20. ආයු සංඛාරොස්සජන (හෝ) භූමිචාලහෙතු සූත්‍රය

1. ´´එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නගර ආසන්න මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, විශාලා නගරයෙහි පිඬු පිණිස හැසුරුණ සේක. විශාලාවෙහි පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. ´´ආනන්‍දය, හිඳගන්නා ඇතිරිල්ල ගන්න. චාපාල චෛත්‍යස්ථානය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි යන්නෙමු´´ ´´එසේය, ස්වාමිනි,´´ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දී, වැඩ හිඳින ඇතිරිල්ල රැගෙන භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් ගියේය.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානය යම් තැනකද, එතැන්හි වැඩි සේක. එසේ වැඩ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක.

3. ´´ආනන්‍දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්‍ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්‍ය ස්ථානය සිත් කලුය. බහුපුත්‍ර චෛත්‍ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්‍ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්‍ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්‍ය ස්ථානය සිත් කලුය. ආනන්‍දය, යම් කිසිවකු සතර ඎද්ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්‍දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. ´´ආනන්‍දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය.´´

4. ´´මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස´´ යයි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.

(5). ´´ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරටද, තුන්වෙනි වරටද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ´´ආනන්‍දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්‍ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්‍ය ස්ථානය සිත් කලුය. බහුපුත්‍ර චෛත්‍ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්‍ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්‍ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්‍ය ස්ථානය සිත් කලුය. ආනන්‍දය, යම් කිසිවකු සතර ඎද්ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්‍දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. ´´ආනන්‍දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය.´´
´´මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස´´ යයි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.

3. ´´ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ´´ආනන්‍දය, යන්න. ඔබ දැන් කාලය දැනගන්න.´´ ´´එසේය, ස්වාමීනි,´´ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ප්‍රති වචන දී, අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා ගසක් මුල හිඳ ගත්හ.

4. ´´ඉක්බිති පාපීවූ මාර තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ´යම්තාක් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි´´ යි යනුවෙනි. ´´ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂු ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.

5. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ´යම්තාක් මාගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි´´ යි යනුවෙනි. ´´ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.

6. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ´යම්තාක් මාගේ උපාසක ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි´´ යි යනුවෙනි. ´´ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ උපාසක ශ්‍රාවකයෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.

7. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ´යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්‍රකට නොකරද්ද, උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි´´ යි යනුවෙනි. ´´ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්‍රුතවූ, ධර්‍මධරවූ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූ, නිවැරදි ප්‍රතිඥාව ඇති, ධර්‍මය අනුව හැසිරෙන්නෝ වෙති. ස්වකීය ආචාය්‍ර්‍යවරයාගෙන් ඉගෙන ප්‍රකාශ නොකර, දේශනා කෙරෙති, පණවති, තබති, විවෘත කෙරෙති, ප්‍රකට කෙරෙති. උපන් අන්‍ය වාද ධර්මානුගතව මනාසේ නිග්‍රහ කොට ප්‍රාතිහාය්‍ර්‍ය සහිතව ධර්මය දේශනා කෙරෙති.

8. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන ප්‍රකාශ කරණ ලද්දේ නොවේද? ´යම්තාක් මාගේ බ්‍රහ්මචරියාව සමෘද්ධවූයේ නොවේද, විස්තර සහිතවූයේ නොවේද, බොහෝ දෙනාට අයත්වූයේ නොවේද, ප්‍රකටවූයේ නොවේද, යම්තාක් දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද, ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමි,´ යනුයි. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මචරියාව සමෘද්ධවූයේ වෙයි. විස්තර සහිතවූයේ වෙයි. බොහෝ දෙනාට අයත්වූයේ වෙයි. ප්‍රකටවූයේ වෙයි. යම්තාක් දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලයයි.´´

9. ´´පාපීවූ මාරය, තෝ උත්සාහ නොකරව. ටික කලකින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය.´´

10. ´´ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිහි ඇත්තේ, විමසන නුවණැත්තේ, ආයුසංස්කාරය හැරියේය. භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ කල්හි මහා භූමි චලනයක් විය. භයජනකවූ, ලොමු ඩැහැ ගන්නාවූ, අහස් ගිගුරුමක්ද ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, ඒ වේලාවෙහි මේ ප්‍රීති වාකයය පහළ කළ සේක

11 (1) ´´බුද්ධ මුනිතෙම පුනර්භවය (නැවත ඉපදීම) ඇති කරණ කාමාවචර රූපාවචර කර්‍මද, අරූපාවචර කර්‍මද, නිරාලයව හැර දැමීය. රණ බිමක මහා යෝධයකු සන්නාහයක් බිඳලන්නා සේ විදර්‍ශනා භාවනාවේ ඇලුනේ, සමථ භාවනාවෙහි යෙදුනේ, ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳලීය.´´

12. ´´ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ´මේ භූමි චලනය විශාල විය. ඒකාන්තයෙන්ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැ ගන්වන, අහස් ගිගුරුමක්ද ඇතිවිය. මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ. ´´ස්වාමීනි, මේ භූමි චලනය විශාල විය. ස්වාමීනි, ඒකාන්තයෙන්ම මේ භූමි චලනය මහත් එකක් විය. භය උපදවන, ලොමු ඩැහැගන්වන, අහස් ගිගුරුමක්ද ඇතිවිය. ස්වාමීනි, මේ මහත් භූමි චලනයක් ඇතිවීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´

13. ´´ආනන්‍දය, මහත් භූමි චලනයක් ඇතිවීමට මේ හේතු අටෙකි.

