1. ආළවිකා සූත්‍රය

1. ආළවිකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි ආළවිකා මෙහෙණිය හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියාය. සැවැත්නුවරෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ තැනැත්තී, විවේකය කැමැත්තී, අන්‍ධවනය කරා පැමිණියාය.

3. එකල්හි පාපී මාරයා ආළවිකා මෙහෙණියට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ, විවේකයෙන් තොරකරනු කැමැත්තේ. ආළවිකා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ආළවිකා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය:

´´ලොවෙහි එතරවීමෙක් පැමිණ නැත. විවේකයෙන් කවර වැඩක් සිදුකරගන්නෙහිද? කම් සැප විඳුව, එසේ නොකොට පසුතැවෙන්නියක් නොවව.´´

4. එවිට ආළවිකා මෙහෙණියට මෙසේ අදහස්විය. ´මේ ගාථාව කීයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?´

5. ඉක්බිති ආලවිකා මෙහෙණියට, ´මේ පාපීවූ මාරයා මට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, විවේකයෙන් තොරකරනු කැමැතිව ගාථාව කීයේය´ යි සිත්විය.

6. ඉක්බිති ආලවිකා මෙහෙණිය මේ පාපීවූ මාරයායයි දැන ඔහුට ගාථාවලින් මෙසේ පෙරළා කීවේය:

´´ලොවෙහි එතරවීමක් ඇත. මවිසින් එය නුවණින් දැනගන්නාලදී පමාවූවන්ගේ නෑ වූ පවිට, තෝ ඒ නිවන හෝ නිවන්මග නොදන්නෙහිය.

´´පස්කම් ආයුධ හුල් බඳුය. පඤචස්කන්‍ධය ඔවුන්ට මස් ලොඹු ( මස් කපන කොටය ) බඳුය. තෝ ඒ කාමයෙහි ඇලීමක් කීයෙහිද, එය මට නොඇල්මක් විය.

7. එවිට පවිටු මාරතෙම ´ආළවිකා මෙහෙණී මා දනීය´ යි දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්විය.

__________

අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය

5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) මහණෙනි, පෙරවූ දැයෙක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටුකරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:
´´ක්‍රෝධය තෙම තොප නොමඩීවා. කිපෙන්නන් කෙරෙහි ක්‍රෝධ නොකිරීම හා අවිහිංසාව ආය්‍ර්‍යයන් කෙරෙහි හැම කල්හිම පවතී. තවද ක්‍රෝධය තෙම පර්‍වතයක් මෙන් පාපී ජනයා සම්පූර්‍ණයෙන් මඩී.´´
සක්කපඤචකයයි.
එකොළොස්වෙනි සංයුත්තය නිමියේය.

අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය

4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී.
 
3. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පස්ව උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ: ´´ස්වාමීනි, මෙහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් කීය. ඒ භික්‍ෂුතෙමේ ඒ නොපිළිගනී.´ යි (කීහ.)

4. ´´මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. යමෙක් වරද වරද වශයෙන් නොදකීද, යමෙක් වරද කියන්නහු සුදුස්සේ නොපිළිගනීද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ වෙත්.

5. ´´මහණෙනි, මේ දෙදෙනෙක් පණ්ඩිතයෝ වෙති. යමෙක් වරද වරද වශයෙන් දකීද, යමෙක් වරද කීවිට ඒ සුදුස්සේ පිළිගනීද, මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙති.

6. ´´මහණෙනි, පෙර වූවක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මාසභායේ තව්තිසා වැසි දෙවියන් සතුටු කරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:´´ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා. මිතුරන් කෙරෙහි තොපගේ කළකිරීමෙක් නොවේවා. නොගැරහියයුතු පුද්ගලයාට නොගරහව්, කේළාම් නොකියව්, තවද ක්‍රෝධයතෙම පර්‍වතයක් මෙන් පවිටු (ළාමක) ජනයා හාත්පසින් මැඩලයි.

මායා සූත්‍රය

3. මායා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ) ´´මහණෙනි, පෙර වූවක් කියමි. වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ විය.

3. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුවදුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා වෙත ගියේය.

4. ´´මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ශක්‍රදේවේන්‍ද්‍රයා තමා වෙතට එනබව දුරදීම දුටුවේය. දැක ශක්‍රදේවේන්‍ද්‍රයාට ´´ දේවේන්‍ද්‍රය, මට වෙදකම් කරව´ යි කීය.

5. ´´ ´වේපචිත්තිය, මට සම්බරී මායාව උගන්ව´ යි (ශක්‍රයා කීය).

6. ´´නිදුකාණනි, මම යම්තාක් අසුරයන්ගෙන් නොඅසම්ද ඒතාක් මම තට (ඒ මායාව) නොකියමි´ යි (වේපචිත්ති කීය).
 
