10. කාරණ්ඩවනිධමන සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර, ගර්‍ගරා නම් පොකුණු තෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භික්‍ෂූහු, භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්. ඒ භික්‍ෂුව, භික්‍ෂූන් විසින් චෝදනා කරණු ලබන්නේ, වෙන වෙන කරුණු වලින් වරද වසා කථා කරත්. බාහිර කථා ගෙන හැර දක්වත්. කෝපයද, ෙවෂයද, විරුද්ධ කරුණුද පහළ කරත්.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´මහණෙනි, ඒ පුද්ගලයා පහ කරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහකරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහ කළ යුතුය. කිමෙක්ද? තොප විසින් අන්‍යවූ (බුද්ධ පුත්‍ර නුවූ) පුද්ගලයෙකු වෙහෙස කරණු ලබන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ (ඉරියව් වැනි) වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක්) ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.

3. ´´යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, (එකල්හි) ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ´මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි´ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.

4. ´´මහණෙනි, යම්සේ වනාහි සමෘද්ධවූ යව කෙතෙක් හි (හටගත්) යව බොල් කරන්නාවූ, කුණු කරන්නාවූ, යවදූෂී නම් රෝගය උපන්නේ නමුදු, (ඒ රෝගයට භාජනවූ) යව පැළයේ මුලද, නාලය හෙවත් කඳද, පත්‍රයද, (ඒ යව පැලය) පූදින තුරු අන්‍යවූ යහපත් යව පැල මෙන් දෘෂ්‍යමාන වන්නාහුද, ඒ යව පැලය පීදුනු තැන් පටන් එය යව බොල් කරන්නාවූ, යව කුණු කරන්නාවූ, යව දූෂී රෝගයට භාජනවූවකැයි දැන ගනිත්. ඒ (ගැන) එසේ දැන එය සහමුලින් උගුල්ලා යව කෙතින් පිටත දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් යව දුෂ්‍ය නොවේවා කියායි.

5. ´´මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ´මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි´ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.

6. ´´මහණෙනි, යම් සේ වනාහි මහත්වූ ධාන්‍ය රාශියක් පොළන කල්හි (හුලං ගස්වන කල්හි) එහි යම් කිසි දැඩිවූ, සාරවත්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයෝ එක් පසෙක රැස් වෙත්. යම් කිසි දුර්‍වලවූ, බොල්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයන් සුළඟින් එක් පසෙක විසුරුවත්. ධාන්‍ය හිමියෝ මුස්න (ඉදල) ගෙන ඒ බොල් වඩා ඈතට හැමද, (අතුගා) දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් ධාන්‍ය (ඒ බොල්වලින්) දූෂ්‍ය නොවේවා කියායි.

7. ´´මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ´මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි´ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.

8. ´´මහණෙනි, යම් සේ වනාහි දිය පීල්ලක් උවමනා කරන්නාවූ පුරුෂයෙක් තෙම, තියුණු කෙටේරියක් (පොරොවක්) ගෙන වනයට ප්‍රවිෂ්ට වන්නේ නම් හෙතෙම ඒ ඒ වෘක්‍ෂයට පොරෝවලින් තට්ටු කරයි. එහි ඒ පොරෝවලින් තට්ටු කරණ ලද යම් (කිසි) වෘක්‍ෂයෝ දැඩිද, සාරවත්ද, (අරටු සහිතද) ඒ වෘක්‍ෂයෝ කර්‍කශ (දැඩි) නාදය පිට කරත්. යම්කිසි වෘක්‍ෂයෝ ඇතුළත කුණුවූවාහුද, ඕජාව වැගිරෙන්නාහුද, දිරුම් සහිත වූවාහුද, ඒ වෘක්‍ෂයෝ පොරෝවලින් තට්ටු කරණලද්දාහු දෙදරුම් නාදය පිට නොකරත්. (ඔහු) ඒ දෙදරුම් නාදය පිටකළ වෘක්‍ෂය මුලින් සිඳියි. (කපයි.) මුල සිඳ, අග සිඳියි. අග සිඳ, ඇතුලත යහපත්ව ශුද්ධ කොට දිය පීල්ලට යොදයි.

