11. සාරාණීයධම්ම සූත්‍රය

1. “මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්.

 

2. ඒ සය කවරහුද ? මහණෙනි, මේ ශාසනයෙහි,

 

I) භික්‍ෂුවට බ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රී සහගත කාය කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

II) මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රී සහගත වාක් කර්මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

III) මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රීන් සහගත මනස් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

IV) මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසෙයින් පත්‍රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳු ලාභයන් ශීලවන්තවූ සබ්‍රහ්මවාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

V) මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල්නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණාදෘෂ්ටීන් හා පරාමර්‍ශනොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් බ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

VI) මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛය්‍ර්‍යානිකවූ, ආය්‍ර්‍යවූ, එබඳුවූ ශීලයන්ගෙන් බ්‍රහ්මචාරීන් හා ප්‍රකටවද, අප්‍රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.

 

3 මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්.”
 

12. පියකරණධම්ම සූත්‍රය

1. “මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්‍ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

2. ඒ සය කවරහුද ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට ප්‍රකටවද, අප්‍රකටවද සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

3. මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද මෛත්‍රී සහගත වාක් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

4. මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද මෛත්‍රී සහගත මනස් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

5. මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලැබුණාවූ, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳුවූ ලාභයන් ශීලවන්තවූ සබ්‍රහ්මචාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

6. මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල් නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණා දෘෂ්ටීන් හා පරාමර්‍ශ නොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

7. මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛය්‍ර්‍යානිකවූ, ආය්‍ර්‍යවූ, එබඳුවූ ශීලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් හා ප්‍රකටවද, අප්‍රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.

 

8. මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්‍ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.”

 

13. නිස්සාරණීය ධාතු සූත්‍රය

 
1. මහණෙනි, ඉවත් කළයුතු අදහස් හෙවත් කරුණු සයක් වෙති.

 

2. ඒ සය කවරහුද ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

“මවිසින් මෛත්‍රී චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ ව්‍යාපාදය සිත පැතිර සිටියි” යනුවෙනි.

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු මෛත්‍රී චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ ව්‍යාපාදය සිත පැතිර පවතීය යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ මෛත්‍රී චෙතො විමුක්තියක් ඇද්ද, ඇවැත්නි, එය ව්‍යාපාදය බැහැර කරණ තැනකි.”

 

3. මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

“මවිසින් කරුණා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ හිංසාව සිත පැතිර සිටියි”

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු කරුණා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ විහිංසාව සිත පැතිර පවතීය යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ කරුණා චෙතො විමුක්තියක් ඇද්ද, එය හිංසාව බැහැර කරණ තැනකි.”

 

4. මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

“මවිසින් මුදිතා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ කුශල ධර්‍මයන්හි නොඇල්ම සිත පැතිර සිටියි”

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු මුදිතා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ කුශල ධර්‍මයන්හි නොඇල්ම සිත පැතිර පවතීය යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද, ඇවැත්නි, එය අරතිය බැහැර කරණ තැනකි.”

 

5. මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

“මවිසින් උපෙක්‍ෂා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ රාගය සිත පැතිර පවතියි.”

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු උපෙක්‍ෂා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ රාගය සිත පැතිර පවතීය යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද, එය රාගය බැහැර කරණ තැනකි.”

 

6. මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

“මවිසින් අනිමිත්ත චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ නිමිත්ත අනුව ඇතිවන විඤ්ඤාණය වේය” යනුවෙනි.

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු අනිමිත්ත චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වහයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ නිමිත්ත අනුව ඇතිවන විඤ්ඤානය වේය යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ අනිමිත්ත චෙතො විමුක්තියක් ඇද්ද, එය නිමිත්ත අනුව ඇතිවන විඤ්ඤානය බැහැර කරණ තැනකි.”

 

7. මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය.

මාගේ වෙමියි යන අදහස දුරුවිය. මෙය මම වෙමියි යන අදහසද නොදකින්නෙමි. එසේ නමුදු මාගේ විචිකිච්ඡා සැකය නමැති හුල සිත පැතිර පවතියි.”

එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය.

