30. අනුරුද්ධ සූත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු ජනපදයෙහි වූ, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි වැඩ වාසය කරණ සේක.

2. ´´එකල්හි රහසිගතව, විවේකීව වාසය කරන්නාවූ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි මෙබඳුවූ මහා පුරුෂ විතර්‍කයක් උපන්නේය.
´´මේ ධර්‍මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්‍රකර්‍ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීය්‍ර්‍යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.´´ යනුයි.

3. ´´එකල්හි භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිත (හටගත්) විතර්‍කය පිරිසිඳ දැන, යම් සේ වනාහි බලවත් පුරුෂයෙක් තෙම, හකුළුවන ලද අතක් දිගුකරන්නේ යම් වේගයකින්ද, දිගුකරණ ලද අතක් හකුළුවන්නේ යම් වේගයකින්ද, එපමණ වේගයෙන් භගු ජනපදයෙහි, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි අතුරුදන්වූ සේක්, චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඉදිරියෙහි පහළවූ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පණවනලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

4. ´´යහපති, යහපති, අනුරුද්ධය, ඔබ මහා පුරුෂ විතර්‍ක සහිත කල්පනා කිරීම යහපත්මය. ´´මේ ධර්‍මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්‍රකර්‍ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීය්‍ර්‍යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.´´ යනුයි. එසේවීනම් අනුරුද්ධය, ඔබ මේ ධර්මය තෘෂ්ණා, මාන, දෘෂ්ටි නම් වූ, ප්‍රමාදයන්ගෙන් තොරවු හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය, මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි, මේ අටවැනිවූ මහා පුරුෂ විතර්‍කයද කල්පනා කරව.

5. ´´අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්ධය, ඔබ එතැන්පටන් වස්තුකාම, ක්ලේශකාමයන්ගෙන් වෙන්ව,
ව්‍යාපාදාදී අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, ප්‍රීතිය හා සැපය ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙහිය. අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්ධය, ඔබ එතැන්පටන් විතර්‍ක විචාරයන් සන්සිඳවීමෙන්, සිතෙහි පැහැදිම ඇත්තාවූ, චිත්තයාගේ එකඟතාවයයි කියනලද, විතර්‍ක විචාරයන්ගෙන් තොරවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇත්තාවු, දෙවැනි ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්ධය, ඔබ එතැන්පටන් ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්‍ෂා සහගතව වාසය කරන්නෙහි, ස්මෘතිමත්වූයේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේම, සැපයද කයින් විඳින්නෙහි, ආය්‍ර්‍යයන් වහන්සේලා යම් ධ්‍යානයකට සමවැදුනෙකු සඳහා උපෙක්‍ෂා සහගතවූ, ස්මෘතිමත්වු සැප විහරණයෙන් යුක්තවූවෙකැයි ප්‍රකාශ කරන්නාහුද, ඒ තෘතිය ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්ධය, ඔබ එතැන්පටන් සැප සිතිවිලිද දුරු කිරීමෙන්, දුක් සිතිවිලිද දුරු කිරීමෙන්, පෙර මෙන් සොම්නස්, දොම්නස් දුරුකිරීමෙන්, දුක් සිතිවිලි නැත්තාවු, සැප සිතිවිලි නැත්තාවු, මැදහත්වූ, සිහියෙන් පිරිසිදුවු, සිවුවැනි ධ්‍යානයට පැමිණ යම්තාක් වාසය කරන්නෙහිය. අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, අනුරුද්ධය, ඔබ එතැන්පටන් පිරිසිදු සිත් ඇත්තාවූ, මෙලොවම සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද, කැමැතිසේ ලෙහෙසෙියෙන් සුවසේ ලැබුවෙක් වෙහිද,

6. ´´අනුරුද්ධය, ඔබට එතැන් පටන් යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ, ගෘහපති පුත්‍රයෙකුට හෝ, නානාප්‍රකාර වර්‍ණවලින් රඳනා ලද වස්ත්‍රයන්ගෙන් පුරවන ලද වස්ත්‍ර කරඬුවක් වන්නේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සන්තෝෂයෙන් වාසය කරන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා, දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්‍වාණ ධර්මයට බැස ගැනීම පිණිස, සිවුරු අතුරෙන් පංසුකූල චීවරය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.

7. ´´අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්ධය, එතැන් පටන් ඔබට යම්සේ වනාහි ගෘහපතියෙකුට හෝ, ගෘහපති පුත්‍රයෙකුට හෝ, නොයෙක් සූප ඇත්තාවු, නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාවු, කළු සහල් ඉවත්කොට (පිසිනලද) ඇල් බතක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ පිණ්ඩපාත භෝජනයෙන් සතුටුවන්නාවු ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්‍මයට බැස ගැනීම පිණිස, ගෙපිළිවෙලින් ලබන ලද පිණ්ඩපාත භෝජනය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.

8. ´´අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත පිටත සුධාලේප කරණ ලද්දාවූ, වාතාවරණ ඇත්තාවූ, යහපත් දොර අගුළු ඇත්තාවූ, යොදන ලද වා කවුළු (ජනෙල්) ඇත්තාවූ කුළු ගෙයක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සේනාසන පරිභෝගයෙන් සතුටුවන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, රුක්මුල සෙනසුන (සුදුසුයයි) හැඟෙන්නෙහිය.

9. ´´අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ සතරඟුලකින් වඩා දික්වූ, කළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, සුදු එළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, ඝන පුෂ්පයන් දක්වා සුදු එළු ලොමින් කරණ ලද ඇතිරිලි අතුරණ ලද හෝ, කෙසෙල්මුව සමින් කරණ ලද උතුම් පසතුරුණු අතුරණ ලද හෝ, මතුයෙහි බඳින ලද රතු වියනින් යුක්තවූ, හිස පය දෙපසෙහි තබන ලද රතු කොට්ට ඇත්තාවූ, ආසනයක් වේද, එපරිද්දෙන්ම වනාහි යථාලාභ සයනාසන පරිභෝගයෙන් සතුටු වන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් නොතැවීම පිණිස, සැප විහරණය පිණිස, නිර්‍වාණ ධර්‍මයට බැස ගැනීම පිණිස, තණ ඇතිරිය (සුදුසුයයි) හැඟෙන්නෙහිය.

10. ´´අනුරුද්ධය, ඔබ යම් දිනක පටන් අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් කල්පනා කරන්නෙහිද, පිරිසිදු සිත් ඇත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, මේ චතුර්විධ ධ්‍යානයන්ද කැමතිසේ ලෙහෙසියෙන් සුවසේ ලැබුවෙහිද, අනුරුද්ධය, එතැන් පටන් ඔබට යම් සේ වනාහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ නොයෙක් බෙහෙත් වන්නාහුද, ඒ කවර බෙහෙත්ද යත්? ගිතෙල්ය, වෙඬරුය, තලතෙල්ය, මීපැණිය, පැණිය යන මොහුයි. එපරිද්දෙන්ම වනාහි යථාලාභ ගිලන්පස පරිභොගයෙන් සතුටුවන්නාවූ ඔබට සිත් ඇලවීම පිණිස, තෘෂ්ණාදෘෂ්ටි ආදියෙන් නොතැවිම පිණිස, සැප විහරණය පිණිස, නිර්වාණ ධර්මයට බැස ගැනීම පිණිස, ගොමුත්‍රයෙහි පරිභාවිත අරළු බෙහෙත සුදුසුයයි හැඟෙන්නෙහිය.

