20.සුමඞ්ගල ථෙරාපදානය.

672 යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්‍රතිග්‍රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.

673 ඉක්බිති මහත් යසස් ඇති,  සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ,  තෙමේම සියල්ල අවබෝධ කළාවූ,  අග්‍රපුද්ගලවූ,  භාග්‍යවත්වු,  ප්‍රතිභා සම්පන්නවූ,  ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද,  සුය්‍ර්‍යයා මෙන් බබළන ලද,  වීථියට පිළිපන් පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

674 ඇඳිලි බැඳ,  ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.

675 ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.

676 පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස,  ඔබ වහන්සේට නමස්කාර වේවා.   පුරුෂොත්තමයන් වහන්ස,  ඔබ වහන්සේට නමස්කාර වේවා.   ඔබ පහයට නැගී,  සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.

677 දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ,  එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී,  උතුම් අසුනෙහි වැඩහුන් සේක.

678 ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද,  පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.

679 පහන් සිත් ඇත්තේ,  සතුටුවූයේ,  හටගත් සොම්නස් ඇත්තේ,  කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි.   බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චය්‍ර්‍යයි.

680 (එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආය්‍ර්‍ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ.   මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි.   මම (ඔබ වහන්සේ) සරණකොට යමි.

681 ලෝක ජ්‍යෙෂ්ඨවූ,  නර ශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

682 ඎජු ප්‍රතිපන්න,  තාදී ගුණ යත්,  සන්සුන් සංඝයාද,  තථාගතවූ බුදුරජාණන් වහන්සේද,  ඒ යමෙක් වැළඳවීද,  (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.

683 හෙතෙම සත් විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේයි.   පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.

684 හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය.   පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.

685 ව්‍යාඝ්‍රයන් විසින් සෙව්නා ලද,  මහා වනයට පිවිස, වීය්‍ර්‍යකොට මා විසින් කෙළෙස් දවන ලදී.

686 එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි.   ආහාර දානයාගේ මේ විපාකයයි.

687මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

19.සොපාක ථෙරාපදානය.

660 වනයෙහි උතුම් පර්‍වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.

661 මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක,  තාදී ගුණ ඇති,  ලෝකජ්‍යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.

662 සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්‍යභාවය වදාළ සේක.

663 ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ.   ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ.   ඉපදී නැතිවෙත්.   ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.

664 ලෝකජ්‍යෙෂ්ඨවූ,  නරශ්‍රේෂ්ඨවූ,  ප්‍රාඥවූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.

665 මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.

666 කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය – මනුෂ්‍ය සංඛ්‍යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.

667අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්‍ය නම් සාසනයෙහි පැවිදිවීමි.   උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.

668 අරඹූ වීය්‍ර්‍ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ,  ශීලයන්හි මැනවින් හික්මුනේ,  බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.

669 මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම්ද,  (ඉන්) දුගතියක් නොදනිමි.   මෙය පුෂ්පදානයාගේ විපාකයයි.

670 මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්‍රව ක්‍ෂයවිය.

671 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

18.රට්ඨපාල ථෙරාපදානය

646 ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති,  රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්‍ර යෙන් ශෝභමානවූ,  හස්ත්‍යාලංකාර සහිතවූ,   ඇත්ගොව්වෙකු සහිතවූ,  උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.

647 මම සූපණස් දහසක් ප්‍රාසාදයන්ද,  කරවීමි.   මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

648 මහාවීරවූ,  සියල්ල තෙමේම දැන වදාළාවූ,  අග්‍ර පුද්ගලවූ,  බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසු සේක.

649 පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක.   භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.

650 මෙතෙම සිව් පණස් දහසක් ප්‍රාසාදයන් කරවීය.   (එහි) විපාකය කියන්නෙමි.   (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

651 අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය.   උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්‍ණමයහ.

652 ශක්‍ර දේවේන්‍ද්‍රව පණස්වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   අට පණස් වරක් සක්විති රජ වන්නේය.