“ආයුෂ්මත්නි, එසේ නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්ති, මෙය දොස් කීමට අයෝග්‍ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු කෙරෙහි වෙමියි යන අදහස පහව ගිය කල්හි, ‘මෙය මම වෙමියි’ යන අදහස නොදක්නේය. එසේ හෙයින් විචිකිච්ඡා සැකය නමැති හුල සිත පැතිර පවතියි යන කාරණය විද්‍යමාන නොවේ. යම් ඒ මමය යන මාන්නය දුරුවීම විචිකිච්ඡා සැකය නමැති හුල දුරුවීමේ හේතුවකි.”

 

8. මහණෙනි, ඉවත් කළයුතු අදහස් හෙවත් කරුණු සයක් වෙති.
 

14. භද්දකමරණ සූත්‍රය

 
1. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ආයුෂ්මත් භික්‍ෂුවරුනි” යි භික්‍ෂූන්ට ඇමතූහ. “ආයුෂ්මත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.

 

2. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුතෙම වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.

 

3. මහණෙනි, භික්‍ෂුතෙම ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් කෙසේ නම් නොවේ.ද? කාලක්‍රියාව යහපත් නොවේද ?

 

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව;

 

වැඩෙහි නියුක්තවූයේ වේද, වැඩෙහි ඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව යෙදුනේ වේද,

කථාකිරීමෙහි නියුක්තවූයේ වේද, කථාකිරීමෙහි ඇළුනේ, කථාකිරීමේ නියුක්ත බව අනුව යෙදුනේ වේද,

නිදීමෙහි නියුක්තවූයේ වේද, නිදීමෙහි ඇළුනේ වේද, නිදීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද,

සමූහය මැද හිඳීමෙහි නියුක්තවූයේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද,

එක්වීමෙහි යෙදුනේ වේද, එක්වීමෙහි ඇළුනේ වේද, එක්වීමෙහි ඇළුනබව අනුව යෙදුනේ වේද,

ප්‍රමාදයෙහි නියුක්තවූයේ වේද, ප්‍රමාදයෙහි ඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව යෙදුනේ වේද,

 

4. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුතෙම වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.

 

5. ඇවැත්නි, මේ භික්‍ෂුව ආත්මදෘෂ්ටියෙහි යෙදුනේ වෙයි. ආත්මදෘෂ්ටියෙන් මනාකොට දුක් කෙළවර කිරීම නොහැකිවේ.

 

6. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.

 

7. ඇවැත්ති, භික්‍ෂුව ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට කෙසේ නම් යහපත් මර්ණයක් වේද ? කාලක්‍රියාව යහපත් වේද ?

 

8. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම;

වැඩෙහි නියුක්ත නුවූයේ වේද, වැඩෙහි නොඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව නොයෙදුනේ වේද,

කථාකිරීමෙහි නියුක්ත නුවූයේ වේද, කථාකිරීමෙහි නොඇළුනේ වේද, කථාකිරීමෙහි නියුක්ත බව අනුව නොයෙදුනේ වේද,

නිදීමෙහි නියුක්ත නොවූයේ වේද, නිදීමෙහි නොඇළුනේ වේද, නිදීමෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

සමූහය මැද සිටීමේ නොයෙදුනේ වේද, සමූහය මැද සිටීමේ නොඇළුනේ වේද, සමූහය මැද සිටීමේ නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

ප්‍රමාදයෙහි නියුක්ත නොවූයේ වේද, ප්‍රමාදයෙහි නොඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

 

9. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව නිර්‍වාණයෙහි ඇළුනේ ආත්ම දෘෂ්ටිය දුරුකළේය. මනාකොට දුක් කෙළවර කිරීමෙහි යෙදුනේය.

 

10. I. යමෙක් තෙම ප්‍රමාදයෙහි යෙදුනේද, මෘගයෙකු සේ කෙළෙස් පමා බැව්හි ඇළුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත් එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිර්‍වාණය වරද්දා ගන්නේ වේ.

 

10.II. යමෙක් තෙම ප්‍රමාදය අත්හැර නිර්‍වාණයෙහි ඇලුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත්, එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිවණ සොයා ගන්නේය.

 

15. අනුතප්පකාලක්‍රියා සූත්‍රය

 

1. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ආයුෂ්මත් භික්‍ෂුවරුනි” යි භික්‍ෂූන්ට ඇමතූහ. “ආයුෂ්මත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.

 

2. “ඇවැත්නි, භික්‍ෂුව ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් පරිදි වාසය තරන්නාවූ ඔහුගේ කාලක්‍රියාව පසුතැවිල්ලට හේතුවේ.

