10. රජ්ජ සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

10. රජ්ජ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.

2. එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. ´´ අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?´´

3. පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා ´´

4. එවිට භාග්‍යවතුන් වහන්සේ ´´ පාපිය, ´නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා´ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ? ´´ යි කීහ.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ´හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා´ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.´´ යි ( මාරයා කීය. )

6. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.

´´යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ´පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය´ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.´´

7. එවිට පාපී මාරයා ´බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති´ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.

දෙවෙනි වගයි.

__________

9. කස්සන සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
9. කස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.

2. එවිට පාපී මාරයාට මේ අදහස විය. ´´ මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.´´

3. පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.

4. පැමිණ, ´´මහණ, මා ගොනුන් දුටුයෙහිදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

5. ´´පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?´´

6. ´´මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

8. ´´පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

9. ´´පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

10. ´´පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

11. ´´ පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.

12. ( එවිට මාරයා මෙසේ කීය: ) ´´යමෙකුට ´මෙය මගේය´ යි කියත්ද, යම් කෙනෙක්, ´මෙය මගේය´

යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.´´

13. (බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ යමෙක් ´මෙය මගේය´ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ´මෙය මගේය´ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

__________


10. ( දෙවෙනි ) ආයු සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

10. ( දෙවෙනි ) ආයු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු හවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.´´

3. එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය:

´´රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.´´

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.´´

5. එවිට පාපී මාරයා ´බුදුහු මා හඳුනති. සුගතයෝ මා දනිතැ´ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන්විය.

( පලමු වග නිමියේය. )

__________

8. පිණ්ඩ සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
8. පිණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.

2. එකල වනාහි පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. ( තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ. )

3. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.

4. එකල පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් පාපී මාරයා ´ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා´ යි සිතා ආවේශ විය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.

6. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ´´මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

7. ´´පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?´´

8. ස්වාමීණි , එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.´´

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත. පවිට, තෝ ´මට පව් පල නොදෙතැ´ යි සිතහිද? එසේ නොසිතව.

´´බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද, ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ. ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙම්‍ර,´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

__________

9. ( පළමුවන ) ආයු සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
9. ( පළමුවන ) ආයු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන්ට ) මෙසේ වදාළසේක. ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, ( එබැවින් ) කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.

´´මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´´ මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.´´

5. එවිට පාපී මාරයා, ´ භාග්‍යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

__________


6. පත්ත සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
6. පත්ත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

1. එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්‍දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්

2. එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය. ´´ශ්‍රමණ ගෞකම තෙම උපාදානස්කන්‍ධ පස ගැන භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්‍දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්‍ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණකරලන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක.´´

3. එකල බොහෝ පාත්‍රා ( වේලනු පිණිස ) එළිමහණෙහි තබන ලද්දෝය.

4. එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.

5. එවිට එක්තරා භික්‍ෂුවක් අන් භික්‍ෂුවකට ´´මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී´´ යි කීය.

6. ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට ´´භික්‍ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නූවනැස් කණ කරන්නට ආයේය.´´ යි වදාළසේක.

7. ඉක්බිති ´මේ පාපී මාරයා´ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

´´ රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤචකන්‍ධය ´´මම් නොවෙමි´´ ´මෙය මාගේ නොවේයැ´ යි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.

´´මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් ( සංයෝජන ) ඉක්මවා සිටි ඒ රහත්හු මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.´´

8. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

__________

7. සුප්පති සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
7. සුප්පති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ´අසුවල් වේලෙහි නැගී සිටුම්හ´ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම ( සිංහශය්‍යාව) කළසේක.

3. එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

´´ කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ´මට හිස් ගෙයක් ලැබිණැ ´ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?´´

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´ දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන

තෘෂ්ණාව කිසි අරමුණකට ( තමා ) පමුණුවන්නට ( හැකිසේ ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව ) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?´´

5. පාපී මාරයා එය අසා, ´ භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

__________

6. සප්ප සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
6. සප්ප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්‍ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.

3. එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.

4. තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද,

ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම ( මයිනහම ) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ ´ මේ පාපී මාරයායැ´ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක.

´´යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්‍පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.´´

´´ අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.´´

6. ඉක්බිති ඒ පාපී මාරයා, ´´භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ´´ යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

__________

5. මානස සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
5. මානස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

´´ අහසින් යන්නවුන් පවා බැඳගන්නා, සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද, එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ, තෝ මගෙන් නොමිදෙන්නෙහිය.´´

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස හා කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද, එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.´´

5. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

__________

7. ආයතන සූත්‍රය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
7. ආයතන සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක.

එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.

2. එකල පාපී මාරයාට මේ සිත විය. ´´ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.

4. එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට ´´මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය´´ යි කීය.

5. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට ´´මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය´´ යි වදාළසේක.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ´මේ පාපී මාරයාය´ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:

´´රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය

ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.´´

´´බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ ( ආයතන සයද ) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ ( තුන් භවයද ) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

__________