10. මච්ඡරිය සංයෝජන සූත්‍රය

1. ´´මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.

2. ´´කවර සතක්ද යත්? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්ඡරිය සංයෝජනය යන මේ සත සංයෝජනයෝ වෙති.´´


9. සංයෝජන සමුච්ඡේද සූත්‍රය

1. ´´මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
2. ´´කවර සතකගේද? අනූනය සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
3. ´´ මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
4. ´´මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.

8. සත්ත සංයෝජන සූත්‍රය

1. ´´ මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
2. ´´කවර සතක්ද? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, භවරාග සංයෝජනය, අවිජ්ජා සංයෝජනය, මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.´´

7. උග්ගමහාමත්ත සූත්‍රය

1. ´´ඉක්බිත්තෙන් උග්ග නම් රාජ මහාමාත්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ග රාජ මහාමාත්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
2. ´´ස්වාමිනි, ආශ්චය්‍ර්‍යයකි. ස්වාමීනි, පුදුමයකි. රොහනෙය්‍ය නම් මිගාර තෙම යම්තාක් ආඪ්‍යද, යම්තාක් මහත් ධන ඇත්තේද, යම්තාක් මහා භෝග ඇත්තේ වෙයිද, ස්වාමීනි, රෝහනෙය්‍ය නම් මිගාරතෙම. කොපමණ ආඪ්‍යවූයේද, කොපමණ මහත් ධන ඇත්තේද, කොපමණ මහා භෝග ඇත්තේද, අමුරන්ම ලක්‍ෂයකි. රිදී ගැන කියනුම කවරේද?
3. ´´උග්ගය, ඇත්තාවූ ඒ ධනය ඕහට නැත්තේයයි කියමි. උග්ගය, එසේ නමුදු ඒ ධනය ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද සාධාරණ වන්නේය.
4. ´´උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
5. ´´ඒ සත කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
6. ´´ශ්‍රද්ධා ධනයද, වීය්‍ර්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.´´

6. විත්‍ථතසත්තධන සූත්‍රය

1. ´´මහණෙනි, මේ ධනයෝ සත් දෙනෙක් වෙත්.
2. කවර සත් දෙනෙක්ද යත්? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. මහණෙනි, මේ සප්ත ධනයෝ වෙත්.
3. ´´මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා ධනයයි කියනු ලැබේ.
4. ´´මහණෙනි, ශීල ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, අන්සතු දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරුකීමෙන් වෙන්වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ ශීල ධනයයි කියනු ලැබේ.
5. ´´මහණෙනි, හිරි ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ලජ්ජාවේද. කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි ධනයයි කියනු ලැබේ.
6. ´´මහණෙනි, ඔත්තප්ප ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, බිය ඇත්තේ බිය වේද, මහණෙනි, මේ ඔත්තප්ප ධනයයි කියනු ලැබේ.
7. ´´මහණෙනි, ශ්‍රුත ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, ශ්‍රුතධරවූයේ ශ්‍රුතසන්නිචය (බොහෝ පළපුරුදු) වූයේ යම් ඒ ධර්මයෝ මුල පිරිසිදුවූ, මැද පිරිසිදුවූ, අග පිරිසිදුවූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් පරිපූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ ධරණ ලද්දේ වචනයෙන් පුරුදු කරණ ලද්දේ, සිතින් මෙනෙහි කරණ ලද්දේ, සම්‍යක් දෘෂ්ටියෙන් මනාකොට යෙදුනේ, බහුශ්‍රුත වෙත්ද, මහණෙනි, මෙය ශ්‍රුත ධනයයි කියනු ලැබේ.
8. ´´මහණෙනි, ත්‍යාග ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම පහවූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේද, පරිත්‍යාගය ඇත්තේ, දීමට සෝදන ලද අත් ඇත්තේ, දීමට ඉල්ලීමෙහි යෙදුනේ, දීමට සුදුස්සන් තෝරා දීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මෙය ත්‍යාග ධනයයි කියනු ලැබේ.
9. ´´මහණෙනි, ප්‍රඥා ධනය කවරේද? මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කරන්නාවූ, ආය්‍ර්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා ධනයයි කියනු ලැබේ.´´
10. ´´ශ්‍රද්ධා ධනයද, වීය්‍ර්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.´´

5. සංඛිත්තසත්තධන සූත්‍රය

1. ´´මහණෙනි, මේ ධනයෝ සත් දෙනෙක් වෙත්.
2. කවර සත් දෙනෙක්ද යත්? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. මහණෙනි, මේ සප්ත ධනයෝ වෙත්.
3. ´´ ශ්‍රද්ධා ධනයද, ශීල ධනයද, හිරි ධනයද, ඔත්තප්ප ධනයද. ශ්‍රුත ධනයද, ත්‍යාග ධනයද. ප්‍රඥා ධනයද ඒකාන්තයෙන් සත්වන ධනය වේ. යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ මේ සප්තායය්‍ර්‍ය ධනයෝ ඇත්තාහුද, ඔහු දළි නොවේයයි කියත්. ඔහුගේ ජීවිත වෘත්තිය සිස් නොවේ. එහෙයින් පණ්ඩිතතෙම බුන්ගේ අනුශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්මය දැකීමද යොදන්නේය.´´