9. ´´මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්‍ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්‍ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්‍ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්‍ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ´මේ පුද්ගලයා භික්‍ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්‍රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි´ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්‍ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.

1. ´´සමග විසීමෙන් (මොහු) පවිටු අදහස් ඇත්තේයයිද, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේයයිද, ගුණමකුයයිද, අවවාදයට නොනැමෙනසුලුයයිද, යුග ග්‍රාහ ලක්‍ෂණවූ එකට එක කරන්නෙක්යයිද, ඊෂ්‍ර්‍යයා කරන්නෙක්යයිද, මසුරෙක්යයිද, හොරෙක්යයිද, දැනගනිව්.

2. ´´මහජනයා මධ්‍යයෙහි සාන්ත වචන පවසමින් ශ්‍රමණයෙක් මෙන් කථා කරයි. රහසිගතව පාප කර්‍ම කරයි. ලාමකවූ දෘෂ්ටි ඇත්තේ වෙයි. (ශික්‍ෂාරක්‍ෂණය පිළිබඳව) ආදර රහිත වෙයි. (ආකුල වචන සහිතව) වෙවුලමින් බොරු පවසයි.

3. ´´මෙබඳුවූ පුද්ගලයා තත්ත්‍වාකාරයෙන් දැන සියලු සිල්වත් භික්‍ෂූහු සමගිව ඔහු (ගැන) කලකිරෙව්. ඒ ශ්‍රමණ කසලයා පහකරවු. ඒ ශ්‍රමණ කුණ දුරු කරව්. අශ්‍රමණවූ, ශ්‍රමණ මානීවු බොල් මහණුන් පාකර හරිවු. පවිටුවූ ආචාර ගෝචරයෙන් යුක්තවූ, ලාමක අදහස් ඇත්තාවූ (භික්‍ෂූන්) පහකොට ශුද්ධ වූවාහු ශුද්ධවූ භික්‍ෂූන් සමග සමගි සම්පන්නව වාසය කරවු. ඉක්බිති සමගිවූ, ප්‍රඥාවන්තවූ (තෙපි) දුක් කෙළවර කරවු.´´

9. නන්‍ද බ්‍රහ්ම චරිය සූත්‍රය

1. ´´මහණෙනි, නන්‍දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) ඡාතිකුල පුත්‍රයෙක් යයි ප්‍රකාශ කරන්නේය. නන්‍දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) කාය බලය ඇත්තෙක් යයි ප්‍රකාශ කරන්නේය. යහපත්ව ප්‍රකාශ කරන්නෙක් රූප සම්පත්තියෙන් ප්‍රසාද උපදවන්නෙක්යයි ප්‍රකාශ කරන්නේය, යහපත්ව ප්‍රකාශ කරන්නෙක් බලවත් රාග ඇත්තේයයි ප්‍රකාශ කරන්නේය,

2. ´´මහණෙනි, ඒ කූමකැයි හඟිවූ ද? නන්‍දයා චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් පිළිබඳව වසන ලද දොර ඇත්තේ වෙයි. හෙවත් ඉන්‍ද්‍රිය සංවරශීලයෙන් යුක්ත වෙයි. භෝඡනයෙහි පමණ දන්නේය. නිදි වර්ඡනය කිරීමෙහි යෙදුනේය, සියලු ඉරියව්වෙහි සිහියෙන් යුක්තව ක්‍රියා කරන්නේය, යම්බඳු මේ ගුණ දහම් කරණකොටගෙන, සම්පූර්‍ණවූ පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නන්‍දයා සමත්‍ර්‍ථවෙයි.