 

3. මහණෙනි, භික්‍ෂුතෙම ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් කෙසේ නම් නොවේ ද? කාලක්‍රියාව පසුතැවිල්ලට හේතුවේද ?

 

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව;

 

වැඩෙහි නියුක්තවූයේ වේද, වැඩෙහි ඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව යෙදෙනේ වේද,

කථාකිරීමෙහි නියුක්තවූයේ වේද, කථාකිරීමෙහි ඇළුනේ, කථාකිරීමේ නියුක්ත බව අනුව යෙදුනේ වේද,

නිදීමෙහි නියුක්තවූයේ වේද, නිදීමෙහි ඇළුනේ වේද, නිදීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද,

සමූහය මැද හිඳීමෙහි නියුක්තවූයේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද.

එක්වීමෙහි යෙදුනේ වේද, එක්වීමෙහි ඇළුනේ වේද, එක්වීමෙහි ඇළුනබව අනුව යෙදුනේ වේද,

ප්‍රමාදයෙහි නියුක්තවූයේ වේද, ප්‍රමාදයෙහි ඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව යෙදුනේ වේද,

 

4. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුතෙම වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් නොවේ. කාලක්‍රියාව පසුතැවිල්ලට හේතුවේ.

 

5. ඇවැත්නි, මේ භික්‍ෂුව ආත්මදෘෂ්ටියෙහි යෙදුනේ වෙයි. ආත්මදෘෂ්ටියෙන් මනාකොට දුක් කෙළවර කිරීම නොහැකිවේ.

 

6. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මරණයක් වෙයි. කාලක්‍රියාව පසුතැවිල්ලට හේතු නොවේ.

 

7. ඇවැත්ති, භික්‍ෂුව ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට කෙසේ නම් යහපත් මර්ණයක් වේද? කාලක්‍රියාව පසුතැවිල්ලට හේතු නොවේද ?

 

8. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම;

 

වැඩෙහි නියුක්ත නුවූයේ වේද, වැඩෙහි නොඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව නොයෙදෙනේ වේද,

කථාකිරීමෙහි නියුක්ත නුවූයේ වේද, කථාකිරීමෙහි නොඇළුනේ වේද, කථාකිරීමෙහි නියුක්ත බව අනුව නොයෙදුනේ වේද,

නිදීමෙහි නියුක්ත නොවූයේ වේද, නිදීමෙහි නොඇළුනේ වේද, නිදීමෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

සමූහය මැද සිටීමේ නොයෙදුනේ වේද, සමූහය මැද සිටීමේ නොඇළුනේ වේද, සමූහය මැද සිටීමේ නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

ප්‍රමාදයෙහි නියුක්ත නොවූයේ වේද, ප්‍රමාදයෙහි නොඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද,

 

9. ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් වෙයි. කාලක්‍රියාව පසුතැවිල්ලට හේතු නොවෙයි. මහණෙනි, මේ භික්‍ෂුව නිර්‍වාණයෙහි ඇළුනේ ආත්ම දෘෂ්ටිය දුරුකළේය. මනාකොට දුක් කෙළවර කිරීමෙහි යෙදුනේය.

 

10.I. යමෙක් තෙම ප්‍රමාදයෙහි යෙදුනේද, මෘගයෙකු සේ කෙළෙස් පමා බැව්හි ඇළුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත් එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිර්‍වාණය වරද්දා ගන්නේ වේ.

 

10.II. යමෙක්තෙම ප්‍රමාදය අත්හැර නිර්‍වාණයෙහි ඇලුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත්, එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිවණ සොයා ගන්නේය.

 

16. සාපෙඛ නකුල පිතු සූත්‍රය

 

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය අසල මෘගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතෘ ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩිසේ ගිලන්වූයේ වෙයි. ඉක්බිති නකුල මාතෘ ගෘහපතිනිය, නකුල පිතෘ ගෘහපතියාට මෙසේ කීවාය.

 

2. “ගෘහපතිය, ඔබ (ලෞකික) බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය,දරුවන් පෝෂණය කරන්නට, ගෘහවාසයේ යෙදෙන්නට නොහැකි වන්නේය´ යනුවෙනි.

ගෘහපතිය, ඒ කරුණ ගැන එසේ නොසිතිය යුතුය. ගෘහපතිය, මම කපු කටින්නටද, ගෙතූ හිසකේ අවුල් හරින්නටද දක්‍ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කිරීමට, ගෘහවාසයේ යෙදෙන්නට හැකිවන්නෙමි. ගෘහපතිය, එබැවින් ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය අනික් පුරුෂයෙකු පාවා ගන්නේය´ යනුවෙනි.

