1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ රට මාතුලා නම් ගමෙහි වැඩ වාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාශය දේශනා කළහ.
2. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්‍ෂා ස්ථාන කොට තමන් පිහිට කොට ධර්මය ආරක්‍ෂා ස්ථානය කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්.
´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, වේදනාවන්හි වේදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතුව, ස්කන්ධ ලෝකයෙහි ඇල්මත්, මානසික දුකත්, දුරලා වාසය කෙරේ.
3. ´´මහණෙනි, පෙර ධාර්මික වූ ධර්මරාජන් වූ, මහාද්වීප සතරට අධිපති වූ, දිනන ගති ඇති ජනපදයෙහි ස්ථිරභාවයට පැමිණියා වූ රත්න හතකින් යුක්ත වූ ´´දළ්හනෙමී´´ නම් චක්‍රවර්ති රජෙක් විය. ඔහුට මේ රත්න හත වූහ. කවරහු ද යත්, චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වැනි වූ පරිණායකරත්නය ද යන මොවුහුයි. ඒ රජුට ශූර වූ, දිව්‍ය පුත්‍රයන්ට සමාන ශරීර ඇත්තා වූ, සතුරු සේනාවන් මර්දනය කරන්නා වූ දහසකටත් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙම සාගරය අවසාන කොට ඇති මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව ධර්මයෙන් සමඟියෙන් දිනා වාසය කළේය. මහණෙනි, එවිට ´´දළ්හනෙමී´´ රජ තෙමේ බොහෝ අවුරුදු දහසක් ඉක්මීමෙන් පසු එක්තරා පුරුෂයෙකුට කථා කළේය. කථාකොට ´´පින්වත් පුරුෂය, නුඹ දිව්‍ය චක්‍රරත්නය තිබුණු තැනින් මඳක් හෝ මුළුමනින් හෝ යම් දිනෙක ඉවත් වුවොත් මට දන්වව´´යි කීයේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ අවුරුදු දහස් ගණනක් ඉක්මවීමෙන් පසු දිව්‍ය චක්‍රරත්නය තිබුණු තැනින් ස්වල්පයක් ඉවත් වූ බව දුටුවේය. දැක දළ්හනෙමි රජු කරා ගොස් ඒ බව කීවේය.
´´මහණෙනි, ඉක්බිති දළ්හනෙමී රජ තෙමේ වැඩිමහල් පුත්‍රයා මනාකොට රාජ්‍යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසා වස්ත්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. ´´මහණෙනි, රාජ ඍෂිවරයා මහණ වී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය.
´´රජතෙමේ රාජ ඍෂි (තාපසයා) වෙත ගොස් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගිය බව දැන්නුවේය. ඒ රාජ ඍෂි තෙමේ පුත්‍ර වූ ක්‍ෂත්‍රිය රජුට මේ කාරණය කීයේය.
4. ´´පුත්‍රය, නුඹ දිව්‍ය චක්‍රරත්නය නොපෙනී යාම ගැන ශෝක නොකරව. පුත්‍රය, මේ දිව්‍ය චක්‍රරත්නය පියාගෙන් ලත් දායාදයක් නොවේ. පුත්‍රය, නුඹ දොස් නැති සක්විති වත් සම්පූර්ණ කරව.´´
´´දේවයන් වහන්ස, ඒ නිවැරදි සක්විති වත් කවරේද?´´
(1). ´´පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළ යුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කරව.´´
(2). ´´බලසෙනඟ ද, ධාර්මික ක්‍ෂත්‍රියයන් ද, බ්‍රාහ්මණ ගෘහපතීන් ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්‍ෂා පිළියෙල කරව.´´
(3). ´´නිගම ජනපද වාසීන් ද, මහණ බමුණන්ද , සිවුපාවුන් හා කුරුල්ලන් ද, ජීවිත දානයෙන් ආරක්‍ෂා කරව.´´
(4). සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.´´
(5). සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.´´
(6). ´´පුත්‍රය, සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත් ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල් ද එය අත්හැරිය යුතුය. යමක් කුසල් ද එය පිළිගෙන පැවතිය යුතුය. පුත්‍රය, නිවැරදි සක්විති වත් මේවායි´´ කීය.
5. ´´මහණෙනි, ඔටුණු පැළඳි ඒ ක්‍ෂත්‍රිය රජ තෙමේ, ´´එසේය, දේවයන් වහන්සැ´´යි පිය රාජ ඍෂීන් කී පරිදි පිළිගෙන නිවැරදි සක්විති වත් පිරුයේය. එවිට දිව්‍ය චක්‍රරත්නය පහළ විය.´´
´´මහණෙනි, අනතුරුව සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමඟ ඒ චක්‍රරත්නය පූර්ව දිශාවට ගමන් කළේය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, සක්විති රජ තෙමේ සිවුරඟ සෙනඟ සමඟ එහි වාසය කළේය.´´
´´මහණෙනි, පූර්ව දිශාවෙහි යම් විරුද්ධ රජ දරුවෝ වෙත් ද, ඔව්හු සක්විති රජ කරා පැමිණ මෙසේ කීවාහුය.´´
´´මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබට අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි´´ කීය. සක්විති රජ තෙමේ මෙසේ අවවාද කෙළේය.
´´ප්‍රාණවධ නොකට යුතුයි. හොරකම් නොකට යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්´´ යනුවෙනි.
´´අනික් දිශාවන්හි ද යම් ඒ රජ දරුවෝ වෙත් ද, ඒ සියල්ලෝම සක්විති රජ අනුව යන්නෝ වූහ.´´
6. ´´මහණෙනි, එවිට ඒ චක්‍රරත්නය සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළොව දිනා ඒ රාජධානියටම පෙරළා අවුත් සක්විති රජුගේ ඇතුල් වාසල අලංකාර කරමින් සිටියේය. මහණෙනි, දෙවෙනි තුන්වෙනි ආදී සක්විති රජචරු සත්වෙනි සක්විති රජ තෙමේ දක්වා පළමුවෙනි සක්විති රජ මෙන් තෙමේ ද බොහෝ වර්ෂ දහසක්හුගේ ඇවෑමෙන් වැඩිමහල් කුමාරයා මනාකොට රාජ්‍යෙයහි පිහිටුවා, ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. රාජ ඍෂිවරයා පැවිදි වී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය. එකල්හි රාජ ඍෂිවරයා වෙත පැමිණ දොස් නැති සක්විති වත් නොවිචාළේය. හෙතෙමේ තමන්ගේ මතය පරිදි රටට අනුශාසනා කරයි. ඔහුගේ කාලයෙහි රට වැස්සෝ දියුණුවට නොපැමිණෙත්. එවිට රට වැස්සෝ රැස්ව රජු කරා පැමිණ මෙසේ කීවාහුය.
´´නිදොස් සක්විති වත්හි පිහිටි පෙර රජුන්ගේ කාලයෙහි යම්සේ ද එසේ තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නා වූ ඔබගේ කාලයෙහි රටවැස්සෝ දියුණුවට නොපැමිණෙත්. අපි ඔබට නිදොස් සක්විති වත් ප්‍රකාශ කරන්නෙමු´´යි කීහ.
7. ´´මහණෙනි, ඉක්බිති ක්‍ෂත්‍රිය රජ තෙමේ නිදොස් සක්විති වත් ඇසුවේය. එසේ අසන ලද්දා වූ ඔවුහු රජුට නිදොස් සක්විති වත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විති වත් අසා දැහැමි ආරක්‍ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේ වුවත් දුප්පතුනට ධනය නුදුන්නේය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත් විය. දිළිඳුකම මහත් වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත් වස්තු හිමියන් විසින් නොදුන් වස්තුව හොර හිතින් ගත්තේය.´´
´´හොරකම් කළේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසායි´´ හොරා කීවේය.
´´මහණෙනි, එවිට ක්‍ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේය.´´
´´මහණෙනි, අනෙක් පුරුෂයෙක් ද හොරකම් කර එසේම ධනය ලබා ගත්තේය. යම් කෙනෙක් අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනිත් ද, ඔවුන්ට රජ තෙමේ ධනය දුන්නේ යයි´´ මිනිසුන් විසින් අසන ලදි. ඒ අසා ඔවුන්ට මෙබඳු අදහසක් වීය. ´´අපි ද අනුන් අයත් නුදුන් වස්තුව සොර සිතින් ගන්නෙමු නම් ඉතා යහපති´´යි කියාය.
8. ´´මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අනුන් අයත්, නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය.´´
එවිට රජුට මෙබඳු අදහසක් විය. ´´ඉදින් ඉම් කෙනෙක් අනුන්ට අයත්, නුදුන් වස්තුව සොර සිතින් ගන්නේ ද, ඒ ඒ අයට මම ධනය දෙන්නෙමි. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේය.´´ එවිට රජ තෙමේ රාජ පුරුෂයන්ට අණ කළේය. ´´රාජ පුරුෂයෙනි, මේ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩිකොට බැඳ, හිස මුඩුකොට, වදබෙර හඬින් වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස් නුවරට දකුණු පැත්තේ දී නැවත සොරකම් නොකරන සේ වළකව්, මුල්සිඳිව්, මොහුගේ හිස සිඳිව්´´යයි නියම කළේය. රාජ පුරුෂයෝ රජුගේ අණ ලෙස කටයුතු කළෝය.
9. ´´මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. සොරකම මහත් විය. අවි ආයුධ වැඩී ගියේය. ප්‍රාණාතය වැඩී ගියේය. ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණි. වර්ණය ද පිරිහිණි. අසූ දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, සතලිස් දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. ප්‍රාණාඝාතය වැඩුණු කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණි. වර්ණය ද පිරිහිණි. ආයුෂයෙන් සතලිස් දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, විසි දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.බොරුකීම වැඩි ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණි. ඔවුන්ගේ පුත්‍රයෝ, දස දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. පරදාර සේවනයෙහි යෙදීමෙන් ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ පන් දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.
