27.පුලින පූජක ථෙරාපදානය

787  විපස්සි බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ බොධි දාම්මූලයෙහි පරණ වැලි අස්කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.

788  මින් එක් අනූවන කපෙහි මම යම් වැලි (විසිරවීමේ) දානයක් දුනිම්ද,  (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   මෙය වාලුකා (වැලි) දානයාගේ විපාකයයි.

789  මින් තෙපණස්වන කපෙහි ජනයා අභිභවනය කරන්නාවූ මහත් බල ඇති ´´මහා පුලින´´ නම්වු සක්විති රජෙක් වීමි.

790  මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

26. ධූපදායක ථෙරාපදානය.

847  ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ (ගන්‍ධ කුටියට) පැහැදුණු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳකිළියට සුවඳ දුමක්) දෙන ලදී.

848  යම් පින්කමක් කරණකොටගෙන දිව්‍යවූ හෝ,  මනුෂ්‍යවූ හෝ,  යම් යම් භවයක උපදිම් නම් සියළු දෙනාටම ප්‍රිය වෙමි.   සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.

849  මින් සිව් අනුවන කපෙහිවූ එකල්හි යම් සුවඳ (දුම් දනක් දුනිම්ද) (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   සුගන්ධධූප දානයාගේ මේ විපාකයයි.

850  මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
__________

25.අත්තසංසාවක ථෙරාපදානය.

842  (අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ ස්වර්‍ණවර්‍ණවූ රන් තොරණක් මෙන් බබලන දෙතිස් මහ පුරිස් ලකුණු ඇති,  ලොව බබුළුවන්නාවූ,  අපමණ ගුණ ඇති,  අනූපමවු (උපමා රහිත) දැමුනාවූ,  දීප්තිය දරන්නාවූ,  සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේ දැක උතුම්වූ ප්‍රීතියක් ලැබීමි.

843  මම බුදුරජාණන් වහන්සේ වැඳ,  ඒ මහා මුණීන් වහන්සේ වැළඳවීමි.   එකල්හි මා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළ සේක.

844  (සත්ත්‍වයාට) උතුම්වූ අස්වැසිලි කරණ ඒ මහා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.

845  මින් සිව් අනූවන කල්පයෙහි එකල්හි යම් දානයක් දුනිම්ද,  (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.

846  මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්තසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

24.පඤ්චසීල සමාදානීය ථෙරාපදානය.

821  එකල්හි මම චන්ද්‍රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි.   අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනාවූ පැවිද්ද නොලබමි.

822  මහත්වූ මොහාන්‍ධකාරයෙන් වසන ලදී.   (රාග,  ෙවෂ,  මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්.   මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන්වුයෙක් වන්නෙම්ද?

823  මා ළඟ දිය යුතු දෙයක් (දෙය්‍ය ධර්මයක්ද) නැත.   මම දුක්ඛිතවූ බැලයෙක්මි.   මම සම්පූර්‍ණවූ පඤ්චශීලය රකින්නෙම් නම් ඉතා යෙහෙකි.

824  අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය.   මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්‍ෂාපද (පන්සිල්) ගතිමි.

825  එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමානවේ.   එපමණ කලක් සම්පූර්‍ණකොට පන්සිල් රැකීමි.

826  මැරෙණ කල පැමිණි කල්හිද දෙවියෝ මා අස්වසත්.   (කෙසේද යත්?)   ´´නිදුකාණෙනි,  ඔබට මේ දහසක් අසුන් යෙදු රථය එළඹ සිටියේය´´ කියායි.

827  අන්තිමක (චුති චිත්තය) පවත්නා කල්හි මාගේ (පඤ්ච) ශීලය සිහි කෙළෙමි.   මැනවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.

828  ශක්‍ර දේවේන්ද්‍රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.   අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.

829  මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි.   (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැක.

830  කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ,  දෙව්ලොවින් චුතව,  වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,

831  බුදු සසුන බබලද්දී,  වස් එළඹෙන කාලයෙහි මගේ මව් තොමෝද,  පිය තෙමේද,  පංච ශික්‍ෂා පද (පන්සිල්) ගත්තාහුය.

832  (එය) ඇසීම හා සමගම මගේ ශීලයද මම මෙනෙහි කෙළෙමි.   එම අසුනෙහිම හිඳ රහත් බවටද පැමිණියෙමි.

833  උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි.   පසැස් ඇති බුදුරජතෙම මාගේ ගුණ දැන (මා) උපසපන් කරවීය.

834  මම සම්පූර්‍ණ සිල් රැක,  මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි.

835  එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි.   (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.

