40. උදායි බ්‍රාහ්මණ සූත්‍රය.

1. “ඉක්බිති උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු කථා කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

2. “ගෞතමයන් වහන්නේ යාගය වර්‍ණනා කරන්නේද?” යනුයි. Continue reading

39. උජ්ජය සූත්‍රය.

1. “ඉක්බිති උජ්ජාය නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් උජ්ජාය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. Continue reading

38. පටිළීන සූත්‍රය.

1. “මහණෙනි, මෙයම සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කළ, සියලු සෙවීම් අත්හළ, ආශ්වාස, ප්‍රශ්වාස සංසිඳවූ මහණ තෙම විවේකයට පැමිණි යේයයි කියනු ලැබේ. මහණෙනි,
කෙසේනම් මහණ තෙම මෙය සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කෙළේ වෙයිද? මහණෙනි, මේ ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේම සත්‍යයයි ගත් නොයෙක් බොහෝවූ දෘෂ්ටි වෙත්ද, ඒ කවරහුද? ලෝකය ශාශ්වතයයි කියා හෝ ලෝකය අශාශ්වතයයි කියා හෝ ලෝකය අන්තයක් ඇත්තේයයි කියා හෝ ලෝකය අන්තයක් නැත්තේයයි කියා හෝ එයම ජීවයද, එයම ශරීරයද වෙයි කියා හෝ අනිකක් ජීවය අනිකක් ශරීරය කියා හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු නොවෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නොවෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු නොවෙයි නොදනොවෙයි කියා හෝ ගන්නාවූ දෘෂ්ටීහුය. භික්‍ෂුව විසින් ඒ සියලු දෘෂ්ටි උදුරා දමන ලද්දාහුද, හරන ලද්දාහුද, දුරු කරණ ලද්දාහුද, මුදන ලද්දාහුද, පහ කරණ ලද්දාහුද, ඉවත් කරණ ලද්දාහුද, මහණෙනි, මහණ තෙම මෙසේ වනාහි උදුරා දමන ලද වෙන වෙනම ගත් දෘෂ්ටි ඇත්තේ වෙයි.
Continue reading

37. අපරිහානීය ධම්ම සූත්‍රය.

1. “මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ මහණතෙම පිරිහීමට නුසුදුසුය. නිවන සමීපයෙහිම වේ. කවර සතරකින්ද යත්.

2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සීලයෙන් යුක්තවේද, ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද,

මහණෙනි, මහණ තෙම කෙසේ සීලයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහිද භය දක්නා සුළු වේද, ශික්‍ෂාපද දැඩිකොට ගෙන හික්මේද, මහණෙනි, භික්‍ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ. Continue reading

36. ද්‍රොණ (බ්‍රාහ්මණ) සූත්‍රය.

1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන් සේක. ද්‍රොණ බ්‍රාහ්මණ තෙමේද, උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ වේ. ද්‍රොණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිම් වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නාහුය.”

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, ද්‍රොණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ, එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුම්වූ අර්‍හත් මාර්‍ග නම් දමථයටත්, මාර්‍ග සමාධි නම් සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

3. “පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?” යි ඇසීය.

“බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම ගාන්‍ධර්‍වයෙක්ද නොවන්නෙමි.”

“පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි.”

“පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?” – “බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.”

4. “පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම දෙවියෙක්ද නොවන්නෙමි.” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක්

නොවන්නේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම “බමුණ, මම ගාන්‍ධර්‍වයෙක් නොවන්නේය” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නෙහිදැ?” යි මෙසේ විචාරණ

ලද්දේම, “බමුණ, මම යක්‍ෂයෙක් නොවේය” යි මෙසේ වදාළෙහිය. “පින්වතුන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම මනුෂ්‍යයෙක්

නොවේය” යි මෙසේ වදාළෙහිය. වැලිදු දැන් පින්වතුන් වහන්සේ කවරෙක් වන්නෙහිද?”

5. “බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොවූ බැවින් දෙවියෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් ගාන්ධර්‍වයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් යක්‍ෂයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් මනුෂ්‍යයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. මනුෂ්‍ය දීනත්‍වයට පමුණුවන ලද්දාහ.

