11. ඡඵස්සායතන සූත්‍රය. (3)

11. ඡඵස්සායතන සූත්‍රය. (3)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් ලත් වේළුවනයෙහි (උණවනයෙහි) වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි´´ යි කියා භික්‍ෂූන්හට කථා කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

2. ´´මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචය්‍ර්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.´´

3. ´´මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි´´ යි කීයේය.

4. ´´මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

5. ´´කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

6. ´´නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

7. ´´දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ

ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

8. ´´කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

9. ´´සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිතයය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.´´

10. ´´මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ´´ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි´´ (වදාළ සේක)

( දෙවෙනි මිගජාල වර්‍ගය නිමි. )

_______________

10. ඡඵස්සායතන සූත්‍රය. (2)

10. ඡඵස්සායතන සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් ලත් වේළුවනයෙහි (උණවනයෙහි) වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි´´ යි කියා භික්‍ෂූන්හට කථා කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

2. ´´මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචය්‍ර්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.´´

3. ´´මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි´´ යි කීයේය.

4. ´´මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේ යයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පළමුවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.

5. ´´කණ, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කණ, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ දෙවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.

6. ´´නාසය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ තුන්වන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.

7. ´´දිව, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සතරවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.

8. ´´කය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පසවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.

9. ´´සිත, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි´ දක්නෙහිද?´´ – ´´එසේය, ස්වාමීනි,´´

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය´´ යි (වදාළ සේක).

_______________

9. ඡඵස්සායතන සූත්‍රය. (1)

9. ඡඵස්සායතන සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් ලත් වේළුවනයෙහි (උණවනයෙහි) වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි´´ යි කියා භික්‍ෂූන්හට කථා කළ සේක. ´´පින්වතුන් වහන්සැ´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

2. ´´මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචය්‍ර්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් දුරවූවෙක්ම වන්නේය.

3. ´´මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි´´ යි කීයේය.

4. ´´මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

5. ´´කණ, ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කණ, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

6. ´´නාසය, ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

7. ´´දිව, ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

8. ´´කය, ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

9. ´´සිත, ´මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි´ දක්නෙහිද?´´ – ´´ස්වාමීනි, එය නොවේමැයි´´.

´´මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් මනාව දක්නා ලද්දේ වන්නේය. මෙයම දුක්ඛයාගේ කෙළවර වන්නේය.

_______________

8. උපවාණ සූත්‍රය.

8. උපවාණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය.

එකත් පසක උන්නාවූ ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, ධර්‍මය සන්‍දිට්ඨිකයයි (මේ ආත්මයේම ලැබිය යුතු ඵල ඇත්තේයයි) කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්‍මය සන්‍දිට්ඨික වේද, අකාලික වේද (කල් නොයවා දෙන විපාක ඇත්තේද), එහිඵස්සික වේද (එව, බලව යන විධියට සුදුසු වේද), ඕපනයික වේද (තමා කෙරෙහි පමුණුවා ගතයුතු වේද), නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් විසින් දත යුතු වේද?´´

2. ´´උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දැන ගත්තේද වෙයි. රූප රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දැනගත්තේද, යම් රූප රාගයක් දැන ගත්තේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, රූපයන්හි ඇලෙන යම් රාගයක්, ´මාගේ අධ්‍යාත්මය තුළ රූපයන්හි ඇලෙන රාගය ඇත්තේය, යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

3. ´´උපවාණය, මෙහි මහණ තෙම කණින් ශබ්දය දැන, ශබ්දය දැන ගත්තේද වෙයි. ශබ්ද රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කණින් යම් ඒ ශබ්දයක් දැක ශබ්දය දැනගත්තේද, යම් ශබ්ද රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ශබ්දන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන්හි ඇලෙන රාගය ඇත්තේය´ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

4. ´´උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්ධය දැක, ගන්ධය දැන ගත්තේද වෙයි. ගන්ධ රාගය දැන ගත්තේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්ධයක් දැක ගන්ධය දැනගත්තේද, යම් ගන්ධ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ, ගන්ධන්හි ඇලෙන යම් රාගයක්, මාගේ අධ්‍යාත්මය තුළ ගන්ධයන්හි ඇලෙන රාගය ඇත්තේය´ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

5. ´´උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රසය දන්නේ වෙයි. රස රාගය දන්නේද වෙයි. තමා තුළ ඇත්තාවූ රසයන්හි ඇලෙන රාගයද, ´මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවානය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් විඳ රස දන්නේද, යම් ඒ රස රාගයක් දන්නේ වේද, තමා තුළවූ රසයන්හි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ රසයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැනගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.´´

6. ´´උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැක, ස්පර්‍ශය දැන ගන්නේද වෙයි. ස්පර්‍ශ රාගය දැන ගන්නේද වෙයි. අධ්‍යාත්මය තුළ ඇත්තාවූ රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කයින් යම් ඒ ස්පර්‍ශයක් දැක ස්පර්‍ශය දැන ගන්නේද, යම් ස්පර්‍ශ රාගයක් දැන ගන්නේද, අධ්‍යාත්මය තුළ ඇත්තාවූ ස්පර්‍ශයන්හි ඇලෙන යම් රාගයක්, ´මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන්හි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියිද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.´´