7. ´´මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ´පින්වතුනි, මම ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව කියම්´ දැයි අසුරයන්ගෙන් ඇසීය.
 
8. ´´ ´ නිදුකාණනි, නුඹ ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව නොකියව´ යි (අසුරයෝ කීහ.).

9. ´´මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය:
´´මඝ නම් ශක්‍රයෙනි, සුජම්පතියෙනි, දේවේන්‍ද්‍රයෙනි, මායාකාර ජනතෙම සම්බර නම් අසුරිඳු මෙන් අවුරුදු සියයක් පැසෙන්නාවූ දරුණු නිරයට පැමිණේ.´´

දුඛණ්ණීය සූත්‍රය

2. දුඛණ්ණීය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දුවර්‍ණවූ, මිටිවූ, එක්තරා යකෙක් ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේ විය.

3. ´´මහණෙනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ´බලව, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මේ දුර්‍වණවූ, මිටිවූ යක්‍ෂයා ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේය.´ යි ඔහු තුච්ඡකොට සිතත්. පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඔහු යම් පමණ ළාමක කොට සිතත්ද, කියත්ද, ඒ ඒ කැන කතාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක්‍ෂයා රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි.

4. ´´මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ ශක්‍රදේවේන්‍ද්‍රයා යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ කීය: ´ නිදුකාණනි, මෙහි දුර්‍වර්‍ණවූ මිටිවූ යකෙක් ඔබවහන්සේගේ අස්නෙහි හුන්නේය. නිදුකාණනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ´බලව, ඒකාන්තයෙන් පුදුමයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්‍වර්‍ණවූ, මිටිවූ මේ යක් තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේය´ යි ඒ තුච්ඡකොට සිතත්, පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, නිදුකාණනි, තව්තිසා වැසි දෙවියෝ ඒ යම් පමණ තුච්ඡකොට සිතත්ද, පිළිකුල්කොට සිතත්ද, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක් තෙම රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි, නිදුකාණනි, ඒ යක්‍ෂකෙම වනාහි ක්‍රෝධය නිසා යැපෙන්නේ වන්නේය.

5. ´´මහණෙනි, ඉක්බිතිව ශක්‍රදේවේන්‍ද්‍රතෙම ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්‍ෂයා යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, උතුරුසළුව ඒකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ගසා ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්‍ෂයා වෙත ඇඳිලි බැඳ නමස්කාරකොට ´නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි. නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි.´ යි තුන්වරක් නම ප්‍රකාශ කෙළේය.

6. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රතෙම යම්තාක් නම ප්‍රකාශකරයිද ඒ තාක්ම ඒ යක්තෙම වඩා දුර්‍වර්‍ණද වඩා මිටිද විය. වඩාත් අවලක්‍ෂණද එමෙන්ම වඩාත් මිටිද වී, එහිම අතුරුදහන් වීය.

7. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම ස්වකීය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සනසන්නේ ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:´´මම වනාහි නොපෙළුනු සිත් ඇත්තේ වෙමි. ක්‍රෝධ නමැති දිය සුළියෙන් පහසුවෙන් ගෙනයා නොහෙමි. මම බොහෝ වේලාවකින් නොකිපෙමි. ක්‍රෝධය තෙම මා කෙරෙහි නොපිහිටයි. මම (කිපී කලද) රළු බස් නොකියමි. දහම් බස්ද පවසමි. ආත්මාත්‍ර්‍ථය මොනවට දක්නා මම තමහට අතිශයින් නිගාකරමි.´´

ඣත්‍වා සූත්‍රය

1. ඣත්‍වා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

3. එකත්පස්ව සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය:´´ගෞතමයන් වහන්ස, (සත්ත්‍වතෙම) කුමක් නසා සුවසේ නිදාගනීද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය රුචිකරන සේක්ද?´´

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´වාසවය, ක්‍රෝධය නසා (සත්ත්‍වතෙම) සුවසේ නිදාගැනීම කෙරේ. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ,විෂ මුල් ඇති, (ක්‍රෝධ කරනවිට සතුටු ඇති බැවින්) මිහිරි කරටිය ඇති, ක්‍රෝධය නැසීම ආය්‍ර්‍යයෝ ප්‍රශංසා කරත්. යම් හේතුවකින් ඒ ක්‍රෝධය නසා ශෝක නොකෙරේද (එහෙයිනි).´´

10. දෙවෙනි කෝකාලික සූත්‍රය

10. දෙවෙනි කෝකාලික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.´´

2. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළසේක: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

3. දෙවනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´

4. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

5. තුන්වෙනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´

6. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙය කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

7. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට ගියේය. එසේගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්‍ෂුවගේ සකල ශරීරය අබැට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව බෙලි පමණ විය. බෙලි පමණව ගැහුනේය. සැරවද ලේද වැගිරිණි.