836  මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි.   (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්‍ඝායු ඇත්තේ වෙමි.   මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි.   තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.

837  සියලු දෙනාහට (තමාගේ) අධික මාත්‍රවූ ශූර බව ප්‍රකාශ කරන්නාක් මෙන් කුදු මහත් භවයෙහි (සසරෙහි) හැසිරෙමියි මෙම තනතුර ලබමි.

838  අප්‍රමාණවූ ශීලයන්හි (රැකීම් වශයෙන්)  පවත්නා බුද්ධ ශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම් විපාකය කෙබඳු වන්නේද,

839  විශේෂ දැකුම් ඇති බැලයෙකුවූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී.   මම එම ශීලය කරණ කොට ගෙන අද සියළු භව බන්‍ධනයෙන් මිදුනෙමි.

840   මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි.   (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   මේ පන්සිල් (රැකීමේ) විපාකයයි.

841   මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
__________

23.සරණාගමනීය ථෙරාපදානය.

794 මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි.   එකල මාගේ ඒ අඳ දෙමාපියන් පොෂණය කරමි.

795 එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි.  (කෙසේද යත්)  මම දෙමාපියන් පෝෂණය කරන්නේ පැවිද්ද නොලබමි.

796 මහත්වූ මොහඳුරින් වසන ලදී.   (රාග,  ෙවෂ,  මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්.   මෙබඳු බිය ඇතිවූ කල්හි කිසියම් මාර්‍ග දේශකයෙක් නැත.

797 බුදු රජ තෙම ලොව පහළවිය.   සර්‍වඥ ශාසනය බබළයි.   පින් කැමති සත්ත්‍වයා (ස්වකීය) ආත්මය ගොඩනගා තබන්නට සමත්‍ර්‍ථ වන්නේය.

798  තුන් සරණය ඉගෙණ සම්පූර්‍ණ ගෙස රැකීමි.   මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙන දුගතියෙන් මිදෙමි.

799 බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ ´´නිසභ´´ නම් භික්‍ෂුවක් විය.   මම උන්වහන්සේ වෙත එළඹ සරණාගමණය ගතිමි.   (සරණගත වීමි.)

800 එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාණවේ.   එපමණ කලක් සරණාගමණය සම්පූර්‍ණ ලෙස රැකීමි.

801 අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එම සරණය සිහි කෙළෙමි.   මම එම කර්‍මය කරණකොටගෙන තව්තිසාවට ගියෙමි.

802 දෙව්ලොවට ගියේ,  පින්කම් සහයෝගිවූයේ,  මම යම් දෙයකට යෙම් නම් අට හේතුවක් (ආනිසංසයක්) ලබමි.

803 (සියළු) දිගුන්හි පුදන ලදුයේ වෙමි.   මම තියුණු නුවණැත්තේ වෙමි.   සියලු දෙවියෝ (තමාට) අනුව පවතිත්.   මම අපමණවූ භෝග සම්පත් ලබමි.

804 මම ස්වර්‍ණ වර්‍ණ වූයේ හැමතන්හිදී (දකින්නවුන්) කැමතිවන කෙනෙක් වීමි.   මිතුරන් අතුරෙහි නිශ්චල වෙමි.   මාගේ යසස ඉතා උස්ව පැන නැංගේය.

805 ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජයය කරවීමි.   අප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිව සුව අනුභව කරමි.

806  මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි.   (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.   (අපමණය).

807  අන්තිම භවය පැමිණි කල්හි පුණ්‍ය කර්මය හා එක්වුයේ,  සැවැත් නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,  සතුටෙන් හා කෙළි සෙල්ලමෙන් යුතුවූ මම සංඝාරාමයට එළඹීමි.

808 එහිදී කෙළෙසුන් කෙරෙන් මිදුනාවූ,  උපධි රහිතවූ,  භික්‍ෂුවක් දුටුවෙමි.   හෙතෙම මට දහම් දෙසීය.   (මට) සරණද දුන්නේය.

809  ඒ මම සරණ අසා මාගේ සරණය සිහි කෙළෙමි.   එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

810  උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි.   පසැස් ඇති බුදුරජාණන් වහන්සේ (මාගේ) ගුණ දැන උපසම්පදා කරවීය.

811  මම මින් අපරිමෙය්‍ය කල්පයකට පෙර සරණ ගතවීමි.   ඉක්බිති මා විසින් මැනවින් කරණ ලද (ඒ මාගේ) කර්ම පලය මෙහිදී දැන්වීය.