7. ´´උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මය දැන, ධර්‍මය දන්නේද වෙයි. ධර්‍ම රාගය දන්නේද වෙයි. තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම සිතින් යම් මේ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය දන්නේත් වේද, තමා තුළ ඇති ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ධර්‍මයන් කෙරෙහි ඇලෙන රාගය ඇත්තේය´ යි දැනගන්නේද, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.´´

8. ´´උපවාණය, මෙහි මහණ තෙම ඇසින් රූපය දැක, රූපය දන්නේම වේ. රූප රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ රූපයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි දැනගණියි. උපවාණය, මහණතෙම ඇසින් යම් ඒ රූපයක් දැක රූපය දන්නේම වේද, රූප රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රූපයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මයෙහි රූපයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

9. ´´උපවාණය, මෙහි මහණ තෙම කණින් ශබ්දය අසා, ශබ්දය දන්නේම වේ. ශබ්ද රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි
දැන ගණියි. උපවාණය, මහණතෙම කණින් යම් ඒ ශබ්දයක් දැන ශබ්දය දන්නේම වේද, ශබ්ද රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ශබ්දන් කෙරෙහි ඇලෙන රාගය, මාගේ අධ්‍යාත්මයෙහි ශබ්දයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි දැනගණියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

10. ´´උපවාණය, මෙහි මහණ තෙම නාසයෙන් ගන්‍ධය දැන, ගන්‍ධය දන්නේම වේ. ගන්‍ධ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි දැනගණියි. උපවාණය, මහණතෙම නාසයෙන් යම් ඒ ගන්‍ධයක් දැන ගන්‍ධය දන්නේම වේද, ගන්‍ධ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, ගන්‍ධයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මයෙහි ගන්‍ධයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

11. ´´උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දිවෙන් රසය විඳ, රස දන්නේ වේද. රස රාගය නොදන්නේ වේද. අධ්‍යාත්මය තුළ නැති රස රාගය, මා තුළ නැති රසයන් කෙරෙහි රාගය නැත්තේය´ යි දැනගණියි. උපවාණය, මහණතෙම දිවෙන් යම් ඒ රසයක් දැන රසය දන්නේම වේද, රස රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ, රසයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මයෙහි රසයන් කෙරහි ඇලෙන රාගය නැත්තේයයි දැනගණියි, උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

12. ´´උපවාණය, මෙහි මහණ තෙම කයින් ස්පර්‍ශය දැන, ස්පර්‍ශය දන්නේම වේ. ස්පර්‍ශ රාගය දන්නේ නොවේ. තමා තුළ නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය, ´මාගේ අධ්‍යාත්මය තුළ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම කයින් යම්

ඒ ස්පර්‍ශයක් දැන ස්පර්‍ශය දන්නේම වේද, ස්පර්‍ශ රාගය දන්නේ නොවේද, අධ්‍යාත්මයෙහි නැත්තාවූ ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය ´මාගේ අධ්‍යාත්මයෙහි ස්පර්‍ශයන් කෙරෙහි ඇලෙන රාගය නැත්තේය´ යි දැනගණියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය තෙම සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේ.´´

13. ´´උපවාණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සිතින් ධර්‍මයන් දැන, ධර්‍මය දන්නේ වේ. ධර්‍ම රාගය නොදන්නේ වේ. තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහි රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය´ යි දැන ගණියි. උපවාණය, මහණතෙම සිතින් යම් ඒ ධර්‍මයක් දැන ධර්‍ම දන්නේ වේද, ධර්‍ම රාගය නොදන්නේ වේද, තමා තුළ නැති ධර්‍මයන් කෙරෙහි රාගය, මා තුළ ධර්‍මයන් කෙරෙහි රාගය නැත්තේය´ යි දැනගනියි. උපවාණය, මෙසේද වනාහි ධර්‍මය සංදිට්ඨික වේ. අකාලික වේ. එහි ඵස්සික වේ. ඕපනයික වේ. නුවණැත්තන් විසින් වෙන වෙනම තම තමන් කෙරෙහි ලා දත යුතු වේයයි.´´ වදාළ සේක.

_______________

7. උපසේන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්‍පයෙක් වැටුනේය. (ශරීරයෙහි ස්පර්‍ශවූ පමණින් විස නගන්නාවූ, ප්‍රට්ඨවිස නම් වර්‍ගයට අයත් සර්‍පයෙකි)

2. ´ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ´´ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්´´ යයි කීයේය.

3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. ´´ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්´´ යයි කියායි.