ආයුෂයෙන් පිරිහෙනු ලැබූ ඇතැම් කෙනෙක් දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් දෙදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් තද ආශාව, ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරුණේය. තද ආශාව ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරී ගිය කල්හි දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.´´
10. ´´මහණෙනි, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යා දෘෂ්ඨිය අතිශයින් පැතිරී ගියේය. එකල්හි ඒ සත්වයන්ගේ පුත්‍රයෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇති වූ කල්හි අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය, රාගය අතිශයින් පැතිරී ගියේය. ඒ සත්වයන්ගේ පුත්‍රයෝ දෙසියපනහක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරද පස පැතිර ගියේය.´´
´´මේ පස වැඩී ගිය කල්හි දෙසියපනහක් අවුරුදු ආයුෂ ඇති සත්වයන්ගේ පුත්‍රයෝ අවුරුදු සියයක් ආයු ඇත්තාහු වූහ. යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද, එබඳු කාලයක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි පස් අවුරුදු කුමරිය ස්වාමියෙකුට දීමට සුදුසු කොට සලකන්නාහු. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ගිතෙල්, වෙඞරු, තල තෙල්, මී, සකුරු, ලුණු යන මේ රස නැතිවී යන්නේය. දශ අකුසල කර්ම පථයෝ අතිශයින් පැතිරෙන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුශලය යන නමවත් ඇති නොවන්නේය.´´
´´ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේය.´´
´´මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටාගෙන විනාශ වන කාලය වන්නේය.´´
11. ´´මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. ´´අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැබ් වලට හෝ පඳුරු වලින් ගැවසී ගත් ස්ථාන වලට හෝ ගස් වලින් ගැවසී ගත් ස්ථාන වලට හෝ ගංඟා මැද දූපත් වලට හෝ කඳු මුදුන් වලට හෝ පැමිණ වනයෙහි වූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි´´ සිතා ඔව්හු ඒ තණ වලින් ගැවසී ගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත් වෙත්. ඔව්හු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්ණයෙන් ද වැඩෙනු ලබන්නා වූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ. ක්‍රමයෙන් ආයුෂ අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.´´
12. ´´මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, මත් මතය, මහළු වීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.´´
13. ´´එකල මේ දඹදිව අතිශයින් සමෘර්ධ වූයේ ද, සම්පත්තියෙන් පිරුණේ ද වන්නේය. ගම්, නියම්ගම්, ජනපධ, රාජධානි එකිනෙක සම්බන්ධව පවතින්නේය.´´
´´මේ දඹදිව උනවනයක්, බටවනයක් මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති වන්නේය. කේතුමතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාරදහසක් නගරයෝ වහළෙන් වහළට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.´´
´´මහණෙනි, මිනිසුන් අතර අසුදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කේතුමතී නම් නුවර ධාර්මික වූ සංඛ නම් චක්‍රවර්තී රජෙක් වන්නේය. ඒ රජ තෙමේ දඬුවම නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.´´
´´එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, සර්ව සම්පූර්ණ වූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නේය.´´
14. ´´මහණෙනි, එකල්හි සංඛ නම් රජ තෙම මහා පනාද නම් රජහු විසින් කරවන ලද ගංඟා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයන්ට හැර දමා මහණ බමුණු, දුගී, මගී යාචක ආදීනට දන් දී මෛත්‍රිය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදි වූ හෙතෙම් ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.´´
15. ´´මහණෙනි, තමාම ආරක්‍ෂා ස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්‍ෂා ස්ථාන කොට ධර්මයම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්.´´
´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත්, මානසික දුකත් දුරලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි.´´
´´මහණෙනි, (බුදුරජානන් වහන්සේ) නැමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරේව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නා වූ ආයුෂයෙන් ද, වර්ණයෙන් ද, සුවයෙන් ද, සම්පත්තියෙන් ද, බලයෙන් ද වැඩෙන්නාහුය.´´
16. ´´මහණෙනි, භික්‍ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඍද්ධිපාදය වඩයි. වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඍද්ධිපාදය වඩයි. විමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඍද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඍද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්‍ෂුවගේ ආයුෂයට කාරණයයි.´´
17. ´´මහණෙනි, භික්‍ෂුවගේ වර්ණයට කාරණය කුමක් ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර සිලයෙන් යුක්ත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍රා වරදෙහි ද භය දක්නා සුළු වූයේ වාසය කරයි.ශික්‍ෂාපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ වර්ණයට කාරණයයි.´´
18. ´´මහණෙනි, භික්‍ෂුවගේ සැපයට කාරණය කුමක් ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන ධ්‍යාන වලට පැමිණ වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සැපයට කාරණයයි.´´
19. ´´මහණෙනි, භික්‍ෂුවගේ සම්පතට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මෛත්‍රි සහගත සිතින් සියලු තැන, සියලු ලෝකය මහත් වූ, අප්‍රමාණ වූ අවෛරී වූ ක්‍රෝධ රහිත වූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින් ද, මුදිතා සහගත සිතින් ද, උපේක්ඛා සහගත සිතින් ද සියලු තැන සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සම්පතට කාරණයයි.´´
20. ´´මහණෙනි, භික්‍ෂුවගේ බලයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත කිරීමෙන් අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ බලයට කරණයයි.´´
´´මහණෙනි, මාර බලය තරම් මැඬ පැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඬ පැවැතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඩේ.´´
බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කල සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.
විසිහය වැනි වූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේය.
Category Archives: දීඝ නිකාය
25. උදුම්බරික සිහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමඟ උදුම්බරිකා දේවියගේ පිරිවැජි ආරාමයෙහි වාසය කළේය.
2. එකල්හි සන්ධාන නම් ගෘහපති තෙමේ (දවල් කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ දැකිම පිණිස රජගහ නුවරින් පිටත් විය. ´´භාග්‍යවතුන් වහන්සේ දැන් චිත්ත විවේකයෙන් යුක්තව වාසය කරන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවෙයි සිතීය.
3. එකල්හි සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ වෙත පැමිණියේය. එකල්හි නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ මහත් පිරිවැජි පිරිස සමඟ මහ හඬින් නොයෙක් විදියේ පහත් කථා කියමින් හුන්නේය.
4. නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ එන්නා වූ සන්ධාන ගෘහපතියා ඈතදීම දුටුවේය. දැක, සිය පිරිස හසුරුවාලීය. ´´ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සන්ධාන ගෘහපති තෙමේ එයි. ආයුෂ්මත්නි, මොවුහු වනාහී නිශ්ශබ්දතාවය කැමැත්තෝය. නිශ්ශබ්දතාවයෙහි හික්මුණෝය´´ කීය. මෙසේ කි කල්හි පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහුය.
5. එකල්හි සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා වෙත පැමිණ පරිබ්‍රාජකයා සමඟ සතුටු විය. සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රෝධ පරිබ්‍රාජකයාට මෙසේ කියේය.
´´පින්වත්නි, මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක් රැස්ව මහා හඬින් යුක්තව උස් ශබ්ද ඇත්තාහු නොයෙක් විදියේ පහත් කථාවෙහි යෙදුනාහු වාසය කරත්. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි අන් පරිද්දකින්ම ස්වල්ප ශබ්ද ඇත්තා වූ ද, ස්වල්ප ඝෝෂා ඇත්තා වූ ද, ජනවාසයෙන් වෙන් වූ, මිනිසුන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ, එකී භාවයට සුදුසු වූ, ගම් සීමා ඉක්ම වූ, දුර වාසස්ථාන ද සේවනය කරත්.´´ මෙසේ කී කල්හී නීග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ සන්ධාන ගෘහපතියාට මෙසේ කීයේය.
´´ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු සමඟ කථාකරන්නේදැයි දන්නෙහි ද, කවරෙකු සමඟ සාකච්ඡාවට පැමිණෙන්නේ ද, කවරෙකු සමඟ උත්තරයට උත්තර දීමේ ක්‍රමයෙන් නුවණැති බවට පැමිණේ ද, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ වනාන්තරයන්හි දී විනාශ විය. ශ්‍රමණ ගෞතම තෙමේ විශාරද නුවූ පිරිස් මැදට පැමිණෙන්ට අසමර්ථය, කථාවෙහි අසමර්ථය, හෙතෙම ´´කිසිවෙක් මා අතින් ප්‍රශ්න විචාරති´´යි ප්‍රශ්නයට බය වූයේ වනයේ දුර සෙනසුන්ම සේවනය කරයි.
6. ´´එසේ නම් ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන් මේ පිරිසට පැමිණියොත් එක් ප්‍රශ්නයෙන්ම ඔවුන් වෙහෙසට පමුණුවම්හ. ඔහු හිස් කළයක් මෙන් පෙරලා හැම පැත්තෙන්ම නමා බැඳ තබම්හ´´කීය. නිග්‍රෝධ පරිබ්‍රාජකයා සමඟ පවත්වන සන්ධාන ගෘහපතියාගේ මේ කථා සල්ලාපය භාග්‍යවතුන් වහන්සේ දිව කණින් ඇසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් බැස ´´සුමාගධා´´ නම් පොකුණ ඉවුරෙහි මොරනිවාපයට (මොනරුන්ගේ අභයස්ථානයට) පැමිණ ´´සුමාගධා´´ පොකුණ ඉවුරෙහි වූ එලිමහනේ සක්මන් කළෝය. නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ´´පින්වත්නි, නිශ්ශබ්දවව්, ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ පිරිසට පැමිණියොත් ඉතා යහපති´´යි තම පිරිස හසුරුවාලීය.
7. එවිට භාග්‍යවතුන් වහන්සේ නීග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ වෙත පැමිණියහ. පනවන ලද ආසනයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන්නෝය. නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ ද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. නිග්‍රෝධ පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය. ´´නිග්‍රෝධය, දැන් තෙපි කවර කථාවකින් හුන්නාහු ද, තොප විසින් කවර කථාවක් අතර නවත්වන ලද්දී ද?´´ මෙසේ කී කල්හි නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
´´ස්වාමිණි, ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිරිසට වැඩියොත් උන්වහන්සේ අතින් මේ ප්‍රශ්නය අසන්නෙමු. යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවා ද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ සතුටට පැමිණියාහු තමහට නිශ්‍රය වූ (පිහිට වූ) මුල් ප්‍රතිපත්තිය වූ ආර්ය මාර්ගයයි යම් ධර්මයක් ප්‍රකාශ කරද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද? යනුයි. ස්වාමීනි, අප විසින් මේ කථාව අතරතුර නවත්වන ලදි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය.´´
´´නිග්‍රෝධය, අන්‍ය දෘෂ්ටික වූ, අන්‍ය ලබ්ධික වූ, වෙනත් බලාපොරොත්තු ඇති අන්‍ය ප්‍රතිපත්තියක පිහිටියා වූ අන්‍ය තීර්වායතනයක ගුරු වූ තොප විසින් ඒ ධර්මය නොදත හැක. එසේ හෙයින් නිග්‍රෝධය, තෝ ස්වකීය ආචාර්යවාදය වූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීම සම්බන්ධව ප්‍රශ්න අසව. ´´ස්වාමිනි, කෙසේ වූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීමක් සම්පූර්ණ වේ ද, කෙසේ අසම්පූර්ණ වේදැයි අසමි´´යී කීහ.
8. මෙසේ කී කල්හි පින්වත්නි, යමෙක් ස්වකීය ධර්ම ක්‍රමය තබා අනුන්ගේ ධර්ම ක්‍රමය ගැන විචාරවයි පවරන්නේ ද ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ මහත් ඍද්ධි ඇති බව මහත් ආනුභාව ඇති බව ආශ්චර්ය, අත්භුතය´´යි. ඒ පරිබ්‍රාජකයෝ මහත් සේ හඬ නැඟූහ. එකල්හී නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ ඒ පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, අපි වීර්යයෙන් පව් පිළිකුල් කිරීම කියන්නෝ ෙවමු ´´ස්වාමීනි, කෙසේ වූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීමක් සම්පූර්ණ වේද? කෙසේ නම් අසම්පූර්ණ වේදැයි?´´ ඇසීය.