11. ´´අනුරුද්ධය, එසේවීනම් ඔබ, ලබන වස් විසීමද මේ චේතිය රට ප්‍රාචීන වංශදායෙහිම වසන්නෙහිය.´´ – ´´එසේය ස්වාමීනි,´´ යි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මේ අවවාදයෙන් අවවාද කොට යම් සේ වනාහි බලවත් පුරුෂයෙක් තෙම, හකුළුවන ලද අතක් දිගුකරන්නේ යම් වේගයකින්ද, දිගුකරණ ලද අතක් හකුළුවන්නේ යම් වේගයකින්ද, එපරිද්දෙන්ම චෙතිය රට ප්‍රාචීන වංශදායෙහි අතුරුදන්වූ සේක, භගුරට සුංසුමාරගිර භෙසකලාවන මෘගදායෙහි පහළවූ සේක. එහි පණවන ලද අසුනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක (එහි) වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

´´ මහණෙනි, තොපට අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරවු. මනාකොට මෙනෙහි කරවු. (සිත්හි ධාරණය කරවු.) දේශනා කරන්නෙමි.´´ ´´එසේය, ස්වාමීනි,´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍ර ධර්මය වදාළ සේක.

12. ´´මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්‍කයෝ කවරහුද? මහණෙනි, එකල්හි රහසිගතව, විවේකීව වාසය කරන්නාවූ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි මෙබඳුවූ මහා පුරුෂ විතර්‍කයක් උපන්නේය. මහණෙනි, මේ ධර්‍මය තෘෂ්ණාමාන දෘෂ්ටි නම්වු ප්‍රමාදයන්ගෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේ යනුයි. මහණෙනි, මේ ධර්මය අල්පෙච්ඡයාහටය, මේ ධර්මය මහිච්ඡයාහට නොවේ යයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද?

13. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (තමා) අල්පෙච්ඡයෙක් වූයේම, ´මා අල්පෙච්ඡයෙක්ය´ යි දැනගන්නාහූ නම් නොකැමැතිවේ. ලද දෙයින් සතුටුවන සුලුවූයේම, ´මා ලද දෙයින් සතුටු වන්නෙකැ´ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. ලද දෙයින් ස.තුටුවන සුලු වූයේම, ´මා ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවෙකැ´ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. පටන් ගන්නා ලද කායික චෛතසික වීය්‍ර්‍යය ඇත්තේම, ´මා පටන් ගන්නා ලද කායික චෛතසික වීය්‍ර්‍යය ඇත්තෙකැ´ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තේම, ´මා සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තෙකැ´ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. එකඟවූ සිත් ඇත්තේම, ´මා එකඟවූ සිත් ඇත්තෙකැ´ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. ප්‍රඥාවන්ත වූයේම ´මා ප්‍රඥාවන්තයෙකැ´ යි දැන ගන්නාහු නම් නොකැමැති වේ. තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරව නිර්‍වාණයෙහි ඇලුනේම, ´මා තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරව නිර්‍වාණයෙහි ඇලුනෙක්ය´ යි දැනගන්නාහු නම් නොකැමැති වේ. මහණෙනි, මේ ධර්මය අල්පෙච්ඡයාහටය, මේ ධර්මය මහිච්ඡයාහට නොවේ යයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. යම් ඒ ධර්‍මයක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

14. ´´මහණෙනි, මේ ධර්මය ලද දෙයින් සතුටුවන්නා හටය. මේ ධර්මය ලද දෙයින් සතුටු නොවන්නාට නොවේයයි, මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් සඳහා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිවුපසයෙන් යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය වශයෙන් සතුටු වෙයි. මහණෙනි, මේ ධර්මය ලද දෙයින් සතුටුවන්නා හටය. මේ ධර්මය ලද දෙයින් සතුටු නොවන්නාට නොවේයයි, යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

15. ´´මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවහුටය. මේ ධර්මය පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් සඳහා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තව වාසය කරන්නාවූ භික්‍ෂුව වෙත භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා, රාජ, රාජ මහාමාත්‍ය, තීත්‍ර්‍ථක, තීත්‍ර්‍ථක ශ්‍රාවකයෝ එළඹෙන්නාහු වෙත්. එහි වාසය කරන්නාවූ භික්‍ෂුතෙම විවේකතයට නැමුණාවූ, විවේකයට යොමුවූ, විවේකයට නැඹුරුවූ, කෙලෙසුන් කෙරෙන් දුරුවූ, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාවූ සිතින් ඒකාන්තයෙන් (ඒ පිරිස) පිටවී යාමට යෝග්‍යවූ කථාවක්ම කරන්නේ වේ. මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ශ විවේකයෙන් යුක්තවූවහුටය. මේ ධර්මය පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

16. ´´මහණෙනි, මේ ධර්මය පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උත්සාහවත්වූයේ, දෘඪ පරාක්‍රම ඇත්තේ, නොපසුබස්නා වීය්‍ර්‍යය ඇත්තේ, පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේ, වාසය කරයි. මහණෙනි, මේ ධර්මය පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

17. ´´මහණෙනි, මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාහටය. මේ ධර්මය සිහි මුළාවූවහුට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදී. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශ්‍රෙෂ්ඨවූ සිහි නුවණින් යුක්තවූයේ, පුරාණ කාලයේ කරණ ලද්දාවූද, කියන ලද්දාවුද. දෙය සිහිකරන්නේ, අනුස්මරණය කරන්නේ, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාහටය. මේ ධර්මය සිහි මුළාවූවහුට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

18. ´´මහණෙනි, මේ ධර්මය එකඟවූ සිත් ඇත්තාහටය. වික්‍ෂිප්ත සිත් ඇත්තාහට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වස්තු කාම, ක්ලේශ කාමයන්ගෙන් තොරවූයේම, ව්‍යාපාදාදී අකුශල ධර්මයන්ගෙන් තොරවූයේම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. විතර්‍ක විචාරයන් සන්සිඳවා, සිතේ පැහැදීම් ඇතිවූයේ, විතර්‍ක විචාරයන්ගෙන් තොරවූ, චිත්තයාගේ එකඟ භාවයයි කියන ලද, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුක්තවූ, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරමි. (වීතීය ධ්‍යානයෙහි ඇත්තාවූ) ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්‍ෂා සහගතව (දුක් සැප දෙකෙහි මධ්‍යස්ථව) වාසය කරයි. සිහි ඇතිව, යහපත් ප්‍රඥාවෙන් යුක්තව, සැපයද කයින් විඳිමි. ආය්‍ර්‍ය පුද්ගලයෝ ස්මෘතියෙන් හා සැප විහරණයෙන් යුක්තවූ, යම් කිසි ධ්‍යානයක් ගැන කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි. සැප දුක් දෙක පිළිබඳ අදහස දුරුකොට පෙර මෙන් සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් ලැබිය යුතුවූ දුක් සැප දෙකින් තොර උපෙක්‍ෂා සහගත සිහියෙන් පිරිසිදුවූ සිවු වැනි ධ්‍යනයට පැමිණ වාසයකරමි. මහණෙනි, මේ ධර්මය එකඟවූ සිත් ඇත්තාහටය. වික්‍ෂිප්ත සිත් ඇත්තාහට නොවේයයි යමක් ප්‍රකාශ කරණ ලදද, ඒ ප්‍රකාශය මේ නිසා ප්‍රකාශ කරණ ලදී.

