30. ඡානුත්තරිය සූත්‍රය

 

1. “මහණෙනි, ඉතා උතුම් (කාරණා) සයෙකි. කවර සයෙක්ද යත් ?

I) ඉතා උතුම් දැකීම,

II) උතුම් ඇසීම,

III) උතුම් ලැබීම,

IV) උතුම් හික්මීම,

V) උතුම් සේවය,

VI) උතුම් නැවත නැවත සිහි කිරීමය.

 

2 මහණෙනි, ඉතා උතුම් දැකීම කෙසේද ? මහණෙනි, මේ ලොව එකෙක් ඇත් රුවන දැක්මට යයි. අස් රුවන, මිණි රුවන, ලොකු කුඩා දෙය. වැරදි දැකීම් ඇති, වරදට පත් මහණකු හෝ බමුණකු දැක්මට යයි. මහණෙනි, මේ දැකීමක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද, මේ දැකීම වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ.

 

3. මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ දැකීමට යේද, මහණෙනි, මෙයම දැකීම් අතර ඉතා උතුම්ය. යමක් සත්ත්‍වයන්ගේ පිරිසිදුබව පිණිසද. හැඬීම්, වැලපීම් ඉක්මීමටද, දුක් දොම්නස් දුරු කිරීමටද, දතයුතු දේ දැනගැනීමටද, නිවන් අත්කිරීමටද පවතීද, මේ, (යමෙක්) පිහිටවූ සැදැහැ ඇත්තේ පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ,යයි යන කාරණයයි. මහණෙනි, මෙය උතුම් දැකීමයයි කියනු ලැබේ. ඉතා උතුම් දැකීම මෙසේය. ඉතා උතුම් ඇසීම කෙසේ වේද,

 

4. මහණෙනි, මේ ලොව එකෙක් බෙර හඬ ඇසීමට යේද, වීණා හඬ ඇසීමට යේද, ගී හඬ ඇසීමට යේද, ලොකු කුඩා දෙය වැරදි දැකීම් ඇති, වරදට පැමිණි මහණකුගේ හෝ බමුණකුගේ හෝ බණ ඇසීමට යේද, මහණෙනි, ඒ ඇසීමක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද මේ දැකීම වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ.

 

5. ,මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ දැක බණ ඇසීමට යේද, මහණෙනි, මෙයම ඇසීම් අතර ඒ ඉතා උතුම් ඇසීමය. යමක් සත්ත්‍වයන්ගේ පිරිසිදුබව පිණිසද. හැඬීම්, වැලපීම් ඉක්මීමටද, දුක් දොම්නස් දුරු කිරීමටද, දතයුතු දේ දැනගැනීමටද, නිවන් අත්කිරීමටද පවතීද, මේ, (යමෙක්) පිහිටවූ සැදැහැ ඇත්තේ පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ,යයි යන කාරණයයි. මහණෙනි, මෙය උතුම් ඇසීමයයි කියනු ලැබේ. ඉතා උතුම් දැකීම හා ඇසීම මෙසේය. ඉතා උතුම් ලාභය කෙසේද ?

 

6. මහණෙනි, මේ ලොව එකෙක් දරුවන් ලැබීමද ලබයි. භාර්යාවන් ලැබීමද ලබයි. ධනය ලැබීමද ලබයි. ලොකු කුඩා දෙය ලැබීමද ලබයි. වැරදි දැකීම් ඇති, වරදට පැමිණි මහණකු හෝ බමුණකු කෙරෙහි හෝ සැදැහැ උපදවයි. මහණෙනි, ඒ ලාභයෙක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද මේ ලාභය වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. ,මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, මහණෙනි, යම් කිසිවෙක් තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි හෝ ශ්‍රද්ධාව ලබාද, තැන්පත් ශ්‍රද්ධාව ඇති, තැන්පත් ප්‍රේමය ඇති, ඒකාන්ත යහපත් ගමනක්වූ, අතිශයින් ප්‍රසන්නවූ, ඉතා උතුම් ලාභය මෙසේය. ඉත ෙඋතුම් දැකීම, ඉතා උතුම් ඇසීම, ඉතා උතුම් ලැබීම මෙසේය. ඉතා උතුම් හික්මීම කෙසේද ?