812  මා විසින් සරණය මැනවින් රක්ණා ලදී.   සිත මනාව පිහිටුවාගන්නා ලදී.   සියලු යසස් අනුභවකොට නිශ්චලවූ නිර්‍වාණ පදයට පැමිණියේ වෙමි.

813  යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්,  කියන්නාවූ මාගේ වචනය අසව්.   මා විසින් (භික්‍ෂුවගේ මාර්‍ග දේශකත්‍වයෙන්)  තෙමේම දක්නා ලද ශාන්ත පදය මම තොපට කියන්නෙමි.  (කෙසේද යත්?)

814  බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.   සර්‍වඥ ශාසනය පවතී.   සෝ හුල් දුරු කරන්නාවූ අමා බෙරය වයන ලදී.

815  ස්වකීය ශක්ති පමණින් නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි කුසල් කරන්නහු නම් නිවණ පහස්නහුය.   (ලබන්නාහුය.)

816  තිසරණ ගෙන,  පන්සිල් රැක,  බුදුන් වහන්සේ කෙරහි සිත පහදවා දුක් කෙළවර කරන්නහුය.

817  මා උපමා කොටගෙන සිල් රැක තෙපි සියල්ලෝ නොබෝ කලකින්ම රහත් බවට පැමිණෙන්නාහුයයි කීය.
818  ත්‍රිවිද්‍යා ඇත්තේ,  පරසිත් දන්නා නුවණෙහි දක්‍ෂවූයේ,  ඎද්ධියට පත්වූයේද වෙමි.   මහා වීරයන් වහන්ස,  ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවකතෙම ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳියි.

819  මම මින් අපරිමෙය්‍ය කල්පයෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියෙමි.   දුගතියක් නොදනිමි.   (මෙය) සරණාගමනයෙහි ඵලයයි.

820  මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

22.උපවාන ථෙරාපදානය.

743 සියළු පරතෙරට ගියාවූ,  පස් මරුන් දිනූ,  පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබලා පිරිණිවන් පෑ සේක.

744 මහජනයා එක්රැස්ව,  තථාගතයන් වහන්සේ පුදා,  මැනවින් සැයක් කොට සර්‍වඥ දේහය එයට නැගූහ.

745 එහි ශරීරය පිළිබඳ ආදාහණ කෘත්‍යය කොට,  ධාතු ගෙනාවාහුය.   ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එම ධාතු නිදන්කොට) බුද්ධස්ථූපයක් කළාහුය.

746 (එම ස්ථූපයෙහි) පළමු නිම් වළල්ල රන්මුවාය.   දෙවැන්න මිණිමුවාය.   තෙවැන්න රිදීමුවාය.   සිව්වැන්න පළිඟුමුවාය.

747 එසේම,  පස්වෙනි නිම් වළල්ල පියුම් රාමිණිමුවායි.   සවැන්න මැසිරිගල්මුවායි.   (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්‍වරන්තමයය.

748 ජඝනය (යට කොටස) මිණිමුවාය.   වේදිකාව රුවන්මුවාය.   (මෙසේ) සෑය ස්වර්‍ණමයයි.   යොදුනක් උසට පැන නැංගේය.

749 එකල්හි එහි දෙවියෝ රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?)   තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරමු.

750 (ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ) ධාතු වෙන් වෙන්ව නැත.   මුළු සිරුරම එකට කැටිව තිබේ.   (එබැවින්) අපි මේ සෑයෙහිම වැසීමට සැට්ටයක් (වැස්මක්) කරන්නෙමුය කියායි.

751 දෙවියෝ (එම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහුය.   (ඉක්බිති) එම සෑය දෙයොදුනක් උසය.   (එහි ආලොකයෙන්) අඳුරද දුරුකෙරෙයි.

752 එකල්හි නාගයෝ එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද,  දෙවියෝද බුදුරජාණන් වහන්සේට සෑය කළාහුය.

753 අපිදු පමා නොවෙමු.   දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවෙති.   තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමුය´´ කියායි.

754 ඉඳුනිල්ද,  මහනිල්ද,  යලි ජොති රස නම් මැණික්ද එක්කොට බුදුරජාණන් වහන්සේගේ සෑය වැසූහ.

755 එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණ ලද එලිය කරන්නාවූ තුන් යොදුන් උස බුද්ධස්ථූපයක් විය.

756 එකල්හි ගුරුළෝද එහි රැස්ව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද, දෙවියෝද,  නාගයෝද බුද්ධස්ථූපයක් කළාහුය.

757 අපිදු පමා නොවෙමු.  දෙවියන් සහිත ලෝ වැස්සෝ පමා නොවූවෝ වෙති.   තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමු.