19. ´´මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයාහටය. මේ ධර්මය අඥානයාට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම උදය ව්‍යය පිළිබඳව සිත් යොමු කරවන්නාවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ, ආය්‍ර්‍යවූ, නිර්‍වෙධිකවූ (නොසැළෙන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කිරීම සඳහා සිත් යොමු කරවන්නාවු ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවන්ත වෙයි. මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයාහටය. මේ ධර්මය අඥානයාට නොවේයයි මෙසේ යම් ඒ ප්‍රකාශයක් කරණ ලදද, ඒ ප්‍රකාශය මේ හේතුවෙන් ප්‍රකාශ කරණ ලදී.

20. ´´මහණෙනි, මේ ධර්මය තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි මෙසේ ප්‍රකාශ කරණ ලදි. මෙය කුමක් නිසා ප්‍රකාශ කරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ සිත ප්‍රමාදය නිරුද්ධ කිරීමෙහි අරමුණු කිරීම් වශයෙන් (ඉදිරියට) පනී. පහදී. යහපත්ව පිහිටයි. විශෙෂයෙන් මුක්ත වෙයි. මහණෙනි, මේ ධර්මය තෘෂ්ණා මාන දෘෂ්ටි නම්වූ ප්‍රමාදයෙන් තොරවූ හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි මෙසේ යම් ඒ ප්‍රකාශයක් කරණ ලදද, ඒ ප්‍රකාශය මේ හේතුවෙන් ප්‍රකාශ කරණ ලදී.

21. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ලබන වස් විසීමද ඒ චෙතියරට ප්‍රාචීන වංශදායෙහිම විසූ සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ තනිව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යම් අර්‍ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්‍මය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.´´ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වනාහි එක්තරා රහතන් වහන්සේ නමක් වූ සේක. ඉක්බිති රහත් බවට පැමිණි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ වේලාවෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙලේය.

22. ´´ලොකයෙහි නිරුත්තරවූ ශාස්තෘන් වහන්සේ මාගේ සම්‍යක් කල්පනාව දැන, ඎද්ධියෙන්, මනොමයවූ ශරීරයෙන් (මා වෙත) එළඹි සේක. මාගේ සම්‍යක් කල්පනා යම් සේ වූයේද, එයටත් වඩා (උන්වහන්සේ) දේශනා කළ සේක. නිෂ්ප්‍රපඤ්ච සංඛ්‍යාතවූ නිර්වාණයෙහි ඇලුනාවූ බුදුරජාණන් වහන්සේ, නිෂ්ප්‍රපඤ්චය දේශනා කළ සේක. මම උන්වහන්සේගේ ධර්මය දැන ශාසනයෙහි සිත් ඇලවූයේ වාසය කෙළෙමි. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනාව කෙළෙමි.´´

29. අට්ඨක්ඛණ සූත්‍රය

1. ´´මහණෙනි, ධර්මය නොදත් පෘතග්ජන තෙම ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේය. ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේයයි කියයි. (එසේද වුවත්) හෙතෙම අවකාශය හෝ අනවකාශය නොදනී. මහණෙනි, මේ අවස්ථා අට ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව රැකීමට අනවකාශවූ අකාලයෝ වෙත්. කවර අවස්ථා අටෙක්ද යත්?

2. ´´මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද,

3. ´´කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, (එකල්හි) යම් මේ පුද්ගලයෙක් තෙම නරකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පළමුවෙනි අකාලයයි.

4. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම තිරිසන් යෝනියෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ දෙවෙනි අකාලයයි.

5. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම ප්‍රේත ලෝකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ තුන්වෙනි අකාලයයි.

6. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම අසඤ්ඤසත්ත දේවනිකාය ආදීවූ යම්කිසි දේව නිකායෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හතරවෙනි අකාලයයි.

7. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.

8. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.

9. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම අඥාන වූයේ වේද, ජඩ වූයේ වේද, කෙළතොලු වූයේ වේද, යහපත්වූ හෝ අයහපත්වු වචනයාගේ අත්‍ර්‍ථය අවබෝධ කර ගැනීමෙහි අපොහොසත් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ සත්වෙනි අකාලයයි.

10. ´´නැවතද, මහණෙනි, මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලොකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අත්‍ර්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේත් පහළවූයේත් නොවේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්ත වූයේද. ජඩ නුවූයේද, කෙළතොලු නුවූයේද, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අත්‍ර්‍ථය අවබෝධ කර ගැනීමෙහි සමත්‍ර්‍ථ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ අටවෙනි අකාලයයි. මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ නොකල් අට වෙත්.

11. ´´මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්ධර්‍මයද දේශනා කරණු ලැබේද, ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අත්‍ර්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමත්‍ර්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.´´

12.
(1) ´´යම් කිසිවෙක් මනුෂ්‍ය ලාභය ලැබ (මිනිසත් බැව්හි ඉපිද) යහපත්ව දේශනා කරණ ලද ශ්‍රී සද්ධර්මයද ලැබ එහි ඵලයට නොපැමිණෙත්ද, ඔවුහු ක්‍ෂණ සම්පත්තිය ඉක්මවත්.

(2) ´´පුද්ගලයාගේ අනතුරට හේතුවූ අනවකාශ කාලයෝ බොහොමයක් වදාරණ ලදහ. ලෝකයෙහි බොහෝ දීර්‍ඝ කාලයකින් බුදුවරයන් වහන්සේලා උපදිත්. ලොකයෙහි ඉතා දුර්ලභවූ යමක් වේනම් ඒ බුදේධාත්පාද කාලය ප්‍රමුඛවූ (පළමුවැනිවූ) දුර්ලභ කාලයයි.

(3) ´´මිනිසත් බව ලැබීමද, සද්ධර්‍ම ශ්‍රවණය ලැබීමද (දුර්ලභයි). අත්‍ර්‍ථකාමිවු සත්ත්‍වයා විසින් ඒ දුර්ලභ කාලයෙහි උත්සාහ කිරීම සුදුසුය.

(4) ´´මේ ක්‍ෂණ සම්පත්තිය ලැබ ශ්‍රී සද්ධර්‍මය කෙසේ නම් පැහැර හැරිය යුතුද, ඒකාන්තයෙන්ම මේ ක්‍ෂණ සම්පත්තිය ඉක්ම යා නොදේවා. ක්‍ෂණ සම්පත්තිය ඉක්මවූවෝ වනාහි නිරයට පැමිණ ශෝක කෙරෙත්.