 

7. මහණෙනි, මේ ලොව එකෙක් ඇතු කෙරෙහි හික්මෙයි. අසු කෙරෙහි හික්මෙයි. රිය කෙරෙහි හික්මෙයි. දුනු කෙරෙහි හික්මෙයි. කඩු කෙරෙහි හික්මෙයි. ලොකු කුඩා දෙය කෙරෙහි හෝ හික්මෙයි. වැරදි දැකීම් ඇති, වරදට පැමිණි මහණෙකු හෝ බමුණෙකු කෙරෙහි හික්මෙයි. මහණෙනි, මේ හික්මීමක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, මේ දැකීම වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. ,මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, පිහිටවූ සැදැහැ ඇත්තේ, තථාගතයන් වදාළ දහමෙහි හා විනයෙහි උතුම් ශීලයෙහි හික්මේද, උතුම් සමාධියෙහි හික්මේද, උතුම් නුවණෙහි හික්මේද, මහණෙනි, මේ උතුම් හික්මීමයයි කියනු ලැබේ. ඉතා උතුම් දැකීම, මෙසේය. ඉතා උතුම් ඇසීම මෙසේය. ඉතා උතුම් ලැබීම මෙසේය. ඉතා උතුම් හික්මීම මෙසේය.

 

8. ඉතා උතුම් සේවය කෙසේ වේද ? මහණෙනි, මේ ලොව එකෙක් රජකු කෙරහි සේවය කෙරේද, සිටුවරයකු කෙරහි සේවය කෙරේද, ලොකු කුඩා කෙනකු කෙරහි සේවය කෙරේද, වරදි දැකීම් ඇති, වරදට පත් මහණෙකු හෝ බමුණකු කෙරහි සේවය කෙරේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද මේ සේවය වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. ,මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, මහණෙනි, මෙය උතුම් සේවයයි කියනු ලැබේ. ඉතා උතුම් දැකීම, මෙසේය. ඉතා උතුම් ඇසීම මෙසේය. ඉතා උතුම් ලැබීම මෙසේය. ඉතා උතුම් හික්මීම මෙසේය. ඉතා උතුම් සේවය මෙසේය. මහණෙනි, ඉතා උතුම් නැවත නැවත සිහි කිරීම කෙසේද ?

 

9. මහණෙනි, මේ ලොව එකෙක් පුතකු ලැබීම නැවත නැවත සිහි කෙරේද, භාය්‍ර්‍යාවක් ලැබීම නැවත නැවත සිහි කෙරේද, ධනය ලැබීම නැවත නැවත සිහි කෙරේද, ලොකු කුඩා දෙය ලැබීම නැවත නැවත සිහි කෙරේද, වැරදි දැකීම් ඇති වරදට පත් මහණෙකු හෝ බමුණෙකු හෝ සිහිකෙරේද. මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද මේ සිහිකිරීම වනාහි හීනය. පහත්ය, පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිණිස නොවේ. විශෙෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, මනාව පැහැදුනේ, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ සිහි කෙරේද, මහණෙනි, මේ දැකීම් අතර ඉතා උතුම්ය.

 

10. මහණෙනි, මෙය සත්ත්‍වයන්ගේ පිරිසිදුවීම පිණිස, ශෝක වැළපීම් නැති කිරීම පිණිස, දුක් දොම්නස් දුරු කිරීම පිණිස, සත්‍යය ලැබීම පිණිස, යම් ඒ තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් හෝ සිහි කෙර්ද, තැන්පත් ශ්‍රද්ධා ඇති, තැන්පත් ප්‍රේමය ඇති, ඒකාන්ත යහපත් ගමන් ඇති, අතිශයින් ප්‍රසන්නවූ මේ ඉතා උතුම් සිහිකිරීම හෙතුවේයයි කියමි. ඉතා උතුම් දැකීම, මෙසේය. ඉතා උතුම් ඇසීම මෙසේය. ඉතා උතුම් ලැබීම මෙසේය. ඉතා උතුම් හික්මීම මෙසේය. ඉතා උතුම් සේවය මෙසේය. මහණෙනි, මේ ඉතා උතුම් සිහි කිරීම වේ. මහණෙනි, මේ ඉතා උතුම් කරුණු සය වෙති.”