14. ´´ඒ අට කවරේද? ආනන්‍දය, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශගතය. ආනන්‍දය, යම් කලෙක ඒ මහා වාතයෝ හමත්. මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ පළමුවන හේතුවයි. පළමුවන ප්‍රත්‍යයයි.

15. ´´ආනන්‍දය, නැවතද, ඎද්ධි ඇති, සිත වසඟ කරගත්, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, මහත් ඎද්ධි ඇති, මහානුභාව ඇති දේවතාවෙක් හෝ, ඔහුගේ ස්වල්පවූ පෘථිවි සංඥාව වඩන ලද්දේ වෙයි. අප්‍රමාණවූ අපො සංඥාවෙන් හෙතෙම මේ පොළොව කම්පා කරයි. විශෙෂයෙන් කම්පා කරයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ දෙවන හේතුවයි. දෙවන ප්‍රත්‍යයයි.

16. ´´ආනන්‍දය, නැවතද බොධිසත්ත්‍ව තෙම තුෂිත දෙව් ලොවින් චුතව, සිහි ඇතිව, මනා නුවණැතිව, මවු කුසට බැස ගනීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ තුන්වන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.

17. ´´ආනන්‍දය, නැවතද යම් කලෙක බොධිසත්ත්‍ව තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, මවු කුසින් නික්මේද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහා භූමි චලනයක් ඇතිවිමට මේ සතරවන හේතුවයි. තුන්වන ප්‍රත්‍යයයි.

18. ´´ආනන්‍දය, නැවතද තථාගත තෙම නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කරගනීද, (බුදුබව ලබාද) එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත් භූමි චලනයක් ඇතිවිමට මේ පස්වන හේතුවයි. පස්වන ප්‍රත්‍යයයි.

19. ´´ආනන්‍දය, නැවතද තථාගත තෙම නිරුත්තරවූ ධර්‍ම චක්‍ර දේශනාව පවත්වාද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ සයවන හේතුවයි. සයවන ප්‍රත්‍යයයි.

20. ´´ආනන්‍දය, නැවතද තථාගත තෙම සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, ආයු සංස්කාරය හරීද, එකල්හි මේ පෘථිවිය කම්පා වෙයි. විශෙෂයෙන් කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ සත්වන හේතුවයි. සත්වන ප්‍රත්‍යයයි.

19. අඨපරිසා සූත්‍රය

1. ´´මහණෙනි, මේ පිරිස් අටෙකි.

2. ´´කවර අටක්ද? ක්‍ෂත්‍රිය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිසය යනුයි.

3. ´´මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්‍ෂත්‍රිය පිරිස වෙත පැමිණ, එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. මේ තෙමේ කවරෙක්ද, කථා කරන්නාවු මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා, අතුරුදහන් වෙමි. අතුරුදහන්වු මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්‍ෂත්‍රිය පිරිස දනිමි. බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිසද,

4. ´´බ්‍රහ්ම පිරිසද වෙත පැමිණ එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. කථා කරන්නාවූ මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අතුරුදහන් වෙමි. අතුරුදහන්වූ මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. මහණෙනි, මේ අට පිරිස් වෙති.´´

18. අරියවොහාර සූත්‍රය

1 ´´මහණෙනි, මේ ආය්‍ර්‍ය ව්‍යවහාරයෝ අටෙකි.

2. ´´ඒ අට කවරහුද? නොදැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ,පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි නොදැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, යන අට මහණෙනි, ආය්‍ර්‍ය ව්‍යවහාරයෝ වෙති.´´

17. අනරියවොහාර සූත්‍රය

1 ´´මහණෙනි, මේ අනාය්‍ර්‍ය ව්‍යවහාරයෝ අටෙකි.

2. ´´කවර අටක්ද යත්? නොදැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දේ ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැන නොගන්නේයයි කියන්නාවූ, යන මේ කරුණු අට මහණෙනි, අනාය්‍ර්‍ය ව්‍යවහාරයෝ වෙති.´´

16. අට්ඨවිමොක්ඛ සූත්‍රය

1. ´´මහණෙනි, මේ මිදීම් අටක් වෙති.