6. “බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්ධයයි දරව.”

7. “යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්‍වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ  යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්ධ වෙමි.”

35. වස්සකාර සූත්‍රය.

1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම් තන්හි වේළුවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ, වස්සකාර බ්‍රාහ්මණ තෙම,  භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය.

2. එකත් පසෙක සිටි, මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි කරුණු සතරකින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමු´ යි කීයේය. කවර සතරකින්ද යත්, භවත් ගෞතමයන් වහන්ස, මේ ලොකයෙහි ඇසූ ඒ ඒ දෙයින් බහුශ්‍රුතවූයේ වේද, මේ මේ භාෂිතයාගේ අත්‍ර්‍ථයය, මේ මේ භාෂිතයාගේ අත්‍ර්‍ථයයි. ඒ ඒ භාෂිතයාගේ අත්‍ර්‍ථය දනීද, කර බොහෝ කල් ගිය දේද, කියා බොහෝ කල් ගිය දේද සිහි කරන්නාවූ, නැවත නැවත සිහි කරන්නාවූ සිහි ඇත්තේ වේද, ගෘහස්තයන්ට අයත්වූ කටයුතුවූ යමක් වේද, එහි දක්‍ෂවේද, අලස නුවූයේ වේද, මෙය කළ යුතුය, සංවිධාන කළයුතුයයි ඒ ඒ කටයුත්තෙහි උපායභූත ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, භවත් ගෞතමයන් වහන්ස, මේ කරුණු සතරින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයා පනවමි.”

3. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය පිළිගතයුතු නම් පිළිගනිත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය ප්‍රතික්‍ෂෙප කටයුතු නම් ප්‍රතික්‍ෂෙප කෙරෙත්වා.”

4. “බ්‍රාහ්මණය, මම මෙය පිළිගැනීමද නොකරමි. ප්‍රතික්‍ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම කරුණු සතරකින් යුක්තවූ, මහා ප්‍රාඥ, මහා පුරුෂයෙකු පනවමි. කවර කරුණු සතරකින්ද යත්.

5. “බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි බොහෝ දෙනාගේ හිත පිණිස පිළිපන්නේ වේද, බොහෝ දෙනාගේ සැප පිණිස පිළිපන්නේ වේද, බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවය වූද, කුශල
ස්වභාවය වූද, විදර්‍ශනා සහිත ආය්‍ර්‍ය මාර්ගයෙහි පිහිටුවන්නේ වේද, හෙතෙම යම් විතර්‍කයක් සිතන්නට කැමැති නම් ඒ විතර්‍කයයි සිතයිද, යම් විතර්‍කයක් සිතන්නට නොකැමැති නම් ඒ විතර්‍කය නොසිතයිද, යම් කල්පනාවක් සිතන්නට කැමති නම් එය කල්පනා කරයි. යම් කල්පනාවක් සිතන්නට නොහැකි නම් එය කල්පනා නොකරයි. මෙසේ විතර්‍කයන්හි සිත වසඟ කරගත හැකි බවට පැමිණියේ වේද,

6. “ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මම ඔවුන් පිළිගැනීමද නොකරමි. ප්‍රතික්‍ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම මේ ධර්ම සතරින් යුක්තවූ, මහත් ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමි.”

7. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චය්‍ර්‍යය. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් එපමණම යහපත් වචනයක් වදාරණ ලදී. අපි මේ ධර්ම සතරින්
යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ දරමු. භවත් ගෞතමයන් වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, පිළිපන්නාහු වෙත්. යහපත් ස්වභාවය වූද, කුසල
ස්වභාවය වූද, ආය්‍ර්‍ය මාර්‍ගයෙහි බොහෝ ජනයා පිහිටුවන්නාහුද වෙත්. භවත් ගෞතමයන් වහන්සේ යම් විතර්‍කයක් සිතන්ට කැමති නම් ඒ විතර්‍කය සිතන්නාහ. යම් විතර්‍කයක් සිතන්ට
නොකැමැති නම් ඒ විතර්‍කය නොසිතන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට කැමැති නම් ඒ කල්පනාව කල්පනා කරන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට නොකැමැති නම් ඒ කල්පනාව කල්පනා නොකරන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණි සේක.

