3. නාලන්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ උයනෙහි වැඩ වසන සේක. එකල්හි උපාලි නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ උපාලි නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. , සවාමීනි, යම් හෙයකින් Continue reading

10. ඵග්ගුණ සුත්‍රය.

10. ඵග්ගුණ සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂමත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්ත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් ඇත්තේද?

´´ස්වාමීනි, යම් කණක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කණක් ඇත්තේද?

´´ස්වාමීනි, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර

කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් ඇත්තේද?

´´ස්වාමීනි, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් ඇත්තේද?

´´ස්වාමීනි, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් ඇත්තේද?

´´ස්වාමීනි, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරණ ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් ඇත්තේද?´´ කියායි.

3. ´´ඵග්ගුණය, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් නැත්තේය.

´´ඵග්ගුණය, යම් කණක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කණක් නැත්තේය.

´´ඵග්ගුණය, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර

කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් නැත්තේය.

´´ඵග්ගුණය, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් නැත්තේය.

´´ඵග්ගුණය, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් නැත්තේය.

´´ඵග්ගුණය, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් නැත්තේය´´ යි වදාළ සේක.

( 3 වෙනි ගිලාන වර්‍ගය නිමි. )

9. ලෝක සුත්‍රය.

9. ලෝක සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමිනි, ´ලෝකය, ලෝකය´ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?´´ යනුවෙනි.

3. ´´මහණෙනි, නැසෙන හෙයින් ලෝකයයි කියනු ලැබේ. කුමක් නැසේද යත්, මහණ, ඇස වනාහි නැසේ. රූපයෝ නැසෙත්. චක්ඛු විඤ්ඤාණය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.

4. ´´කණ නැසෙයි. ශබ්දයෝ නැසෙත්. සෝත විඤ්ඤාණය නැසෙයි. සෝත සම්ඵස්සය නැසෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.

5. ´´නාසය නැසෙයි. ගන්‍ධය නැසෙයි. ඝාණ විඤ්ඤාණය නැසෙයි. ඝාණ සම්ඵස්සය නැසෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.

6. ´´දිව නැසෙයි. රසය නැසෙයි. ජිව්හා විඤ්ඤාණය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.

7. ´´කය නැසෙයි. ස්පර්‍ශය නැසෙයි. කාය විඤ්ඤාණය නැසෙයි. කාය සම්ඵස්සය නැසෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.

8. ´´සිත නැසෙයි. ධර්‍මයෝ නැසෙත්. මනෝ විඤ්ඤාණය නැසෙයි. මනෝ සම්ඵස්සය නැසෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. මහණ, නැසෙන හෙයින් වනාහි ලෝකයයි කියනු ලැබේය´´ යි වදාළ සේක.

______________

8. භික්ඛු සුත්‍රය.

8. භික්ඛු සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, මෙහි අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ´ඇවැත්නි, කිනම් අත්‍ර්‍ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද´ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු. ´ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි.

3. ´´ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්‍මයට එකඟව ප්‍රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ´´ යි ඇසූහ.

4. ´´මහණෙනි, තෙපි මෙසේ අසන ලද්දාහු, මෙසේ ප්‍රකාශ කරන්නාහු නම් මා විසින් කියන ලද්දක් කියන්නාහුද වෙත්. මට අභූතයෙන් චෝදනා කරන්නාහුද නොවෙත්. ධර්‍මයට එකඟව ප්‍රකාශ කරන්නාහුද වෙත්. කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු තැනට පැමිණෙන්නේද නොවේ. මහණෙනි, මා කෙරෙහි දුක පිරිසිඳ දැනිම පිණිසම මහණකම් කරන්නේය.

´´මහණෙනි, ඉදින් තොපගෙන් අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයෝ, ´ඇවැත්නි, යමක් පිරිසිඳ දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද, ඒ දුක කවරේදැ´ යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්.

5. ´´ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රූපය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

6. ´´කණ වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ශබ්දය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

7. ´´නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ගන්‍ධය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

8. ´´දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

9. ´´කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ස්පර්‍ශය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.

10. ´´සිත දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. ධර්‍මයෝ දුකය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය.

´´ඇවැත්නි, දුක නම් මේය. ඒ දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය.

´´මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්´´ යයි වදාළ සේක.

_______________

7. අවිජ්ජා සූත්‍රය. (2)

7. අවිජ්ජා සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේද?´´

´´මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය´´ යි වදාළ සේක.

´´ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්ද?´´

´´මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ´´.

´´ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?´´

3. ´´මහණ, මෙහි භික්‍ෂූහු විසින් සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මෙසේ සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි භික්‍ෂූහු විසින් අසන ලද්දේද, හෙතෙම ඒ සියලු ධර්‍මය දනියි. සියලු ධර්‍මය දැන, සියලු ධර්‍මය පිරිසිඳ දනියි. සියලු ධර්‍මය පිරිසිඳ දැන, සියලු නිමිති අන් දෙයක් වශයෙන් දකියි. ඇස අන් දෙයක් වශයෙන් දකියිද, රූපයන් අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

4. ´´කණ අන් දෙයක් වශයෙන් දකීද, ශබ්දයන් අන් දෙයක් වශයෙන් දකීද, සෝත විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

5.´´නාසය අන් දෙයක් වශයෙන් දකීද, ගන්‍ධය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

6. ´´දිව අන් දෙයක් වශයෙන් දකීද, රසය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

7. ´´කය අන් දෙයක් වශයෙන් දකීද, ස්පර්‍ශය අන් දෙයක් වශයෙන් දකීද, කාය විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

8. ´´සිත අන් දෙයක් වශයෙන් දකීද, ධර්‍මය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදීයයි වදාළ සේක.