(5) ´´ඉදින් යම්කිසි ප්‍රමාදචාරී පුද්ගලයෙක් මෙලොවදී මේ ක්‍ෂණ සම්පත්තිය ලැබ ශ්‍රී සද්ධර්‍මයට නිමවූ ආය්‍ර්‍ය මාර්ගය නොලබාද, ඔහු (ප්‍රමාදයෙන්) පිරිහෙලා ගන්නා ලද වස්තුව ඇති වෙළෙත්‍දා මෙන් දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි ඒ අනුව ශෝක කරන්නේ වේ.

(6) ´´මොහාන්‍ධකාරයෙන් වළඳනා ලද්දාවු සද්ධර්‍මය (ගැන නොසැලකීමෙන් එයට) අපරාධ කළාවූ ඒ පුරුෂ තෙම ජාති මරණාදී සසර දුක දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි අනුභව කරන්නේය.

(7) යම් කිසිවෙක් මිනිසත් බව ලැබ, යහපත්ව දේශනා කරණ ලද ශ්‍රී සද්ධර්‍මයෙහි (පිහිටියේ) බුද්ධ වචනය කළාහුද, මතුද කරන්නාහුද, දැනුදු කෙරෙත්ද, ඔවුහු ලෝකයෙහි නිරුත්තරවූ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රතිවේධ කළාහුය.

(8) ´´යම් කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළාවූ මාර්‍ගයට පිළිපන්නාහුද, යම් කෙනෙක් සූය්‍ර්‍යබන්ධුවූ දිව්‍ය චක්‍ෂුසාදී පසැස් අත්තාවූ (බුදුරජාණන් වහන්සේ) විසින් දේශනා කර වදාරණ ලද සංවරයෝ වෙත්නම්, ඒ සංවරයන්හි හික්මුනාහු, සියලු කල්හි ස්මෘතිමත් වූවාහු, කාමාදී ආශ්‍රව රහිතවූවාහු වාසය කරන්නාහුද, ඔවුහු මාරධෙය්‍ය සංඛ්‍යාතවූ, සසර අනුව යන්නාවූ සියලු අනුසය ධර්මයන් සිඳ, ලෝකයෙහි යම් කිසි කෙනෙක් අර්‍හත්වයට පැමිණියාහුද, එමෙන් නිර්‍වාණයට පැමිණියාහු වෙත්.´´

28. ඛීණාසව බල සූත්‍රය

1. ´´ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´ශාරීපුත්‍රය, යම්කිසි බල ධර්‍ම වලින් යුක්තවූ, ආශ්‍රව ක්‍ෂය කළාවූ (රහත්වූ), භික්‍ෂු තෙම, ´මාගේ (කාමාදී) ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේද, (එබඳුවූ) ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බල ධර්‍මයෝ කෙතෙක්ද?´´

3. ´´ස්වාමීන් වහන්ස, යම්කිසි බල ධර්‍ම වලින් යුක්තවූ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුතෙම, ´මාගේ (කාමාදී) ආශ්‍රවයෝ ක්‍ෂයවූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීම ප්‍රතිඥා කෙරේ නම් (එබඳුවූ) ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බල ධර්‍මයෝ අට දෙනෙක් වෙත්.

4. ´´කවර අට දෙනෙක්ද යත්? ස්වාමීන් වහන්ස, මේ ශාසනයෙහි ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සියලු සංස්කාර ධර්‍මයෝ අනිත්‍ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝ වෙත්.

5. ´´ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සියලු සංස්කාර ධර්‍මයෝ අනිත්‍ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.

6. ´´ස්වාමීන් වහන්ස, නැවතද, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තහුයයි තත්වු පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් යහපත්ව දක්නා ලද්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තාහුයයි තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.

7. ´´ස්වාමීන් වහන්ස, නැවතද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ සිත, ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්‍යාතවූ නිර්‍වාණයට නැමුණේ වේ, නිර්‍වාණයට යොමුවූයේ වේ, නිර්‍වානය දෙසට බරවූයේ වේ. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේද වේ. ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේ වේ. සර්‍වප්‍රකාරයෙන් (කාමාදී) ආශ්‍රව ධර්මයන්ගෙන් වෙන්වූයේ වේ.

´´ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ සිත ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්‍යාතවූ නිර්‍වාණයට නැමුණේය, නිර්‍වාණයට යොමුවූනේය, නිර්‍වාණය දෙසට බරවූයේය. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේය, ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.

8. ´´ස්වාමීන් වහන්ස, නැවතද, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සතර සතිපට්ඨාන ධර්‍මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.

9. ´´ස්වාමීන් වහන්ස, නැවතද, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සතර ඎද්ධිපාද ධර්‍මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ. ශ්‍රද්ධාදී පඤ්චෙන්‍ද්‍රිය ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ. සප්තබොධ්‍යඞ්ග ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ. ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය තෙම යහපත්ව භාවනා කරණ ලද්දේ වේ.
´´ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය තෙම යහපත්ව භාවනා කරණ ලද්දේය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙම යම් බලයකට පැමිණ, ´මාගේ කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය´ යි ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම ප්‍රතිඥා කෙරේ නම්, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ. ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය තෙම යහපත්ව භාවනා කරණ ලද්දේ වේ.

10. යම්කිසි බලයකින් යුක්තවූ ( මේ ඡේදය 1 ඡේදය මෙනි. )

27. අට්ඨබල සූත්‍රය

´´මහණෙනි, මේ (ලෝකයෙහි) බල අටෙක් වෙත්. කවර අටෙක්ද යත්? මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්‍රීවරු ක්‍රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චය්‍ර්‍යය බලයකොට වසන්නාහ. අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ. පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්‍ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්‍රයන් උගත්තාහු (ඒ අනුව) නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ. මහණෙනි, මේ අට බල (ධර්ම) යෝ වෙත්.´´

26. ජීවක කොමාරහච්ච සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක අඹ උයනෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

2. ´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයෙක් වේද?´´ (උපාසකයාගේ අඞ්ග කොපමණද?)

´´ජීවකය, යම් දිනක පටන් බුදුන් සරණ ගියේද, ධර්‍මය සරණ ගියේද, සංඝයා සරණ ගියේද, මහානාමය, මෙපමණකින්ම උපාසක නම් වෙයි.´´

´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?´´

´´ ජීවකය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, ජීවකය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.´´

´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා අන්‍යයාගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේ වේද?´´

3. ´´ ජීවකය, යම් දිනක පටන් උපාසකයා තමා (පමණක්) ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශ්‍රද්ධා සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ත්‍යාග සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) භික්‍ෂූන් දැකීමට කැමති වේද, අන්‍යයා භික්‍ෂූන් දැකීමෙහි නොයොදවාද, තමා (පමණක්) සඞර්‍මය ඇසීමෙහි කැමති වේද, අන්‍යයා සඞර්‍මය ඇසීමෙහි නොයොදවාද, තමා (පමණක්) ඇසූ ධර්‍මයන් ධාරණය කර ගැනීමෙහි කැමති වේද, අන්‍යයා ධර්‍මය දරා ගැනීමෙහි නොයොදවාද, තමා (පමණක්) දරාගත් ධර්‍මයන්ගේ අත්‍ර්‍ථ මෙනෙහි කරන්නේ (පරීක්‍ෂා කරන්නේ) වේද, අන්‍යයා ධර්මාත්‍ර්‍ථය පරීක්‍ෂණයෙහි නොයොදවාද, තමා (පමණක්) ධර්මාත්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ වේද, අන්‍යයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයොදවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා පර වැඩ පිණිස නොව තමා හිත වැඩ පිණිස පිළිපන්නේ වෙයි.´´

