691 හිමවතට නුදුරෙහි නිසභ නම් පර්වතයකි. (එහි) මට අසපුවක් කරණ ලදී. පන්සලක්ද මැනවින් නිර්මිත කරණ ලදී.
692 (මම එහි) උග්රවූ තපස් ඇති ´’කොසිය´´ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම නිසභ පර්වතයෙහි එකලාව දෙවැන්නෙක් නොමැතිව වසමි.
693 එකල්හි මම පලමුල් කොළ (ගස්වලින් නෙලාගෙන) අනුභව නොකරමි. එකෙණෙහි ස්වයංපතිත පඬුවන් පත් (අනුභවකොට) ජීවත් වෙමි.
694 මම ජීවිතය හැර දමන්නේ නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදී ආහාර සෙවීමෙන්) කොප්ය නොකරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ටතාවන්ගෙන්) පහදවමි. (වෙදකම්, දූතකම් ආදී එක්විසි) අනේසනයන් දුරුකරමි.
695 යම් කලෙක්හි රාගයෙන් යුක්තවූ සිතක් මට උපදීනම් (එකල්හි) තෙමේම ප්රත්යවේක්ෂා කරමි. එකඟවූ සිත් ඇත්තේ ඒ මම එම (රාගී) අදහස මෙසේ අවවාද කර ගනිමින් දමනය කරමි. කෙසේද යත්?
696 තෝ ඇලුම් කටයුතු දෙයෙහි ඇලෙහිද, ෙවෂ කටයුතු දෙයෙහි ෙවෂ කෙරෙහිද, මුළාවියුතු දැයෙහි මුළාවෙහිද (එසේ නම්) වනයෙන් නික්ම යව.
697 මේ (අරණ්‍ය) වාසය පිරිසිදුවූ, නිර්මල තපොගුණ ඇතියනටය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නොකරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.
698 ගිහිව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහිය. (ගිහිබව හා පැවිදිබව යන) දෙකම වරද්දා නොගනුව. වනයෙන් නික්ම යව.
699 සොහොන් පෙනෙල්ල යම් සේ කිසි කටයුත්තකට නොයොදාද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (දර) යයි සම්මත නොවේද (එසේම)
700 තෝ සෙහොන් පෙනෙල්ලක් වැනි වෙහිය. ගිහියෙක් නොවේ, පැවිද්දෙක්ද නොවේ. ගිහි පැවිදි දෙපසින්ම මිදුනේ වෙහිය. අදම වනයෙන් නික්ම යව.
701 තාගේ මෙබඳු ගතියක් වෙහි නම් මෙය කවරෙක් දනීද, මාගේ ශ්‍රද්ධා දුරය දුරු කෙරෙයි නම් (එය) කුසීත බව වැඩිවීම පිණිසද පවතී.
702 නුවර වැසියන් අසූචි පිළිකුල් කරන්නාක් මෙන් නුවණැත්තෝ තා පිළිකුල් කරන්නාහුයි. ඎෂීහු තා ඇද දමා හැමකල්හි චෝදනා කරන්නාහුය.
703 නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහුය. නුවණැත්තන්ගේ සහවාසය නොලබන්නාවූ තෝ කෙසේ ජීවත් වන්නෙහිද?
704 බලවත් ඇත් රජෙක් තෙම ත්‍රිමද ගලිතවූ, මෘතඞ්ග හස්ති කුලයෙහි ජාතවූ, උපන් සැටවස් ඉක්ම ගිය මහ ඇතෙකු එළඹ ඇත් රැළෙන් බැහැර කෙරෙයි නම්,
705 ඇත් රැළෙන් බැහැරවූ එම ඇතා ලොකු සුවයක් නොවිඳී. දුක්ඛිතව දොම්නස් වේ. ලතවෙමින් වෙවුලයි.
706 එසේම ජටාධර තවුසෝ අඥානවූ ඔහු (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත කය දෙකින්ම) සුවයක් නොලබන්නෙහිය.
707 දිවා කල්හිද, යලි රාත්‍රියෙහිද, හැමදා ශෝක නමැති හුල ඇත්තේය. ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිළාහයෙන් දැවෙහිය.
708 යම් සේ ස්වර්ණය කිසිතැනෙක්හි යකුළ නොදවාද, එසේම සීලයෙන් තොරවූ තෝ කිසි තැනෙක්හි ධ්‍යාන නොකරන්නෙහිය.
709 තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහිද, තට මව සතුවූ හෝ, පියා සතුවූ තැන්පත්කොට තබන ලද ධනයක් නැත.
710 සිරුරෙහි ඩහ වගුරුවමින්, තෙමේම කර්මාන්තකොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහිය. තට එය රිසි නොවේ නම් මැනවි.
711 මෙසේ මම එහිදී කිළිටිබවට ගිය සිත වලක්වමි. නොයෙක් ධර්ම කථා කියා පවින් සිත වැළකීමි.
712 නොපමාව වෙසෙන සුළුවූ මෙසේ වනයෙහි වසනා මට හවුරුදු තික් දහසක් ඉක්ම ගියහ.
713 උත්තාමාත්ර්ථයවූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇළුනු මා දැක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.