ගෘහපතිය, එසේ නොසිතිය යුතුය. යම් කලෙක ඔබ දහසය වසක් ගෘහස්ථ බ්‍රහ්මචය්‍ර්‍යාව සමාදන්වන ලදී. එය ඔබද, මමද, දන්නෙමු. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනියට භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද දැකීමට නොලැබෙන්නේය´ යනුයි.

ගෘහපතිය, එසේ නොසිතිය යුතුයි. ඔබ ඇවෑමෙන් මම භාග්‍යවතුන් වහන්සේ අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. භික්‍ෂු සංඝයා අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය සිල් පුරන්නියක් නොවන්නීය.´ යනුවෙනි.

ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ, ගිහිවු සුදු වස්ත්‍ර හඳින්නාවූ, සිල් පුරන්නාවූ, ශ්‍රාවිකාවෝ යම් තාක් ඇද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා.’එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´නකුල මාතෘ ගෘහපතිනිය අධ්‍යාත්මික චිත්තසමථය ලබන්නියක් නොවන්නීය.´ යනුවෙනි.

ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ යම්තාක් ගිහිවූ, සුදු වස්ත්‍ර හඳින්නාවූ, අධ්‍යාත්මික චිත්ත සමථය ලැබුවාවූ ශ්‍රාවිකාවෝ වෙද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා´. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය.

 

ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ´නකුල මාතා ගෘහපතිනිය මේ ධර්‍ම විනයයයි නම් ලත් ශාසනයෙහි බැසගත්තී, සැනසීම ඇත්තී, තරණය කළ විචිකිච්ඡාව ඇත්තී, වෙන්වූ සැක ඇත්තී, විශාරදත්‍වය ඇත්තී, ශාස්තෘ ශාසනයෙහි උසස් ගුණ විශේෂයන් ලැබීම ඇත්තී වාසය නොකරන්නීය´ යනුවෙනි.

ගෘහපතිය, එසේ නොසිතිය යුතුයි. ගෘහපතිය, යම්තාක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බැසගත්තාවූ, වෙන්වූ සැනසීම ඇත්තාවූ, තරණය කළ විචිකිච්චාව ඇත්තාවූ, සැක ඇත්තාවූ, විශාරදත්‍වය ඇත්තාවූ, ශාස්තෘ ශාසනයෙහි උසස් ගුණ විශෙෂයෙන් ලැබීම ඇත්තාවූ, යම්තාක් ගිහිවූ, සුදු වස්ත්‍ර හඳින්නාවූ, ශාසනයෙහි වාසය කරන්නාවූ ශ්‍රාවිකාවෝ වෙත් නම්, මමද ඒ ශ්‍රාවිකාවන්ගෙන් එක්තරා තැනැත්තියක් වන්නෙමි. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.”

 

3. ඉක්බිත්තෙන් නකුල මාතෘ ගෘහපතිනිය විසින් මේ අවවාදයෙන් අවවාද කළ නකුල පිතෘ ගෘහපතියාගේ ඒ ආබාධය එතෙකින් සංසිඳුනේය. නකුල පිතෘ ගෘහපතිතෙමේ ඒ ආබාධයෙන් නැගිට්ටේය. නකුල පිතෘ ගෘහපතියාගේ ඒ ආබාධය එසේ සංසිඳුනේය. ඉක්බිත්තෙන් නකුල පිතෘ ගෘහපති තෙමේ ආබාධයෙන් නැගිට ටික කලකින් ගිලන් බව නිසා සැරයටියක් ආධාරකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

 