758 ගුරුළෝ ස්ථූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (වැස්මක්) කළාහුය.   ඔවුහුද බුද්ධස්ථූපයෙහි උස යොදුනකින් වැඩි කළාහුය.

759 සිව් යොදුන් උස (මෙම) බුද්ධස්තූඵය  බබළයි.   උඩට නැගුණු සූය්‍ර්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.

760 එකල්හි කුම්භාණ්ඩයෝද (දිව්‍ය විශෙෂයකි) එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?)   මනුෂ්‍යයෝද,  දෙවියෝද,  නාගයෝද,  එසේම ගුරුළෝද,  වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය.   අපි පමාවූවෝ නොවෙමු.   දෙවියන් සහිත ලෝ වැස්සෝද පමානොවූවෝ වෙති.

761 තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂඨයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමු.   බුද්ධස්ථූපය මතුයෙහි අපිදු රත්නයන්ගෙන් වසන්නෙමුය කියායි.

762 ඔවුහුද බුද්ධස්ථූපය යළි යොදුනක් (උස) වැඩි කළාහුය.   එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.

763 එකල්හි යක්‍ෂයෝද එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?)  මනුෂ්‍යයෝද,  දෙවියෝද,  නාගයෝද, ගුරුළෝද,  කුම්භාණ්ඩයෝද වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය.   අපි ප්‍රමාද නොවෙමු.   දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවූවෝ වෙති.

764 තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරවන්නෙමු.   බුද්ධස්ථූපය මතුයෙහි පළිඟුයෙන් වසන්නෙමුය කියායි.

765 ඔවුහුද බුද්ධස්ථූපය මතුයෙහි යොදුනක් වැඩි කළාහුය.   එකල්හි (එම) සෑය සයොදුනක් උස්වේ.

766   එකල්හි ගත්‍ධර්‍වයෝද රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය.   (කෙසේදයත්?)  මනුෂ්‍යයෝද,  දෙවියෝද,  නාගයෝද, ගුරුළෝද,  කුම්භාණ්ඩයෝද, යක්‍ෂයෝද බුද්ධස්ථූපය කළාහුය.   මෙහි අපි (කිසිවක්) නොකළාහු වෙමු.  තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමුය කියායි.

767ඔවුහු (එහි) වේදිකා සකස්කොට ඡත්‍රයක්ද නැගූහ.   එකල්හි ගත්‍ධර්‍වයන් සෑය සර්‍ව ස්වර්‍ණමයම කරවූහ.

768 එකල්හි සත් යොදුනක් උස සෑය බබළයි.   රෑ දාවල්හු නොදැනෙත්.   හැම කල්හි ආලෝකය වේ.

769තාරකා සහිතවූ චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ එම චෛත්‍යයාගේ ප්‍රභාව නොඉක්මවත්.   හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නොදැල්වීය.

770 එකල්හි යම්කිසි මනුෂ්‍ය නෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම් ඔවුහු සෑයට නොගනිත්.   (ඔවුහු) අහසට උඩ දමත්.

771 දෙවියන් විසින් තබන ලද ´´අභිසම්මත´´ නම් යක්‍ෂයෙක් විය.   (හෙතෙම උඩට දැමූ) ධජ හෝ මල්දම් සෑ මුදුනෙහි නගා තබයි.

772 ඔවුහු එම යක්‍ෂයා නොදකිත්.   එය ගෙණ යන යක්‍ෂයාගේ මල්දම පමණක් දකිත්.   යන සියල්ලෝ මෙසේ දැක සුගතියට යෙත්.

773 ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්‍මයෙහි සැදැහැති යමෙක් වෙත්නම් ඔවුහුද,  සසුනෙහි පහන්වූ යමෙක් වෙත් නම් ඔවුහුද,  (යන සියළු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාය්‍ර්‍ය දකිණු කැමැත්තාහු ස්ථූපය (මල්දම් ආදියෙන්) පුදත්.

774 එකල්හි මම හංසවතී නගරයෙහි බාලයෙක් වීමි.   එකල්හි සතුටුවූ ජනයා දැක මම මෙසේ සිතීමි.

775 යම් (බුදු) කෙනෙකුගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර) ලබානම් (එම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි.   මේ ජන සමූහයාද සතුටුවූවාහු බොහෝවූ සත්කාර කෙරෙත්.

776 මමද තාදී ගුණ ඇති පදුමුත්තර ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි.   අනාගතයෙහි උන්වහන්සේගේ ධර්‍මයෙහි කොටස්කරුවෙක් වන්නෙමියි  (සිතීය).