3. ´´මහණෙනි, ඒ කියන ලද ගුණදහම් අතුරෙන් මෙය නන්‍දයාගේ ඉන්‍ද්‍රිය සංවරය වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයාට පූර්‍ව දිශාව බැලියයුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා පූර්‍ව දිශාව බලයි-(කෙසේද?) ´පූර්‍ව දිශාව බලන්නාවූ මට මෙපරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි´

4. ´´මහණෙනි ඉදින් නන්‍දයාට බටහිරදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා බටහිර දිග බලයි. ´බටහිරදිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි´ උතුරුදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා උතුරුදිග බලයි. උතුරු දිශාව බලන්නා වූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි´
දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.´

5. ´´දකුණු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා දකුණු දිග බලයි. ´´දකුණු දිග බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.´ උඩ දිශාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා උඩ දිසාව බලයි. ´´උඩ දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.´ යට දිසාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා යට දිසාව බලයි. ´´යට දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි´

6. ´´ අනු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා අනු දිග බලයි. ´´මෙසේ අනු දිග බලන්නාවූ මට විෂම ලෝභ, දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද
නොගන්නාහුය´ යි බලයි. මෙපරිද්දෙන් එහි සම්‍යක් ප්‍රඥාවෙන් යෙදුනේ වෙයි. ´´මහණෙනි, මෙය නන්‍දයාගේ ඉන්‍ද්‍රිය සංවරය පිණිස වෙයි.

7. ´´මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයා නුවණින් සලකා ආහාරය වළඳයි. (කෙසේද?) ´මම මේ ආහාරය ක්‍රීඩා පිණිස නොවළඳමි. මද වැඩීම පිණිස නොවළඳමි. අලඞ්කාරය පිණිස නොවළඳමි. සැරැසීම පිණිස නොවළඳමි. යම්තාක් මේ ශරීරයාගේ චිරස්ථිතිය වේද, ඒ පිණිස වළඳමි. අවිහිංසාවෙහි ඇලීම සඳහා වළඳමි. ශාසන බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිස වළඳමි. මෙසේ මේ වැළඳීමෙන් පුරාණ බඩගිනි වේදනාව නසන්නෙමි. (පමණට වඩා වැළඳීමෙන්) අමුතු වේදනාවක්ද නූපදවන්නෙමි. මේ වැළදීම මාගේ ජීවිතය ගෙන යාම සඳහා යාත්‍රාවක්ද වන්නේය. නිවැරදිද වන්නේය. පාසු විහරණය පිණිසද වන්නේය,´ යනුය. මහණෙනි, මෙය නන්‍දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි.

8. ´´මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ නිදි වර්ජිත කිරීම පිළිබඳව වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයා දහවල් කාලය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මැදුම් යම (ශරීරයෙහි) දකුණු පාර්‍ශවය යට කොට, ඎජුවූ දකුණු පාදය මතුයෙහි වම් පාදය ස්වල්පයක් උඩට ඇද තබා, සිහියෙන් යුක්තව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, ´අළුයම නැගී සිටිමි´ යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් සිංහසෙය්‍යාවෙන් සයනය කෙරෙයි. රාත්‍රියෙහි පැසුළුයම – (අළුයම) නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරන ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙය නන්‍දයාගේ නිදිවර්ජිත කිරීම පිළිබඳ වෙයි.

9. ´´මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ සම්‍යක් සිහිය පිළිබඳ වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයාට තත්ත්‍වය අවබෝධ වන ලද්දාවූම
වේදනාවෝ උපදිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ එළඹ සිටිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මෙය නන්‍දයාගේ සම්‍යක් සිහිය පිළබඳ වෙයි.