´´නිග්‍රෝධය, මේ ලෝකයෙහි යහපත් පැවතුම් වලින් මිදුනා වූ නිර්වස්ත්‍ර තාපසයෙක් වෙයි. හෙතෙම අමු පලා කයි. බඩහමු තණ කයි. වී ධාන්‍ය කයි. සම් කැබලි කයි. මැලියම් කයි. දිය සෙවෙල් කයි. ධාන්‍ය කුඩු කන්නේ හෝ වෙයි. දඬුබත් (දන්කුඩ) කන්නේ හෝ වෙයි. තල ආදී මුරුවට කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වනමුල් ගෙඩි කෑම කොට ඇත්තේ හෝ යැපෙයි. ඉබේ වැටුන ගෙඩි කන්නේ හෝ වෙයි. හෙතෙම හණ වැහැරි හෝ හඳී, හණ වැහැරි මිශ්‍ර රෙදි හෝ හඳී. මිනියෙන් ඉවත් කල වස්ත්‍ර හෝ දරයි. පාංශුකූල වස්ත්‍ර හෝ දරයි. රුක් පතුරු හෝ දරයි. මැදින් පැලූ අඳුම්, දිවි සම් හෝ දරයි. නියඳ වැහැරි හෝ දරයි. පුවරු වැහැරි හෝ දරයි. හිසකේ වලින් කල කම්බිලි ද දරයි, කොටි සමින් කල කම්බිලි ද දරයි. බකමුහුණු පිහාටු වලින් කල වැහැරි ද දරයි, කෙස් රැවුල් උගුලන්නේ ද වෙයි. කෙස් රැවුල් ඉගිලීමෙහි යෙදුනේ ආසන ඉවත් කළේ උඩුකුරුව සිටියේ ද වෙයි. උක්කුටික වීර්යයෙන් යුක්ත වූයේ උක්කුටිකයෙන් සිටින්නේ ද වෙයි. කටුමත්තේ ගමන් කරන්නේ කටු ඇතිරි මතුයෙහි නිදාගැනීමද කරයි, පුවරු මත්තේ නිදාගැනීම ද කරයි. කුඩා තාප්ප, උස් බිම් කන්ඩි උඩ නිදාගැනීම කරන්නේ ද වෙයි.
´´දූලි දැලි දරන්නේ එක පැත්තකට නිදන්නේ ද වෙයි, එලිමහනේම වෙසෙයි. පළමුව එලූ පරිදිම වූ ආසනයේ හිඳී. අසූචි කෑමෙහි යෙදුනේ අසූචි කෑම කරයි, ඇල්දිය පානය නොකරන්නේ ඇල්දිය පානය නොකරයි. උදේ දවල් සවස යන තුන් වේලෙහි පව් සේදීම පිණිස දියට බැසීමෙහි යෙදී වාසය කරයි. නිග්‍රෝධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද? මෙසේ ඇති කල්හී විර්යයෙන් පව් දුරු කිරීම සම්පූර්ණ වේ ද, නැතහොත් සම්පූර්ණ නොවේද?´´
´´ස්වාමීනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හී වීර්යයෙන් පව් දුරු කිරීම සම්පූර්ණ වෙයි, අසම්පූර්ණ නොවෙයි´´.
´´නිග්‍රෝධය, මෙසේ පරිපූර්ණ වූ විර්යයෙන් පව් දුරු කිරීමෙහි ඇති නොයෙක් උපක්ලේශයන් (කිලුටු වන දේ) මම කියමි. මේ ද තාපසයාගේ උපක්ලේශ වෙති.
9. ´´නිග්‍රෝධය, මේ ලෝකයෙහි තාපස තෙමේ නිර්වස්ත්‍රව හිඳීම් තපස් කම් සමාදන් වෙයි. තාපස තෙමේ යම්කිසි තපසක් සමාදන් වේ ද, හෙතෙම ඒ තපසින් සතුටු සිත් ඇත්තේ සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වේද, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයි ද හෙතෙම ඒ තපසින් තමා උසස් කොට ද අන්‍යයන් පහත් කොට ද දකී නම් හෙතෙම ඒ තපසින් මානයෙන් මත් වේ ද, මුසපත් වේ ද, ප්‍රමාදයට පැමිණේ ද, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි ද,සතුටු වූයේ සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වේ ද, ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමේ තමා උසස් කොට ද අනුන් පහත්කොට ද සලකයි ද, හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමේන් මානයෙන් මත් වේ ද, මුසපත් වේ ද, ප්‍රමාදයට පැමිණෙයි. තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයි ද, හෙතෙම ඒ තපසින් ප්‍රිය ආහාර, අප්‍රිය ආහාර යයි ආහාර දෙකොටසකට බෙදයි ද හෙතෙම යම් ආහාරයක් අකමැති නම් ඒ ආහාරය අපේක්‍ෂා රහිතව දුරු කරයි ද යම් ආහාරයක් කැමති නම් එහි ගැලී මුසපත්ව ආදීනව නොදැක පරිභෝග කෙරේද, ´´තාපස තෙමේ ලාභ සත්කාර කීර්ති කැමැත්තේ මට සත්කාර කරන්නාහුයයි තපස්කම් සමාදන් වෙයි.
´´තාපස තෙමේ එක්තරා ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියි. දැක ඔහුට කුලයන්හි සත්කාර නොකරත් යයි මෙ ෙහෙතෙම කුලයන්හි ඊර්ෂ්‍යව හා මසුරුකම උපදවන්නේ වෙයි. තාපස තෙමේ මිනිසුන්ට පේන තැන්වල හිඳ තපස් කම් කරයි ද මේ මාගේ තපස යයි මේ මාගේ තපස යයි තමාගේ ගුණ පෙන්වමින් කුලයන්හි හැසිරෙයි.
´´ඔබට මෙය රුචිදැයි අසන ලද්දේ නොකැමැති දෙයට කැමති යයි කියයි. කැමති දෙයට නොකැමැති යයි කියයි. මෙසේ හෙතෙම දැන දැන බොරු කියන්නේ වෙයි. තාපස තෙමේ ධර්මය දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ සතුටුවිය යුතු ශාන්ත ධර්ම ක්‍රමයට සතුටු නොවෙයි.
10. ´´තාපස තෙමේ යම් හෙයකින් ක්‍රෝධ කරන්නේ බද්ධ වෛර ඇත්තේ වේ ද, තාපස තෙමේ ගුණමකු වූයේ ගුණවතුන් හා තමා සමකොට සිතන්නේ වෙයි. ඊර්ෂ්‍යා කරන්නේ මසුරු වූයේ වෙයි. කෛරාටික වූයේ අනුන් රවටන්නේ වෙයි. තද බව ඇත්තේ අධික මානයෙන් යුක්ත වූයේ වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස් වලට වසඟ වූයේ වෙයි. වැරදි ඇදහීම් ඇතිවූයේ උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විශ්වාසයෙන්) යුක්ත වුයේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ආශ්‍රය කරන්නේ එය දැඩිව අල්ලාගත්තේ එය දුරලිය නොහැක්කේ වේ ද,
´´යම් මේ තපොජිගුච්ඡා (වීර්යයෙන් පව් බැහැරකිරීම) කෙනෙක් වෙත් ද, ඔව්හු උපක්ලේශයෝ ද නැතහොත් අනුපක්ලේශයෝ ද´´ ´´ස්වාමීනි, ඒකාන්තයෙන් මේ තපොජිගුච්ඡාවෝ උපක්ලේශයෝය. අනුපක්ලේශයෝ නොවෙත්මය´´
´´ස්වාමීනි, මෙසේ වීමට ඉඩ ඇත්තේය. යම් හේතුවකින් ඇතැම් තාපසයෙක් මේ සියළු උපක්ලේශයන්ගේන් යුක්ත වන්නේය. එක එකකින් යුක්ත වීම කියනුම කවරේද?´´ තාපසයාගේ උපක්ලේශයයි දක්වන ලද කරුණු නොකිරීමෙන් තපස් තෙම පිරිසිදු වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
´´තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙම මේ මට ප්‍රියයි. මට ප්‍රිය නොවෙයි කියා කෑම දෙකොටසකට නොබෙදයි. හෙතෙම තමාට යමක් ප්‍රිය නොවෙයි ද එය බලාපොරොත්තු රහිතව දුරු කරයි. යමක් තමාට ප්‍රිය ද එය මත් නොවූයේ, මුසපත් නොවූයේ, අතිශයින් නොඇලුනේ දොස් දක්නා සුලු වූයේ නුවණින් මෙනෙහි කිරීමෙන් අනුභව කරයි ද හෙතෙම ඒ කාරණයෙහි දී පිරිසිදු වෙයි´´
´´නිග්‍රෝධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද, ඉදින් මෙසේ ඇති කල්හි විර්යයෙන් පව් දුරු කිරීම (තපොජිගුච්ඡාව) පිරිසිදු වේ ද?, නැතහොත් අපිරිසිදු වේ ද?´´
11. ´´ස්වාමීනි, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව පිරිසිදු වන්නේය. උතුම් බවට පැමිණියේ ද සාර බවට පැමිණියේ ද වෙයි.´´
´´නිග්‍රෝධය, මෙපණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේ ද සාර බවට පැමිණියේ ද නොවෙයි. එතකුදු වුවත් ගසක සුඹුලක් බවට පැමිණියේය´´යි කීහ.
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව උතුම් බවට ද සාර බවට ද පමුණුවා ධර්මය දේශනා කරන සේක් නම් යහපති´´යි කීය.
12. ´´නිග්‍රෝධය, මේ ලෝකයෙහි තාපස තෙමේ ´´චාතියාම´´ නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රෝධය, මේ ලෝකයෙහි තාපස තෙමේ ප්‍රාණඝාත නොකරයි ද ප්‍රාණඝාත නොකරවයි ද ප්‍රාණඝාත කරන්නා හට අනුබල නොදෙයි ද එසේම නොදුන් දෙය නොගැනීමෙහි ද බොරු නොකීමෙහි ද පංචකාම සැප සේවනය නොකිරීමෙහි ද ක්‍රියා කරයි ද, නිග්‍රෝධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තාපස බැව්හි වැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි. ශීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. විවේක තැනක් සේවනය කරයි. හෙතෙම පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භෝජනයෙන් පසු (සවස් කාලයේ), එරමිණියා ගොතා කය කෙලින් තබා සිහි එලවා හිඳ ගනියී. හෙතෙම ආත්ම නම් වූ ලෝකයෙහි ආශාව දුරුකොට පහ වූ ආශාව ඇති සිතින් වාසය කරයි. ආශාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රෝධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියළු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රෝධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි.
අලස භාවය දුරුකොට පහ වූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලෝක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවිම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. අතුලත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිර යාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරු කොට එතෙර කල විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුශල ධර්මයන්හී කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි.
13. ´´හෙතෙම සිත කිලුටු කරන්නා වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ මේ පංච නීවරණයන් දුරුකොට මෛත්‍රි සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාව ද එසේම තුන්වෙනි දිශාව ද, සතරවන දිශාව ද උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, ක්‍රෝධ රහිත වූ, මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම සෑම තැන සියළු ලෝක සත්වයා කෙරෙහි විශාල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, ක්‍රෝධ නැති වූ, උපෙක්‍ෂා සහගත සිත පතුරුවා වාසය කරයි.´´
´´නිග්‍රෝධය, ඉදින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව පිරිසිදු ද, නැතහොත් අපිරිසිදු ද?´´
´´ස්වාමීනි, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හී තපොජිගුච්ඡාව ( වීර්යයෙන් පව් දුරු කිරීම) පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේ ද සාර වුයේ ද වෙයි.´´
´´නිග්‍රෝධය, මෙපණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් උතුම් වූයේද සාර වුයේ ද නොවෙයි. ගසේ පොත්ත වැනි බවට පැමිණියේ වෙයි.´´
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තපොජිගුච්ඡාව ( වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මය දේශනා කරත් නම් යහපති.´´
´´නිග්‍රෝධය, මෙපණකින්ම තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් ද සාර ද නොවෙයි. එතකුදු වුවත් ගසේ ඵලය වැනි බවට පැමිණියේ වෙයි.´´
´´ස්වාමීනි, කොපමණකින් වනාහී තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේ වේ ද, සාර බවට පැමිණියේ වේ ද?´´
14. ´´හෙතෙම පිරිසිදු වූ මිනිස් ඇස් ඉක්මෙව්වා වූ දිව්‍ය ඥානයෙන් චුත වන්නා වූ ද, උපදින්නා වූ ද පරලොව යන්නා වූ ද සත්වයන් දැනගනී. ´´පින්වත්නි, මේ සත්වයෝ ඒකාන්තයෙන් කයින් චවනයෙන් කරන දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, සිතින් කරන දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස් කියන්නාහු, වැරදි ඇදහීම් ඇති වූවාහු, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීරයාගේ භේදයෙන් මරණින් මතු දුර්ගති නම් වූ විනාශයට පැමිණෙන්නා වූ, නිරයෙහි උපන්නාහ. පින්වත්නි, මේ සත්වයෝ වනාහි කයින් චවනයෙන් සිතින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු, සත්‍ය වූ දැකීම් ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය´´යි දකී.