_______________

6. අවිජ්ජා සූත්‍රය. (1)

6. අවිජ්ජා සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේදැ´´ යි ඇසීය.

´´මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය´´ යි වදාළ සේක.

´´ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්දැ´´ යි ඇසීය.

´´මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ´´ යයි වදාළ සේක.

´´ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?´´

3. ´´මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය දන්නාවූ,

දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

4. ´´මහණ, කණ වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

5. ´´මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

6. ´´මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

7. ´´මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

8. ´´මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම්

මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී´´ යයි වදාළ සේක.

_______________

5. රාධ සූත්‍රය. (3)

5. රාධ සූත්‍රය. (3)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරණ සේක් නම් මැනවැ´´ යි කීය.

3. ´´රාධය, යමක් වනාහි අනාත්මද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනාත්මද? රාධය, ඇස වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

4. ´´කණ වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

5. ´´නාසය වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

6. ´´දිව අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

7. ´´කය අඅනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

8. ´´සිත අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය´´ යි වදාළ සේක.

_______________

4. රාධ සූත්‍රය. (2)

4. රාධ සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරණ සේක් නම් මැනවැ´´ යි කීය.

3. ´´රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් දුකද? රාධය, ඇස වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

4. ´´කණ වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

5. ´´නාසය වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුකවේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

6. ´´දිව දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

7. ´´කය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

8. ´´සිත දුක වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය´´ යි වදාළ සේක.

_______________

3. රාධ සූත්‍රය. (1)

3. රාධ සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්

තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරණ සේක් නම් මැනවැ´´ යි කීය.

3. ´´රාධය, යමක් වනාහි අනිත්‍යද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනිත්‍යද? රාධය, ඇස වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

4. ´´කණ වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

5. ´´නාසය වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනිත්‍යය වේ. එහි තොප

විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

6. ´´දිව අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

7. ´´කය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.

8. ´´සිත අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය´´ යි වදාළ සේක.

_______________

2. ගිලාන සූත්‍රය. (2)

2. ගිලාන සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක උන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ´´ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ,

දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් යහපතියි´´ කියායි.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, ´´මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පණවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම හිඳගන්නෙමි´´ යි වදාළ සේක.

3. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. ´´මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද, කිමෙක්ද, තොපගේ දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේදැ´´ යි ඇසූහ.

4. ´´ස්වාමීනි, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙති. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේය´´ යයි කිය.

´´මහණ, කිමෙක්ද, තොපට කිසි කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?´´

´´ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය´´ යි කීය.

´´මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කෙරේද?´´ – ´´ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකෙරේයයි´´ කීය.

´´මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එසේ ඇති කල්හි කවර කරුණකින්

කුකුසක් වේද, පසුතැවිමක් වේද?´´ – ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිසුද්ධිය පිණිස ධර්මය දේශනා නොකරණ ලද බව දනිමි´´

´´මහණ, ඉදින් වනාහි නුඹ මා විසින් ශීලවිසුද්ධිය පිණිස ධර්මය දේශනා නොකරණ ලද බව දන්නෙහි නම්, මහණ, එකල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරණ ලදැයි දන්නෙහිද?´´ – ´´ස්වාමීනි, මම උපාදාන රහිතව පිරිණිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරණ ලදැයි දනිමි´´ යි කීය.

´´යහපත, යහපත, මහණ, මහණ, නුඹ උපාදාන රහිතව පිරිණිවීම පිණිස මා විසින් ධර්මය දේශනා කරණ ලදැයි දන්නෙහි. එය මැනව. මහණ, මා විසින් උපාදාන රහිතව පිරිණිවීම පිණිස ධර්මය දේශනා කරණ ලදී.´´

´´මහණ, නුඹ ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය, ´මෙය මාගේය, මෙය මම වෙමියි, මෙය මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, එය සුදුසු නොවේමැයි´´

´´රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙය මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්ත්ද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, එය සුදුසු නොවේමැයි´´

´´චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

3. ´´මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´සෝතවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´සෝතසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

4. ´´මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ඝාණවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ඝාණසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

5. ´´මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ජිව්හාවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ජිව්හාසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ජිව්හාසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

6. ´´මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´කායවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´කායසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´කායසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

7. ´´මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´මනෝවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි´´

8. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

9. ´´ කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

10. ´´නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ´´දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ´´කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ´´සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. ´´ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී´´ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේයයි වදාළ සේක.´´

_______________