10. ´´මහණෙනි, නන්‍දයා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තය. භෝජනයෙහි පමණ දන්නේය. නිදි දුරු කිරීමෙහි යෙදුනේය. සම්‍යක් සිහියෙන් යුක්තයයි, මෙයට වඩා කුමක්ද? යම් හෙයකින් නන්‍දයා සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට (සිතන්නේද?) එය හැකිවෙයි.´´

8. මහිස වත්‍ථු (උත්තර) සූත්‍රය

1. එක් සමයෙක්හි ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් වූ පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ, ´´ඇවැත්නි, මහණෙනි,´´ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

2. ´´ඇවැත්නි, මහණෙනි ! භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.´´

3. එසමයෙහි වනාහි වෙසමුනි මහ රජ්ජුරුවෝ කිසියම් කටයුත්තක් සඳහා උතුරු දිශාවේ සිට දකුණු දෙසට යයි. වෙසමුනි මහ රජ තුමා (එසේ යන අතර) ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්‍ෂූන්ට ´´ඇවැත්නි, මහණෙනි! භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.´´ යයි මෙසේ දේශනා කරන්නාවූ ධර්ම ඇසුවේ්ය.

4. ඉන්පසු වෙසමුනි මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුද්ගලයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ (නමන්නේ) යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙන් අතුරුදන්ව, තව්තිසා දෙව්ලොව දෙවියන් අතර පහළ වූයේය. ඉන්පසු වෙසමුනි මහ රජ තුමා, සක්දෙව් මහ රජ තුමා යම් තැනකද, එතැනට පැමිනියේය. පැමිණ, සක් දෙව් මහ රජහට මෙසේ ප්‍රකාශ කළේය.

5. ´´නිදුකාණෙනි, මේ බව දන්නෙහිද? උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්‍ෂූන්ට මෙබඳු ධර්මයක් දේශනා කරයි. (කෙබඳු ධර්මයක්ද යත්), ´´ඇවැත්නි, මහණෙනි! භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.´´

6. ඉක්බිති සක්දෙව් මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් තව්තිසා දෙව්ලොව දෙවියන් අතරින් අතුරුදන්ව, මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්‍වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි ආයුෂ්මත් උත්තර තෙරණුවන්ගේ ඉදිරියෙහි පහළ වූයේය.

7. ඉක්බිති සක්දෙව් මහ රජ තුමා ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ට මනාකොට වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක්හි සිටියාවු සක්දෙව් රජ තුමා ආයුෂ්මත් උත්තර තෙරණුවන්ට මෙසේ ප්‍රකාශ කෙළේය.

8. ´´ස්වාමීනි, ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ භික්‍ෂූන්ට ´´ඇවැත්නි, මහණෙනි! භික්‍ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්‍ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.´´ මෙබඳුවූ ධර්මයක් දේශනා කෙළේය යනු සැබෑද?´´

9. ´´එසේය, දේවේන්‍ද්‍රය.´´ – ´´කිමෙක්ද, ස්වාමීනි, මේ ධර්මය ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ටම අවබෝධවූ ධර්මයක්ද? නැතහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවක්ද?´´

´´එසේ ව්ී නම් දේවේන්‍ද්‍රය, මම ඔබට උපමාවක් කරන්නෙමි. උදාහරණයෙනුදු මෙලොව ඇතැම් නැණවත් පුරුෂයෝ වචනයෙහි අත්‍ර්‍ථය දැන ගනිත්.

´´දේවේන්‍ද්‍රය, යම් සේ වනාහි, ගමකට හෝ නියම් ගමකට නුදුරු තන්හි මහත්වූ ධාන්‍ය රාශියක් වූයේද, ඒ ධන්‍ය රාශියෙන් මහජනයා නයිනුදු, පෙට්ටි වලිනුදු, ඔඩොක්කුවෙනුදු, ඇඟිලි වලිනුදු ධාන්‍ය ගෙන යන්නේය. දේවේන්ද්‍රය, යම්කිසිවෙක් වනාහි ඒ මහඡනයා වෙත පැමිණ මේ ධාන්‍ය කොතැනින් ගෙන එන්නේදැයි මෙසේ විචාරන්නේ නම් දේවේන්ද්‍රය, එයට උත්තර දෙන්නාවූ ඒ මහඡනයා හරි උත්තරයක් දෙන්නේ නම් ඒ උත්තරය කෙසේ විය යුතූද?´´