4. එකත්පසෙක හුන්නාවූ නකුල පිතෘ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “ගෘහපතිය, ඔබට ලාභයක් විය. ඔබ යහපත් දැකීමක් ලබන ලදී. තොපගේ යම්බඳු නකුල මාතෘ ගෘහපතිනියක් ඇද්ද, ඇය අනුකම්පා ඇත්තීය. වැඩ කැමැත්තීය. අවවාද දෙන්නීය. අනුශාසනා කරන්නීය. ගෘහපතිය, යම්බඳුවූ මාගේ ගිහිවූ සුදු වස්ත්‍ර හඳින්නාවූ, අභ්‍යන්තර චිත්ත සමථය ඇත්තාවූ, ශ්‍රාවිකාවෝ වෙද්ද, ඔවුනතුරෙන් ඇය එක්තරා ශ්‍රාවිකාවකි. ගෘහපතිය, ගිහිවූ සුදු වස්ත්‍ර හඳින්නාවූ, මේ ශාසනයෙහි බැසගත්තාවූ, සැනසීම් ඇත්තාවූ, තරණය කළ විචිකිච්ඡාව ඇත්තාවූ, වෙන්වූ සැක ඇත්තාවූ, විශාරදත්‍වය ඇත්තාවූ, උසස් ගුණ විශෙෂයන් ඇත්තාවූ, යම්තාක් ශ්‍රාවිකාවෝ වෙද්ද, නකුල මාතෘ ගාහපතිනිය ඔවුනතුරෙන් එක්තරා ශ්‍රාවිකාවකි. ගෘහපතිය, ඔබට ලාභයක් විය. ඔබ යහපත් දැකීමක් ලබන ලදී. තොපගේ යම්බඳු නකුල මාතෘ ගෘහපතිනියක් ඇද්ද, ඇය අනුකම්පා ඇත්තීය. වැඩ කැමැත්තීය. අවවාද දෙන්නීය. අනුශාසනා කරන්නීය.”

 

17. අචිරපබ්බජිත සූත්‍රය

 
1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණි සේක. පැමිණ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද. සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද, සවස් කාලයෙහි විවේකයෙන් නැගිටියාහු උපස්ථාන ශාලාව යම් තැනකද, එතැන්හි පැමිණියහ.

 

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේරෑ බොහෝ වේලාවක් වැඩ හිඳීමෙන් කාලය ගෙවා අස්නෙන් නැගිට විහාරයට වැඩිසේක. ඒ ආයුෂ්මතුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගිට ස්වල්ප වේලාවකින්ම වැඩ වසන තැන්වලට වැඩියහ. එහි නවකවූ, පැවිදිව වැඩි කලක් නැති, මේ ශාසනයට අළුතෙන් පැමිණි යම් ඒ භික්‍ෂූහු වූවාහුද, උන්වහන්සේලා හිරු නැගෙනතුරුම ගොරවමින් නිදාගත්හ. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූ දිවැසින් හිරු නැගෙනතෙක් ගොරවමින් නිදාගන්නාවූ ඒ භික්‍ෂූන් දැක, උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණි සේක. පැමිණ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ඇමතූ සේක.

 

3. “මහණෙනි, ශාරීපුත්‍රයන් වහන්සේ කොහිද ? මොග්ගල්ලානයන් වහන්සේ කොහිද ? මහා කාශ්‍යපයන් වහන්සේ කොහිද ? මහා කච්චායනයන් වහන්සේ කොහිද ? මහා කොට්ඨිතයන් වහන්සේ කොහිද ? මහා චුන්‍දයන් වහන්සේ කොහිද ? මහා කප්පිනයන් වහන්සේ කොහිද ? අනුරුද්ධයන් වහන්සේ කොහිද ? රේවතයන් වහන්සේ කොහිද ? ආනන්‍දයන් වහන්සේ කොහිද ? මහණෙනි, ඒ ස්ථවිර ශ්‍රාවකයෝ කොහි ගියාහුද ?”

 

4. “ස්වාමීනි, ඒ ආයුෂමතුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම වැඩ වසන තැන්වලට වැඩියහ.”

 

“මහණෙනි, කවර හෙයකින් ස්ථවිරවූද, නවකවූද, යුෂ්මත්හු හිරු නැගෙන තෙක් ගොරවමින් නිදා ගත්තහුද? මහණෙනි, එය කුමකැයි සිතන්නහුද? අභිෂෙක ලත් ක්‍ෂත්‍රිය රජතෙම ඇතිතාක් නිදාගැන්මෙහි සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් දිවි ඇතිතාක් වාසය කරන්නේ, රාජ්‍යයට හෝ ජනපදයට හෝ ප්‍රියවූයේ, මනාපවූයේදැයි යුෂ්මතුන් දැක තිබේද ? අසා තිබේද ?”