653 මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

654 කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  දෙව්ලොවින් චුතව,  එකෙණෙහි ආඪ්‍යවූ,  මහත් භෝග ඇති කුලයක උපදින්නේය.

655 කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  හෙතෙම පසුව පැවිදිව නමින් රට්ඨපාලයයි ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

656 වීය්‍ර්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ,  උපශාන්තවූ,  උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.

657 උත්‍ථාන වීය්‍ර්‍යයෙන් නැගිට අභිනිෂ්ක්‍රමණයකොට,  කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.

658 යෝගක්‍ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීය්‍ර්‍යයයි.   (මම මේ) සර්‍වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.

659 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

17. උපසෙන ථෙරාපදානය.

637 පර්‍වත පබ්හාරයක වැඩ හුන්නාවූ,  මනුෂ්‍යොත්තමවූ,  ලොක ජ්‍යෙෂ්ඨවූ,  නර ශ්‍රේෂ්ඨවූ,  (මම) ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමි.

638 එකල්හි මම මැවින් පිපුණු කිණිහිරි මලක් දැක,  නටුවෙන් කඩාගෙන,  ඒ මලින් ඡත්‍රය අලංකාරකොට,  බුදුරජාණන් වහන්සේට ඒ ඡත්‍රය නැගීමි.

639 සුන්‍දර භෝජන නම්වූ,  උතුම් ආහාරයවූ,  පිණ්ඩපාතයද දුනිමි.   එහි බුදුරජාණන් වහන්සේ නවවෙනිකොට ඇති ශ්‍රමණයන් අටනමක් වැළඳවීමි.

640 සියල්ල තෙමේම අවබෝධ කළාවූ,  අග්‍ර පුද්ගලවූ,  මහාවීරවූ (පදුමුත්තර) බුදුරජතෙම අනුමෝදනාව කෙළේය.   මෙම ඡත්‍ර දානයද,  උතුම් ආහාර දානයද,  හේතුකොටගෙන (ඇතිවූ) එම චිත්ත ප්‍රසාදයෙන් සම්පත් අනුභව කරන්නේය.   සතිස් වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.

641 එක් විසි වරක් සක්විති රජ වන්නේය.   මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරණ (වාර ගණන) සංඛ්‍යා පථාතික්‍රාන්තයි.

642 මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  ගොත්‍රයෙන් ගෞතම නම්වූ,  ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

643 (උන්වහන්සේගේ) සසුන බබලවන කල්හි මිනිසත් බවට පැමිණෙන්නේය.   උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදවූයේ,  ඖරස බුද්ධපුත්‍රවූයේ,  ධර්‍මයෙන්ම නිර්මිත කළාක් වැනිවූ,  නමින් උපසේන නම්වූ,  බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේයයි වදාළ සේක.

644 (මෙය) මාගේ අන්තිම ආත්මය වන්නේය.   සියළු භවයෝ සමූහනනය කරණ ලදහ.   සේනා සහිතවූ මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.

645 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

16.රාහුල ථෙරාපදානය.

619 මම ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී  ගුණ ඇති,  පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.

620 දෙපා ඇතියනට අග්‍රවූ,  මහා මුනිවූ,  ශ්‍රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ,  ගඳකිළියට එළඹි සේක.

621 දෙවියන්ට දෙවිවූ,  නර ශ්‍රේෂඨවූ,  ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ,  බික් සඟන මැද සිටියේ,  මෙම ගාථාවන් වදාළ සේක.

622 යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද,  කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද,  මම හේ (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි.   (එසේ) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.

623 ස්වර්‍ණමයවූද,  රජතමයවූද,  යලි වෙරළුමිණිමුවාවූද,  යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.

624 සූසැට වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.   අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.

625 එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ,  සතුරු රජුන් ජයගන්නා සුළුවූ,  විමල නම් සක්විති රජෙක් වන්නේය.

626 ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ.   (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ.   හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.

627 (එහි) උතුම්වූ කුලුගෙවලින් යුත්,  සත්රුවනින් අලංකාර කරණ ලද,  විශ්වකර්මයා විසින් නිර්මිත කරණ ලද,  සුදර්‍ශන නම් ප්‍රාසාදයක් විය.