777 රජකයෙකු විසින් මැනවින් සෝධා පිරිසිදු කරණ ලද මාගේ උතුරු සළුව උණ දඬුවක අග එල්වා ධජයක් සකස්කොට අහසෙහි (උඩට) ඔසවා තැබීමි.

778 අභිසම්මත යක්‍ෂ තෙම මාගේ ධජය ගෙන අහසෙහි එල්වා තැබිය.   වාතයෙන් සෙලවෙන්නාවූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.

779එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි.   මම ඒ භික්‍ෂුවට වැඳ ධජයෙහි විපාක විමසීමි.

780හෙතෙම මාගේ මහත් ප්‍රීතිය ඇතිකරණ (අනුසස්) මට මෙසේ කීය.   (කෙසේද යත්?)   හැම කල්හි ඒ ධජයාගේ විපාකය අනුභව කරන්නෙහිය.

781 ඇත්,  අස්,  රිය,  පාබල යන සිව්රඟ සේනාවෝ නිරතුරුවම ඔබ පිරිවරන්නාහුය.   මෙය ධජ දානයාගේ විපාකයයි.

782 සැට දහසක් තූය්‍ර්‍යයෝද මැනවින් අලංකාර කරණ ලද භේරීහුද ඔබ නිරතුරුවම (වැයීමෙන්) පිරිවරන්නාහුය.   මෙය ධජ දානයාගේ විපාකයයි.

783 සැරසුන අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු,  එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු,  දිග ඇසි පිහාටු ඇත්තාහු,  සිනා සහිතවූවාහු,  මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහ.   සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම පිරිවරන්නාහුය.   මෙසේ ධජ දානයාගේ විපාකයයි.

784 කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහිය.   ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය.

785 දහස් වරක් සක්විති රජ වන්නෙහිය.   මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැක.

786 මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.

787 කුශල මූලයෙන් මෙහෙයන ලදුව,  දෙව්ලොවින් චුතව,  පුණ්‍ය කර්‍මය හා එක්වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහිය.

788 අසූ කෙළක් ධනයද,  බොහෝවු දස් කම්කරුවන්ද හැර ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුණෙහි පැවිදි වන්නෙහිය.

789 ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නමින් උපවානයයි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය´´ යි වදාළ සේක.

790 කල්ප ලක්‍ෂයකට පෙර මා විසින් කරණ ලද කර්‍මය මෙහිදී විපාක දැක්විය.   (දුනු දියෙන්) මැනවින් මිදී ගිය හි සැරය මෙන් මාගේ කෙළස් දැවීය.

791 සතර මහා දිවයිනට අධිපතිවූ,  සක්විති රජවූ මට හැමකල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.

792 මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද,  (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   ධජ දානයාගේ මේ විපාකයයි.

793 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

21.සුභූති ථෙරාපදානය

691  හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි.   (එහි) මට අසපුවක් කරණ ලදී.   පන්සලක්ද මැනවින් නිර්මිත කරණ ලදී.

692 (මම එහි) උග්‍රවූ තපස් ඇති ´’කොසිය´´ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි.   එකල්හි මම නිසභ පර්‍වතයෙහි එකලාව දෙවැන්නෙක් නොමැතිව වසමි.

693  එකල්හි මම පලමුල් කොළ (ගස්වලින් නෙලාගෙන) අනුභව නොකරමි.   එකෙණෙහි ස්වයංපතිත පඬුවන් පත් (අනුභවකොට) ජීවත් වෙමි.

694 මම ජීවිතය හැර දමන්නේ නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදී ආහාර සෙවීමෙන්) කොප්‍ය නොකරමි.   ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ටතාවන්ගෙන්) පහදවමි.   (වෙදකම්, දූතකම් ආදී එක්විසි) අනේසනයන් දුරුකරමි.

695 යම් කලෙක්හි රාගයෙන් යුක්තවූ සිතක් මට උපදීනම් (එකල්හි) තෙමේම ප්‍රත්‍යවේක්‍ෂා කරමි.   එකඟවූ සිත් ඇත්තේ ඒ මම එම (රාගී) අදහස මෙසේ අවවාද කර ගනිමින් දමනය කරමි.   කෙසේද යත්?

696 තෝ ඇලුම් කටයුතු දෙයෙහි ඇලෙහිද,  ෙවෂ කටයුතු දෙයෙහි ෙවෂ කෙරෙහිද,  මුළාවියුතු දැයෙහි මුළාවෙහිද (එසේ නම්) වනයෙන් නික්ම යව.

697 මේ (අරණ්‍ය) වාසය පිරිසිදුවූ,  නිර්‍මල තපොගුණ ඇතියනටය.   තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නොකරව.   (එසේ නම්) වනයෙන් නික්ම යව.