8. “භවත් ගෞතමයන් වහන්සේ, ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නාහුද, නිදුකින් ලබන්නාහුද, පහසුවෙන් ලබන්නාහුද
වෙත්. භවත් ගෞතමයන් වහන්සේ, ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරණ සේක.”

9. “බ්‍රාහ්මණය, තොප විසින් ඒකාන්තයෙන් උසස්කර කියන වචනයක් කියන ලද්දේ වෙමි. එතකුදු වුවත් මම තොපට ප්‍රකාශ කරමි. බ්‍රාහ්මණය, මම වනාහි බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස පිළිපන්නේ වෙමි. මා විසින් බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවයවූ, කුශල ධර්ම ස්වභාවයවූ, ආය්‍ර්‍ය මාර්‍ගයෙහි පිහිටුවන ලදහ. බ්‍රාහ්මණය, මම

වනාහි යම් විතර්‍කයක් සිතන්නට කැමැත්තෙම්ද, ඒ විතර්‍කය සිතන්නෙමි. යම් විතර්‍කයක් සිතන්නට නොකැමැත්තෙම්ද ඒ විතර්‍කය නොසිතමි. යම් කල්පනාවක් කල්පනා කරන්නට කැමැත්තෙම්ද, ඒ කල්පනාව කල්පනා කරමි. යම් කල්පනාවක් කල්පනා කිරීමට නොකැමැත්තෙම් නම් ඒ කල්පනාව කල්පනා නොකරමි. බ්‍රාහ්මණය, මම විතර්‍කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණියෙමි. බ්‍රාහ්මණය, මම වනාහි ඉතා පිරිසිදු සිතින් උපන්, මෙලොවම සැප විහරණ ඇති ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේද, පහසුවෙන් ලබන්නේද, නිදුකින් ලබන්නේද වෙමි. බ්‍රාහ්මණය, මම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත්ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරමි.

10. “බොහෝ දෙනා යමක් ඒකාන්තයෙන් දැකද, අසාද පහදිත්. සියලු සත්ත්‍වයන් මාරපාසයෙන් මිදීම යමෙක් දැන ගත්තේද? උන්වහන්සේ දෙව් මිනිසුන්ට හිතවත්වූ න්‍යාය ධර්මය ප්‍රකාශ කළ සේක්ද? මග නොමග දක්‍ෂවූ, කළ කටයුතු ඇති, ආශ්‍රව රහිත, අන්තිම සිරුර දරන, මහා ප්‍රාඥා බුදුරජානන් වහන්සේ මහා පුරුෂයයි කියනු ලැබේ.”

34. අග්ගප්පසාද සූත්‍රය.

1. “මහණෙනි, මේ අග්‍ර පැහැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්.

2. “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්‍වයෝ ඇත්තාහුද, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ.

මහණෙනි, සංඛත ධර්‍මයෝ යම් තාක් ඇත්තාහුද, ඔවුන් අතුරෙන් ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුනෝය. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ.

මහණෙනි, සංඛතවූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්‍ම වෙත්ද, ඔවුන් අතුරෙන් විරාග සංඛ්‍යාත නිර්‍වාණය අග්‍රයයි කියනු ලැබේ. මදය නොමදයක් කරන, පිපාස සංසිඳුවන, තෘෂ්ණාව නසන, වට්ටය සිඳින, තෘෂ්ණා ක්‍ෂයවූ, විරාගවූ, නිරෝධවූ නිර්‍වාණයක් නිර්‍වාණයයි. මහණෙනි, යම් කෙනෙක් ධර්‍මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකවේ. මහණෙනි, යම්තාක් සමූහයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වූ, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ,

දක්ඛිණෙය්‍යවූ, අඤ්ජලිකරණීයවූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝයා අග්‍රයි. මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර

දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකය වේ. මහණෙනි, මේ අග්‍රයන් කෙරෙහි පැහැදීම් සතරය.

