31. අභාවනියා වාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

2. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්‍රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, යහපත් වචන නැත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ නොවේද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්‍රාඥයෙක් වේද යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

5. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයෙන් යුක්ත වූයේ, වත් සම්පන්නයෙක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නෙක් වේද, සැහැල්ලු බැව් ඇත්තේ, විවේකයෙහි ඇලුනෙක් වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ වේද, ජඩ නොවූ, කෙළ තොලු නොවූ ප්‍රඥා ඇත්තෙක් වේද යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

10. ගිහි සාමීචි පටිපදා සූත්‍රය.

1. “ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

2. “එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට, භාග්‍යවතුන් වහන්සේ, “ගෘහපතිය, කරුණු සතරකින් යුක්ත ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම යසස් ලබන්නාවූද, ස්වර්‍ගය පිණිස පවත්තාවූද, ගිහි සාමීචි ප්‍රතිපදාවට පැමිණියේ වෙයි. කවර සතරකින්ද යත්?

3. “ගෘහපතිය, මේ ලෝකයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම භික්‍ෂු සංඝයා චීවරයෙන් උපස්ථාන කෙළේද, භික්‍ෂු සංඝයා පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේ වේද, භික්‍ෂු සංඝයා සෙනසුනෙන් උපස්ථාන කළේ වේද, භික්‍ෂු සංඝයා ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කළේ වේද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම යසස් ලැබෙන, ස්වර්‍ගය පිණිස පවත්නා ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

4. “යහපත් මාර්‍ගයෙහි පිළිපන්නාවූ, සීලවන්තයෝ චීවරයෙන්ද, පිණ්ඩපාතයෙන්ද, සෙනස්නෙන්ද, ගිලන්පස බෙහෙත් පිරිකරින්ද, උපස්ථාන කරණ ලද්දාහුද, ඒ පණ්ඩිතයෝ ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නාහුය. යහපත් කර්‍මයක් කොට රෑ දවල් සියලු කල්හි පින් වැඩේ. ස්වර්‍ගයටද පැමිණේ.”

( හයවැනි පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය නිමි. )

9. ඨාන චතුක්කදාන සූත්‍රය.

1. “මහණෙනි, භෝජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්, ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍යමයවූ හෝ මනුෂ්‍යමයවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්‍ණය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ වර්‍ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. මහණෙනි, භෝජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.

2. “යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්‍ණයද, සැපයද, බලයද යන සතරයි. ආයුෂ දෙන, වර්‍ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්‍ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, සශස් ඇත්තේ වේ.”

8. සුදත්ත සූත්‍රය.

1. “ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

2. “එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ, “ගෘහපතිය, භෝජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට කරුණු සතරක් දෙයි. කවර සතරක්ද යත්, ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සැප දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වේ. වර්‍ණය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ වර්‍ණයට කොටස් කාරයෙක් වේ. සැපය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ බලයට කොටස් කාරයෙක් වේ. ගෘහපතිය, භෝජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ප්‍රතිග්‍රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.

3. “යමෙක් කාය, වාක් සංයමවූ අනුන් දුන් දෙයින් යැපෙන්නවුන්ට සුදුසු කාලයෙන් සකස් කොට භොජනය දෙයිද, හෙතෙම කරුණු සතරක් දෙයි. ආයුෂද, වර්‍ණයද, සැපයද, බලයද යන සතරයි. ආයුෂ දෙන, වර්‍ණ දෙන, සැප දෙන, බල දෙන මනුෂ්‍ය තෙම යම් යම් තැනක උපදීද දීඝායුෂ, සශස් ඇත්තේ වේ.”

7. සුප්පවාස සූත්‍රය.

1. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සජ්ජනෙල නම් කොලියයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද, ඒ කොලිය ජනපදයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සුප්පවාස නම් කොලිය දුවගේ වාසස්ථානය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.

2. “ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව ප්‍රණීත කෑයුතු දෙයින්, බුදිය යුතු දෙයින්, සිය අතින් සන්තර්පණය කළාය. පැවරුවාය. ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව, වැළඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේගේ එකත්පසෙක හිඳගත්තාය.