698 ගිහිව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහිය.   (ගිහිබව හා පැවිදිබව යන) දෙකම වරද්දා නොගනුව.   වනයෙන් නික්ම යව.

699 සොහොන් පෙනෙල්ල යම් සේ කිසි කටයුත්තකට නොයොදාද,  ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (දර) යයි සම්මත නොවේද (එසේම)

700 තෝ සෙහොන් පෙනෙල්ලක් වැනි වෙහිය.   ගිහියෙක් නොවේ,  පැවිද්දෙක්ද නොවේ.   ගිහි පැවිදි දෙපසින්ම මිදුනේ වෙහිය.   අදම වනයෙන් නික්ම යව.

701 තාගේ මෙබඳු ගතියක් වෙහි නම් මෙය කවරෙක් දනීද,  මාගේ ශ්‍රද්ධා දුරය දුරු කෙරෙයි නම් (එය) කුසීත බව වැඩිවීම පිණිසද පවතී.

702 නුවර වැසියන් අසූචි පිළිකුල් කරන්නාක් මෙන් නුවණැත්තෝ තා පිළිකුල් කරන්නාහුයි.   ඎෂීහු තා ඇද දමා හැමකල්හි චෝදනා කරන්නාහුය.

703 නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහුය.   නුවණැත්තන්ගේ සහවාසය නොලබන්නාවූ තෝ කෙසේ ජීවත් වන්නෙහිද?

704 බලවත් ඇත් රජෙක් තෙම ත්‍රිමද ගලිතවූ,  මෘතඞ්ග හස්ති කුලයෙහි ජාතවූ,  උපන් සැටවස් ඉක්ම ගිය මහ ඇතෙකු එළඹ ඇත් රැළෙන් බැහැර කෙරෙයි නම්,

705 ඇත් රැළෙන් බැහැරවූ එම ඇතා ලොකු සුවයක් නොවිඳී.   දුක්ඛිතව දොම්නස් වේ.   ලතවෙමින් වෙවුලයි.

706 එසේම ජටාධර තවුසෝ අඥානවූ ඔහු (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්.   ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත කය දෙකින්ම) සුවයක් නොලබන්නෙහිය.

707  දිවා කල්හිද,  යලි රාත්‍රියෙහිද,  හැමදා ශෝක නමැති හුල ඇත්තේය.   ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිළාහයෙන් දැවෙහිය.

708 යම් සේ ස්වර්‍ණය කිසිතැනෙක්හි යකුළ නොදවාද,  එසේම සීලයෙන් තොරවූ තෝ කිසි තැනෙක්හි ධ්‍යාන නොකරන්නෙහිය.

709 තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහිද,  තට මව සතුවූ හෝ, පියා සතුවූ  තැන්පත්කොට තබන ලද ධනයක් නැත.

710 සිරුරෙහි ඩහ වගුරුවමින්,  තෙමේම කර්‍මාන්තකොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහිය.   තට එය රිසි නොවේ නම් මැනවි.

711 මෙසේ මම එහිදී කිළිටිබවට ගිය සිත වලක්වමි.   නොයෙක් ධර්‍ම කථා කියා පවින් සිත වැළකීමි.

712 නොපමාව වෙසෙන සුළුවූ මෙසේ වනයෙහි වසනා මට හවුරුදු තික් දහසක් ඉක්ම ගියහ.

713 උත්තාමාත්‍ර්‍ථයවූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇළුනු මා දැක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.

714 (රන්) තිඹිරි ගෙයක වර්‍ණයට බඳු පැහැ ඇති,  පමණ කොනළ හැකි ගුණ ඇති,  උපමා විෂයාතික්‍රාන්තවූ,  රූපයෙන් අසදෘෂවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

715 මැනවින් පිපුණු මහ සල් රුකක් මෙන්ද,  වැසි වළාකුළු අතරෙහිවූ විදුලියක් මෙන්ද,  නුවණින් අසදෘශවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

716 අභීතවූ සිංහ රාජයෙකු මෙන්ද,  දර්පිතවූ ඇත් රජෙකු මෙන්ද,  ලංවිය නොහැකි ව්‍යාඝ්‍ර රාජයෙකු මෙන්ද (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

717 (දිව්‍ය ස්වර්‍ණයනටද වඩා ශ්‍රේෂ්ඨ) සිංගී නම් ස්වර්‍ණ නිෂ්කයේ (කළන් විස් හෝ විසිපහ නිෂ්කයයි) පැහැයට බඳු පැහැ ඇති,  කිහිරඟුරු මෙන් (දිලිසෙන්නාවූ) ජොතිරස නම් මැණික මෙන්වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

718නිර්‍මල කෛලාශය වැනිවූ,  පූර්‍ණ චන්‍ද්‍රයා වැනිවූ,  මධ්‍යාහ්නයෙහි සූය්‍ර්‍යයා වැනිවූ (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

719 (මම) එකල්හි අහසෙහි සක්මන් කරන්නාවූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි.   මේ සත්ත්‍වතෙම දෙවියෙක්ද,  නැතහොත් මේ තෙමේ මනුෂ්‍යයෙක්ද?