10. ´´ස්වාමින් වහන්ස ඒ මහාඡනයා මනාකොට උත්තර දෙන්නේ නම්, (අපි) අතර මහා ධාන්‍ය රාශියෙන් ගෙන එමුයයි ප්‍රකාශ කරන්නේය.´´

´´දේවේන්ද්‍රය, එපරිද්දෙන්ම වනාහි යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්‍මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු´´

11. ´´ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයයි. ස්වාමීනි-අද්භූතයි. ස්වාමීනි ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්‍මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු යන යම් වචනයක් ප්‍රකාශ කරන ලදද, එයද සුභාශිතයකි. උත්තර ස්වාමිනි, එය එසේමය, – ස්වාමිනි, උත්තර තෙරණුවෙනි, මෙපමණකින් මනුෂ්‍යයන් අතරෙහිවූ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස මේ ධර්‍ම ක්‍රමය කුමක්දැයි නොපිහිටියාහුය. (නොදත්තාහුය) ස්වාමිනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්‍ම ක්‍රමය – උගනීවා.

ස්වාමීනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්‍ම ක්‍රමය පාඩම් කියාවා. ස්වාමීනි, උත්තර තෙරණුවෝ, මේ ධර්‍ම ක්‍රමය ධාරණය කෙරේවා. ස්වාමීනි, මේ ධර්‍ම ක්‍රමය අත්‍ර්‍ථයෙන් යුක්තය, ශාසන බ්‍රහ්මචරියාවට මුල් වූයේයි.´´

7. පරියාදින්න දේවදත්ත සූත්‍රය

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් සංඝභෙද කොට එතැනින් පහව ගිය නොබෝ වේලාවකින් ඒ දෙව්දත් තෙරුන් අරභයා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළ සේක.

2. ´´මහණෙනි, පැවිදිතෙම කලින් කල තමාගේ විපත්තිය ගැන ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ නම් යහපති. අනුන්ගේ විපත්තිය ගැනද කලින් කල ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ නම් යහපති. තමාගේ සම්පත්තිය ගැන කලින් කල ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ නම් යහපති. අනුන්ගේ සම්පත්තිය ගැනද කලින් කල ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ නම් යහපති.

3. ´´මහණෙනි, අසද්ධර්‍ම අටකින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.

4. ´´කවර අටකින්ද යත්? මහණෙනි, ලාභයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අලාභයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අයසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. යසසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. සත්කාරයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. පවිටු අදහසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. පාප මිත්‍ර සේවනයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.

5. ´´මහණෙනි, අසද්ධර්‍ම අටකින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.

6. ,මහණෙනි, පැවිදිතෙම උපන් ලාභය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අලාභය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් යසස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අයස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් සත්කාරය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අසත්කාරය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් පවිටු අදහස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි.

7. ´´මහණෙනි, පැවිදිතෙම කිනම් ප්‍රයෝජනයක් උදෙසා උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද,

8. ´´මහණෙනි, යම් හෙයකින් උපන් ලාභය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් ලාභය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්.

9. ´´මහණෙනි, යම් හෙයකින් උපන් අලාභය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අලාභය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් අයස මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අයස මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් සත්කාරය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් සත්කාරය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් අසත්කාරය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අසත්කාරය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් පවිටු අදහස මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් පවිටු අදහස මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් පාප මිත්‍ර සේවනය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්.

10. ,මහණෙනි, පැවිදිතෙම මේ ප්‍රයෝජනය නිසා උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය.

11. ´´මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (පැවිදි තෙම) මෙසේ හික්මිය යුතුය. (කෙසේද?) උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.´´

6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය

1. ´´මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහුබඳී. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්‍මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්‍මය අනුව පෙරළෙයි.)

2. ´´ඒ ලෝක ධර්‍ම අට කෙසේද යත්? ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.

3. ´´මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද උපදී. මහණෙනි, ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.