´´නිග්‍රෝධය, මෙපණකින්ම තපොජිගුච්ඡාව උතුම් වූයේ ද සාර වූයේ ද වෙයි.´´
´´නිග්‍රෝධය, මම යම් ධර්ම ක්‍රමයකින් ශ්‍රාවකයන් හික්මවම් ද, මා විසින් යම් ධර්ම ක්‍රමයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්ය මාර්ගට මුල්වේ යයි ප්‍රකාශ කරද්ද, ඒ ධර්ම ක්‍රම ඉතා උතුම් ද ඉතා ප්‍රණීත ද වෙයි´´. මෙසේ කී කල්හි ´´මේ කාරණයෙහි ලා ආචාර්ය්‍යයන් වහන්සේ සහිත අපි නැසෙමු. අපි මීට වඩා අතිශයින් උතුම් ධර්මයක් නොදනිමු´´යි කියා ඒ පරිබ්‍රාජකයෝ ශබ්ද නැඟූහ.
15. ´´නිග්‍රෝධය, නුවණැත්තා වූ, සිහි ඇත්තා වූ, මහළු වූ යුෂ්මතුන්ට මෙබඳු අදහසක් නොවූයේ ද, ´´චතුස්සත්‍යය අවබෝධ කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ට එය අවබෝධ කරවීම පිණිස ධර්මය දේශනා කරති. දැමුණු ඉන්ද්‍රිය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය දමනය පිණිස ධර්ම දේශනා කරති. අනුන්ගේ ශාන්තවීම පිණිස, අන්‍යයා සසරින් එතෙරවීම පිණිස, අනුන්ගේ කෙළෙස් ගිනි නිවනු පිණිස ධර්ම දේශනා කරති කියා අදහස් නොවූයේ ද?´´
මෙසේ කී කල නිග්‍රෝධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, බාලයකු, මෝඩයකු, අදක්‍ෂයකු කරා වරද යම්සේ පැමිණේ ද, එසේ වරද මා කරා පැමිණියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙමි. ´´ස්වාමීනි, මතු සංවරය (හික්මීම) පිණිස ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා´´
´´එසේ නම් නිග්‍රෝධය, යම් තැනක පටන් ඔබ වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කරන්නෙහි ද ඔබගේ ඒ වරද අපි පිළිගනිමු. ඉන්මතු සංවරයට (හික්මීමට) පැමිණේ ද එය ආර්ය විනයෙහි වැඩීමක්ය´´.
´´හිත කෙලෙසන්නා වූ, නැවත ඉපදීම ඇතිකරන්නා වූ, දැවීම් සහිත වූ, දුක් විපාක ඇත්තා වූ, මත්තෙහි ජාති ජරා මරණ උපදවන්නා වූ යම් අකුශල ධර්ම කෙනෙක් වෙත් ද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරමි. යම් පරිද්දකින් පිළිපන්නා වූ යුෂ්මතුන්ගේ හිත කෙලෙසන්නා වූ ධර්මයෝ දුරුවන්නාහු ද, හිත පිරිසිදු කරන්නා වූ ධර්මයෝ දියුණුවන්නාහු ද, ප්‍රඥාව සම්පූර්ණ බවට ද උසස් බවට ද පමුණුවන්නාවූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්.´´
16. මෙසේ දේශනා කළ කල්හී ඒ පරිබ්‍රාජකයෝ තුෂ්ණිම්භූත වූවාහු, තේජස් රහි වූවාහු, කරබාගත්තාහු, බිම බලාගත්තාහු, කල්පනා කරන්නා වූ කිසිවක් නොවැටහෙන්නාහු, මාරයා විසින් මඬනා ලද සිත් ඇත්තවුන් මෙන් සිටියාහුය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. ´´මේ සියළු හිස් පුරුෂයෝ මාරයා විසින් ස්පර්ෂ කරන ලද්දාහුය. අපි ධර්මය දැන ගැනීමට උත්සහ කරමු´´ යන අදහසක් ඔවුන්ට නැත්තේය කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජිකාරාමයෙහි සිංහනාද කොට අහසට පැන නැඟී ගිජුකුළු පව්වට ගියාහුය. සන්ධාන ගෘහපති තෙමේ ද එකෙණෙහිම රජගහ නුවරට පැමිණියේය.
24. පාඨික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ල රට අනුපිය නම් වූ මල්ල රජුන්ගේ නියම් ගම වැඩ වාසය කළෝය.
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රය ද රැගෙන අනුපිය නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියෝය. අනුපිය නම් නියම් ගමට පිඬු පිණිස යාම සඳහා තව කල් වැඩි නිසා භාර්ගව ගෝත්‍ර පිරවැජියාගේ ආරාමයට පැමිණියේය.
2. එකල භාර්ගව ගෝත්‍ර පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි පැමිණෙත්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියාහුය. මෙහි වැඩ හිඳිනු මැනවැයි´´ පිරිවැජි තෙමේ තමාගේ ආසනය පනවා දුන්නේය, භාර්ගව ගෝත්‍ර පිරිවැජියා ද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.
එක පැත්තක හුන්නා වූ භාර්ගව ගෝත්‍ර පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, පසුගිය දවසෙක වනාහි සුනක්ඛත්ත නම් ලිච්ඡවී පුත්‍රයා පැමිණ මට මෙසේ කීයේය. ´´භාර්ගවය, මා විසින් දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවත් කරන ලද්දාහ. මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරමියි´´ කීයේය.
´´ස්වාමීන් වහන්ස, කිමෙක් ද? මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා කී සේ වූවක්දැයි´´ ඇසුවේය.
´´භාර්ගවය, මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා යම්සේ කීයේ ද එසේ වූයේය. භාර්ගවය, පසුගිය දවසෙක සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා පැමිණ මට වැඳ එක පැත්තක හුන්නේය. මට මෙසේ කීය.
´´ස්වාමීන් වහන්ස, දැන් මම භාග්‍යවතුන් වහන්සේ අත් හැර දමමි. ස්වාමීන් වහන්ස,මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරන්නෙමියි´´ කීය.
මෙසේ කී කල්හි මමමෙසේ කීමි.
´´කිමෙක් ද, සුනක්ඛත්තය, මම තා හට මාගේ ශ්‍රාවකයෙක්ව වාසය කරවයි කීයෙම් ද?´´
´´ස්වාමීන් වහන්ස, එබඳු කීමක් නැතැයි´´ කීය.
´´තෝ වනාහි මට ´´ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි´´යි කීයෙහිද?
´´ස්වාමීන් වහන්ස, එබන්දක් නොකීමි´´යි කිය.
´´එසේ නම් හිස් පුරුෂය, කවරෙක් කවරෙකු ඉවත් කරන්නේදැයි ඇසීමි. හිස් පුරුෂය තාගේ මේ අපරාධය කොතරම් මහත් ද කියා බලවය´´යි කීමි.
3. ඉන් පසු හෙතෙම ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් තෙමේ මා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම නොකරන්නේය´´යි කිය.
´´කිමෙක් ද, සුනක්ඛත්තය, මම තා හට ´´සුනක්ඛත්තය එව, තෝ මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව. මම තා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන්නෙමි´´යි කියෙම් ද?´´
´´ස්වාමීන් වහන්ස, එසේ නොකීවේ යයි´´ කීය.
´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලද්දේ ද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ සසර දුක් නැසිම පිණිස පවත්නේ යයි´´ කීය.
´´එසේ නම් සුනක්ඛත්තය, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමෙන් කවර ප්‍රයෝජනයක් වන්නේ ද? හිස් පුරුෂය, තගේ මේ කොතරය් මහත් වරදක්දැයි බලව යයි´´ කීමි.
4. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා හට ලෝක ප්‍රඥප්තිය (ලෝකෝත්පත්ති කථාව) ප්‍රකාශ නොකළේය´´යි කීය. ´´එව, තෝ මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව. මම තා හට ලෝකය හට ගැනීමේ කථාව ප්‍රකාශ කරන්නෙමි යයි´´ කියෙම් ද?´´
´´ස්වාමීන් වහන්ස, එසේ නොකීයේ යයි´´ කීය.
´´සුනක්ඛත්තය, තෝ කුමකැයි සිතන්නෙහි ද? ලොව හට ගැනීමේ සීමාව (ලෝකෝත්පත්තිය) ප්‍රකාශ කළ කල්හි හෝ නොකළ කල්හි යම් දුක් නැසිමක් සඳහා මා විසින් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ ද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින්නා වූ පුද්ගලයාගේ සියළු දුක් නැතිකිරීම පිණිස පවත්නේදැයි´´ ඇසීමි.
´´ස්වාමීන් වහන්ස, දුක් නැති කිරීමක් සඳහා දහම් දෙසන්නේ ද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ දුක් නැතිකිරීම පිණිස පවත්නේ යයි´´කීය.
´´හිස් පුරුෂය, බලව, තා විසින් කොතරම් මහත් වූ අපරාධයක් කරන ලද්දේදැයි ඇසීමි.
5. ´´සුනක්ඛත්තය, තා විසින් වජ්ජි ග්‍රාමයෙහි (වැදෑ රජුන්ගේ ගමෙහි) නොයෙක් ආකාරයෙන් මාගේ ගුණ වර්ණනා කරන ලද්දේය.
´´සුනක්ඛත්තය, තා විසින් (එම) විශාලා මහ නුවරදි නොයෙක් ආකාරයෙන් සංඝයාගේ ගුණ කියන ලද්දේය.
´´සුනක්ඛත්තය, තට මෙසේ කියන්නෝ ඇති වන්නාහුය. සුනක්ඛත්ත, ලිච්ඡවී පුත්‍ර තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යා නම් වූ ශ්‍රේෂ්ඨ හැසිරීමට අපොහොසත් වූයේ ශ්‍රමණ ධර්මයෙන් ඉවත්ව ගිහි බවට පැමිණියේයි´´ කීමි.
´´භාර්ගවය, මෙසේ මා විසින් කියනු ලැබූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ යම්සේ අපායේ ඉපදීමට සුදුසු වූ තිරිසතෙක් චුතව එහි, යන්නේ වේ ද එසේම මේ ධර්ම විනය නම් වූ ශාසනයෙන් පහවූයේය.