3. “එකත්පසෙක හුන් සුප්පවාසා නම් කොලිය දුවට භාග්‍යවතුන් වහන්සේ, “සුප්පවාසාවෙනි, භොජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයන්ට සතර කරුණක් දෙයි. කවර සතරක්ද යත්, ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැප දෙයි. බලය දෙයි. ආයුෂ දී දෙවියන් අතර හෝ මනුෂ්‍යයන් අතර ආයුෂට කොටස් කාරයෙක් වේ. වර්‍ණය දී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් වර්‍ණයට කොටස් කාරයෙක් වේ. සැපදී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් බලයට කොටස් කාරයෙක් වේ. සුප්පවාසාවෙනි, භෝජනය දෙන ආය්‍ර්‍ය ශ්‍රවකයා ප්‍රතිග්‍රාහකයන්ට මේ කරුණු සතර දේය” යි වදාළ සේක.

4. “පිරිසිදුවූ, ප්‍රණීතවූ, රසයෙන් යුක්තවූ, මනාව සකස්කල භෝජනය යම් තැනැත්තියක් දෙයිද, චරණ ධර්‍මවලින් මහත්‍වයට පැමිණී ඎජුව ගියවුන් කෙරෙහි ඒ දක්‍ෂිණාව දුන්නේද, පිනෙන් පින සම්බන්‍ධවෙමින් ලොකවිදූහු විසින් මහත්ඵලකොට වර්‍ණනා කරණ ලදී. මෙබඳු දානය සිහි කරමින් යම්කිසි කෙනෙක් සතුටු සිතින් ලෝකයෙහි හැසිරෙත්ද, මුල් සහිත මසුරුමල සංසිඳුවා නින්‍දා නොවූවාහු ස්වර්‍ගස්ඵානයට පැමිණෙත්.”

6. සමජීව සූත්‍රය.

1. “මහණෙනි, අඹු සැමි දෙදෙන මෙලොව ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තහු නම් දෙදෙනම සමාන ශ්‍රද්ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්” යයි වදාළ සේක.

5. “අඹු සැමි දෙදෙන ශ්‍රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.”

5. නකුලපිතු සූත්‍රය.

1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාර පර්‍වතයෙහි, භෙසකලා වනයෙහි, මිගදායෙහි වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, නකුල පිතෘ ගෘහපතියාගේ ගෘහය යම් තැනකද, එහි වැඩි සේක. වැඩ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

2. එකල්හි නකුල පිතෘ ගෘහපති තෙමේද, නකුල මාතා ගෘහපතිනියද, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කලක බාල වයස්වූ නකුල මාතාව, බාල වයස්වූ මා ගෙන එන ලද්දීද, නකුල මාතා ගෘහපතිනිය සිතිනුදු ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු” යි කීයේය.
3. “නකුල මාතා ගෘහපතනියද, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කාලයක බාල වයසෙහිවූ නකුල පිතෘ ගෘහපතියාට බාල වයසෙහි සිටි මම ගෙන එන ලද්දෙමි. නකුල පිතෘ ගෘහපතිතෙම සිතිනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලෙස මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු.”

4. “ගෘහපතිවරුනි, අඹු සැමි දෙදෙන මෙලොවද ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තේ නම් දෙදෙනම සමාන ශ්‍රද්ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්” යයි වදාළ සේක.

5. “අඹු සැමි දෙදෙන ශ්‍රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.”

4. චතුසංවාස සූත්‍රය.

1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. “මහණෙනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මළකඳක්, මළකඳක් සමග වාසය කරයි. මළකඳක්, දෙව්දුවක් සමග වාසය කරයි. දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.”

3. ” මහණෙනි , කෙසේ නම් මළකඳක්, මළකඳක් සමග වාසය කරයිද?

4. ” මහණෙනි , මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

5. “ඔහුගේ භාය්‍ර්‍යාවද ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද

6. ” මහණෙනි , මෙසේ වනාහි මළකඳක්, මළකඳක් සමග වාසය කරයි.”

7. ” මහණෙනි , කෙසේ නම් මළකඳක්, දෙවඟනක් සමග වාසය කරයිද? මහණෙනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

8. “ඔහුගේ භාය්‍ර්‍යාව සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,

9. ” මහණෙනි, මෙසේ මළකඳක්, දෙව්දුවක් සමග ආශ්‍රය කිරීමක් වැන්න.

10. ” මහණෙනි, කෙසේනම් දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයිද”

11. ” මහණෙනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,

12. “ඔහුගේ භාය්‍ර්‍යාව ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද මෙසේ වනාහි දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි.