4. ´´මහණෙනි, ඒ කරුණ පිළිබඳව ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශෙෂ කරුණ කුමක්ද?´´

5. ´´ස්වාමීන් වහන්ස ! අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ඒ වදාරණ ලද ධර්‍මයාගේ අත්‍ර්‍ථය භාග්‍යවතුන් වහන්සේම වදාරණ සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන්ම (ඒ ධර්‍මය) අසා භික්‍ෂහු ඉගෙන ගනිත්.´´

6. ´´මහණෙනි, එසේ වී නම් අසව්. යහපත්ව මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.´´ – ´´ස්වාමීන් වහන්ස, එසේය´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

7. ) ´´මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා නොකරයි. (කෙසේද?´ ´මට මේ ලාභය උපන්නේ නමුදු එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව´ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.

8. ´´අලාභය ඇතිවේද, අයස ඇතිවේද, යසස ඇතිවේද, නින්‍දා ඇතිවේද, ප්‍රශංසා ඇතිවේද, සැප ඇතිවේද, දුක ඇතිවේද, එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව´ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.

9. ´´ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. හෙතෙම උපන් ලාභය රැක ගනී. උපන් අලාභයෙහි විරුද්ධ වෙයි. උපන් අයසෙහි විරුද්ධවෙයි. උපන් යසස රැක ගනී. උපන් නිත්‍දාවෙහි විරුද්ධවෙයි. උපන් ප්‍රශංසාව රැකගනී. උපන් සැප රැක ගනී. උපන් දුකෙහි විරුද්ධ වෙයි. මෙසේ හෙතෙම ඉෂ්ටවූ ලෝක ධර්‍මය රැක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්‍මය කෙරෙහි විරුද්ධත්වය පහළ කිරීමෙහිත් යෙදුනේ, ජාති දුකින්ද, ජරා දුකින්ද, මරණ දුකින්ද, සොක දුකින්ද, පරිදේව දුකින්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, උපායාස දුකින්ද නොමිදේ. (එහෙයින්) දුකින් නොමිදේයයි කියමි.

10. ´´මහණෙනි, ධර්‍ම විනය උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ ලාභය වනාහි මට උපන්නේය. (එසේද වුවත්) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි (එහි) නියම තත්ත්‍වය දනී. අලාභය උපදීද, යසස උපදීද, අයස උපදීද, ප්‍රශංසා උපදීද, නින්‍දා උපදීද, සැප උපදීද, දුක උපදීද, හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ දුක වනාහි මට උපන්නේය. (එසේද වුවත්)) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි(එහි) නියම තත්ත්‍වය දනී. ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්‍දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.

11. ´´හෙතෙම උපන් ලාභය නොරකී. අලාභයෙන් විරුද්ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්‍දාවෙහි විරුද්ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්ධ නොවෙයි.

´´හෙතෙම මෙසේ රැකීම්, විරුද්ධවීම් දෙක හෙවත් ඇලීම් ගැටීම් දෙක ප්‍රහීණ කෙළේ, ජාති, ජරා, මරණ, සෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මෙයින් මිදෙයි. (එහෙයින්) දුකින් මිදේයයි කියමි.

´´මහණෙනි, මේ වනාහි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. අධිකවූ කරුණුයි. විශෙෂවු කරුණුයි.

12. ´´ ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලොක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලොක ධර්‍ම ස්වභාවයද දැන, අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රොධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් හෝ (රැක ගැනීමෙන්) එයට විරුද්ධ වීමෙන් හෝ විනාශවනු ලබන ආත්ම සහගතවූවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ නිස්සෝකිවූ (සොක නැත්තාවූ) ඒ ආය්‍ර්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේය.´´

5. සංඛිත්තලොකධම්ම සූත්‍රය

1. ´´මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)

2. ´´ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්‍රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.

3. 1. ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලෝක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්.

3. 2. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලෝක ධර්‍ම ස්වභාවයද දැන අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රෝධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් (රැකගැනීමෙන්) හෝ එයට විරුද්ධවීමෙන් හෝ විනාශවනු ලබන ආත්මය සහගතවුවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ, නිස්සෝකීවූ (සෝක නැත්තාවූ) ඒ ආය්‍ර්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේය.´´

4. ලාභකාම සූත්‍රය

1. ´´ මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.