6. ´´භාර්ගවය, මම එක් කලෙක ථුලු නම් රට උත්තරකා නම් නියමගම් වාසය කළෙමි. එකල මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා පසු ශ්‍රමණයා කොටගෙන උත්තරකා නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියෙමි.ඒ කාලයෙහි වස්ත්‍ර හැඳීමක් නැති හෙයින් නිර්වස්ත්‍ර වූ බලු ලිලාවෙන් යුත් කොරක්ඛත්තිය නම් නිගණ්ඨයෙක් තෙමේ දුටුවෙමි.
´´සුනක්ඛත්තය, හෙතෙම මෙයින් සත්වන දවසෙහි අලසක නම් රෝගයෙන් (ඉදිමී ගිය බඩ ඇතිව) කාලක්‍රියා කරන්නේය. එසේ කළුරිය කොට කාලකඤ්ජික නම් ඉතා හීනවූ අසුර-යෝනියෙහි උපදනේය. මැරුණා වූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනෙහි දමන්නාහුය.
´´භාර්ගවය, එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයා වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය දැන්නුවේය.
´´එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ බීරණත්ථම්භක නම් සොහොනට පැමිණ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයාට තුන් වරක් අතින් ගැසුවේය. (අතින් ගසා) ´´ඇවැත් කොරක්ඛත්තිය තමාගේ ගතිය (තම උපන් තැන)දන්නෙහි ද?´´යි ඇසීය.
´´එකල කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ අතින් පිට පිස දමමින් නැඟිට්ටේය. (එසේ නැඟිට)´´ ඇවැත් සුනක්ඛත්තය, තමාගේ ගතිය දනිමි. සියල්ලෙන් පිරිහුණු කාලකඤ්ජික නම් අසුර නිකායෙක් වේ ද එහි මම උපන්නෙමි´´ කියා එතැන්හිම උඩුකුරුව මළකඳ වැටුණේය.
සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා මට මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, කොරක්ඛත්තිය නිගණ්ඨයා සඳහා භාග්‍යවතුන් වහන්සේයම් පරිද්දකින මට කීවේ ද, ඒ විපාකය එපරිද්දෙන්ම වූයේය.
´´සුනක්ඛත්තය, ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේ වේද නොකරන ලද්දේ වේදැයි´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, එසේ ඇති කල්හී ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේය.´´
7. ´´භාර්ගවය, එක් කලෙක මම විශාලා මහනුවර සමීපයේ මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කළෙමි. ඒ කාලයෙහි කොරමට්ටක නම් නිගණ්ඨයෙක් ලාභයෙන් යසසින් අගතැන් පැමිණියේ විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි වාසය කරයි. ඔහු ජීවිතාන්තය දක්වා සුරා සහ මංශයෙන්ම යැපෙයි.
´´භාර්ගවය එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ වෙත පැමිණ ප්‍රශ්න ඇසීය. කොරමට්ටක නිගණ්ඨයාට උත්තර දිය නොහැකි විය. උත්තර දිය නොහැකි වූ හෙතෙම කෝපය ද ද්වේශය ද නොසතුටු බව ද ප්‍රකාශ කළේය.
´´භාර්ගවය එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා ඔහුගෙන් ක්‍ෂමාව ඉල්වා ගත්තේය.
´´භාර්ගවය එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මා වෙත පැමිණි කල ඔහුට මම මේ කාරණය කියමි.
´´හිස් පුරුෂය, තෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙකුසේ පෙනී සිටින්නෙහිදැයි´´ ඇසීමි. ´´තෝ කොරමට්ටක නම් නිගණ්ඨයා කරා පැමිණ ප්‍රශ්ණ ඇසුවේ නොවේද? ප්‍රශ්න අසන ලද්දා වූ ඒ කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ නොසතුටුව කෝපය ද ද්වේශයද නොසතුටු බව ද පහළ කළේය. එවිට ඔහු ක්‍ෂමා කරවා ගත්තේ නොවේදැයි´´ ඇසීමි. ´´එසේය ස්වාමීන් වහන්සැයි කියා, කිමෙක්ද? ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රහත් බව මසුරු කරන්නේදැයි´´ ඇසීය.
´´සුනක්ඛත්තය, ඒ කොරමට්ටක නම් නිගණ්ඨයා උහපත් රහත් ශ්‍රමණයෙකැයි සිතන්නෙහිද? ඒ නිගණ්ඨ තෙමේ නොබෝ දවසකින්ම ගිහි ඇඳුම් ඇඳ බිරිඳක් සහිතව බත් පිටි ආහාර අනුභව කරමින් විශාලා මහනුවර සියළු චෛත්‍යස්ථානයන් ඉක්මවා ගොස් යසසින් පිරිහී මැරේන්නේ යයි´´ කීවෙමි.
´´භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මට මෙසේ දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොරමට්ටක නම් නිවටා ගැන භාග්‍යවතුන් වහන්සේ යමක් ප්‍රකාශ කළේ ද, ඒ විපාකය එසේම වූයේ යයි´´ කීය.
´´සුනක්ඛත්තය, ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමක් කරන ලද්දේදැයි´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේය´´ කීය.
´´භාර්ගවය, මෙසේද වනාහි මා විසින් කියනු ලබන්නා වූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මේ ධර්මවිනය නම් වූ ශාසනයෙන් අපායෙහි වැටෙන්නා වූ නිරි සතෙක් යම් සේ ද ඒසේ පහ වූයේයයි කීවෙමි.
8. ´´භාර්ගවය, මම එක් කලෙක විශාලා මහනුවරෙහිම මහාවනයෙහි කූටාගාර ශාලාවෙහිම වාසය කළෙමි. ඒ කාලයෙහි පාඨික පුත්‍ර නම් නිගණ්ඨයෙක් තෙමේ විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි ලාභයෙන් යසසින් අග්‍ර බවට පැමිණ වාසය කරයි. ඒ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ද විශාලා මහනුවර පිරිස්වල මෙබඳු වචනයක් කියයි. ´´ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ද ඥානවාදියෙක, මම ද ඥානවාදියෙක් වෙමි. ඥානවාදියෙක් ඥානවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමට සුදුසු වන්නේය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ (වාද කිරීම සඳහා) අඩ යොදුනක් එන්නේ නම් මම ද අඩ යොදුනක් ඉදිරියට යන්නෙමි. ඒ අපි දෙදෙනම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන්නෙමු. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ එක් සෘධියෙකු දක්වන්නේ නම් මම සෘධි දෙකක් දක්වන්නෙමි.
´´භාර්ගවය, එකල්හී සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මා වෙත පැමිණ, මා හට ඒ කාරණය කියේය.
´´සුනක්ඛත්තය, ´´පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට මාගේ හමුවට එන්ට නුසුදුසු වන්නේ යයි ද ඉදින් එසේ ඒ නම් ඔහුගේ හිස සත් කඩකට පැළෙන්නේය´´යි ද මාගේ සිතින් පිරිසිඳ දන්නා ලද්දේය. දේවතාවෝ ද මට මේ කරුණ දැන්වූහ.´´
9. ´´භාර්ගවය, එකල්හි වනාහි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන විශාලා මහනුවරට පිඬු පිණිස පැමිණියෙමි. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී එන්නේ පාඨිකපුත්‍ර නිගණ්ඨයාගේ ආරාමයට පැමිණියෙමි.´´
´´භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ විශාලා මහනුවරට ගොස් ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු යම් යම් තැන්හි ද ඒ ඒ තැන්වලට පැමිණ මේ පුවත් කීයේය. ´´ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හි ද දවල් කාලයෙහි වාසය පිණිස එහි පැමිණියෝය. ආයුෂ්මත්නි, නික්ම යව්, යහපත් ස්වභාව ඇති ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍධි දැක්වීමක් වන්නේ යයි´´ කීය.
´´භාර්ගවය, එකල පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ බියපත් වූයේ තැතිගන්නා ලද්දේ කීන්දුක්ඛාණු පිරිවැජියාගේ ආරාමයට පැමිණියේය.´´
´´භාර්ගවය, පාඨික පුත්‍ර තෙමේ ´´ඇවැත, එන්නෙමි, ඇවත, එන්නෙමි´´යි කියමින් එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැඟිටින්නට ද නොහැකි වන්නේය.´´
´´භාර්ගවය, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙසේ කීවෙමි. ´´ඇවැත්නි, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර මාගේ ඉදිරියට එන්ට අසමර්ථ වන්නේය.´´
(පළමුවෙනි බණ වරයි.)
10. ´´භාර්ගවය, එකල්හි වනාහි එක්තරා ලිච්ඡවී මහාමාත්‍යයෙක්ද ඊට පසු ජාලිය නම් තැනැත්තෙක් ද පාඨික පුත්‍ර නිගණ්ඨයා ගෙන එන්ට ගියේය. ඔහුට ද පාඨික පුත්‍ර තෙමේ ´´ඇවැත යමි, ඇවැත යමි´´ කියා එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැඟිටින්නට ද නොහැකි වන්නේය.´´
´´භාර්ගවය, එකල්හි මම ඒ පිරිස දැහැමි කථාවෙන් කරුණු දක්වා සිත් පහදවා මහත් වූ සසර කෙලෙස් බැඳුමෙන් මිදුන වුන් කොට අසූසාර දහසක් ප්‍රාණීන් මහත් වූ සංසාර දුර්ග මාර්ගයෙන් උදුරා නිවන්පුර අද්දර පිහිටුවා තේජෝ ධාතු සමාපත්තියට සමවැදී තල් ගස් හතක් පමණවූ අහසට පැන නැඟ අනිකුදු තල් ගස් හතක් පමණ වූ තැන ගිනිසිළු මවා දල්වා, දුම් පිටකොට, ප්‍රාතිහාර්ය දක්වා මහා වනයෙහි වූ කූටාගාර ශාලාවට පැමිණ සිටියෙමි.´´
´´භාර්ගවය, එකල්හි වනාහි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මම වෙත පැමිණි විට ´´සුනක්ඛත්තය, මම තට පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් කීයෙම් ද ඒ විපාකය එසේම වී ද?´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් ප්‍රකාශ කළේ ද ඒ විපාකය එසේම වූයේය.´´ ´´සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඎධි දැක්වීමක් කරණ ලද්දේ ද?´´
´´ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍධි දැක්වීමක් කරන ලද්දේ වෙමි´´ කී ´´මෙසේ ද ඇති කල්හි තෝ මෙසේ කියන්නෙහිය. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍධි දැක්වීම නොකරන්නේමය´´යි කියයි. හිස් පුරුෂය, බලව, කොතරම් මහත් අපරාධයෙක් තා විසින් කරන ලද්දේදැයි´´ කීයෙමි.´´
´´භාර්ගවය, මෙසේද මා විසින් කියනු ලබන්නා වූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මේ ධර්ම් විනය නම් වූ ශාසනයෙන් අපායෙහි ඉපදීමට සුදුසු නිරි සතෙක් එහි යන්නේ යම්සේද එසේම පහවී ගියේ යයි´´ කීවාහුය.
11. ´´භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම මෙනම් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් නොගනිමි. මා විසින් තමාම තමා තුළ කෙලෙසුන්ගේ නිවීම දැනගන්නා ලද්දේය. යම් බඳු කෙලෙසුන්ගේ නිවීමක් දන්නාවූ තථාගත වූ බුදුරජ තෙමේ නිවන් නොදත් තීර්ථකයන් මෙන් විනාශයට දුකට නොපැමිනෙන්නේය.´´
´´භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා විසින් ලොව මවන ලද්දේය, බුහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරද්ද, මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ආයුෂ්මත්නි, තොපි කවරෙකු විසින් කෙසේ මවන ලද්දේද? ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරන්නාහුද? මා විසින් අසන ලද්දා වූ ඔව්හු උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැක්කාහු මාගෙන්ම අසත්.
