෙනි, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ.

5. ´´ මහණෙනි, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,

6. ´´යම්බඳු ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, මහණෙනි, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.

7. ´´ මහණෙනි, සමජීවික බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.

8. ´´ මහණෙනි, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. මහණෙනි, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,

9. ´´ මහණෙනි, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. ව්‍යග්ඝපජ්ජය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. ව්‍යග්ඝපජ්ජය, මේ සම ජීවිකාවයි.

10. ´´ මහණෙනි, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්‍ෂාවද යහපත්කොට නොවසින්නේය. මහණෙනි, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.

11. ´´ මහණෙනි, එසේම මහණෙනි, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. මහණෙනි, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්‍ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. මහණෙනි, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්‍ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, මහණෙනි, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. මහණෙනි, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. මහණෙනි, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.

12. ´´ මහණෙනි, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. ව්‍යග්ඝපජ්ජය, ශ්‍රද්ධා සම්පත්තිය කවරේද, මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍ර තෙම ශ්‍රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. මහණෙනි, මේ ශ්‍රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.

13. ´´ මහණෙනි, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලොකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, මහණෙනි, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
´´ මහණෙනි, ත්‍යාග සම්පත්තිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, මහණෙනි, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.

25. සංඛිත්ත අට්ඨ සම්පදා සූත්‍රය

1. ´´මහණෙනි, මේ සම්පත් අටකි. කවර අටක්ද? උත්සාහ සම්පතය, ආරක්‍ෂා සම්පතය, කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, සමවූ ජීවිකාවය, ශ්‍රද්ධා සම්පතය, ශීල සම්පතය, ත්‍යාග සම්පතය, ප්‍රඥා සම්පතය, මහණෙනි, මේ සම්පත් අටයි.

2.
(1) ´´අප්‍රමාද ඇත්තේ, කර්‍මාන්ත කරණ තන්හි උට්ඨාන වීය්‍ර්‍යයෙන් යුක්තවුයේද, කර්‍මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්‍ෂා කෙරේද, ශ්‍රද්ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?

(2) මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක´´

24. දුතිය මරණ සති සූත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. ´´මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.

2. ´´මරණ සතිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්ඵල ඇත්තේ වේද ? මහානිශංස ඇත්තේ වේද, නිර්‍වාණයට බැසගත්තේද, නිර්‍වාණය කෙළවරකොට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දාවල් කාලය ඉක්මගිය කල්හි රාත්‍රිකාලයෙහි විවේකව හිඳ මෙසේ කල්පනා කරයි. ´´මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.

3. ´´එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ´මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා රාත්‍රි කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.

4. ´´එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය.

5. ´´එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් රාත්‍රියෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.

6. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාත්‍රිය ඉක්මගිය දවසෙහි විවේකව මෙසේ කල්පනා කරයි.´මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.

7. ´´එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ´මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා දාවල් කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.

8. ´´එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය. එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් දවාලෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.

9. ´´මහණෙනි, මෙසේ වනාහි මරණ සතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.´´