628 (එය) දශවිධ ශබ්දයෙන් වෙන්නොවූ,  විද්‍යාධරයන්ගෙන් ගැවසීගත්,  දෙවියන්ගේ සුදර්‍ශන නගරය මෙන් වන්නේය.

629 එම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදාවන කල්හි විහිදේ.   එය නිරතුරුවම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේය.

630 කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  නමින් ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

631 හෙතෙම කුශල මූලයන් මෙහෙයන ලදුයේ,  තුෂිත පුරයෙන් චුතව,  ගෞතමයන් වහන්සේගේ ඒ ඖරස පුත්‍රයා වන්නේය.

632 හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේයි.   තාදී ගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණෙයි යන මේ කරුණ සිදුනොවන්නකි.   (හෙවත් සිදුවීමට කරුණ නැත්තකි.)

633 සුශික්‍ෂිතවූ (හෙතෙම) ගිහිගෙන් නික්ම නමින් ඒ රාහුල නම්වූ රහත් තෙම වන්නේයයි වදාළ සේක.

634 මහාමුනිවූ ගෞතම බුදුරජාණන් වහන්ස,  කිරල් ධෙනුව බිජුවට රකින්නාක් මෙන්ද,  සෙමරමුවා වලිගය රකින්නාක් මෙන්ද,  සීලය රකින්නේය.   ශීලයෙන් යුක්තවු මම (මැනවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.

635 මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය දැන,  සසුනෙහි ඇළුනේ වෙසෙමි.   සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන,  හැරදමා,  ආශ්‍රව රහිතව වෙසෙමි.

636 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

15.පිළින්දවච්ඡ ථෙරාපදානය

606 ලෝකනාථවූ,  අග්‍ර පුද්ගලවූ,  සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති,  සොම්නස්වූ මම ස්ථූප පූජාවක් කෙළෙමි.

607  යම් ෂඩභිඥාවූ,  මහා ඎද්ධි ඇති,  ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහුද) මම උන්වහන්සේලා එහි රැස්කරවා සංඝදානයක් කෙළෙමි. (දුනිමි.)

608 එකල්හි සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් විය.   නමින් සුමේධ නම්වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේය.

609 එම (ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ) චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි.   අසුහය දහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.

610 එම අපසරාවෝ සියලු කාමයන් කරණකොටගෙන මා අනුවම පවතිත්.   අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවීමි.  මේ (ස්ථූප පූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකයයි.

611 මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති වරුණ නම් සක්විති රජෙක් වීමි.

612 ඒ මනුෂ්‍යයෝ බිජුවට නොවපුරත්.   නගුල් (සී සෑම් වශයෙන්) නොපමුණුවත්.   අරණ්‍යයෙහි අකෘෂ්ට භූමි භාගයන්හි තෙමේම හටගත් හැල් අනුභව කෙරෙත්.

613 මම එහි රාජ්‍යයකොට,  නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි.   එකල්හිද මට මෙබඳුමවූ භෝග සම්පත්ති තොමෝ උපන්නීය.

614 මිතුරුවූ හෝ,  පසමිතුරුවූ හෝ,  සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්.   සියලු දෙනාම ප්‍රිය වෙමි.   මෙය (ස්ථූප පූජා) පුණ්‍ය කර්‍මයාගේ විපාකයයි.

615 මින් එක් දහස් තිස්වන කල්පයෙහිවූ එකල මම යම් දනක් දුනිම්ද,  (ඉන්) දුගතියක් නොදනිමි.   (ස්ථූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (සුවඳ ගැල්වීමෙහි) මේ ඵලයයි.

616 මේ භද්‍ර කල්පයෙහි මම ජනාධිපතිවූ,  මහානුභාව ඇති,  මහත්බල ඇති,  එක් සක්විති රජෙක් වීමි.

617 ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා,  සුගතියටම පමුණුවා,  දෙවියනට ප්‍රියවීමි.

618 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

14.චුල්ල පන්ථක ථෙරාපදානය.