4. ´´ස්වාමීන් වහන්ස, කොපමණකින් වනාහි උපාසකයා අත්වැඩ පිණිස පිළිපන්නේත් වේද, පරවැඩ පිණිස පිළිපන්නේත් වේද,

´´ ජීවකය, යම් දිනක පටන් තමා විසින්ද, ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශ්‍රද්ධා සම්පත්තියෙහි යොදවාද, තෙමේ ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශීල සම්පත්තියෙහි යොදවාද, තෙමේ ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ත්‍යාග සම්පත්තියෙහි යොදවාද, තෙමේ භික්‍ෂූන් දැකීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද භික්‍ෂූන් දැකීමෙහි යොදවාද, තෙමේ බණ ඇසීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද බණ ඇසීමෙහි යොදවාද, ඇසූ බණ සිත තබා ගැනීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද ඇසූ බණ සිත තබා ගැනීමෙහි යොදවාද, තෙමේ සිත තබාගත් ධර්මයෙහි අත්‍ර්‍ථ පරීක්‍ෂා කිරීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද සිත තබාගත් ධර්මයෙහි අත්‍ර්‍ථ පරීක්‍ෂා කිරීම පිණිස යොදවාද, තෙමේ අත්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි (බණට අනුව පිළිපැදීමෙහි) යෙදුනේ වේද, අන්‍යයාද බණට අනුව පිළිපැදීමෙහි යොදවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා අත් වැඩ පිණිසත්, පර වැඩ පිණිසත් පිළිපන්නේ වෙයි.´´

25. මහානාම (සක්ක) සූත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි මහානාම ශාක්‍ය (රජතුමා )භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍ය (රජතුමා) භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.

2. ´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයෙක් වේද?´´ (උපාසකයාගේ අඞ්ග කොපමණද?)

´´මහානාමය, යම් දිනක පටන් බුදුන් සරණ ගියේද, ධර්‍මය සරණ ගියේද, සංඝයා සරණ ගියේද, මහානාමය, මෙපමණකින්ම උපාසක නම් වෙයි.´´

´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?´´

´´මහානාමය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, මහානාමය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.´´

´´ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා අන්‍යයාගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේ වේද?´´

3. ´´මහානාමය, යම් දිනක පටන් උපාසකයා තමා (පමණක්) ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශ්‍රද්ධා සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ත්‍යාග සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) භික්‍ෂූන් දැකීමට කැමති වේද, අන්‍යයා භික්‍ෂූන් දැකීමෙහි නොයොදවාද, තමා (පමණක්) සඞර්‍මය ඇසීමෙහි කැමති වේද, අන්‍යයා සඞර්‍මය ඇසීමෙහි නොයොදවාද, තමා (පමණක්) ඇසූ ධර්‍මයන් ධාරණය කර ගැනීමෙහි කැමති වේද, අන්‍යයා ධර්‍මය දරා ගැනීමෙහි නොයොදවාද, තමා (පමණක්) දරාගත් ධර්‍මයන්ගේ අත්‍ර්‍ථ මෙනෙහි කරන්නේ (පරීක්‍ෂා කරන්නේ) වේද, අන්‍යයා ධර්මාත්‍ර්‍ථය පරීක්‍ෂණයෙහි නොයොදවාද, තමා (පමණක්) ධර්මාත්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ වේද, අන්‍යයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයොදවාද, මහානාමය, මෙපමණකින් උපාසකයා පර වැඩ පිණිස නොව තමා හිත වැඩ පිණිස පිළිපන්නේ වෙයි.´´

4. ´´ස්වාමීන් වහන්ස, කොපමණකින් වනාහි උපාසකයා අත්වැඩ පිණිස පිළිපන්නේත් වේද, පරවැඩ පිණිස පිළිපන්නේත් වේද,´´මහානාමය, යම් දිනක පටන් තමා විසින්ද, ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශ්‍රද්ධා සම්පත්තියෙහි යොදවාද, තෙමේ ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශීල සම්පත්තියෙහි යොදවාද, තෙමේ ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ත්‍යාග සම්පත්තියෙහි යොදවාද, තෙමේ භික්‍ෂූන් දැකීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද භික්‍ෂූන් දැකීමෙහි යොදවාද, තෙමේ බණ ඇසීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද බණ ඇසීමෙහි යොදවාද, ඇසූ බණ සිත තබා ගැනීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද ඇසූ බණ සිත තබා ගැනීමෙහි යොදවාද, තෙමේ සිත තබාගත් ධර්මයෙහි අත්‍ර්‍ථ පරීක්‍ෂා කිරීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද සිත තබාගත් ධර්මයෙහි අත්‍ර්‍ථ පරීක්‍ෂා කිරීම පිණිස යොදවාද, තෙමේ අත්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි (බණට අනුව පිළිපැදීමෙහි) යෙදුනේ වේද, අන්‍යයාද බණට අනුව පිළිපැදීමෙහි යොදවාද, මහානාමය, මෙපමණකින් උපාසකයා අත් වැඩ පිණිසත්, පර වැඩ පිණිසත් පිළිපන්නේ වෙයි.´´

24. මහාපරිස හත්‍ථකාලවක සූත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි හත්‍ථක ආලවකයා පන්සියයක් පමණ උපාසකවරුන් පිරිවරණ ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´හත්‍ථකය, තාගේ මේ පිරිස විශාලය. හත්‍ථකය, තා මේ විශාල පිරිස කෙසේ සංග්‍රහ කෙළේද?´´

´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සංග්‍රහ වස්තුවක් දේශනා කරණ ලදද, මම එයින් මේ විශාල පිරිස සංග්‍රහ කරමි.