720 මා විසින් පොළවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් (තෙම) නොඅසන ලදී.   (එසේම) නොදක්නා ලදී.   මන්ත්‍ර පදයකුදු ඇත.   මේ ශාස්තෘ තෙමේ වන්නේය (කියායි.)

721 එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි.   මම නොයෙක් මල්ද,  සුවඳද රැස්කොට,

722 මල් අසුනක් පණවා,  යහපත් සිත් ඇති,  මනොඥවූ,  පුරුෂයන් දමණය කිරීමෙහි රියසැරි (සාරථී) යෙකු වැනියනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේට මෙම වචනය කීමි.

723 වීරයන් වහන්ස,  මා විසින් මේ අසුන ඔබ වහන්සේට සුදුසුකොට පණවන ලදී.   මාගේ සිත සතුටු කරමින් මල් අසුනෙහි වැඩ  හිඳිනු මැනව (කියායි.)

724 භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ රෑ දාවල් සතක් (සතියක්) මුළුල්ලෙහි අභීත කේශර සිංහ රාජයෙකු මෙන් එම මල් අසුනෙහි වැඩහුන් සේක.

725 මමද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි.   ලෝකයෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තරවූ ශාස්තෘන් වහන්සේ සමාධියෙන් නැගිට,

726 මාගේ කර්‍මය ප්‍රකාශ කරණ සේක්,  මෙම වචනය වදාළ සේක.   භාවනාවන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ,  බුද්ධානුස්සති භාවනාව වඩයි.

727 මෙම බුද්ධානුස්සතිය වඩා අද්ධ්‍යාශය සම්පූර්‍ණ කරන්නෙහිය.   කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහිය.

728 ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය.   දහස් වරක් සක්විති රජ වන්නේය.

729 (තමා ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙපමණයයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය.   එම සියල්ල ඔබ අනුභව කරන්නෙහිය.   (මෙය) බුද්Ȁdධානුස්මෘතියෙහි පලයයි.

730 කුදුමහත් භවයෙහි හැසිරෙන්නේ මහත්වූ භෝග සම්පත් ලබන්නෙහිය.   ඔබගේ (ඒ) භෝග සම්පත්තියෙහි අඩුවක් (නම්) නැත.    මේ බුද්ධානුස්මෘතියෙහි පලයයි.

731 කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙන් උපන්නාවූ,  නමින් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

732 අසූකෙළක් (ධනයද) බොහෝ දස් කම්කරුවන්ද හැරදමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහිය.

733 ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නමින් සුභූති නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

734 (ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ) භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ,  ඒ සුභූති තෙරුන් දක්‍ෂිණෙය්‍ය ගුණයෙහිද,  අරණ්‍ය විහාරයෙහිද යන අග්‍ර සභා දෙකෙහි නංවන්නේය.

735 ප්‍රාඥවූ දීපඞ්කර නමැති බුදුරජාණන් වහන්සේ මෙම වචනය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන්  අහසට පැන නැංගාහ.

736 ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැමකල්හි සතුටුවූයේ උතුම්වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.

737 මැනවින් කරණ ලද එම කර්‍මයන් හා චිත්ත ප්‍රණිධීන්ද කරණ කොට ගෙන මම මනුෂ්‍ය ශරීරය හැර දමා තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.

738 මම ශක්‍ර දේවේන්ද්‍රව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.   දහස් වරක් සක්විති රජ වීමි.

739 මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ලැබූ වාර ගනන මෙතෙකැයි) ගණනින් ගිනිය නොහැකිය.   උතුම් සැපත අනුභව කරමි.   මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.

740 මම කුදු මහත් භවයෙහි සැරිසරන්නේ,  මහත්වූ භොග සම්පත් ලබමි.   මාගේ භොග සම්පත්තියෙහි අඩුවෙක් නම් නැත.   මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයි.

741 මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම්ද (එබැවින්) දුගතියක් නොදනිමි.   බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.

742 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

20.සුමඞ්ගල ථෙරාපදානය.

672 යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්‍රතිග්‍රාහකවූ ශුද්ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.