2. ´´ඒ අට කවරහුද? රූප ඇත්තා රූපයන් දකියි. මේ පළමුවන මිදීමයි. අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පිටත රූපයන් දකියි. මේ දෙවන මිදීමයි. ශුභාන්තවූම මිදීම් ඇත්තෙක් වෙයි. මේ තුන්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාව ඉක්මවා පටිඝ සංඥාව අස්තංගමකොට නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් අනන්තවු ආකාශයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සතරවැනි මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය දුරුකොට අනන්තවූ විඤ්ඤානයයි විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ පස්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සයවැනි මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉකමවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. මේ අටවන මිදීමයි.මහණෙනි, මේ මිදීම් අට වෙති.´´

15. අභිහායතන සූත්‍රය

1. ´´මහණෙනි, මේ කෙලෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.

2. ´´කවර අටක්ද යත්? අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්පවූද, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, පිටත රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ ප්‍රථම කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

3. ´´අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ දෙවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

4. ´´අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ස්වල්පවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ තුන්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

5. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත නිල්වූ නීලවර්‍ණ දැකුම් ඇති, නීලවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ පස්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

6. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත කහවූ කහවර්‍ණ දැකුම් ඇති, කහවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සයවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

7. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ලේවූ ලේවර්‍ණ දැකුම් ඇති, ලේවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සත්වැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

8. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත සුදුවූ සුදුවර්‍ණ දැකුම් ඇති, සුදුවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ අටවැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි. මහණෙනි, මේ කෙළෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.´´

14. ගයාසීස සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයාගම ආසන්න, ගයාව ඉස්මත්තේ වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි,´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

2. ´´මහණෙනි, මම සම්බෝධියෙන් පෙර බුදුනුවූයේ, බෝධිසත්ත්‍වවූයේ, ආලෝකය වනාහි හඳුනමි. රූප නොදකින්නෙමි. මහණෙනි, ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන් දකින්නෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය පිරිසිදු වන්නේය´ යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග නොසිටිමි. කථා නොකරමි. සාකච්ඡාවට නොපැමිණෙමි.

3. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය ඉතා පිරිසිදු වන්නේය´ යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි. කථා කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි නොදනිමි.

4. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දැනගන්නෙම් නම් මෙසේ මාගේ ඥාන දර්‍ශනය පිරිසිදු වන්නේය යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි. කථා කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි නොදනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි නොදනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි නොදනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දනිමි. ඉදින් මම මේ දෙවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි නොදනිමි.

5. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායිකයෝයයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දන්නෙම් නම්, ඉදින් මම මේ දේවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි දැන ගන්නෙම් නම්, මෙසේ මාගේ ඥාන දර්‍ශනය ඉතා පිරිසිදු වන්නේය යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි, කථා කරමි, සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දනිමි. ඉදින් මම මේ දෙවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි දනිමි. මහණෙනි, මෙසේ අෂ්ට පරිවෘත්තයක් ඇති උතුම් ඥාන දර්‍ශනය යම් තාක් කල් මා තුළ පහළ නොවීද, ඒ තාක් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්‍ව වර්ගයා අතරෙහි මේ නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබූයෙමියි ප්‍රතිඥා නොකළෙමි.

6. ´´එහෙත් මහණෙනි, යම් කලෙක මෙසේ අෂ්ට පරිවෘත්තයක් ඇති, උතුම් ඥාන දර්‍ශනය මට පහළවීද, මහණෙනි, ඉන් පසු දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්‍ව වර්‍ගයා අතරෙහි මම නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබීමියයි ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්‍ශන ඥානය පහළවිය. මගේ චිත්ත විමුක්තිය වෙනස් කළ නොහැක. මේ කෙළවර අත් බවයි. දැන් මතු භවයක් නැත.´´

13. චිත්තසණ්ඨාපන සූත්‍රය

1. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ´´ස්වාමීනි, යහපති. මට භාග්‍යවතුන් වහන්සේ කෙටිවූ ධර්මයක් දේශනා කෙරේවා! මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ධර්මයක් අසා තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වාසය කරන්නෙමි´´ කියායි.
´´මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ මටම ආරාධනා කරත්. ධර්මය දේශනා කළ කල්හි මාම ලුහු බැඳිය යුතුයයි සිතත්. මට භාග්‍යවතුන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, මට සුගතයන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අත්‍ර්‍ථය මම දැනගන්නෙම් නම් ඉතා යෙහෙක. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට දායාද කරුවෙක් වන්නෙම් නම් ඉතා යෙහෙක,´´ යනුයි.