3. ´´ස්වාමීන් වහන්ස, මම යමෙකු ගැන මොහු දානයෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට දානයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු ප්‍රිය වචනයෙන්සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු අත්‍ර්‍ථචරියාවෙන් (වැඩ කටයුතු ගැන උපකාර කිරීමෙන්) සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට අත්‍ර්‍ථචරියාවෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු සමානාත්මතායෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට සමානාත්මතායෙන් සංග්‍රහ කරමි. ස්වාමීන් වහන්ස, මාගේ නිවසෙහි භෝග සම්පත් ඇත්තාහ. (එහෙයින්) දිළින්දෝ වනාහි අපගේ අවවාදය පිළිගතයුතු යයි හඟිත්.´´

4. ´´යහපති, යහපති, හත්‍ථකය, – හත්‍ථකය, විශාල පිරිසක් සංග්‍රහ කර ගැනීම සඳහා (එකතුකර ගැනිම සඳහා) මේ තාගේ උපායෙකි. හත්‍ථකය, අතීත කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කළාහු නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කළාහුය. (රැස් කළාහුය.) හත්‍ථකය, අනාගත කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කරන්නාහු නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කරන්නාහුය. හත්‍ථකය, වර්‍තමාන කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කෙරෙත් නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කෙරෙත්මය.´´

5. ඉක්බිති හත්‍ථක ආලවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, උද්‍යෝග කරණු ලද්දේ, ප්‍රසන්න කරණු ලද්දේ, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්‍ෂිණාකොට ගියේය.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක ආලවකයා ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´මහණෙනි, හත්‍ථක ආලවකයා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ ගුණ ධර්‍ම අටකින් යුක්තවූයේ යයි සිත්හි ලා දරවු. ඒ කවර ගුණ ධර්‍ම අටකින්ද යත්? මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි. අල්පෙච්ඡයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා මේ (ගුණ) ධර්ම අටින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු.´´

23. හත්‍ථක සත්ත ධම්ම සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´මහණෙනි, හත්‍ථක ආලවතයා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම සතකින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු. කවර ගුණ ධර්‍ම සතකින්ද යත්?´´

2. ´´මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ මේ (ගුණ) ධර්ම සතින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු.´´
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

3. ´´ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවස යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය.
ඉක්බිති හත්‍ථක ආලවකයා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු හත්‍ථක ආලවකයාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.

´´ඇවැත්නි, ඔබ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?´´ ´මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.

´´ඇවැත්නි, ඔබ මේ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ ගුණ ධර්‍ම සකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.´´

4. ´´කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?´´ ´´ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.´´ ´´යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.´´

5. ´´ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හත්‍ථක ආලවකයාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දන් වළඳා පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙලේය.

6. ´´ස්වාමීන් වහන්ස, පෙරවරු කාලයෙහි මම හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවසට පැමිණියෙමි. පැමිණ පණවන ලද අසුනෙහි හුන්නෙමි. ස්වාමීන් වහන්ස, එකල්හි හත්‍ථක ආලවකයා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක හුන්නේය. ස්වාමීන් වහන්ස, එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට මම මෙසේ ප්‍රකාශ කෙළෙමි. ´´ඇවැත්නි, ඔබ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?´´ ´මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.

7. ´´ස්වාමීන් වහන්ස, මෙසේ කියන ලද කල්හි හත්‍ථක ආලවකයා මට මෙසේ කීයේය. ´´කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?´´ ´´ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.´´ ´´යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.´´

8. ´´යහපති, යහපති, මහණ. මහණ, ඒ කුලපුත්‍රයා අල්පෙච්ඡයෙකි. තමා කෙරෙහි ඇත්තාවූද කුශල ධර්මයන් අනුන්ට හැඟවීමට නොකැමැති වෙයි. එසේ වී නම් මහණ, ඔබ මේ අටවැනිවූ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ යම් මේ අල්පෙච්ඡ ගුණ ධර්මයෙන්ද, හත්‍ථක ආලවකයා යුක්තවූයේයයි සිත්හි ලා දරව.´´

22. හත්‍ථිගාමකඋග්ග සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට හස්ති ග්‍රාමයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

´´මහණෙනි, හස්තිග්‍රාමයෙහි උග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයෙකැයි මෙනෙහි කරවු´´ යයි මෙසේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

2. ´´ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසට පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය. එකල්හි හස්තිග්‍රාම උග්‍ර ගෘහපතියා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.

3. ´´ගෘහපතිය, ඔබ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අට කවරහුද?´´

4. ´´ස්වාමීන් වහන්ස, මා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි මම නොදනිමි. ස්වාමීන් වහන්ස, එසේද වුවත් මා කෙරෙහි යම් කිසි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටක් විද්‍යමාන වෙත්. ඒ කරුණු අට ශ්‍රවණය කළ මැනව. ´´ගෘහපතිය, එසේය´´ යි ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාට ප්‍රතිවචන දුන්නේය. හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා මෙසේ ප්‍රකාශ කෙළේය.

5. ´´ස්වාමීන් වහන්ස, යම් දිනයෙක්හි මම නාගවනයෙහි උද්‍යාන ක්‍රීඩාවෙන් හැසිරෙන කල්හි පළමුකොටම දුරදීම භාග්‍යවතුන් වහන්සේ දුටුයෙම්ද, ස්වාමීන් වහන්ස, ඒ දැකිමත් සමගම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්‍රසන්න වූයේය. සුරා මදයද පහව ගියේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

6. ´´ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි පහන් සිත් ඇත්තේ (ම) භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ (එසේ) පැමිණියාවු මට අනුපූර්‍ව කථාව වදාළ සේක. ඒ කෙසේදයත්? දාන කථාවය, ශීල කථාවය, ස්වර්‍ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙස් සහිත බවය, ගිහිගෙන් නික්මී පැවිදිවිම හා භවයෙන් නික්මීමෙහි අනුසස්ය. (මේ අතර) යම් අවස්ථාවෙක්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, මා නීරෝගී සිත් ඇත්තේයයිද, මෘදුවූ සිත් ඇත්තේයයිද, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් තොරවූ සිත් ඇත්තේයයිද, ඔදවැඩි සිත් ඇත්තේයයිද, ප්‍රසන්නවූ සිත් ඇත්තේයයිද, දැන වදාළ සේක්ද, එකල්හි බුදුවරයන් වහන්සේලා විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරණු ලබන්නාවූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාය්‍ර්‍ය සත්‍යය ධර්ම දේශනාවක් වීනම් ඒ ධර්ම දේශනාව වදාළ සේක.

7. ´´යම්සේ වනාහි පහවූ කිලුටු ඇති ශුද්ධවූ වස්ත්‍රයක් තෙම මනාකොටම රජනය (වර්‍ණණය) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි එම අසුනෙහිදිම මට, ඇතිවන ස්වභාවවූ යම් කිසි ධර්මයක් වේ නම්, ඒ සියල්ල නිරුද්ධවන ස්වභාවයයි, කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය.