 

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

5. “මහණෙනි, යහපති. අභිෂෙකලත් ක්‍ෂත්‍රිය රජතෙම ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් දිවි ඇතිතාක් රාජ්‍යය කරන්නේ, රාජ්‍යයට හෝ ජනපදයට හෝ ප්‍රියවූයේ, මනාපවූයේදැයි මා විසින්ද නොදක්නා ලදී. නොඅසන ලදී. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? පියාගේ උරුමය ඇති, රටවල් අධිපතියෙක්. සේනාපතියෙක්, ගම් සමූහයක අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි යුෂමතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

 

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

6. “මහණෙනි, යහපති. ගම් සමූහයකට අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයකට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි මා විසින්ද දැක නැත. අසා නැත. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද අනුව යෙදුනේ, ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇත්තේ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නේ, නිදි දුරලීමේ නොයෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශෙෂයෙන් නොදක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි නොයෙදුනේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාශ්‍රවවූ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේයයි යුෂ්මතුන් දැක තිබේද ? අසා තිබේද ?”

 

“ස්වාමීනි, දැක නැත. අසා නැත.”

 

7. “මහණෙනි, මා විසින්ද ගම් සමූහයකට අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයකට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි මා විසින්ද දැක නැත. අසා නැත. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද අනුව යෙදුනේ, ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇත්තේ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නේ, නිදි දුරලීමේ නොයෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශෙෂයෙන් නොදක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි නොයෙදුනේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාශ්‍රවවූ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේයයි නොදක්නා ලදී. නොඅසන ලදී.

 

8. මහණෙනි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. ‘ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෝ වන්නෙමු. භෝජනයෙහි ප්‍රමාණය දන්නේ, නිදි දුරලීමෙහි යෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශේෂයෙන් දක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි යෙදුනේ වාසය කරන්නෙමු’ යි මහණෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි. 

18. මච්ඡඛන්ධ සූත්‍රය

 
1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංඝයා සමග කොසොල් රට චාරිකා වෙහි හැසිරෙන සේක. දුර මගට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයක මසුන් මර මරා විකුණනු ලබන මසුන් අල්ලන්නෙකු දැකි සේක්මය. දැක මගින් ඉවත්ව එක්තරා රුක් මුලක පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.

 

2. “මහණෙනි, අර මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නා යුෂ්මත්හු දැක්කහුද ?”

“එසේය, ස්වාමීනි.”

 

3. “මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

4. “මහණෙනි, යහපති. මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. නොඅසන ලදී. එයට හේතු කවරේද ? මහණෙනි, හෙතෙම මසුන් මරණ කල්හි මැරීමට ගන්නාවූ මසුන් දෙස පාපිවු සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවේ.

 

5. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

6. “මහණෙනි, යහපති, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම ගවයන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ ගවයන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.

 

7. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? බැටලුවන් මරා විකුණනු ලබන බැටළුවන් මරන්නෙක් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

8. “මහණෙනි, යහපති, බැටලුවන් මරා විකුණනු ලබන බැටලුවන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම බැටලුවන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ බැටලුවන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.

 

9. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, ඌරන් මරා විකුණන සූකරිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

10. “මහණෙනි, යහපති, ඌරන් මරා විකුණන සූකරිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම ඌරන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ ඌරන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.

 

11. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, පක්‍ෂීන් මරා විකුණන සාකුන්තිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

12. “මහණෙනි, යහපති, පක්‍ෂීන් මරා විකුණන සාකුන්තිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම පක්‍ෂීන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ පක්‍ෂීන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.

 

13. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, මුවන් මරා විකුණන මෘගවිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?”

“ස්වාමීනි, එය දැක නැත. අසා නැත.”

 

14. “මහණෙනි, යහපති, මුවන් මරා විකුණනු ලබන මෘගවිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම මුවන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ මුවන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.

 

15. යම් මනෂ්‍යවූවකු මැරීමේදී මරණයට ඉදිරිපත් කරන්නා දෙස පාපීවූ සිතින් බලාද, (එයින් ඇතිවන විපාකය) කියනුම කවරේද ? මහණෙනි, එය වනාහි ඔහුට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වෙයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති, නපුරු සේ වැටෙන නරකයෙහි උපදනේය.”
 

19. පඨම මරණසති සූත්‍රය

 
1. එක් සමයෙක්හි භාග්ය්වතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යඑවතුන් වහන්සේ භික්ෂූමන්ට ඇමතූ සේක. “මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.

 

2. මරණ සතිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්ඵල ඇත්තේ වේද ? මහානිශංස ඇත්තේ වේද, නිර්වාලණයට බැසගත්තේද, නිර්වාමණය කෙළවරකොට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දාවල් කාලය ඉක්මගිය කල්හි රාත්රි කාලයෙහි විවේකව හිඳ මෙසේ කල්පනා කරයි. මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්ප යකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්රකක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.