586 එකල්හි පූජාවන් පිළිගන්නාවූ හෙවත් පූජාවනට ගෙයක් බඳුවූ ඒ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගණ(සමූහ)යා කෙරෙන් වෙන්වූයේ හිමවතෙහි විසූ සේක.

587 එකල්හි මම හිමවගෙහි අසපුවක වෙසෙමි.   පැමිණි නොබෝ කල් ඇති,  ලෝක නායකවූ,  මහා වීරයන් (බුදුරජාණන්) වහන්සේ වෙත එළඹියෙමි.

588 මල් කූඩයක් ගෙන නර ශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි.   මම සමාධියට සමවන් උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකෙළෙමි.

589 මම දෑතින් ගෙන මල් සැත දුනිමි.   උන්වහන්සේ එය පිළිගත් සේක.

590 සතුටුවූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්.   පසැස් ඇති බුදුරජතෙම අනුමෝදනා කරන්නේයයි සාධුකාර පැවැත්වූහ.

591 ඒ දෙවිවරු මෙය කියා අහසෙහි දරන්නාවූ උතුම්වූ සියුම් සැක ඇති නරශ්‍රෙෂ්ඨයන් (බුදුන්) වහන්සේ වෙත එළඹියාහුය.

592 (මේ තවුස් තෙමේ) සියුම් සැතක් ගෙන මට දුන්නේය.   ඔහු පිළිබඳව මම (කරුණු) ප්‍රකාශ කරමි.   (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

593 (මෙතෙම) පස් විසි වසරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   සූතිස් වරක් සක්විති රජද වන්නේය.

5්‍ර4ග ´´(මෙතෙම) දිව්‍යවූ හෝ,  මනුෂ්‍යවූ හෝ,  යම් යම් යෝනියක සැරිසරාද,  අභ්‍යවකාහයෙහි (එලිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක් මෙන්) දරන්නේය.

595 කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ,  නම්න් ගෞතම නම් වූ,  ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

596 (උන් වහන්සේ) පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේය.   මනොමයවූ ශරීර නිර්මාණයෙහි අග්‍රද වන්නේය.

597 සොහොයුරන් දෙදෙනෙක් වන්නාහුය.   දෙදෙනම පන්ථක නම් වන්නාහුය.  උත්තමාත්‍ර්‍ථයවූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුළුවන්නාහුය.

598 ඒ මම අටළොස් වියැත්තේ,  අනගාය්‍ර්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි.   මම ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විශේෂයක් (ධර්‍මාවබෝධය) නොවිඳිමි.

599 මාගේ ගතිය (ස්වභාවය) අන්‍ධ (මෝඩ) විය.   පෙර දුකින් මඩනා ලද්දේ විය.   දැන් ස්වකීය ගෘහයට යවයි කියා මාගේ සොහොයුරාද මා පන්නා දැමීය.

600 පන්නා හරින ලද ඒ මම සඟරම දොරටුවෙහි (නැවතී) දොම්නස්වූයේ,  පැවිදි බැව්හි බලාපොරොත්තු සහිතවූයේ,  එහි සිටියෙමි.

601 ඉක්බිති ශාස්තෘතෙම එහි පැමිණියේය.   මාගේ හිස පිරිමැද්දේය.   මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවිය.

602 මෙසේ පිරිසිදු (මෙය ගැන) එකත්පසෙක හිඳ මනාකොට ඉටුවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම රෙදි කඩක් දුන්නේය.

603 මම එය ගෙන පියුම සිහි කෙළෙමි.   එහි (පියුමෙහි) මාගේ සිත (නැවතී රහත් බැවින්) මිදුනේය.   රහත්බවට පැමිණියෙමි.

604 සියලු තන්හි මනොමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ,  සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකළේ,  ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි.

605 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුල්ල පන්ථක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

13 නන්‍ද ථෙරාපදානය.

578 ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති,  සියල්ල තෙමේම අවබෝධ කර ගත්තාවූ,  මහර්ෂිවූ,  පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු වස්ත්‍රයක් පුදන ලදී.