8. ඉක්බිති කෝකාලික භික්‍ෂුව ඒ ලෙඩින්ම මැරුණේය. මැරුණාවූ කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.

9. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ශරීර ආලෝකයෙන් ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත්හු වැඳ එකතපසෙක සිටියේය. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. මැරී සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නරකයෙහි උපන්නේය.´´ සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්‍ෂූන්ට කථාකළසේක. ´´මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ජේතවනය ශරීර ආලෝකයෙන් බබුළුවා මම යම් තැනෙකද එතැනට

පැමිණියේය. පැමිණ, මා වැඳ එකතපස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි බ්‍රහ්මතෙම මට මෙය කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. ස්වාමීනි, මැරී කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයට උත්පත්තිය වශයෙන් පැමිණියේය.´´ මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.´´

11. මෙසේ කීකල එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය: ´´ස්වාමීනි, පදුම නිරයෙහි ආයුෂ කොපමණ දිගද?´´ ´´මහණෙනි, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය දිග්මය, වර්‍ෂ මෙපමණැයි හෝ ශත වර්‍ෂ මෙපමණැයි හෝ සහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සතසහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සංඛ්‍යා කිරීමට පහසු නොවේ.´´

12. ´´ස්වාමීනි, උපමා කළ හැකිද?´´

13. ´´හැකිය මහණෙනි´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ´´ මහණෙනි, යම්සේ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් (දෝන තුන්සිය විස්සක් ) ඇති තල කරත්තයක් වේ නම් එයින් පුරුෂයෙක් වර්‍ෂ සියයක් හෝ දාහක් අවෑමෙන් එක් තල ඇටයක් බැගින් ඉවත දමන්නේනම් මහණෙනි, ඒ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් ඇති තල කරත්තය ඉතා ඉක්මනින් මේ අයුරින් ගෙවීමෙන් අවසානයට යන්නේය, එහෙත් එතරම් ඉක්මනින් එක අර්බුද නරකයෙක ආයුෂ නොගෙවෙන්නේමය. මහණෙනි, අර්බුද නරකයට අයත් කාල ප්‍රමාණයෙන් විසි ගුණයෙන් නිරර්බුද නරකයෙහි එක් කාලයෙකි. මහණෙනි, නිරබ්බුද නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් අබබ නරකයෙහි එක් කාලයෙකි.මහණෙනි, අබබ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් අටට නරකයට අයත් කාලයෙකි. මහණෙනි, අටට නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙන් එක් අහහ නරකයට අයත් කාලයකි. මහණෙනි, අහහ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් කුමුදු නරකයට අයත් කාලයෙකි.

මහණෙනි, කුමුදු නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් සෝගන්‍ධික කාලයෙකි. මහණෙනි, සෝගන්‍ධික නරක ප්‍රමාණයෙන් විංශති ගුණයෙක් එක් උප්පල නරකයට අයත් කාලයෙකි. මහණෙනි, උප්පල නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක පුණ්ඩරීක නරකයට අයත් කාලයෙකි. මහණෙනි, පුණ්ඩරීක නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් පදුම නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ උපන්නේ පදුම නිරයෙහිය.´´

14. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා ඉක්බිතිව මෙසේද වදාළසේක:

´´ මෙලොව උපන් තැනැත්තාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල දුර්ජනතෙම ඒ කෙටේරියෙන් තමාම වනසයි.

´´ යමෙක් නින්‍දා කටයුත්තාට ප්‍රශංසාද, ප්‍රශංසා කටයුත්තාට නින්‍දා හෝ කෙරේද, හෙතෙම මුඛයෙන් අපරාධ රැස් කර ගනී ඒ අපරාධ කරණකොට සුවයක් නම් නොවිඳී.

´´ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත්ව ගිය පුද්ගලයන් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි ( ඊට වඩා ) ඉතා විශාලවූ අපරාධයයි.

´´ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආය්‍ර්‍යයන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උප්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද අර්බුද පසෙක්ද වේ.´´

ප්‍රථම වර්‍ගයයි.

__________

(තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය

10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´
´
4. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි කීවේය.

5. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාය්‍ර්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

6. ´´කුණු සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ වනාහි ඔබවහන්සේ වඳනාහ. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.´´වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.´

7. ´´ ´මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?) ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.´´ ´(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්. යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.´´ ´උන්වහන්සේ යහපත්ලෙස කියන කථා ඇතියහ, ධෛය්‍ර්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.) ´´ ´විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්ධයහ. ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ. ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.) මාතලිය, මම උන්වහන්සේ වඳිමි.
´
8. ´´(මාතලී මෙසේ කීය: ) සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද, ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´
 
9. ´´මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.´´

දෙවෙනි වර්‍ගයයි.

(දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය

9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදවා උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´´
 
3. ´´ මාතලී රථාචාය්‍ර්‍යයා ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි සැලකෙළේය.

4. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භාග්‍යවතුන් නැමඳීය. මහණෙනි, මාතලී රථාචාය්‍ර්‍යතෙම එවිට ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.´´වාසව නම්වූ සක්දෙවිඳුනි, දෙවියෝද මිනිස්සුද යම් හේතුවකින් ඔබට වඳනාහුද, සක්දෙව් රජාණනි, යම් කෙනෙකුන්ට ඔබ වඳනෙහිද ඒ සත්ත්‍වතෙම කවරෙක් නම් වෙයිද?

5. ´´ශක්‍රතෙම මෙසේ කීය. මාතලිය, දෙවියන් සහිතවූ මේ ලෝකයෙහි යම් සම්‍යක් සම්බුදු කෙනෙක් වෙත්ද, අතිශ්‍රේෂ්ඨවූ ඒ ශාස්තෲන් වහන්සේ මම වඳිමි.´´යම් කෙනෙකුන්ගේ රාගයත් ෙවෂයත් මෝහයත් දුරුවූයේද, ක්‍ෂයකරණ ලද ආශ්‍රවයන් ඇත්තාහුද, පිදීමට සුදුසු වෙත්ද, මාතලිය, මම ඒ (රහතුන්) වඳිමි.මාතලිය, යම් කෙනෙක් රාගෙවෂයන් දුරු කිරීමෙන්, අවිද්‍යාව ඉක්මවීමෙන් නිවන්මගට පිළිපන්නාහු සසර නැසීමෙහි ඇලුනාහු, අප්‍රමාදවූවාහු පිළිවෙලින් හික්මෙත්ද, ඔවුන් වඳිමි.

6. ´´(මාතලී මෙසේ කීය.) සක්දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳින්නෙහිද, (ඔවුහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසවයෙනි, (නුඹවහන්සේ) යම් කෙනෙකුන්ට වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´´
 
7. ´´ මේ වචනය කියා මඝ යන නම් ඇති, දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.

(පළමුවන) සක්ක නමස්සන සූත්‍රය

8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට කථා කෙළේය. ´යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදව. උයන් සිරි දකිනු පිණිස උද්‍යාන භූමියට යමු.´´

3. ´´ මහණෙනි, මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´ එසේ යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. ගමනට සුදුසු කල් දනුව´ යි සැලකෙළේය.

4. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම වෛජයන්ත ප්‍රාසාදයෙන් බස්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන් වැන්දේය.

5. ´´ මහනෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම (ඒ දැක) ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.´´වේදත්‍රය හදාරන්නාවූ සියලු පොළෝතලවාසීහුද, ක්‍ෂත්‍රියයෝද, සතරවරම් මහරජහුද, පිරිවර (සෙසු) දෙවියෝද, ඔබට වඳිති. සක්දෙවිඳුනි, පිරිවර සහිතවූ යමෙකුට ඔබවහන්සේ වඳනෙහිද, ඒ තෙමේ කිනම් (යකෙක්ද?)

6. ´´වෙදත්‍රය පාරප්‍රාප්තවූ පෘථිවිතලවාසීවූ සියල්ලෝද, ක්‍ෂත්‍රියයෝද, සිවුවරම් මහරජදරුවෝද, පරිවාර සම්පන්නවූ සෙසු දෙවියෝද මට වඳිත්.´´ඒ මමද ශීලයෙන් සමෘද්ධවූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟකළ සිත් ඇති, (දිවිහිමියෙන්) බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි යෙදී වසන්නාවූ පැවිද්දන් සකසා වඳිමි.´´පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.´´
 
7. ´´(මාතලී මෙසේ කීය:) සක්දෙවිඳුනි, යමකුන්ට නුඹවහනුසේ වඳිනෙහිද (ඔහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසව නම්වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳිනෙහිද මමත් ඔවුන් වඳිමි´ යි.

8. ´´මෙසේ කියා මඝ යන නම් ඇත්තාවූ, දෙව් ලොව දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුහිතෘවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම (සතර දිසාවන් හා සතර අනු දිසාවන්) වැඳ දෙවියන් අභිමුඛයෙහි දිව්‍ය රථයට නැංගේය.´´