2. ´´එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් හෙයකින් ඔබගේ අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

3. ´´මා විසින් මෛත්‍රී චෙතො විමුක්තිය පුරුදු කරන්නේද, බහුල වශයෙන් වඩන්නේද, ඉතා පුරුදු කරන්නේද, අඩිතාලමක් මෙන් ස්ථිරව පුහුණු කරන්නේද, නොනැගිට පුරුදු කරන්නේද, බලවත් සේ ආරම්භ කරන්නේද යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

4. ´´මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. අවිතර්‍කව විචාරයෙන් පමණක් වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

5. ´´මා විසින් කරුණා චෙතො විමුක්තිය – මුදිතා චෙතො විමුක්තිය – උපෙක්‍ෂා චෙතො විමුක්තිය – පුරුදු කරන්නෙක් වන්නේය. බහුල වශයෙන් වඩන්නෙක් වන්නේය. බොහෝ පුරුදු කරන්නෙක් වන්නේය. අඩිතාලමක් මෙන් ස්ථිරව පුරුදු කරන්නෙක් වන්නේය. නොනැගිට පුරුදු කරන්නෙක් වන්නේය. බලවත් සේ ආරම්භ කරන්නෙක් වන්නේය යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

6. ´´මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාසේ පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

7. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස හික්මවා කයෙහි කය අනුව බලමින් වාසය කරන්නෙමි කියායි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

8. ´´යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහිතව වඩව. මහණ, යම් හෙයකින් වනාහි ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

9. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වේදනාවන්හි – සිතෙහි – ධර්‍මයෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නෙමි යනුවෙනි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

10. ´´යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව, විචාර රහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ යම් යම් කරුණකින් යේනම් පහසු පරිදිම යව. යම් යම් තැනක සිටී නම් පහසු පරිදිම සිටුව. යම් යම් තැනක හිඳගන්නෙහි නම් පහසු පරිදිම හිඳගනුව. යම් යම් තැනක නිදන්නෙහි නම් පහසු පරිදිම නිදාගනුව.´´ යනුයි.

11. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද ඒ භික්‍ෂුව ඉක්බිති අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට ගියේය.

12. ඉක්බිති (හෙතෙම) ඒ භික්‍ෂුව තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වසන්නේ, ටික කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති උතුම්වූ රහත් ඵලය මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, එයට පැමිණ, වාසය කෙළේය. ජාතිය (ඉපදීම) ක්‍ෂය කරණ ලදී. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුතු කොට නිමවන ලදී. කෙලෙසුන් නැසීම පිණිස තවත් භාවනායක් නැතැයි දැන ගත්තේය. ඒ භික්‍ෂුව රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.´´

12. අලමත්තනො සූත්‍රය

1. ´´මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍ය වෙයි. අනුන්ටද යොග්‍ය වෙයි.

2. ´´කවර සයකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්‍මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍ය වෙයි. අනුන්ටද යොග්‍ය වෙයි.

3. ´´මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය, අනුන්ටද යොග්‍යය.

4. ´´කවර සයකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්‍මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය, අනුන්ටද යොග්‍යය.

5. ´´ මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යයි, අනුන්ට අයොග්‍යයි.

6. ´´කවර සතරකින්ද යත්? යහපත් වචන නැත්තේ, යහපත් වචන කථා නොකරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත නොවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරන්නෙක් නොවූයේද, මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යයි, අනුන්ට අයොග්‍යයි.

7. ´´ මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව අනුන්ට යොග්‍යයි. තමහට අයොග්‍යයි.

8. ´´කවර සතරකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව වහා කුශල ධර්මයන්හි චිත්ත සමාධියට පැමිණේද, ඇසූ ධර්මයන් සිතෙහි දරන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා නොකරන්නෙක් වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව අනුන්ට යොග්‍යයි. තමහට අයොග්‍යයි.

9. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

10. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිතේ දරන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කරන්නේ වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන නැත්තේ යහපත්
වචන කථා නොකරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත නොවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරන්නෙක් නොවූයේද, මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

11. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

12. ´´කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිත්හි දරා ගන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කරන්නෙක් වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

13. ´´ මහණෙනි, ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

14. ´´කවර දෙකකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිත්හි දරා නොගනීද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා නොකෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.´´

11. ලාහිච්ඡා සූත්‍රය

1. ´´මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් ඇත්තාහ.

2. ´´කවර අට දෙනෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝකවෙයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත ගසා හඬයි. සිහි මුළා බවට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

3. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති ඔහුට ලාභය නූපදියි.

4. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශෝක ඇති, වැළපීම් ඇති, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි.

5. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය ඇති, මදය ඇති, ප්‍රමාදය ඇති, හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

6. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නැත්තේ, ශෝක නැත්තේ, වැළපීම් නැත්තේ, සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුත නොවූයේයයි කියයි.

7. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති, මදය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

8. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභයෙන් නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශොක නැති, වැළපීම් නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

9. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභ ඇති, මත් ගතිය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ලෝකයෙහි ඇත්තාහ.´´