12. ´´ඇවැත්නි මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නා වූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහු ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල වනාහි එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍ය වූ බඹ විමනෙහි ඕපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් (එසේ) සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. ´´ඒකාන්තයෙන් තවත් සත්වයෝ ද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි´´ මෙබඳු සිතක් වන්නේය. එසේ ඇති කල්හි තවත් සත්වයෝ ද ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හු ද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්.
13. ´´ඇවැත්නි, එහි යම් සත්වයෙක් පළමුව උපන්නේ ද ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඬ පවත්වන්නා වූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඬිය හැකි වූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නා වූ ඊශ්ව රවූ ලෝක කර්තෘ වූ ලොව මවන්නා වූ ශ්‍රේෂ්ඨ වූ සත්වයන්ගේ පියා වෙමි. මා විසින් මේ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට වනාහි පෙර දවස්හි මෙබඳු සිතෙක් වී, ඒකාන්තයෙන් අනෙකුදු සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්වයෝද මේ ආත්ම භාවයට ආවාහු යයි (දෘෂ්ටියෙක් ගන්නේය.) යම් ඒ සත්වයෝ වනාහි පසුව උපන්නාහු ද ඔවුන්ට මෙබඳු සිතෙක් වන්නේය. ´´මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඬ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඬිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම වසඟයෙහි පවත්නාඩවූ ඊශ්වරයාඩවූ ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘ වූ ද ශ්‍රේෂ්ඨ වූ ද තමන් විසින් ජයගත් වසඟ කිරීමට පත් වූ සියළු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපි මවන ලද්දෙමු. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන්නා වූ මේ බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි පසුව උපන්නෝ වෙමුයි කියායි´´.
14. ´´ඇවැත්නි, එහි යම් ඒ සත්වයෙක් පළමුව උපන්නේ ද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක් ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක් ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේ ද වන්නේය. යම් ඒ සත්ව කෙනෙක් පසුව උපන්නාහු ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වර්ණයෝ ද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ. ඇවැත්නි, මේ මතු කියනසේ සිදුවීමට කරුණු ඇත්තේය. කෙසේදයත්? යම් එක්තරා සත්වයෙක් ඒ ආත්ම භාවයෙන් චුතව මේ මිනිස් ලොවට එන්නේ වේ ද, මේ මිනිස් ලොවට පැමිණියේ ගිහිගෙයින් නික්ම පැවිදි වේ ද, ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ කෙළෙස් තවන වීර්යය වැඩීමෙන් මහත් වීර්යය වැඩීමෙන් භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදයෙන් යහපත් කොට මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධියක් ලැබූ කල්හි ඒ පෙර විසූ බ්‍රහ්මාත්මය සිහි කරන්නේ ද ඉන් මතු සිහි නොකරන්නේ ද එබඳු චිත්ත සමාධියක් ලබන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ´´යම් ඒ පින්වත් බ්‍රහ්මයෙක් සියල්ල මැඬ පවත්නා වූ මහා බ්‍රහ්මයෙක් වේ ද, සියල්ලන් විසින් නොමැඬිය හැක්කේ ද ඒකාන්තයෙන් සියල්ල දන්නේ ද ඊශ්වර වුයේ සියල්ල තම වසඟයෙහි පවත්නේ ද ලෝක කර්තෘ වූ මැවුම්කාරයා වූයේ ද ශ්‍රේෂ්ඨ වූ සියල්ල දිනීමෙන් වසඟකලා වූ සියලු සත්වයින්ගේ පියා වූයේ ද යම් පින්වත් මහා බ්‍රහ්යෙකු විසින් අප මවන ලද්දෙමු ද ඒ මහා බ්‍රහ්ම තෙමේ නැති නොවන්නේය. ඒකාන්ත සදාකාලික වූවෙක් වන්නේය. නොපෙරළෙන ස්වභාව ඇත්තේ සදාකාලිකයෙක් වූයේම එපරිද්දෙන්ම සිටින්නේය. යම් ඒ අපි වනාහි ඒ පින්වත් බ්‍රහ්මයා විසින් මවන ලද්දෝ වෙමු. ඒ අපි නිත්‍ය නොවන්නෙමු. සදාකාලික නොවන්නෙමු. මද ආයු ඇත්තෝ වෙමු. චුතවන ස්වභාව ඇතිව මේ ආත්ම භාවයට ආවෝ වෙමු යයි වරදවා ගන්නාහුය.
එකල්හි ඔව්හු මෙසේ කියන්නාහුය. ´´ඇවැත් ගෞතමයන් වහන්ස, යම් පරිද්දෙකින් ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ කියේ ද එපරිද්දෙන්ම අප විසින් ද අසන ලද්දේ යයි´´ කියති.
භාර්ගවය, ඇතැම් මහණ බමුනෝ ඛිඩ්ඩාපදුසික නම් ලෝකෝත්පත්ති ආචාර්යවාදයක් පනවන්නාහුය. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි.
ආයුෂ්මත් තෙපි කෙසේ ඛිඩ්ඩාපදුසික නම් ලෝකෝත්පත්ති ආචාර්යවාද පනවන්නාහු දැයි අසයි. මා විසින් අසන ලද්දාහු ඔව්හු නොදත්, නොදනිත්. ඔව්හු මාගෙන් මෙසේ අසත්.
15. ´´ඇවැත්නි, ඛිඩ්ඩාපදුසික නම් දෙවි කොටසක් ඇත්තේය. ඔව්හු බොහෝ වේලාවක් සන්තෝෂ ජනක ක්‍රීඩාවන්හී ඇලී වාසය කරද්ද, ඔවුන්ගේ සිහි මුළාවන්නේය. ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත වන්නාහුය. ඇවැත්නි, යම් හෙයකින් එක්තරා සත්වයෙක් තෙමේ ඒ දෙව්ලොවින් චුතව මේ ආත්ම බවට එන්නේ ද, හෙතෙම වීර්යය වඩා විශේෂ වීර්යය වඩා භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහිකිරීම හේතු කොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධි සිතින් ඒ පෙර විසූ ඛිඩ්ඩාපදුසික නම් දිව්‍ය භවය සිහි කරන්නේය. ඉන්මතු සිහි නොකරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ´´පින්වත්නි, යම් ඒ ඛිඩ්ඩාපදුසික දෙවි කෙනෙක් වෙද්ද වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රතී ස්වභාවයට නොපැමිණ වාසය කරද්ද, වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රතියෙහි නොයෙදී වාසය කරන්නා වූ ඔවුන්ගේ සිහි මුළාවීමෙක් නොවෙයි. සිහි මුළානොවීම හේතුකොට ගෙන ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත නොවෙත්. නිත්‍ය වූ ඒකාන්ත වූ සදාකාලික වූ නොපෙරළෙන ස්වභාව ඇත්තා වූ සදාකාලික වූවන් මෙන් එසේම සිටින්නාහුය.
16. යම් බඳු වූ අපි ඛිඩ්ඩාපදුසික වූයෙමු ද ඒ අපි වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රති ස්වභාවයෙහි ඇලී වාසය කෙළෙමු ද, වැඩි කාලයක් හාස්‍ය ක්‍රීඩා රතියෙහි යෙදී වාසය කලා වූ ඒ අපගේ සිහි මුළා විය.සිහි මුළා වීම හේතුකොට මෙසේ අපි ඒ දෙව්ලොවින් චුතව අනිත්‍ය වූවාහු සදාකාලික නුවූවාහු චුතවන ස්වභාවය ඇත්තාහු මේ ආත්ම භවයට පැමිණියෙමු යයි (කියත්).
´´ඇවැත්නි, තොපි මෙසේ ඇති කරන ලද ඛිඩ්ඩාපදුසික නම් ආවාර්ය පරම්පරාවෙන් ආ ලොකොත්පත්ති වංශකථාව පනවන්නාහු යයි කීයෙමි.
එකල ඔව්හු මෙසේ කීහ. ´´ඇවැත් ගෞතමයන් වහන්ස, යම්සේ ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළේ ද අප විසින් ද එසේම අසන ලද්දේය´´යි කියයි.
17. ´´ භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ මනොපදුසික නම් ලොකොත්පත්ති වංශකථාවක් පනවන්නාහුය. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ඇවැත්නි, තොපි කුමක් හේතු කොටගෙන මනොපදුසික නම් ලොකොත්පත්ති වංශකථාවක් ප්‍රකාශ කරන්නාහුදැ´´යි අසමි. උත්තර දෙන්නට නොහැකිවූවාහු මාගෙන්ම අසන්නාහුය. ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
´´ඇවැත්නි, මනොපදුසික දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ දෙවියෝ වැඩි කාලයක් ඔවුනොවුන්ගේ යස ඉසුරු දැක ඉවසිය නොහි කෝපාග්නියෙන් ඔවුනොවුන් දෙස බලා හිඳින්නාහ. ඔවුනොවුන් කෙරෙහි සිත් දූෂ්‍ය කර ගන්නාහ. දූර්වල ශරීර හා දූර්වල සිත් ඇත්තො වෙත්. ඒ හේතු කොටගෙන ඒ දෙවියෝ ඒ ලොවින් චුත වන්නාහ. ඒ දෙවිලොවින් චුතව මේ ආත්මයට (මිනිසත් බවට) ඒ ද, මිනිසත් බවට ආවා වූ හෙතෙමේ වීර්යය වඩා ව්ශේෂ වීර්යය භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතු කොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධි සිතින් පෙර විසූ දෙවි ලොව දකින්නේය. ඉන්මතු නොදක්නේය. හෙතෙමේ මෙසේ කියන්නේය. ´´යම් බඳු ඒ මනොපදූසික දෙවි කෙනෙක් වැඩි කාලයක් ඔවූනොවූන් දෙස කෝපයෙන් නොබලන්නාහු ද, ඔවූනොවූන් කෙරෙහි සිත් දූෂ්‍ය නොකරන්නාහු ද, ඔවුහු දූර්වල නොවූ ශරීර හා සිත් ඇතිව ඒ දෙවිලොවින් චුත නොවන්නාහ. නිත්‍ය නොපෙරෙළෙන ස්වභාව ඇති සදාකාලීන වූවන් මෙන් එසේම සිටින්නාහ. යම් බඳු වූ අපි මනෝපදුසික වූවෙමු ද, වැඩි වේලාවක් ඔවුනොවුන් දෙස කෝපයෙන් බැලුයෙමුද, වැඩි වේලාවක් ඔවුනොවුන් දෙස කෝපයෙන් බැලීමෙන් ඔවුනොවුන් කෙරෙහි දූෂ්‍ය සිත් ඇත්තාහු දුර්වල ශරීර හා සිත් ඇත්තා වූ අපි ඒ දෙව්ලොවින් චුත වූවාහු අනිත්‍ය අස්ථිර අශාස්වත මද ආයුෂ ඇති ස්වභාව ඇත්තාහු මේ මිනිසත් බවට පැමිණියෙමු´´යි කියති. ආයුෂ්මත්නි, තොපි මෙසේ මනොපදුසික ලෝක උත්පත්ති වංශකථාව පනවන්නාහු යයි කියන්නේමි. ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කළේ ද අප විසින් එසේම අසන ලද්දේය´´යි කියත්.
