36. යථාගතාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත දමාද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

35. අනුකම්පකාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.

2. ´´කවර පසකින්ද යත්? පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ´ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය´ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ වේද, නොයෙක් නොරට වැසි භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ´ඇවැත්නි, මහා භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක්  වෙන රටවල වැසි භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කල් වේය´ යි සැළ කෙරේද, රූක්‍ෂවූ හෝ ප්‍රණිතවූ හෝ යම් භෝජනයක් වනාහි මොහුට දෙද්ද, එය තෙමේ වළඳාද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත නොදමාද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.

34. බහුපකාරාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.

2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, කැඩුම් බිඳුම් ප්‍රතිසංස්කරණය කෙරේද, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේ වේද, නොයෙක් පිට රට භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ´ඇවැත්නි, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් පිට රට භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කාලය´ යි සැළ කෙරේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.

33. ආවාස සෝභණ සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි.

2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අත්‍ර්‍ථ හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්තවූවෙක් වේද, ලඟට පැමිණෙන්නෙකු දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට සමත්‍ර්‍ථයෙක් වේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි.

32. පිය මනාපාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

2. ´´කවර පසකින්ද යත්? සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුත වූයේ ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තෙක් වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අත්‍ර්‍ථය හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, උතුම් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ, චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරේද යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

31. අභාවනියා වාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

2. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්‍රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, යහපත් වචන නැත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ නොවේද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්‍රාඥයෙක් වේද යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

5. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයෙන් යුක්ත වූයේ, වත් සම්පන්නයෙක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නෙක් වේද, සැහැල්ලු බැව් ඇත්තේ, විවේකයෙහි ඇලුනෙක් වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ වේද, ජඩ නොවූ, කෙළ තොලු නොවූ ප්‍රඥා ඇත්තෙක් වේද යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

30. දුතිය කණ්හසප්ප සූත්‍රය

1. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහි වේ යන පසයි.´´

3. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි දෝෂ පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහි වේ.

´´මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්‍රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්‍රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්‍රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්‍රියගේ මිත්‍ර ද්‍රෝහී බව වේ යන පසයි.´´

6. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

( 23 වන දීඝචාරිකා වර්‍ගය නිමි. )

__________

29. පඨම කණ්හසප්ප සූත්‍රය

1. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්, අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහිවේ යන පසයි.´´

3. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්, අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහිවේ යන පසයි.´´

6. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

28. උස්සූරභත්ත සූත්‍රය

1. ´´මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්‍රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන් වැළකුණාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි නොපුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ අසතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එපමණකින්ම නුසුදුසු කාලයෙහි අනුභව කරණ ලදීද, ඕජාව පතුරුවන්ට නොහැකිවේ යන පසයි.

3. ´´මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුගයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. එක වේලේ බත් ඇති, රාත්‍රි භෝජනයෙන් වැළකුණාවූ, විකල් බොජුනෙන් තොරවූ යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ සතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එතෙකින්ම සුදුසු කාලයෙහි අනුභව කරණ ලද්ද, ඕජාව පතුරුවන්ට හැකිවේ යන පසයි.´´

6. ´´මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.

27. භොගාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? සම්පත් ගින්න හා සාධාරණ වෙත්. සම්පත් ජලය හා සාධාරණ වෙත්. සම්පත් රජුන් හා සාධාරණ වෙත්. සම්පත් සොරුන් හා සාධාරණ වෙත්. සම්පත් අප්‍රියවූ දායාදයන් හා සාධාරණ වෙත්. යන පසයි.

3. ´´මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.

4. ´´මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? භෝගයන් හෙවත් සම්පත් නිසා තමන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරවයි. පිනවයි. මනාව සැපසේ

පරිහරණය කරයි. අඹුදරුවන්ද, දැසිදස් කම්කරු පුරුෂයන්ද සුවපත් කරවයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු භවයන්හි උතුම් විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ දක්‍ෂිණාව පිහිටුවයි යන පසයි.´´

6. ´´මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.