ථේර ගාථා-ඒකක නිපාතය-දෙවෙනි වර්ගය.
1. චූලගවච්ඡ ථෙරගාථා :- ´´ තථාගත බුදුන් විසින් දෙසනලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෙහි නොහොත් නව ලොවුතුරා දහමෙහි ඇලීම් වශයෙන් ප්‍රීති බහුල ඇති මහණතෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට පිහිට වූ පරම සුඛවූ ශාන්තපදයට පැමිණෙන්නේය ´´ආයුෂ්මත් චූලගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. මහාගවච්ඡ ථෙරගාථා :- ´´ අතිශය ප්‍රඥා බලයෙන් යුක්තවූ සිව් පිරිසුදු සිල්වලින් හා තෙළෙස් ධූතාඞ්ග ගුණයයි, කියන ලද ව්‍රතයන්ගෙන් සමන්විතවූ ( උපචාර අර්පනා සමාධි විසින් ) මුල, මැද, අග සමසේ පිහිටුවනලද සිත් ඇත්තාවූ දෙවැදෑරුම් ධ්‍යානයෙහි ඇලුනාවූ, මුසුකළ සිහි ඇත්තාවූ, පිණ්ඩපාත සේවනයෙන් ලැබෙන අටවැදෑරුම් ප්රයෝජනයෙන් පහනොවූ භොජනය වළඳන්නාවූ මේ සස්නෙහි පහකරණලද රාග ඇති රහත් මහණතෙමේ පරිනිර්වාණ කාලය බලා හිඳින්නේය ´´
ආයුෂ්මත් මහාගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. වනවච්ඡ ථෙරගාථා :- ´´ නිල් වලාකුඑ බඳු සිත් කලුවූ සිහිල් දිය ඇති සුවිසුද්ධ ප්‍රදේශයෝ නොහොත් ආය්‍ර්‍යයන් දරන්නාවූ ( පබලුවන් ) ඉඳුගොව් පණුවන්ගෙන් වැසීගියාවූ ඒ පර්වතයෝ මා පිනවාලති.´´ ආයුෂ්මත් වනවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. වනවච්ඡ සාමණේර ගාථා :- ´´ සීවකය, මෙයින් වනයට යම්හ යි උපාධ්‍යයන්වහන්සේ මට කීහ. මගේ කය ගම්හි වෙසේ.මා සිත වනයට ගියේය. සයනය කෙරෙමින් හෝ යෙමි. කවර හෙයින්ද යත් ? නුවණැතියන්ගේ කිසි තැනෙක ඇල්මෙක් නැත. එහෙයිනි ´´ වන වච්ඡ සාමණේරතෙම මේ ගාථාව වදාළේය.
5. කුණ්ඩධාන ථෙරගාථා :- ´´ කාමරාගාදී ඕරම්භාගීය පස් සංයෝජනයන් සිඳිනේය. රූප රාගාදී උද්ධම්භාගීය පස් සංයෝජනයන් හරණේය. ශ්‍රද්ධාදී පස් ඉන්ද්රිය ධර්මයන් අනාගාමී මාර්ගයෙන් මත්තෙහිත් වඩනේය. පස්වැදෑරුම් සඞ්යන් ( ඇලුම් ) ඉක්මගියාවූ රහත් මහණතෙම ඕතිණ්ණ ය ´ යි කියනු ලැබේ. ´´ ආයුෂ්මත් කුණ්ඩධාන තෙරණුවෝ මේ ගාථව වදාළහ.
6. බෙල්ලට්ඨ සීස ථෙරගාථා :- ´´ යම්සේ යහපත් අං ඇති වෘාෂභාජානීය තෙමේ නගුල් මාර්ගයෙහි මද වෙහෙසින් යුක්තව ගමන් කෙරේද, එසෙයින්ම සසරට අයත් ආමිස නොමුසුවූ ඵල සමාපත්ති සුවය ලත්කල්හි මාහට රෑ දාවල් මඳ වෙහෙසින්ම ( සුවසේම ) ඉක්ම යන්නාහ. ´´ බෙල්ලට්ඨසීස නම් තෙරණුවෝ මේ ගාථව වදාළහ.
7. දාසක ථෙරගාථා :- ´´ යම් කලෙක පුරුෂතෙම සිත කය පිළිබඳ අලසභාවයෙන් මැඩී ගියේවේද, අධික ආහාර සේවනය ඇත්තේ වේද, නිදන සුඑවූයේ පෙරළි පෙරළී හෝනා සුඑවේද, කෑමෙන් පෝෂණය කරණලද මහත් ඌරකු මෙන් මඳ නුවණැති ඒ පුද්ගලතෙම නැවත නැවතත් මවුකුසට පැමිණේ.´´ මේ ගාථාව ආයුෂ්මත් දාසක තෙරණූවෝ වදාළහ.
8. සිගාලක පිතා ථෙරගාථා:- ´´ බුදුහුගේ නව ලොවුතුරා දහම නමැති දායාදයට හිමිවූ භික්ෂූවක් භෙසකලා නම්වූ වෙනෙහි වෙයි.( හෙතෙම) ඇටසැකිල්ලක් අරමුණු කොට ගෙන වඩන හෙයින් අට්ඨික සඤ්ඤා නම්ලත් භාවනායෙන් මේ අත් බැව් නමැති මුඑ පොළොව පතුරුවාලීිය.ඒ මහණ තෙම වහාම කාමරාගය පහකෙරේයයි මම හඟිමි.´´ ආයුෂ්මත් සිගාලක පිතු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. කුණ්ඩල ථෙරගාථා :- ´´ ජලය බෙදන්නෝ තමන් රිසිරිසි තැනට ජලය ගෙනයති.හී වඩුවෝ හී ඇදහැර ලති.රිය වඩුවෝ ලී නමා ගනිති. ශීලාදී මහා වෘත ඇති ධීරයෝ ආත්ම දමනය කෙරෙත්. ´´ ආයුෂ්මත් කුණ්ඩල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. අජිත ථෙරගාථා :- ´´ මරණය නිමිති කොට මට බියෙක් නැත. ජීවිතය කෙරේ ආලයෙක් නැත. තීරණ ප්‍රඥාවෙන් හා මුහුකළ සිහියෙන් යුත් මම ස්වකීය දේහය ඉවත ලා පියන්නෙමි.´´ ආයුෂ්මත් අජිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.