18. ´´භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ලෝකය හේතු රහිතව ඉබේම ඇති වූයේ යයි ´´අධිච්ච සමුප්පන්න´´ වාදය ස්වකීය ආචාර්ය වංශ කථාව කොට ප්‍රකාශ කරති. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ඇවැත්නි, තොපි ´´අධිච්ච සමුප්පන්න´´ ලෝක උත්පත්ති වංශ කථාව කවර හේතුවකින් පනවන ලද්දාහුදැ´´යි අසමි. මා විසින් අසන ලද්දා වූ ඔව්හු උතතර දෙන්ට නොහැකි වන්නාහු මා අතින්ම අසන්නාහුය. ´´ඇවැත්නි, අසං සත්ව නම් දෙවි කෙනෙක් ඇත්තාහ. සංඥාව හටගැණීමෙන් වනාහි ඒ දෙවියෝ ඒ දේව්ලොවින් චුත වන්නාහ. ඇවැත්නි, මේ මතු කියන සේ වීමට හේතු ඇත්තේය. යම් හේතුවකින් එක්තරා සත්වයෙක් ඒ දෙව් ලොවින් චුතව මේ මිනිසත් බවට එන්නේ වේ ද මේ මිනිසත් බවට ආවා වූ හෙතෙම ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේද ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ කෙලෙස් තවන වීර්යය වඩා මහත් වීර්යය වඩා භාවනාවෙහි යෙදී අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතුකොට ගෙන චිත්තසමාධියක් ලබන්නේය. ඒ සමාධියෙන් ඒ සංඥාවගේ පහළවීම දක්නේය. ඉන්මතු නොදක්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ආත්මයත් ලෝකයත් හේතුප්‍රත්‍ය නැතුව ඉබේම හටගත්තේය´´යි කියායි. ඊට හේතු කවරේද? ´´මම මීට ප්‍රථම නුවූයේමය. ඒ මම පෙර නොවී මෙකල්හී සත්ව බවට පෙරලී ආයෙමි´´යි ප්‍රකාශ කරයි.
19. එවිට ඔවුහු මෙසේ කියන්නාහුය. ´´ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කළේ ද අප විසින් ද එසේ අසන ලද්දේය´´යි කියායි.
´´භාර්ගවය, මෙසේ කියන්නා වූ මාහට ඇතැම් මහණ බමුණෝ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ද භික්‍ෂූහු ද සැබෑ නොවූ හිස් වූ බොරු අභූත බස් ප්‍රකාශ කරන්නාහු යයි කියන්නාහ. විපරීත සංඥා ඇත්තෝය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මෙසේ කීයේය. ´´යම් කලෙක්හි ශුභ වු මොක්‍ෂයට පැමිණ වාසය කෙරේද ඒ කාලයෙහි සියල්ල අශුභ වශයෙන් දන්නේයයි කිය´´යි යනුවෙනි.
20. ´´භාර්ගවය, මම එබන්දක් නොකියමි. යම් කලෙක්හි ශුභ විමෝක්‍ෂයට එනම් වර්ණ කසිණධ්‍යානයට එළඹ වාසය කෙරේද, ඒ කාලයෙහි සියළු ශුභාශුභයන් අශුභ වශයෙන්ම දන්නේයයි නොකියමි. භාර්ගවය, මම වනාහි මෙසේ කියමි. යම් කාලයෙක්හි ශුභ විමෝක්‍ෂයට හෙවත් වර්ණ කසිණධ්‍යානයට පැමිණ වාසය කරයි ද, ඒ කාලයෙහි ශුභාරමමණයම දන්නේ යයි කියමි. යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂූන්ට විපරීත සංඥා ඇත්තෝ යයි කියත් ද, ඔව්හුම විපරීත සංඥා ඇත්තෝය. (මෙසේ කීකල භාර්ගව පිරිවැජි තෙමේ කියනුයේ) ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්සේ මම ශුභවිමෝක්‍ෂයට පැමිණ වාසය කරන්නෙම් ද එසේ දහම් දෙසන්ට සමර්ථ වූයේ යයි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රසන්න වූයෙමියි´´ කීවේය.
21. ´´භාර්ගවය, අන්‍ය දෘෂ්ටිකයෙක් වූ ද, අන් වැටහීමක් ඇත්තා වූ ද, අන්‍ය රුචියෙක් වූ ද, අන් මතයක් ඇත්තා වූ ද, අන් ගුරුවරුන් ඇත්තා වූ ද, තට ශුභ විමෝක්‍ෂයට (වර්ණ කසිණධ්‍යනයට) පැමිණ වාසය කිරීම දුෂ්කර වන්නේමය. එබැවින් භාරගවය, තොපගේ මා කෙරෙහි යම් ප්‍රසාදයෙක් වේද, ඒ ප්‍රසාදයම තෝ හොඳින් රක්‍ෂා කරව´´යි කීහ.
´´ස්වාමීන් වහන්ස, ඉදින් අන්‍ය දෘෂ්ටික වූ ඒ මා විසින් ශුභ විමෝක්‍ෂයට පැමිණ වාසය කරන්ට දුෂ්කර වන්නේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් බඳු මාගේ ප්‍රසාදයෙක් වේද, ඒ ප්‍රසාදයම මම හොඳින් ආරක්‍ෂා කරන්නෙමි´´යි කීය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේය. සතුටු සිත් ඇත්තා වූ භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූයේය.
පාඨික සූත්‍රය නිමියේය.
23. පයාසි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් වූ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක්. කොසොල් ජනපද වාසින්ගේ සෙතව්‍ය නම් නුවරට පැමිණියහ. එහි වූ කලි ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සෙතව්‍ය නම් නුවරට උතුරු දිශාවෙහි වූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ. ඒ කාලයෙහි පායාසි නම් (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙන ලද සෙතව්‍ය නම් නුවර අධිපතිව වසයි.
2. එකල්හි පායාසි (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඕපපාතික) සත්වයෝ නැත්තාහුය, කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාකයක් නැත්තේ යයි, මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි.
සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතිකයෝ රාශි රාශිව සමූහ සමූහව සෙතව්‍යා නුවරින් නික්ම උතුරු දෙසට හැරී ඇට්ටේරිය වනයට පැමිණෙත්, ඒ බව අසා පායාසි උපරජ තෙමේ සෙතව්‍යා නගර වාසි බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් පිරිවරන ලදුව ඇට්ටේරිය වනයට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු විය යුතු වූ ද සිහිකට යුතු වූ ද කථාව කොට නිමවා එක පැත්තක උන්නේය.
3. එකපැත්තක උන්නා වූ පායාසී උප රජ තෙමේ ආයුෂ්මත් කුමාර කාශ්‍යප සථවිරයන් වහන්සේට මේ කාරණය කීය. ´´පින්වත් කාශ්‍යපය, මම වනාහි මෙසේ කියන්නෙමි. පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ථල විපාක නැත්තේය කියායි´´.
´´කෙසේ නම් මෙසේ කියන්නේද?, උපරජ එසේ වී නම් මේ කාරණය තා ගෙන්ම අසන්නෙමි, යම් විධියකින් තට වැටහෙන්නේ ද ඒ විධියට උත්තර දෙව.´´
´´උපරජ, මේ චන්ද්‍ර සුර්යයෝ මේ ලෝකයෙහි හෝ වෙද්ද? පරලෝකයෙහි හෝ වෙද්ද, ඔව්හු දෙවියෝ හෝ වෙද්ද? මනුෂ්‍යයෝ හෝ වෙද්දැයි´´ ඇසුහ. එවිට උපරජ තෙමේ ´´පින්වත් කාශ්‍යපය, මේ චන්ද්‍ර සුර්යයෝ පරලෝකයෙහි වෙත්. මේ ලෝකයෙහි නෙවෙත්. මේ චන්ද්‍ර සුර්යයෝ දෙවියෝ වෙත්. මනුෂ්‍යයෝ නොවෙත් යයි කීහ. උපරජ, මේ කාරණයෙන් ද පරලොවක් ඇත්තේය.´´
6. පින්වත් කාශ්‍යපය, සතුන් මරන්නා වූ ද, සොරකම් කරන්නා වූ ද, වැරදි ලෙස කාමයෙහි හැසිරෙන්නා වූද , බොරු කියන්නා වූ ද, පරුෂ වචන කියන්නා වූ ද, හිස් වචන කියන්නා වූ ද, විෂම ලෝභය ඇත්තා වූ ද, ක්‍රෝධ සිත් ඇත්තා වූ ද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තා වූ ද, මාගේ දන්නා අඳුනන අය ද, සහ ලේ නෑයෝ ද ඇත්තාහ. මොව්හු මරණින් මතු සැපයෙන් තොර වූ නරකයෙහි උපදින්නාහු යයි කියන්නා වූ, මෙබඳු දැකීම් ඇත්තා වූ, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය. ඔව්හු මැරී ගොස් නැවත අවූත් නොකියත්. පණිවිඩකාරයෙකු හෝ නොඑවත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ.
5. උපරජ, මෙහි තාගේ පුරුෂයෝ අපරාධ කරන්නවූන් අල්වාගෙන මරණ තැන හිඳුවන්නාහු නම් ඒ සොරා සොරු මරන්නන්ට, ´´පින්වත් චෝරාතකයනි, අසවල් ගමෙහි හෝ නියම් ගෙමහි හෝ මගේ දන්නා අඳුනන්නෝ ද සහ ලේ නෑයෝ ද ඇත්තාහුය. යම්තාක් මම ඔවුන්ට දක්වා එම් ද ඒ තාක් නවතිත්වායි´´ කියා නම් ඔහුට ඊට ඉඩ ලැබේද?´´
´´පින්වත් කාශ්‍යපය, ඔහු අවකාශයක් නොලබන්නේය. එකල්හි ඔහු විලාප කියද්දීම චොරාතකයෝ හිස සිඳීන්නාහුය´´යි කීය.
´´පින්වත් කාශ්‍යපය, පරලොවක් නැත්තේ යයි මට මෙබඳු සිතක් ඇතිවේ ද, ඊට කාරණයක් ඇත්තේ යයි´´ කීය.
´´උපරජ ඒ කවර කරුණක්දැ´´යි ඇසූහ.
´´පින්වත් කාශ්‍යපය, මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ද දිව්‍ය ලෝකයෙහි උපදින්නාහුයයි කියන්නා වූ, මෙසේ දෘෂ්ටි ඇත්තා වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහුමය.
´´පින්වත්නි ඉදින් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු නම්, ඔව්හු නැවත මා වෙත අවූත් නොම දන්වත්, පණිවිඩකාරයෙකුත් නොම එවත්.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලෙවක් නැත්තේය,
6. උපරජ, එසේ වීනම් තොපට (මේ කාරණය ගැන උපමාවක් කරන්නෙමි).
උපරජ, යම්සේ පුරුෂයෙක් අසූචි වළක වැටී සුද්ධ කර ඒ පුරුෂයාට මාහැඟි වූ මල් ද, මාහැඟි වූ සුවඳ විලවූන් ද, මාහැඟි වූ ඇඳුම් ද ගෙන දී ප්‍රාසාදයට නංවා පස්කම් සැප සුදානම් කර දුන් කල ඒ පුරුෂයා නැවතත් අසූචි වළෙහි ගිලෙන්නට කැමති වන්නේදැයි ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, එසේ කැමති නොවන්නේය.´´ උපරජ, එමෙන්ම මනුෂ්‍යයෝ දෙවියන්ට අසූචියක් වෙයි, දුර්ගන්ධ වෙත්. උපරජ, යොදුන් සියයක් දුර මනුෂ්‍ය ගඳ දෙවියන්ට පීඩා කරයි. මේ කාරණයෙන් ද පරලොව ඇත්තේය.