579  ඒ (වස්ත්‍ර දායකවූ) මට පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.   ´´ඔබ මේ වස්ත්‍ර දානය කරණකොටගෙන ස්වර්‍ණ වර්‍ණ වන්නෙහිය.

580 (දිව්‍ය මනුෂ්‍ය නම්වූ) ද්විවිධ සම්පත් අනුභවකොට කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ,  ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බාල සොහොයුරු වන්නේය.

581 ක්ලේශ කාමයෙන් ඇළුනේ (කාය-චිත්ත සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තේ) වස්තු කාමයෙහි ගිජුවීමෙහි යෙදුනේ,  බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙයන ලදුයේ,  ශාන්තවූයේ,  ඔබ එකල්හි පැවිදි වන්නෙහිය.

582  ඔබ එහි පැවිදිව,  කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ,  සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන,  හැර දැමූ ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නෙහිය´´ (කියායි.)

583  (මින්) කල්ප ලක්‍ෂයකට පෙර එක් දහස් සත්වන කපෙහි වෙල නම්වු සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.   එක් දහස් සැට වන කල්පයෙහි (සිව් ජාතියක) උපවෙල නම් වූ සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.

584 එක් දහස් පස්වන කපෙහි වෙල නමින්ම (සක්විති) රජවරු සිව් දෙනෙක් වූහ.   (ඔවුහු) සත් රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපතියෝ වූහ.

585 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

12.එකත්‍ථම්භක ථෙරාපදානය

464 සිද්ධාත්‍ර්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ උපාසක සමූහයා විය.   ඔවුහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.

465 (ඒ) සියල්ලෝ එකතුව මන්ත්‍රණයකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන ශාලාවක් කෙරෙත්.   (ඒ සඳහා) එක් ටැඹක් නොලබන්නාහු මහ වෙනෙහි සොයත්.

466 මම ඒ උවසු සමූහයා වනයෙහිදී දැක,  (එම) සමූහයා වෙත එළඹ,  ඇඳිලි බැඳගෙන,  උවසු සමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.

467 මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ.   අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු.   (ඒ සඳහා) එක් ටැඹක් නොලබාය කියායි.

478 එක් ටැඹ මම දෙමි.   මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි.   මම ටැඹ ගෙන එන්නෙමි.   තෙපි (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා.

479  පැහැදුනාවූ,  සතුටු සිත් ඇති,  ඔවුහු මට ටැඹ පැවරූහ.   එම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහයනට පැමිණියාහුය.

470 (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින්,  මම ටැඹක් දුනිමි.   එකල්හි සතුටුවූ මම සතුටු සිතින් (එය) පළමුකොටම එසවීමි.

471 එය චිත්තප්‍රසාදය හේතුකොටගෙන පැන නැගුනාවූ,  උස්වූ,  මහල් සියයක් ඇති,  මාගේ විමානයට,  මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.

472 එකල්හි බෙර වයද්දී මම (දෙව් පිරිස) පිරිවරමි.   (ඉන්) පස් පණස්වන කපෙහි යසෝධර නම් රජෙක් වීමි.
473එහිද,  මට මහල් සියයක් ඇති,  උඩට නැගුණු උතුම් කුළු ගෙවලින් යුත්,  එක් ටැම් ඇති,  මනහරවූ භවනයක් විය.

474 එක් විසිවන කල්පයෙහි උදෙන නම් ක්‍ෂත්‍රියයෙක් විය.   එහිදී මට සියයක් මහල් ඇති,  උස්ව පැන නැංගාවූ,  භවනයක් විය.

475 යම් යම් දිව්‍ය හෝ,  මනුෂ්‍යවූ හෝ යෝනියක උපදිම්ද,  සියලු සුව අනුභව කරමි.   මෙය එක් ටැඹ පිදීමේ විපාකයයි.

476 මින් අනූවන කපෙහි එකල යම් ටැඹෙක් දුනිම්ද,  (එහෙයින්) දුගතියක් නොදනිමි.  එක් ටැඹ පිදීමේ මේ විපාකයයි.

477  මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකත්‍ථම්භක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________