4. විත්‍ථතසත්තබල සූත්‍රය

1. ´´මහණෙනි, මේ බලයෝ සතක් වෙත්.
2. ´´කවර සතක්ද යත්? ශ්‍රද්ධා බලය, වීය්‍ර්‍ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය, මහණෙනි, මේ සප්ත බලයෝ වෙති.
3. ´´මහණෙනි, ශ්‍රද්ධා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා බලයයි කියනු ලැබේ.
4. ´´මහණෙනි, වීය්‍ර්‍යබලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසද. කුසල ධර්මයන්ගේ වැඩීම පිණිසද, උත්සාහ ඇත්තේ, දැඩි පරාක්‍රම ඇත්තේ, කුශල ධර්මයන්හි අත් නොහල උත්සාහ ඇත්තේද, මහණෙනි, මේ වීරිය බලයයි කියනු ලැබේ.
5. ´´මහණෙනි, හිරි බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිදවීම පිණිස ලජ්ජාවේද. කායශ්චරිතයෙන්ද, වචීශ්චරිතයෙන්ද, මනොශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි බලයයි කියනු ලැබේ.
6. ´´මහණෙනි, ඔත්තප්ප බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිදවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කායශ්චරිතයෙන්ද, වචීශ්චරිතයෙන්ද, මනොශ්චරිතයෙන්ද, බිය ඇත්තේ බිය වේද, මහණෙනි, මේ ඔත්තප්ප බලයයි කියනු ලැබේ.
7. ´´මහණෙනි, ස්මෘති බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම උතුම්වූ ස්මෘති ප්‍රඥාවෙන් යුක්තවූයේ කොට බොහෝ කල්වූ දෙයද කියා බොහෝ කල් ගතවූ දෙයද සිහිකරන්නේ මනාකොට සිහිකරන්නේ ස්මෘතිමත් වේද, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.
8. ´´මහණෙනි, සමාධි බලය කවරේද? මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිදමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විදයි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම,දක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
9. ´´මහණෙනි, ප්‍රඥා බලය කවරේද? මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දක් කෙළවර කරන්නාවූ, ආය්‍ර්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.´´
10 ´´ශ්‍රද්ධා බලයද, වීය්‍ර්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබද භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.´´

3. සංඛිත්තසත්තබල සූත්‍රය

1. ´´මහණෙනි, මේ බලයෝ සතක් වෙත්.
2. ´´කවර සතක්ද යත්? ශ්‍රද්ධා බලය, වීය්‍ර්‍ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය, මහණෙනි, මේ සප්ත බලයෝ වෙති.
3. ´´ශ්‍රද්ධා බලයද, වීය්‍ර්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාය්‍ර්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.´´

2. අමනාපභික්ඛු සූත්‍රය

1. ´´කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.
2. ´´කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමැත්තේ වේද, සත්කාරය කැමැත්තේ වේද, පවිටු අදහස් ඇත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පාපයට භය නැත්තේ වේද, ඊෂ්‍ර්‍යාව ඇත්තේද, මසුරුද කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.
3. ´´මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
4. ´´කවර කරුණු සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය නොකැමැත්තේද, සත්කාරය නොකැමැත්තේද, පවිටු අදහස් නැත්තේද, පවට ලජ්ජා ඇත්තේද, පවට බිය ඇත්තේද, ඊෂ්‍ර්‍යාව නැත්තේද, මසුරුකම නැත්තේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.

1. අප්පිය භික්ඛු සූත්‍රය

 

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට, ´´මහණෙනි,´´ යි ඇමතූ සේක.´´ස්වාමීනි,´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
2. ´´මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද,අගරුවූයේද, අසම්භාවනීයද වෙයි.
3. ´´කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමැත්තේ වේද, සත්කාරය කැමැත්තේ වේද,පවිටු අදහස් ඇත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, වැරදි ඇදහීම් ඇත්තේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, අගරුවූයේද, අසම්භාවනීයද වෙයි.
4. ´´මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද,ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
5. ´´කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමති නොවේද,සත්කාරය කැමති නොවේද, පාපයට බිය ඇත්තේද, පාපයට ලජ්ජා ඇත්තේද,පවිටු අදහස් නැත්තේද,සම්‍යක් දෘෂ්ටි ඇත්තේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.