714 (රන්) තිඹිරි ගෙයක වර්ණයට බඳු පැහැ ඇති, පමණ කොනළ හැකි ගුණ ඇති, උපමා විෂයාතික්‍රාන්තවූ, රූපයෙන් අසදෘෂවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
715 මැනවින් පිපුණු මහ සල් රුකක් මෙන්ද, වැසි වළාකුළු අතරෙහිවූ විදුලියක් මෙන්ද, නුවණින් අසදෘශවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
716 අභීතවූ සිංහ රාජයෙකු මෙන්ද, දර්පිතවූ ඇත් රජෙකු මෙන්ද, ලංවිය නොහැකි ව්යාඝ්ර රාජයෙකු මෙන්ද (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
717 (දිව්‍ය ස්වර්ණයනටද වඩා ශ්‍රේෂ්ඨ) සිංගී නම් ස්වර්ණ නිෂ්කයේ (කළන් විස් හෝ විසිපහ නිෂ්කයයි) පැහැයට බඳු පැහැ ඇති, කිහිරඟුරු මෙන් (දිලිසෙන්නාවූ) ජොතිරස නම් මැණික මෙන්වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
718නිර්මල කෛලාශය වැනිවූ, පූර්ණ චන්ද්‍රයා වැනිවූ, මධ්‍යාහ්නයෙහි සූය්‍ර්‍යයා වැනිවූ (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
719 (මම) එකල්හි අහසෙහි සක්මන් කරන්නාවූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි. මේ සත්ත්වතෙම දෙවියෙක්ද, නැතහොත් මේ තෙමේ මනුෂ්‍යයෙක්ද?
720 මා විසින් පොළවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් (තෙම) නොඅසන ලදී. (එසේම) නොදක්නා ලදී. මන්ත්‍ර පදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේය (කියායි.)
721 එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල්ද, සුවඳද රැස්කොට,
722 මල් අසුනක් පණවා, යහපත් සිත් ඇති, මනොඥවූ, පුරුෂයන් දමණය කිරීමෙහි රියසැරි (සාරථී) යෙකු වැනියනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේට මෙම වචනය කීමි.
723 වීරයන් වහන්ස, මා විසින් මේ අසුන ඔබ වහන්සේට සුදුසුකොට පණවන ලදී. මාගේ සිත සතුටු කරමින් මල් අසුනෙහි වැඩ හිඳිනු මැනව (කියායි.)
724 භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ රෑ දාවල් සතක් (සතියක්) මුළුල්ලෙහි අභීත කේශර සිංහ රාජයෙකු මෙන් එම මල් අසුනෙහි වැඩහුන් සේක.
725 මමද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝකයෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තරවූ ශාස්තෘන් වහන්සේ සමාධියෙන් නැගිට,
726 මාගේ කර්මය ප්‍රකාශ කරණ සේක්, මෙම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ, බුද්ධානුස්සති භාවනාව වඩයි.
727 මෙම බුද්ධානුස්සතිය වඩා අද්ධ්යාශය සම්පූර්ණ කරන්නෙහිය. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහිය.
728 ශක්‍ර දේවේන්ද්රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය. දහස් වරක් සක්විති රජ වන්නේය.
729 (තමා ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙපමණයයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. එම සියල්ල ඔබ අනුභව කරන්නෙහිය. (මෙය) බුද්Ȁdධානුස්මෘතියෙහි පලයයි.
730 කුදුමහත් භවයෙහි හැසිරෙන්නේ මහත්වූ භෝග සම්පත් ලබන්නෙහිය. ඔබගේ (ඒ) භෝග සම්පත්තියෙහි අඩුවක් (නම්) නැත. මේ බුද්ධානුස්මෘතියෙහි පලයයි.
731 කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙන් උපන්නාවූ, නමින් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
732 අසූකෙළක් (ධනයද) බොහෝ දස් කම්කරුවන්ද හැරදමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහිය.
733 ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නමින් සුභූති නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
734 (ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ) භික්ෂු සංඝයා මැද වැඩහිඳ, ඒ සුභූති තෙරුන් දක්ෂිණෙය්ය ගුණයෙහිද, අරණ්‍ය විහාරයෙහිද යන අග්‍ර සභා දෙකෙහි නංවන්නේය.
735 ප්‍රාඥවූ දීපඞ්කර නමැති බුදුරජාණන් වහන්සේ මෙම වචනය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගාහ.
736 ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැමකල්හි සතුටුවූයේ උතුම්වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.
737 මැනවින් කරණ ලද එම කර්මයන් හා චිත්ත ප්‍රණිධීන්ද කරණ කොට ගෙන මම මනුෂ්‍ය ශරීරය හැර දමා තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.
738 මම ශක්‍ර දේවේන්ද්රව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස් වරක් සක්විති රජ වීමි.
739 මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ලැබූ වාර ගනන මෙතෙකැයි) ගණනින් ගිනිය නොහැකිය. උතුම් සැපත අනුභව කරමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.
740 මම කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, මහත්වූ භොග සම්පත් ලබමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුවෙක් නම් නැත. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයි.
741 මින් කල්ප ලක්ෂයකින් පෙරවූ එම කාලයෙහි යම් කර්මයක් කෙළෙම්ද (එබැවින්) දුගතියක් නොදනිමි. බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.
742 මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________