“ඒකාන්තයෙන් අග්‍රවූවන්ට පැහැදුනවුන්ට, අග්‍රවූ ධර්‍මය දැනගන්නවුන්ට, නිරුත්තර, අග්‍ර දක්‍ෂිණෙය්‍යවූ, බුදුන් කෙරෙහි පැහැදුනවුන්ට, රාගයෙන් දුරුවූ, සංසිඳීම් සැපය ඇති, අග්‍ර

ධර්‍මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රවූ අග්‍ර සංඝයා කෙරෙහි පැහැදුණවුන්ටද, අග්‍ර වස්තූන් කෙරෙහි දන් දෙන්නවුන්ටද, අග්‍රවූ පින් වැඩෙයි. අග්‍රවූ ආයු, වර්‍ණ, සැප, බල, යසස්, කීර්ති ලැබෙයි. අග්‍ර ධර්‍මයන්ගෙන් යුක්තවූ, අග්‍ර පුද්ගලයාට දන් දෙන්නාවූ, අග්‍ර ධර්‍මයෙන් යුත් නුවණැති පුද්ගල තෙමේ දෙවි වූයේ හෝ, මනුෂ්‍ය වූයේ හෝ, අග්‍ර සැපයට පැමිණ සතුටු වෙයි.”

33. සීහොපම සූත්‍රය.

1. “මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු නාද කරන්නාවූ, මෘගරාජවූ සිංහයාගේ ශබ්දය අසත්ද, ඔවුහු බොහෝ සෙයින් භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. ගුල්වල වාසය කරන්නාහු, ගුලට ප්‍රවිෂ්ට වෙත්. ජලයෙහි වාසය කරන්නාහු, ජලයට ප්‍රවිෂ්ට වෙත්. වනයෙහි වාසය කරන්නාහු, වනයට ප්‍රවිෂ්ට වෙත්. පක්‍ෂීහු ආකාශයට යත්.

2. “මහණෙනි, ගම්, නියම්ගම්, රාජධානීන්හි තද වරපට බන්‍ධනයෙන් බඳින ලද රජුගේ ඇත්තු වෙද්ද, ඔවුහුද ඒ බන්‍ධන සිඳ බිඳ, බිය වූවාහු, මළ මූත්‍ර කරමින්, යම් ඒ තැනක පලායත්. මහණෙනි, තිරිසන්ගත සතුන් අතරින් සිංහවූ මෘග රාජයා මෙසේ මහත් ඎද්ධි ඇත්තේය. මෙසේ මහෙසාක්‍ය වන්නේය. මෙසේ මහානුභාව ඇත්තේය.

3. “මහණෙනි, එසේම යම් කලෙක්හි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා, පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, සුගතවූ, ලොකය දත්, නිරුත්තර පුරුෂධම්ම සාරථීවූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවූ, බුද්ධවූ, භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. හෙතෙමේ මේ සක්කාය නම් පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මේ සක්කාය සමුදය නම් පඤ්චඋපාදානස්කන්‍ධයට හේතුවයි. මේ සක්කාය නිරෝධයය. මේ සක්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාවයයි ධර්මය වදාරයි.

4. “මහණෙනි, දීර්‍ඝායුෂ්කවූ, වර්‍ණවත්වූ, සැප බහුලකොට ඇත්තාවූ, උස්වූ විමානවල බොහෝකල් සිටින්නාවූ, යම් දේවතා කෙනෙක් ඇද්ද, ඔවුහුද තථාගතයන් වහන්සේගේ ධර්මය අසා බොහෝ සෙයින්, භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් අනිත්‍යවූ අපි, නිත්‍යයයි සිතුවෙමු. පින්වත්නි, ඒකාන්තයෙන් අනියතවූ අපි, නියතයයි සිතුවෙමු. පින්වත්නි, අශාස්වත අපි, ශාස්වතයයි සිතුවෙමු. අපිදු පින්වත්නි, අනිත්‍ය වෙමු, අනියත වෙමු, අශාස්වත වෙමු, පඤ්චඋපාදානස්කන්‍ධයට ඇතුළත් වෙමු කියායි.