4. ´´ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ´ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය´ කියා හෝ, ´කණ මම වෙමියි කියා හෝ, මාගේ කණය´ කියා හෝ, ´නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය´ කියා හෝ, ´දිව මම වෙමියි කියා හෝ,

මාගේ දිවය´ කියා හෝ, ´කය මම වෙමියි කියා හෝ, මාගේ කයය´ කියා හෝ, ´සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය´ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද,

5. ´´ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ, ඉන්‍ද්‍රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට වනාහි ´ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය´ කියා හෝ, ´කණ මම වෙමියි කියා හෝ, මාගේ කණය´ කියා හෝ, ´නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය´ කියා හෝ, ´දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය´ කියා හෝ, ´කය මම වෙමියි කියා හෝ, මාගේ කයය´ කියා හෝ, ´සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය´ යි යන අදහසක් නැත්තේය.

6. ´´ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද, එසේනම් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ බොහෝ කලක් අහංකාරය, මමායනය, (මාගේයයි සිතීම) මානය, සහ ක්ලේශයෝ හොඳින් නසන ලද්දාහු නොවෙත්ද, එහෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට, ´ඇස මම වෙමියි හෝ, මාගේ ඇසය´ යි හෝ, ´කණ මම වෙමියි හෝ, මාගේ කණය´ යි හෝ, ´නාසය මම වෙමියි´ හෝ, මාගේ නාසයයි´ හෝ, ´දිව මම වෙමියි හෝ, මාගේ දිවයයි´ හෝ, ´කය මම වෙමියි හෝ, මාගේ කයයයි´ හෝ, ´සිත මම වෙමියි´ හෝ මාගේ සිතය´ යි හෝ මෙබඳු අදහසක් නොවේය´´ යි කීහ.

7. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර ඇඳකට නංවා පිටතට ගෙණ ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර බොල් මිටක් මෙන් එහිම විසුරුනේය.

_______________

6. සමිද්ධි සූත්‍රය. (4)

6. සමිද්ධි සූත්‍රය. (4)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, ´ලෝකය, ලෝකය´ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?´´

2. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

3. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ නැත්තේය´´ යි වදාළ සේක.

______________

5. සමිද්ධි සූත්‍රය. (3)

5. සමිද්ධි සූත්‍රය. (3)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, ´දුකය, දුකය´ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි දුක හෝ දුකය යන පැනවීම හෝ වන්නේද?´´

2. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.

3. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය´´ යි වදාළ සේක.

______________

2. මිගජාල සුත්‍රය. (2)

2. මිගජාල සුත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් මහාජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, එකලාව, සමූහයෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් දේශනා කරන්නේ නම් මැනව´´ කියායි.

3. ´´මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

4. ´´මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

5. ´´මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

6. ´´මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

7. ´´මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහුමය. ඉදින් මහණතෙම ඊට ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගිලෙයිද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලුනාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

8. ´´මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි ඇලෙයිද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදියි. මිගජාලය, තෘෂ්ණාව නිසා දුක් ඉපදීම වේ යයි කියමි.´´

9. ´´මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද,

එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.´´

10. ´´මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.´´

11. ´´මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.´´

12. ´´මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.´´

13. ´´මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද,

එහි නොගිලේද, එහි නොඇලෙන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධවීම වේ යයි කියමි.´´

14. ´´මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝද ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලී සිටීද, එහි නොඇලෙන්නාවූ, ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාලය, තෘෂ්ණාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධ වේ යයි කියමි.´´ යි වදාළ සේක.

15. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව දක්වා වැඩියේය. ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම හුදකලාව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්මාලය දුරුකොට වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අත්‍ර්‍ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය.

16. ´´ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචය්‍ර්‍යයාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශෙෂයෙන් දැනගත් සේක. ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙමේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළ සේක.

_______________

4. සමිද්ධි සූත්‍රය. (2)

4. සමිද්ධි සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, ´සත්ත්‍වයා, සත්ත්‍වයා´ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ වන්නේද?´´

2. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඤ්ඤාණය ඇත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධයෝ ඇත්තාහුද, ඝාණ විඤ්ඤාණය ඇත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඤ්ඤාණය ඇත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශයෝ ඇත්තාහුද, කාය විඤ්ඤාණය ඇත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඤ්ඤාණය ඇත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ ඇත්තේය.

3. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඤ්ඤාණය නැත්තේද, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඤ්ඤාණය නැත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඤ්ඤාණය නැත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඤ්ඤාණය නැත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඤ්ඤාණය නැත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඤ්ඤාණය නැත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි සත්ත්‍වයා හෝ සත්ත්‍වයා යන පැනවීම හෝ නැත්තේය´´ යි වදාළ සේක.

______________

3. සමිද්ධි සූත්‍රය. (1)

3. සමිද්ධි සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, ´මාරයා, මාරයා´ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් මාරයා හෝ, මාරයා පැනවීම හෝ වන්නේද?´´

2. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූප ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ ඇත්තේද, ශබ්ද ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝතවිඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්‍ධ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්‍ශ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

´´සමිද්ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්‍මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ ඇත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ ඇත්තේය.

3. ´´සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කණ නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්‍ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්‍ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය.

´´සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්‍මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්‍මයෝ නැත්තාහුද, එහි මාරයා හෝ මාරයාය යන පැනවීම හෝ නැත්තේය´´ යි වදාළ සේක.

______________