13. ” මහණෙනි, කෙසේ නම් දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයිද? මහණෙනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ඔහුගේ භාය්‍ර්‍යාවද සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, මහණෙනි මෙසේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරයි. මහණෙනි, මේ එක්ව විසීම් සතර වෙත්.

14. “දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාය්‍ර්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාය්‍ර්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. දෙදෙනම ශ්‍රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්‍ද්‍රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලොකයෙහි සතුටු වෙත්.”

3. මධුරක (ගහපති) සූත්‍රය.

1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. “ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මළකඳක්, මළකඳක් සමග වාසය කරයි. මළකඳක්, දෙව්දුවක් සමග වාසය කරයි. දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.”

3. ” ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, මළකඳක් සමග වාසය කරයිද?

4. “ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

5. “ඔහුගේ භාය්‍ර්‍යාවද ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද

6. “ගෘහපතිවරුනි, මෙසේ වනාහි මළකඳක්, මළකඳක් සමග වාසය කරයි.”

7. ” ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, දෙවඟනක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?

8. “ඔහුගේ භාය්‍ර්‍යාව සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,

9. “ගෘහපතිවරුනි, මෙසේ මළකඳක්, දෙව්දුවක් සමග ආශ්‍රය කිරීමක් වැන්න.

10. “ගෘහපතිවරුනි, කෙසේනම් දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයිද”

11. “ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,

12. “ඔහුගේ භාය්‍ර්‍යාව ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද මෙසේ වනාහි දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි.

13. “ගෘහපතිවරුනි, කෙසේ නම් දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ඔහුගේ භාය්‍ර්‍යාවද සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිවරුනි මෙසේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරයි. ගෘහපතිවරුනි, මේ එක්ව විසීම් සතර වෙත්.

14. “දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාය්‍ර්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාය්‍ර්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. දෙදෙනම ශ්‍රද්ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්‍ද්‍රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලොකයෙහි සතුටු වෙත්.”

2. දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය.

1. “මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්.

2. “කවර සතරක්ද යත්, මහණෙනි,මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ,

3. “මේ කාරණයෙනුදු ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය. සුගතය, ලොකවිදූය. නිරුත්තර පුරුෂදම්මසාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෲය, බුද්ධය, භාග්‍යවත්යයි,

4. “බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයිද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ පළමුවැනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වෙයි.

5. “මහණෙනි, නැවතද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම,

6. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. සන්දෘෂ්ටිකය, අකාලිකය, එව, බලවයි පෙන්වීමට සුදුසුය, තමා වෙත එළවාගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමා කෙරෙහිම ලා දත යුත්තේයයි,

7. “ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ දෙවෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.

8. “මහණෙනි, නැවත ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම,

9. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නය. යම් මේ පුරුෂ යුග සතරක් ඇද්ද, පුරුෂ පුදගලයන් අට දෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්‍යය, පාහුනෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අංජලි කර්මයට සුදුසුය. ලොකයාගේ නිරුත්තර පින් කෙතයයි.

10. “සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වේද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ තුන්වෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.

11. “මහණෙනි, නැවත ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම නොකැඩුණු, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලිටිනුවූ, නිදහස්වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදීන් පරාමර්‍ෂණය නොවූ, සිත එකඟ කර ගැනීමට සුදුසු, ආය්‍ර්‍ය කාන්ත ශීලයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ සතරවන පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.

12. “මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්.

13. “තථාගතයන් වහන්නේ කෙරෙහි යමෙකුගේ ශ්‍රද්ධාව අචල වූයේද, මනාකොට පිහිටියේද, යමෙකුගේ ශීලයද යහපත්ද, ආය්‍ර්‍යයන්ට ප්‍රියද, පසසන ලද්දේද, යමෙකුට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇත්තේද, දර්‍ශනය ඎජු වූයේද ඔහු නොදිලින්දෙකැයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය. එසේ හෙයින් ශ්‍රද්ධාවෙහිද, ශීලයෙහිද, පැහැදීමෙහිද, ධර්‍මය දැනීමෙහිද, ඤාණවන්තයා බුදුන්ගේ අනුශාසනය සිහිකරමින් යෙදෙන්නේය.”