1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගේ මවගේ සහෝදරියගේ පුත්‍රවූ ආයුෂ්මත් නන්ද ස්ථවීරතෙම පඬු පොවන ලද සිවුරු පොරවා ඇස් අඳුන් ගා පැහැපත් පාත්‍රයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවු ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් හට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක.
2. නන්දය නුඹ යම් පඬු පොවන ලද සිවුරු පොරවන්නේ වෙහිද ඇස් අඳුන් ගානා ලද්දේ වෙහිද පැහැපත් පාත්‍රයක් දරන්නේ වෙහිද තාගේ එය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුහට සුදුසු නොවේ. නන්දය මෙසේ වනාහි නුඔ ආරණ්‍යකයෙක් වන්නේ වෙහිද පිණ්ඩපාතිකයෙක් වන්නේ වෙහිද පංසුකූලිකයෙක් වන්නේ වෙහිද කාමයන්හි අපේක්ෂා රහිතව වාසය කරන්නේ වේද තාගේ (එය වනාහි) ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවැදිවූ කුල පුත්‍රයෙකුහට සුදුසුවේ යයි දාළ සේක.
3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනා කොට ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළ සේක.
1. ආරණ්‍යකවූ පංසුකූලිකවූ පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ කාමයන්හි අපේක්ෂාවක් නැත්තාවූ නන්දයන් මම කවදා දකින්නේම්ද.
ඉක්බිති ආයුෂ්මත් නන්ද පසු කලක ආරණ්යකයෙක්ද පංසුකූලිකයෙක්ද පිණ්ඩපාතිකයෙක්ද වූයේය. කාමයන්හිද අපේක්ෂා නැත්තේ වාසය කළේය.
(අටවෙනි නන්ද සූත්‍රය නිමි.)