මහණෙනි, තථාගත තෙම, මෙසේ මහත් සෘද්ධි ඇත්තේය.. දෙවියන් සහිත ලෝකයට මෙසේ මහේශාක්‍යය. මෙසේ මහානුභාව ඇත්තේය.

5. “දෙවියන් සහිත ලෝකයාගේ අතිපුද්ගලවූ, ශාස්තෲවූ බුදුරජ තෙම, පඤ්චඋපාදානස්කන්‍ධ සංඛ්‍යාත සක්කායද, එහි නිරෝධයද, එහි හේතුවද, දුක්ඛයාගේ සංසිඳීමට පැමිණෙන

මාර්‍ගයද, විශිෂ්ට ඥානයෙන් දැන, යම් කලෙක්හි ධර්ම චක්‍රය පැවැත්වූයේද, වර්‍ණවත්වූ, යසස් ඇත්තාවූ, දීර්‍ඝායුෂ්කවූ දෙවියෝ සෙසු මෘගයෝ සිංහයාට මෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ, තාදීවූ, බුදුරජානන් වහන්සේ ගේ වචනය අසා, පින්වත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය වෙමු. සක්කාය නොඉක්මවූ වෙමුයි බිය වූවාහුය. තැතිගැන්මට පැමිණියාහුය.”

32. සංගහවත්‍ථු සූත්‍රය.

1. “මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

2. “දානය, ප්‍රිය වචනය, අත්‍ර්‍ථචය්‍ර්‍යාව, සමානාත්මතාව යන සතරයි. මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.

3. “මේ ලෝකයෙහි දීමද, ප්‍රිය වචනයද, අභිවෘද්ධිය ඇතිවන කථාද, දීමද, ප්‍රිය වචනයද, අභිවෘද්ධිය සුදුසු පරිද්දෙන් සමානාත්මතාවද යන ලෝකයෙහි මේ සංග්‍රහයෝ වනාහි යන රථයාගේ ඇණය මෙනි. මවු තොමෝ මේ සංග්‍රහයන් පුත්‍රයන්ට නොකරන්නාහූ, ඉදින් පියතෙමේ මේ සංග්‍රහයන් පුතාට නොකරන්නේද, සැලකිල්ලක් හෝ පූජාවක් හෝ නොලබන්නාහුය. යම්සේ පණ්ඩිතයෝ මේ සංග්‍රහයෝ සමව බලත්ද, එසේ හෙයින් ඔවුහු මහත්‍වයට පැමිණෙත්, ප්‍රශංසාර්‍හද වෙත්.”

31. චතු චක්ක සූත්‍රය.

1. “මහණෙනි, යමකින් යුක්තවූ දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්නාහුද, යමකින් යුක්ත දිව්‍ය මනුෂ්‍යයෝ භොගයන්හි නොබෝ කලකින් මහත් බවට, විපුල බවට පමුණුවත්ද, මේ සම්පත් සතරකි. කවර සතරක්ද යත්?

2. “සුදුසු ප්‍රදේශයෙහි වාසයද, සත්පුරුෂයන්ගේ ආශ්‍රයද, තමන් මනාකොට පිහිටුවීම, පෙර රැස්කළ පින් ඇති බවද, යමකින් යුක්ත දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්වයි. යමකින් යුක්තවූ දෙවි මිනිස්සු නොබෝ කලකින් භොගයන්හි මහත්‍වයට, විපුලත්‍වයට පැමිණෙත්ද, මහණෙනි, මේ සම්පත් සතර වෙත්.

3. “සුදුසු ප්‍රදේශයන්හි වසන්නේද, ආය්‍ර්‍ය චිත්තය (දියුණු) කරන්නෙක් වන්නේය. තමා මනාකොට පිහිටුවීමෙන් යුක්තවූ, පෙරකළ පින් ඇති, මනුෂ්‍යතෙම ධාන්‍යයටද, ධනයටද, යසසටද, කීර්තියටද, යන මේ සැපයට අධිකව පැමිණේ.”