673 ඉක්බිති මහත් යසස් ඇති,  සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ,  තෙමේම සියල්ල අවබෝධ කළාවූ,  අග්‍රපුද්ගලවූ,  භාග්‍යවත්වු,  ප්‍රතිභා සම්පන්නවූ,  ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද,  සුය්‍ර්‍යයා මෙන් බබළන ලද,  වීථියට පිළිපන් පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

674 ඇඳිලි බැඳ,  ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.

675 ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.

676 පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස,  ඔබ වහන්සේට නමස්කාර වේවා.   පුරුෂොත්තමයන් වහන්ස,  ඔබ වහන්සේට නමස්කාර වේවා.   ඔබ පහයට නැගී,  සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.

677 දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ,  එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී,  උතුම් අසුනෙහි වැඩහුන් සේක.

678 ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද,  පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.

679 පහන් සිත් ඇත්තේ,  සතුටුවූයේ,  හටගත් සොම්නස් ඇත්තේ,  කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි.   බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චය්‍ර්‍යයි.

680 (එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආය්‍ර්‍ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ.   මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි.   මම (ඔබ වහන්සේ) සරණකොට යමි.

681 ලෝක ජ්‍යෙෂ්ඨවූ,  නර ශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

682 ඎජු ප්‍රතිපන්න,  තාදී ගුණ යත්,  සන්සුන් සංඝයාද,  තථාගතවූ බුදුරජාණන් වහන්සේද,  ඒ යමෙක් වැළඳවීද,  (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.

683 හෙතෙම සත් විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේයි.   පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.

684 හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය.   පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.

685 ව්‍යාඝ්‍රයන් විසින් සෙව්නා ලද,  මහා වනයට පිවිස, වීය්‍ර්‍යකොට මා විසින් කෙළෙස් දවන ලදී.

686 එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි.   ආහාර දානයාගේ මේ විපාකයයි.

687මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

19.සොපාක ථෙරාපදානය.

660 වනයෙහි උතුම් පර්‍වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.

661 මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක,  තාදී ගුණ ඇති,  ලෝකජ්‍යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.

662 සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්‍යභාවය වදාළ සේක.

663 ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ.   ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ.   ඉපදී නැතිවෙත්.   ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.

664 ලෝකජ්‍යෙෂ්ඨවූ,  නරශ්‍රේෂ්ඨවූ,  ප්‍රාඥවූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.

665 මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.

666 කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය – මනුෂ්‍ය සංඛ්‍යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.

667අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්‍ය නම් සාසනයෙහි පැවිදිවීමි.   උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.

668 අරඹූ වීය්‍ර්‍ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ,  ශීලයන්හි මැනවින් හික්මුනේ,  බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.

669 මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම්ද,  (ඉන්) දුගතියක් නොදනිමි.   මෙය පුෂ්පදානයාගේ විපාකයයි.

670 මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්‍රව ක්‍ෂයවිය.

671 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________

18.රට්ඨපාල ථෙරාපදානය

646 ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති,  රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්‍ර යෙන් ශෝභමානවූ,  හස්ත්‍යාලංකාර සහිතවූ,   ඇත්ගොව්වෙකු සහිතවූ,  උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.

647 මම සූපණස් දහසක් ප්‍රාසාදයන්ද,  කරවීමි.   මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

648 මහාවීරවූ,  සියල්ල තෙමේම දැන වදාළාවූ,  අග්‍ර පුද්ගලවූ,  බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසු සේක.

649 පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක.   භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.

650 මෙතෙම සිව් පණස් දහසක් ප්‍රාසාදයන් කරවීය.   (එහි) විපාකය කියන්නෙමි.   (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

651 අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය.   උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්‍ණමයහ.

652 ශක්‍ර දේවේන්‍ද්‍රව පණස්වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   අට පණස් වරක් සක්විති රජ වන්නේය.

653 මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

654 කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  දෙව්ලොවින් චුතව,  එකෙණෙහි ආඪ්‍යවූ,  මහත් භෝග ඇති කුලයක උපදින්නේය.

655 කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  හෙතෙම පසුව පැවිදිව නමින් රට්ඨපාලයයි ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

656 වීය්‍ර්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ,  උපශාන්තවූ,  උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.

657 උත්‍ථාන වීය්‍ර්‍යයෙන් නැගිට අභිනිෂ්ක්‍රමණයකොට,  කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.

658 යෝගක්‍ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීය්‍ර්‍යයයි.   (මම මේ) සර්‍වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.

659 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

__________