8. ´´ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි දක්නාලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, පැමිණෙන ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, අවබෝධ කරණ ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, හාත්පසින් බැස ගන්නා ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, තරණය කරණ ලද බුද්ධාදී අට තැන්හි සැක ඇත්තේ (එහෙයින්ම) පහවූ කථංකථ (විචිකිච්ඡා) ඇත්තේ, විශාරද භාවයට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි අන්‍යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු ප්‍රත්‍යය රහිතවූයේ, එහිදිම බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්‍රහ්මචරියාව පස්වැනිවු ශික්‍ෂාපදයන් සමාදන් වුයෙමි. ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

9. ´´ස්වාමීන් වහන්ස, ඒ මට තරුණවූ භාය්‍ර්‍යාවෝ සිවු දෙනෙක් වුහ. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ භාය්‍ර්‍යාවන් වෙත පැමිණියෙමි. පැමිණ ඒ භාය්‍ර්‍යාවන්ට මෙසේ කීවෙමි. ´නැගනියෙනි, මා විසින් වනාහි බ්‍රහ්මචය්‍ර්‍යා පස්වැනිවු ශික්‍ෂාපද (බ්‍රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. යම් භාය්‍ර්‍යාවක් කැමතිනම් මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. තොප (නැවත) විවාහවනු කැමැත්තහු නම් කවරෙකුට (විවාහකර) දෙම්ද?´ ´ස්වාමීන් වහන්ස, මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාය්‍ර්‍යා තොම, ´මා මෙනම් ආය්‍ර්‍ය පුත්‍රයාට (ස්වාමිපුත්‍රයාහට) දෙව´ යි මට මෙසේ කීවාය. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාය්‍ර්‍යාව අල්වාගෙන, දකුණතින් කෙණ්ඩිය ගෙන, (ඈ) ඒ පුරුෂයාහට (අත පැන් වත්කොට) විවාහ කර දුනිමි. ස්වාමීන් වහන්ස, මම තරුණවූ ඒ භාය්‍ර්‍යාව පරිත්‍යාග කරන්නෙම් සිතෙහි වෙනස් බවක් නොදනිමි. ස්වාමීන් වහන්ස, මේ තුන්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

10. ´´ස්වාමීන් වහන්ස, මාගේ ගෘහයෙහි වනාහි වස්තුව ඇත්තාහ. ඒ වස්තුව වනාහි යහපත් ගුණ ධර්මයෙන් යුක්තවූ සිල්වතුන් වහන්සේලා සමග බෙදන ලද්දේ (පරිභෝග කරණ ලද්දේ) වෙයි. ස්වාමීන් වහන්ස, මේ හතරවෙනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

11. ´´ස්වාමීන් වහන්ස, මම වනාහි යම් භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණෙන්නෙම් නම් සකස්වම (යහපත්වම) පැමිණෙන්නෙමි. නොසකස්ව නොපැමිණෙන්නෙමි. ස්වාමීන් වහන්ස, මේ පස්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

12. ´´ස්වාමීන් වහන්ස, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් සකස්වම ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි. ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා නොකෙරේ නම් මම උන්වහන්සේට ධර්මය දේශනා කරමි. ස්වාමීන් වහන්ස, මේ සයවැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

13. ´´ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, මා විසින් සඞ්ඝයා වෙත ආරාධනා කළ කල්හි දේවතාවෝ ම වෙත පැමිණ ´ගෘහපතිය, අසවල් භික්‍ෂුතෙම උභතොභාග විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රවය. අසවල් භික්‍ෂුතෙම කයින් ධ්‍යානය ස්පර්‍ශකොට පසුව නිවන් ලැබුවේය. අසවල් භික්‍ෂුතෙම දිඨප්පත්තය. අසවල් භික්‍ෂුතෙම ශ්‍රද්ධා විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ශ්‍රද්ධානුසාරිය. අසවල් භික්‍ෂුතෙම ධර්මානුසාරීය. අසවල් භික්‍ෂුතෙම යහපත් ස්වභාව ඇත්තාවූ සිල්වතෙක්ය. අසවල් භික්‍ෂුතෙම ලාමක ස්වභාව ඇත්තාවූ දුශ්ශීලයෙක්ය´ යි සැලකරත්. ඒ ආශ්චය්‍ර්‍ය නොවෙයි. ස්වාමීන් වහන්ස, මම වනාහි සඞ්ඝයා වළඳවන කල්හි මුන්වහන්සේට ස්වල්පයක් දෙමි. මුන්වහන්සේට බොහෝකොට දෙමියි මෙබඳු සිතක් උපදවන ලද්දේයයි නොම දනිමි.

´´ස්වාමීන් වහන්ස, මම වනාහි සම සිත් ඇත්තේම දෙමි. ස්වාමීන් වහන්ස, මේ සවැනිවූ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

14. ´´ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, ´ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේ වේය´ යි සැල කරත්. ස්වාමින් වහන්ස, මෙසේ කියන කල්හි මම ඒ දේවතාවුන්ට මෙසේ කියමි. ´දේවතාවෙනි, තෙපි කිවුවත්, නොකිවුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේමය. ඒ ආශ්චය්‍ර්‍ය නොවෙයි.´ ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණෙත්යයි කියා හෝ, මම දේවතාවුන් සමග කථා කරමි කියා හෝ, ඒ හේතුවෙන් මා සිතෙහි උඩඟු බවක් නොම දනිමි. ස්වාමීන් වහන්ස, මේ සත්වැනිවූ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

15. ´´ස්වාමීන් වහන්ස, ඉදින් වනාහි මම භාග්‍යවතුන් වහන්සේට පළමුවෙන් කළුරිය කරන්නෙම් නම්, ´යම් සඤ්ඤොජනයකින් යුක්තවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා නැවත මේ ලෝකයට (උත්පත්ති වශයෙන්) එන්නේද, එබඳු සඤ්ඤොජනයක් (ඔහුට) නැතැ´ යි භාග්‍යවතුන් වහන්සේ මා (සඳහා) යමක් වදාරණ ලද්දේද එය ආශ්චය්‍ර්‍ය නොවෙයි.

16. ´´ස්වාමීන් වහන්ස, මේ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අට මා කෙරෙහි ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මා කවර ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අටකින් යුක්තවූවෙකු ලෙස ප්‍රකාශ කරණ ලද්දේදැයි මම වනාහි නොදනිමි.´´

17. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දානය වළඳා, පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා සමග (කරණ ලද) යම් පමණ කථා සල්ලාපයක් වීනම්, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

18. ´´යහපති, යහපති, මහණ, යම් සේ වනාහි හේතු සහිතව ප්‍රකාශ කරන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ප්‍රකාශ කරන්නේද, මහණ, මා විසින්ද හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම අටකින් යුකත වූයේයයි ප්‍රකාශ කරණ ලද්දේ ඒ මේ ගුණ ධර්ම අටින්මය. මහණ, හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ මේ ගුණධර්ම අටින් යුක්ත වූයේයයි (සිත්හි ලා) දරවු.´´

21. වෙසාලිකඋග්ග සුත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
´´මහණෙනි, විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයෙකැයි මෙනෙහි කරවු´´ යයි මෙසේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

2. ´´ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් (ඒ) පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු රැගෙන විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියාගේ නිවස යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය. එකල්හි විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙළේය.

3. ´´ගෘහපතිය, ඔබ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අට කවරහුද?´´

4. ´´ස්වාමීන් වහන්ස, මා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි මම නොදනිමි. ස්වාමීන් වහන්ස, එසේද වුවත් මා කෙරෙහි යම් කිසි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ කරුණු අටක් විද්‍යමාන වෙත්. ඒ කරුණු අට ශ්‍රවණය කළ මැනව. හොඳින් සිතේ තබාගනු මැනව. මම (එය) ප්‍රකාශ කරන්නෙමි.´´ – ´´එසේය, ගෘහපතිය´´ යි කියා ඒ භික්‍ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියාට ප්‍රතිවචන දුන්නේය. විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා මෙසේ ප්‍රකාශ කෙළේය.

