01. උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු. “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ,

2. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

3. කිනම් කරුණු සයකින්ද යත් මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම;

I) ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

II) කණින් ශබ්දයක් අසා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

III) නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

IV) දිවෙන් රසයක් විඳ සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

V) ශරීරයෙන් ස්පර්‍ශයක් දැනී සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

VI) මනසා ධම්මං විඤ්ඤා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,

4. මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”

5. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

02. ඡලභිඤ්ඤාහුණෙය්‍ය සූත්‍රය

1. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

2. කවර සයකින්ද යත් මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම;

I) නානා ප්‍රකාර ඉර්ධි කොටස් පවත්වයි. **ඔහු නොයෙක් අයුරු ඇති සෘඬිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිඳ ගෙනම යයි. මේ මහත් සෘඬි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

II) ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්ධයන් අසයි.

III) ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. ලෞකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. (ක්ලේෂයෙන් ) මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.

IV) හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

V) හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය යයි දනියි. **

VI) කෙලෙසුන් ක්‍ෂයවීමෙන් කෙලෙසුන් නැති අර්හත් ඵල සමාධියටද, අර්හත් ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.

3. මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”

(**මෙම ඡේද metta.lk න් වෙනස් කොට කියවීම පහසු වන ආකාරයට දක්වා ඇත. නමුත් අර්ථයට හානියක් වී නොමැත.)

03. ආහුණෙයියින්ද්‍රීය සූත්‍රය

1. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

2. කිනම් සයකින්ද යත්,

I) අධිපති ශ්‍රද්ධාවෙන්,

II) අධිපති වීය්‍ර්‍යයෙන්,

III) අධිපති සිහියෙන්,

IV) අධිපති සමාධියෙන්,

V) අධිපති ප්‍රඥාවෙන්,

VI) කෙලෙස් ක්‍ෂය කිරීමෙන්, (කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ)

වාසය කරයි.

3. මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”

04. ආහුණෙය්‍ය බල සූත්‍රය

1. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

2. කිනම් සයකින්ද යත්,

I) බලවත් ශ්‍රද්ධාවෙන්,

II) බලවත් වීය්‍ර්‍යයෙන්,

III) බලවත් සිහියෙන්,

IV) බලවත් සමාධියෙන්,

V) බලවත් ප්‍රඥාවෙන්,

VI) කෙලෙස් ක්‍ෂය කිරීමෙන්, (කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ)

වාසය කරයි.

3. මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”

05. වණ්ණජානීය සූත්‍රය

1. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.

2. කවර සයකින්ද යත් මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම

I) රූප ඉවසන්නේ වේද,

II) ශබ්ද ඉවසන්නේ වේද,

III) ගන්‍ධ ඉවසන්නේ වේද,

IV) රස ඉවසන්නේ වේද,

V) ස්පර්‍ශ ඉවසන්නේ වේද,

VI) ලක්ෂණයෙන් යුක්ත වේද,

3. මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.”

4. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

**කිනම් කරුණු සයකින්ද යත් මහණ තෙම,

I) රෑප

II) ශබ්ද

III) ගන්ධ

IV) රස

V) ඵොට්ඨබ්බ(ශරීරයට දැනෙන)

VI) ධම්ම (මනසට දැනෙන)

ඉවසයි.**

5. මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.” **

(**මෙම ඡේද metta.lk හි සිහල පරිවර්තනයෙහි දක්වා නොමැත. අර්ථය පැහැදිලිවන ආකාරයට  එහි ඉංග්‍රීසි පරිවර්තනයෙන් ගෙන කරැණු දක්වා ඇත)

06. බලාජානීය සූත්‍රය

1. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.

2. කවර සයකින්ද යත් මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම

I) රූප ඉවසන්නේ වේද,

II) ශබ්ද ඉවසන්නේ වේද,

III) ගන්‍ධ ඉවසන්නේ වේද,

IV) රස ඉවසන්නේ වේද,

V) ස්පර්‍ශ ඉවසන්නේ වේද,

VI) බලයෙන් යුක්ත වේද,

3. මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.”

** “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

කිනම් කරුණු සයකින්ද යත් මහණ තෙම,

I) රෑප

II) ශබ්ද

III) ගන්ධ

IV) රස

V) ඵොට්ඨබ්බ(ශරීරයට දැනෙන)

VI) ධම්ම (මනසට දැනෙන)

ඉවසයි.

මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.” **

(**මෙම ඡේද metta.lk හි සිහල පරිවර්තනයෙහි දක්වා නොමැත. අර්ථය පැහැදිලිවන ආකාරයට  එහි ඉංග්‍රීසි පරිවර්තනයෙන් ගෙන කරැණු දක්වා ඇත)

07. ජවාජානීය සූත්‍රය

1. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.

2. කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම

I) රූප ඉවසන්නේ වේද,

II) ශබ්ද ඉවසන්නේ වේද,

III) ගන්‍ධ ඉවසන්නේ වේද,

IV) රස ඉවසන්නේ වේද,

V) ස්පර්‍ශ ඉවසන්නේ වේද,

VI) වේගයෙන් යුක්ත වේද,

3. මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.”

** “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

කිනම් කරුණු සයකින්ද යත් මහණ තෙම,

I) රෑප

II) ශබ්ද

III) ගන්ධ

IV) රස

V) ඵොට්ඨබ්බ(ශරීරයට දැනෙන)

VI) ධම්ම (මනසට දැනෙන)

ඉවසයි.

මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.” **

(**මෙම ඡේද metta.lk හි සිහල පරිවර්තනයෙහි දක්වා නොමැත. අර්ථය පැහැදිලිවන ආකාරයට  එහි ඉංග්‍රීසි පරිවර්තනයෙන් ගෙන කරැණු දක්වා ඇත)

08. සංඛිත්තානුත්තරිය සූත්‍රය

1. “මහණෙනි, ශ්‍රෙෂ්ඨ ධර්‍ම සයක් වෙත්.

2. කිනම් සයක්ද යත්,

I) ශ්‍රෙෂ්ඨ දැකීම,

II) ශ්‍රෙෂ්ඨ ඇසීම,

III) ශ්‍රෙෂ්ඨ ලාභය,

IV) ශ්‍රෙෂ්ඨ හික්මීම,

V) ශ්‍රෙෂ්ඨ වත් පිලිවෙත්,

VI) ශ්‍රෙෂ්ඨ සිහිය

යන සයයි.

3. මහණෙනි, ශ්‍රෙෂ්ඨ ධර්‍ම සයක් වෙත්.”

09. අනුස්සතිඨාන සූත්‍රය

1. “මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.

2. කිනම් සයක්ද යත්,

I) බුදුන් අරමුණුකොට ඇති සිහිය,

II) ධර්‍මය අරමුණුකොට ඇතිවන සිහිය,

III) සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය,

IV) ශීලය අරමුණුකොට ඇතිවන සිහිය,

V) පරිත්‍යාගය අරමුණුකොට ඇතිවන සිහිය,

VI) දේවතාවන් ශාක්‍ෂි වශයෙන් තබා ඇතිවන සිහිය,

යනුයි.

3. මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.”

10. මහානාම ආගතඵල සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක උන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට,

“ස්වාමීනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් ඒ ආය්‍ර්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කෙරේදැ” යි ඇසූයේය.

2. “මහානාමයෙනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් මේ ආය්‍ර්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම මෙහි පහත පෙන්වන විසීමෙන් වැඩි වශයෙන් වාසය කරයි.

මහානාමය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි.

3. මහානාමය, යම් කාලයක ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ බුද්‍රුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.

4. මහානාමය, නැවතද ආය්‍ර්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.

5. මහානාමය, යම් කලෙක්හි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි.

6. මහානාමය, නැවතද ආය්‍ර්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.

7. මහානාමය, නැවතද ආය්‍ර්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි.

8. මහානාමය, නැවතද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි.

9. මහානාමය, නැවතද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ‘චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්ධාවක් විද්‍යමාන වේ.’ මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආය්‍ර්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රෝධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.

10. මහානාමය, පැමිණි මාර්ගඵල ඇති දැනගත් බුද්ධ ශාසනය ඇති, යම් ඒ ආය්‍ර්‍ය හ්‍රාවකයෙක් වේද, හෙතෙම මේ විහරණයෙන් වැඩි වශයෙන් වාසය කරයි.” යයි වදාළ සේක.