 

3. එහෙයින් මහණෙනි, භික්ෂු ව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ‘මාගේ ලාමකවූ, අප්රමහීනවූ, පාප ධර්මයයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා රාත්රිෙ කාලයෙහි කාලක්රි යා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.’

 

4. එහෙයින් මහණෙනි, භික්ෂු ව විසින් ඒ ලාමකවූ අකුශල ධර්මවයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්යාකයාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්රය ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය.

 

5. එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්මඒයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්යාමයාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්ෂු්තෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්මමයෝ නැත. එය ප්රමහීන නොවූයේ නම් රාත්රිැයෙහි කාලක්රියයා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්ෂුතව විසින් ඒ බලවත් ප්රීනතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්ඹනයන්හි හික්මීම කටයුතුයි.

 

6. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාත්රි ය ඉක්මගිය දවසෙහි විවේකව මෙසේ කල්පනා කරයි. ’මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්පෙයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්රනක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.’

 

7. එහෙයින් මහණෙනි, භික්ෂු ව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ‘මාගේ ලාමකවූ, අප්රරහීනවූ, පාප ධර්ම‍යෝ ඇත්තාහ. යම් හේතුවකින් මා දාවල් කාලයෙහි කාලක්රිටයා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.’

 

8. එහෙයින් මහණෙනි, භික්ෂුයව විසින් ඒ ලාමකවූ අකුශල ධර්මියන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්යා යාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්රය ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්රද හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය. එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්ම්යන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්යාරයාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්ෂු තෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්මීයෝ නැත. එය ප්රුහීන නොවූයේ නම් දවාලෙහි කාලක්රිනයා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්ෂුූව විසින් ඒ බලවත් ප්රීතතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්ඹහයන්හි හික්මීම කටයුතුයි.

 

9. මහණෙනි, මෙසේ වනාහි මරණ සතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.”

 

20. දුතිය මරණසති සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. මහණෙනි, “මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.

 

2. මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය.

“ස්වාමීනි, මම මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?“

 

3. “ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ‘මම රෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහි කරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”

 

4. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”

 

5. “ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. ´මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.´ ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”

 

6. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”

 

7. “ස්වාමීනි, මට මේ අදහස වෙයි. ‘මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් ඒ අතර කාලයෙහි එක් පිණ්ඩාහාරයක් වළඳමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’ මම මෙසේ මරණ සතිය වඩමි.”

 

8. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?

“ස්වාමීනි, මට මේ අදහස වෙයි. ´මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයක බත් පිඩු හතරක් පහක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.”

 

9. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”

“ස්වාමීනි, මට මේ අදහස වෙයි. ´මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි එක බත් පිඩුවක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.” යනුයි.

 

10. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”

“ආශ්වාසකොට ප්‍රශ්වාස කරමි. ප්‍රශ්වාසකොට ආශ්වාස කරමි.”

 

අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.” යනුයි.

“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?”

“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. ´මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.´ ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”

 

11. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙසේ වදාළ සේක.

“මහණෙනි, යම් මේ භික්‍ෂුවක් ‘මමරෑ දාවල් ජීවත් වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහි කරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය’යි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් මේ භික්‍ෂුවක් ‘මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ‘මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් ඒ අතර කාලයෙහි එක් පිණ්ඩාහාරයක් වළඳමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ‘මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි බත් පිඩු හතරක් පහක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි. මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, මේ භික්‍ෂූහු ප්‍රමාදව වාසය කරත්. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස මෝඩ මරණ සතිය වඩත්.

මහණෙනි, යම් භික්‍ෂුවක් ‘මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි එක බත් පිඩුවක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි. මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ‘මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් නම් ඒ අතර ආශ්වාසකොට ප්‍රශ්වාස කරමි. ප්‍රශ්වාසකොට ආශ්වාස කරමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි මරණ සතිය වඩාද, මහණෙනි, මේ භික්‍ෂූහු අප්‍රමාදව වාසය කරත්. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ඥානවන්තවූ මරණ සතිය වඩත්.

 

12. මහණෙනි, එබැවින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. ‘අප්‍රමාදව වාසය කරන්නෙමු. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ඥානවන්තවූ මරණ සතිය වඩන්නෙමු’ යි මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුතුයි.”