2. ´´කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජුවූයේ වේද, (ගර්හා ලැබීමට සුදුසුව සිටියේ නමුදු) අනුන් විසින් ගර්හා කරණු නොලැබේවායි වේද, කථා කළ යුතු කාලය නොදන්නේ වේද, (සිවු පසය පිළිගත යුතු) පමණ නොදන්නේ වේද, අපිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, බොහෝකොට කථා කරන්නේ වේද, සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව බණන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.

3. ´´ මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.

4. ´´කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජු නොවේද, සත්කාර ලාභයෙහි ගිජු නොවේද, ස්වකීය දොස් ඇසීමෙහි සතුටු වේද, කථා කිරීම් ආදියෙහි සුදුසු කාලය දනීද, සිවු පසයෙහි පමණ දන්නේ වේද, පිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, දොඩමලු නොවේද, (වාචාල නොවේද), සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව නොවන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.

3. අප්පිය පසංසී සුත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.

2. ´´කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා කරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා කරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාරයෙහි ගිජුවූයේ වේද, පාපයෙහි ලජ්ජා නැතිවූයේ වේද, පාපයෙහි භය නැතිවූයේ වේද, පවිටු අදහස් ඇත්තේද, මිසදිටු වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.

3. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.

4. ´´කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා නොකරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා නොකරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජු නුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජු නුවූයේ වේද, පාපයෙහි ලජ්ජා ඇත්තේ වේද, පාපයෙහි භය ඇත්තේ වේද, අල්පේච්ඡ වූයේ වේද, සම්‍යක් දෘෂ්ටික වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.

2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය

1. ´´මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්.

2. ´´ඒ අට කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍ය භික්‍ෂුවක් හෝ ආශ්‍රය කොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේ්මයක් ගෞරවයත් එළඹ සිටියේ වේද, මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්.

3. ´´ඒ මහණතෙම ඒ ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු එක්තරා භික්‍ෂුවක් හෝ ආශ්‍රයකොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේ්මයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, හෙතෙම කලින් කල (උන් වහන්සේ වෙත එළඹ), ´ස්වාමීන් වහන්ස. ´. මෙය කෙසේද, මෙහි අත්‍ර්‍ථය කෙසේදැ´ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. සැක තැන් විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනේක ප්‍රකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) දෙවෙනි හේතුවයි.

4. මහණතෙම ඒ ධර්‍මය අසා කාය ප්‍රකාශයෙන්ද, චිත්ත ප්‍රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්‍ශනා වීමට හේතු) සපයයි. මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) තුන්වෙනි හේතුවයි.)

5. සිල්වතෙක් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) හතරවෙනි හේතුවයි.)

6. ධර්‍ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්‍මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්‍මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්‍මය
සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්‍ෂා කරණලද්දේ වේද, විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) පස්වැනි හේතුවයි.)

7. ´´අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇතිව වාසය කෙරේද, වීය්‍ර්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීය්‍ර්‍යයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) සවැනි හේතුවයි.)

8. සඞ්ඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වේද, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වේද, ධර්‍මය එය කැමැත්තෙන්ම දෙසන්නෙක් වේද, ධර්‍මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වේද, ආය්‍ර්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) සත්වැනි හේතුවයි.)

9. ´´රූපය මෙසේය, රූපය ඇතිවන්නේ මෙසේය, රුපය නිරුද්ධවන්නේ (නැති වන්නේ) මෙසේය, වේදනාව මෙසේය, වේදනාව ඇතිවන්නේ මෙසේය, වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය, සංඥාව මෙසේය, සංඥාව ඇතිවන්නේ මෙසේය, සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය, සංස්කාරය ඇතිවන්නේ මෙසේය, සංස්කාරය නිරුද්ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය, විඤ්ඤාණය නිරුද්ධවන්නේ මෙසේයයි පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) අටවැනි හේතුවයි.)