5. ´´ස්වාමීන් වහන්ස, පළමුකොටම මම යම් දිනක භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කෙම්ද, ස්වාමීන් වහන්ස, (ඒ) දැකිමත් සමගම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්‍රසන්න වූයේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

6. ´´ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි පහන් සිත් ඇත්තේ (ම) භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ (එසේ) පැමිණියාවු මට අනුපූර්‍ව කථාව වදාළ සේක. ඒ කෙසේදයත්? දාන කථාවය, ශීල කථාවය, ස්වර්‍ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙස් සහිත බවය, ගිහිගෙන් නික්මී පැවිදිවිම හා භවයෙන් නික්මීමෙහි අනුසස්ය. (මේ අතර) යම් අවස්ථාවෙක්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, මා නීරෝගී සිත් ඇත්තේයයිද, මෘදුවූ සිත් ඇත්තේයයිද, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් තොරවූ සිත් ඇත්තේයයිද, ඔදවැඩි සිත් ඇත්තේයයිද, ප්‍රසන්නවූ සිත් ඇත්තේයයිද, දැන වදාළ සේක්ද, එකල්හි බුදුවරයන් වහන්සේලා විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරණු ලබන්නාවූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාය්‍ර්‍ය සත්‍යය ධර්ම දේශනාවක් වීනම් ඒ ධර්ම දේශනාව වදාළ සේක.

7. ´´යම්සේ වනාහි පහවූ කිලුටු ඇති ශුද්ධවූ වස්ත්‍රයක් තෙම මනාකොටම රජනය (වර්‍ණණය) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි එම අසුනෙහිදිම මට, ඇතිවන ස්වභාවවූ යම් කිසි ධර්මයක් වේ නම්, ඒ සියල්ල නිරුද්ධවන ස්වභාවයයි, කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය.

8. ´´ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි දක්නාලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, පැමිණෙන ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, අවබෝධ කරණ ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, හාත්පසින් බැස ගන්නා ලද ආය්‍ර්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, තරණය කරණ ලද බුද්ධාදී අට තැන්හි සැක ඇත්තේ (එහෙයින්ම) පහවූ කථංකථ (විචිකිච්ඡා) ඇත්තේ, විශාරද භාවයට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි අන්‍යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු ප්‍රත්‍යය රහිතවූයේ, එහිදිම බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්‍රහ්මචරියාව පස්වැනිවු ශික්‍ෂාපදයන් සමාදන් වුයෙමි. ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

9. ´´ස්වාමීන් වහන්ස, ඒ මට තරුණවූ භාය්‍ර්‍යාවෝ සිවු දෙනෙක් වුහ. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ භාය්‍ර්‍යාවන් වෙත පැමිණියෙමි. පැමිණ ඒ භාය්‍ර්‍යාවන්ට මෙසේ කීවෙමි. ´නැගනියෙනි, මා විසින් වනාහි බ්‍රහ්මචය්‍ර්‍යා පස්වැනිවු ශික්‍ෂාපද (බ්‍රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. යම් භාය්‍ර්‍යාවක් කැමතිනම් මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. තොප (නැවත) විවාහවනු කැමැත්තහු නම් කවරෙකුට (විවාහකර) දෙම්ද?´ ´ස්වාමීන් වහන්ස, මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාය්‍ර්‍යා තොම, ´මා මෙනම් ආය්‍ර්‍ය පුත්‍රයාට (ස්වාමිපුත්‍රයාහට) දෙව´ යි මට මෙසේ කීවාය. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාය්‍ර්‍යාව අල්වාගෙන, දකුණතින් කෙණ්ඩිය ගෙන, (ඈ) ඒ පුරුෂයාහට (අත පැන් වත්කොට) විවාහ කර දුනිමි. ස්වාමීන් වහන්ස, මම තරුණවූ ඒ භාය්‍ර්‍යාව පරිත්‍යාග කරන්නෙම් සිතෙහි වෙනස් බවක් නොදනිමි. ස්වාමීන් වහන්ස, මේ තුන්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

10. ´´ස්වාමීන් වහන්ස, මාගේ ගෘහයෙහි වනාහි වස්තුව ඇත්තාහ. ඒ වස්තුව වනාහි යහපත් ගුණ ධර්මයෙන් යුක්තවූ සිල්වතුන් වහන්සේලා සමග බෙදන ලද්දේ (පරිභෝග කරණ ලද්දේ) වෙයි. ස්වාමීන් වහන්ස, මේ හතරවෙනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

11. ´´ස්වාමීන් වහන්ස, මම වනාහි යම් භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණෙන්නෙම් නම් සකස්වම (යහපත්වම) පැමිණෙන්නෙමි. නොසකස්ව නොපැමිණෙන්නෙමි. ස්වාමීන් වහන්ස, මේ පස්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

12. ´´ස්වාමීන් වහන්ස, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් සකස්වම ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි. ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා නොකෙරේ නම් මම උන්වහන්සේට ධර්මය දේශනා කරමි. ස්වාමීන් වහන්ස, මේ සයවැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

13. ´´ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, ´ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේ වේය´ යි සැල කරත්. ස්වාමින් වහන්ස, මෙසේ කියන කල්හි මම ඒ දේවතාවුන්ට මෙසේ කියමි. ´දේවතාවෙනි, තෙපි කිවුවත්, නොකිවුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේමය. ඒ ආශ්චය්‍ර්‍ය නොවෙයි.´ ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණෙත්යයි කියා හෝ, මම දේවතාවුන් සමග කථා කරමි කියා හෝ, ඒ හේතුවෙන් මා සිතෙහි උඩඟු බවක් නොම දනිමි. ස්වාමීන් වහන්ස, මේ සත්වැනිවූ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

14. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ කාම ධාතුව (කාම ලෝකය) භජනය කරන්නාවූ යම් ඒ සඤ්ඤොජන පසෙක් වෙත් නම් ඔවුන් අතුරෙන් කිසි සඤ්ඤොජන ධර්‍මයක් මා කෙරෙහි ප්‍රහීන නොවී ඇත්තේයයි මම නොම දකිමි. ස්වාමීන් වහන්ස, මේ අටවැනිවූ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

15. ´´ස්වාමීන් වහන්ස, මේ ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අට මා කෙරෙහි ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මා කවර ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අටකින් යුක්තවූවෙකු ලෙස ප්‍රකාශ කරණ ලද්දේදැයි මම වනාහි නොදනිමි.´´

16. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දානය වළඳා, පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු ඒ භික්‍ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා සමග (කරණ ලද) යම් පමණ කථා සල්ලාපයක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

17. ´´යහපති, යහපති, මහණ, යම් සේ වනාහි හේතු සහිතව ප්‍රකාශ කරන්නාවූ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා ප්‍රකාශ කරන්නේද, මහණ, මා විසින්ද විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම අටකින් යුකත වූයේයයි ප්‍රකාශ කරණ ලද්දේ ඒ මේ (ගුණ) ධර්ම අටින්මය. මහණ, විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා ආශ්චය්‍ර්‍ය අද්භූතවූ මේ (ගුණ) ධර්ම අටින් යුක්ත වූයේයයි මෙනෙහි කරවු.´´