10. එකී භික්‍ෂුවට මේ මතු දක්වන පරිදි සමාන බඹසර ඇති භික්‍ෂූහු ගෞරවය දක්වත්. මේ ආයුෂ්මතුන් වහන්සේ වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වාසය කරයි. ගරු කටයුතු එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් හෝ ඇසුරුකොට වාසය කරයි. යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, (එබඳු උතුමෙක් ඇසුරුකොට වාසය කරයි.)
තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

11 ´ඒ මේ ආයුෂ්මතුන් වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වසමින් එක්තරා ගරු කටයුතු සමාන බඹසර ඇති භික්‍ෂුවක් හෝ ඇසුරුකොට වසමින්, යමෙකු කෙරෙහි තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, එබඳුවූ උතුමන් වෙත කලින් කල පැමිණ, ´ස්වාමීන් වහන්ස, කෙසේද, මෙහි අත්‍ර්‍ථය කුමක්දැ´ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනෙක ප්‍රකාරවූ සැක කටයුතවූු ධර්‍මයන්හි සැක දුරුකෙරෙත්. ඒකාන්තයෙන් මේ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

12. මහණතෙම ඒ ධර්‍මය අසා කාය ප්‍රකාශයෙන්ද, චිත්ත ප්‍රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්‍ශනා වීමට හේතු) සපයයි. තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

13. සිල්වතෙක් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද,

14. ධර්‍ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්‍මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්‍මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්‍මය සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්‍ෂා කරණලද්දේ වේද, විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

15. ´´අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇතිව වාසය කෙරේද, වීය්‍ර්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීය්‍ර්‍යයෙන් යුක්තවූයේ වේද, ඒකාන්තයෙන් මේ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

16. සඞ්ඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වේද, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වේද, ධර්‍මය එය කැමැත්තෙන්ම දෙසන්නෙක් වේද, ධර්‍මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වේද, ආය්‍ර්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේද, ඒකාන්තයෙන් මේ )සස´ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

17. ´´රූපය මෙසේය, රූපය ඇතිවන්නේ මෙසේය, රුපය නිරුද්ධවන්නේ (නැති වන්නේ) මෙසේය, වේදනාව මෙසේය, වේදනාව ඇතිවන්නේ මෙසේය, වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය, සංඥාව මෙසේය, සංඥාව ඇතිවන්නේ මෙසේය, සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය, සංස්කාරය ඇතිවන්නේ මෙසේය, සංස්කාරය නිරුද්ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය, විඤ්ඤාණය නිරුද්ධවන්නේ මෙසේයයි පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

18. ´´මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත් වීමටද, භාවනාව සම්පූර්‍ණවීමටද, මේ කරුණු අට හේතු වෙත්.´´

1. මෙත්තානිසංස සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි, ´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ´ භාග්‍යවතුන් වහන්සැ´ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

3. ´´ඒ කිනම් ආනිශංස අටක්ද? සැපසේ නිදයි. සැපසේ අවදිවෙයි. නපුරු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී. මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනම් (මරණින් මතු) බඹ ලොව උපදී. මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

4. (1) යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රිය සිහියෙන් යුක්තව වඩාද, විදර්‍ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.

(2) ´´ඉදින් එකද සත්ත්‍වයෙකුට දූෂ්‍ය නුවූ සිත් ඇත්තේ මෛත්‍රී කෙරේද, ඒ කරණකොට ගෙන කුසල් ඇත්තේ වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකම්පා කරන්නාවූ ආය්‍ර්‍යතෙම බොහෝ පින් කරයි.´´

(3) යම් නෙනෙක් සත්ත්‍වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරු වූවාහු දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සම්මාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යම් යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. චන්‍ද්‍රයාගේ රෂ්මිය මෙන් තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.´´

(4) යමෙක් තෙම සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙකු ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වේ. ඔහු කෙරෙහි කිසිවෙකුගේ වෛරයක් නැත්තේය.´´