පස් පවින් වැළකුණා වූ මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව උපදිත් යයි කියන්නා වූ, මෙසේ දෘෂ්ටි ඇත්තා වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය.
කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේ යයි මට නැවත ඇවිත් නොකියත්. දූතයෙකුත් නොම එවත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය.
7. උපරජ, මනුෂ්‍යයන් පිළිබඳ යම් අවුරුදු සියයක් වේ ද, ඒ අවුරුදු සියය තව්තිසා වැසි දෙවියන්ට එක් රැයක් හා එක් දවාලක් වෙයි. අවූරුදු දහසක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙයි ඔවුන්ට ඒ ගැන ඇවිත් කීමට ඉඩ තිබේද?
´´පින්වත් කාශ්‍යපය, ඔවුන් එනවිට අප මැරී බොහෝ කල් වන්නේය.´´
´´තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුයි කියා හෝ මෙසේ තව්තිසා වැසි දෙවියෝ දීර්ඝ ආයුෂ ඇත්තෝ යයි කියා හෝ කවරෙක් මේ කාරණය පින්වත් කාශ්‍යපයන්ට කීයේද? පින්වත් කාශ්‍යපයන්ගේ වචනය අපි විශ්වාස නොකරමු.´´
´´උපරජ, යම්සේ උත්පත්තියෙන්ම අන්ධ වූ පුරුෂයෙක් පාට රූපයෙන් නොදක්නේ ද, ඉර හඳ නොදක්නේද, උත්පත්තියෙන් අන්ධ වූ ඒ පුරුෂයා මෙසේ කියන්නේය, ඉර හඳ දකින්නෙක් නැත. මම මෙය නොදනිමි, (ඒ නිසා) එය නැත. උපරජ, මෙසේ කියන්නා වූ ඒ ජාත්‍යම්ධ පුරුෂයා ඇත්තක් කියන්නේදැයි´´ ඇසුහ.
´´ඔහු ඇත්ත කියන්නේ නොවේ යයි´´ කීය.
´´උපරජ, තොප ජාත්‍යන්ධයෙකු මෙන් මට වැටහෙන්නේය.´´
´´උපරජ, තොප මේ මස් ඇසින් දකින්නාක් මෙන් පර ලොව නොදත යුතුයි. උපරජ, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉතා දුර වූ වන සේනාසන ද සේවනය කෙරෙද්ද, ඔව්හු එහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයයෙන් හුක්තව, තමා ගැන ආලයක් නැතිව වසමින් දිව්‍ය ඇස ලබත්. ඔව්හු මනුෂ්‍ය ඇස ඉක්ම පවත්නා වූ පිරිසිදු දිවැසින් මෙලොව ද පරලොව ද මැරී උපදින සත්වයන් ද දකිත්.
8. මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.
´´පින්වත් කාශ්‍යපය, මම මෙහි සිල්වත් වූ යහපත් ධර්ම ඇත්තා වූ ජීවත්වීමට කැමති වූ, මැරෙන්නට අකමැති වූ, සැපට කැමති වූ, දුකට පිළිකුල් කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දකිමි, පින්වත් කාශ්‍යපය, එසේ දකින්නා වූ මට මෙබඳු සිතක් වෙයි ඉදින් සිල්වත් වූ, යහපත් ගුණධර්ම ඇත්තා වූ, පින්වත් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙලොවින් මැරුණා වූ අපට පරලොව සැප වන්නේ යයි මෙසේ දන්නාහු නම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විෂ හෝ කන්නාහුය, බෙල්ලේ වැල්ලාගෙන හෝ මැරෙන්නාහුය මෙලොවින් මැරුණා වූ අපට පරලොව සැප වන්නේ යයි මෙසේ නොදනිද්ද, එහෙයින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තමා නොමරත් යයි කියයි. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.
´´උපරජ, සිල්වත් වූ උතුම් ගුණ ධර්ම ඇත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉතා දීර්ඝ කාලයක් සිටිත් ද, ඒ තාක් ඒ ඒ ආකාරයෙන් බොහෝ පින් රැස් කෙරෙත්.
9. ´´යම්සේ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියද්ද, එසේ නමුත් පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ.
පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරන්නා වූ සොරෙකු අල්වාගෙන ස්වාමිනි, මේ ඔබවහන්සේගේ (අණට විරුද්ධව) අපරාධ කරන සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙනු කැමැත්තේ නම් එය දෙනු මැනවැයි දක්වද්ද, එකල ඒ පුරුෂයන්හට මම මෙසේ කියමි. පින්වත්නි, එසේ වී නම් ජීවත් වන්නාවූම (පණ තිබෙද්දීම) මේ පුරුෂයා හැලියක දමා කට වසා තෙත්වූ සම්වලින් වෙලා තෙත් මැටියෙන් නව ආලේප කොට ලිපේ තබා ගිනි දල්වත්. යම් වේලාවක අපි ඒ පුරුෂයා මැරුණේයයි දනිමු ද, එවිට හැළිය බා කට ඇර බලමු ද අපි පිට වෙන ඔහුගේ ජීවිතය නොදකුම්හ.
පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.
10. උපරජ, තොප දවල් නිදාගන්නට යහනට ගියවිට සිත් අලවන්නා වූ උයන් ද වනාන්තර ද පොකුණුදැයි යන මේවා ගැන සිහිනයක් දුටු බවක් මතක ඇත්තේදැයි´´ ඇසුහ.
පින්වත් කාශ්‍යපය, ඒවා සිහිනෙන් දැක මතක ඇත්තෙමි´´යි කීය. ´´ඒ වේලාවෙහි ස්ත්‍රීහු තොප ආරක්ෂා කිරීමෙහි යෙදී සිට්යාහුදැයි´´ ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, එසේමය´´. ´´ඒ වේලාවෙහි ඒ ස්ත්‍රීහු ඇතුල්වන්නා වූ ද, පිටවන්නා වූ ද, තොපගේ ජීවිතය දකිත්දැයි´´ ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, මේ කාරණය නොවේම යයි´´ කීය.
´´උපරජ, ජීවත්වන්නාහූ ඒ ස්ත්‍රීහු ජීවත්වන්නා වූ තොපගේ ඇතුල් වන්නා වූ ද, පිටවන්නා වූ ද නොම දකින්නාහු නම් කීමෙක්ද තොපි මැරුණ තැනැත්තහුගේ ඇතුල්වන්නා වූ ද, පිටවන්නා වූ ද ජීවිතය කෙසේ නම් දකින්නහු ද? උප රජ, මේ කාරණයෙන් ද පරලොව ඇත්තේය.´´
11. ´´මේ කාරණයෙන් ද පරලොව ඇත්තේය.´´
´´පින්වත් කාශ්‍යප, මාගේ පුරුෂයෝ අපරාධයෙහි හැසිරෙන්නා වූ සොරකු අල්වා ජීවත් වන්නා වූ මේ පුරුෂයා තරාදියෙන් කිරා දුනු ලනුවෙන් බෙල්ල වෙලා හුස්ම ගැනීම නැති කොට මරා නැවතත් තරාදියෙන් කිරා බලයි.´´
´´යම් කලක ඒ පුරුෂයා ජීවත් වේද, එකල ඉතා සැහැල්ලු වූයේ ද වෙයි. යම් කලක ඔහු මැරුණේ ද, එකල්හි ඉතා බර වූයේ ද වෙයි. පින්වත් කාශ්‍යප, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.´´
12. ´´උපරජ, එසේ වී නම් තොපට උපමාවක් පෙන්වමී. රත්කරන ලද්දා වූ, ගිනිගෙන ඇවිලෙන්නා වූ යකඩ ගුලියක් තරාදියෙන් කිරන්නේ ද, පසුව සීතල වූ නිමුනා වු ඒ යකඩ ගුලිය තරාදියෙන් කිරන්නේ ද, මේ අවස්ථා දෙක අතරින් කවර අවස්ථාවක ඒ ගුලිය ඉතා සැහැල්ලූ වූයේ හෝ වේ ද?´´ ඇසුවේය.
´´පින්වත් කාශ්‍යප, යම් කලක ඒ යකඩ ගුලිය ගිනි සහිත වුයේ වේ ද එකල්හි ඉතා සැහැල්ලු වූයේ ද වෙයි.´´
´´උපරජ, එමෙන්ම මේ ශරීරය යම් කලක ආයුෂ සහිත වූයේ ද, උෂ්ණය සහිත වූයේ වේ ද එ කල්හි ඉතා සැහැල්ලු වූයේ ද වෙයි. යම් කලක උෂ්ණය සහිත නොවුයේ ද, විඥානය සහිත නොවූයේ ද එකල්හි ඉතා බර වුයේ ද වෙයි.´´
´´උපරජ, මේ කාරණයෙන් ද පරලොව ඇත්තේය.´´
13. ´´මේ කාරණයෙන් ද පරලොවක් නැත්තේය.´´
´´පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන්නා වූ සොරෙකු අල්වාගෙන වද දුන් කල ඒ පුරුෂයා නොමළේ වේ ද, උඩුකුරුකොට හෙලත්. මොහු ගෙන් නික්මෙන්නා වූ ජීවිතයක් අපි නොදකුම්හයි කියත්.´´
´´පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.´´
14. ´´උපරජ, එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි.´´
´´එක්තරා සක් පිඹින්නෙක් හක්ගෙඩියක් ගෙන ගොස් ගම මැද දී වේගයෙන් තුන්වරක් සක්ගෙඩිය පිඹ, එය බිම තබා, එක පැත්තක උන්නේය. උපරජ, එවිට ඒ පිට්සර පළාතේ වැසි මනුෂ්‍යයෝ රැස් වී ඒ සක් පිඹින්නාට මේ කාරණය කීවෝය.´´
´´පින්වත,මේ ශබ්දය යමෙකුගේ ද?´´
´´පින්වත්නි, එය වනාහි සක්ගෙඩිය යන නම ඇත්තේ යයි´´ කීය.
´´එවිට ඒ පිටිසර ජනපද වැසි මනුෂයෝ පින්වත් සක්ගෙඩිය නාදකරව, පින්වත් සක්ගෙඩිය නාදකරවයි කියමින් නැවත නැවත සක් ගෙඩිය උඩු අතට පෙරලුවාහුය. ඒ සක්ගෙඩිය ශබ්ද නොකළේමය. උපරජ, එවිට ඒ සක් පිඹින්නා හට මෙබඳු සිතක් වූයේය. මේ මනුෂ්‍යයෝ මෝඩයෝ වෙත්. (ඔව්හු) කෙසේ නම් නුවණින් සක් හඩ සොයන්නාහුදැයි කියයි.
´´(එසේ සිතා සක් පිඹින්නා) ඔවුන් බලා සිටිද්දීම සක්ගෙඩිය ගෙන තුන්වරක් සක්ගෙඩිය පිඹ, සක්ගෙඩියත් රැගෙන ගියේය.
´´උපරජ, එවිට ඒ පිටිසර ජනපද වැසි මිනිසුන්ට මෙබඳු සිතක් වූයේය. පින්වත්නි, යම් කලෙක මේ සක්ගෙඩිය පුරුෂයෙක් සමඟ (එක්ව) පැවැත්තේද, උත්සාහය සමඟ පැවැත්තේ ද සුළඟ සමඟ පැවැත්තේ ද එකල්හි මේ සක නාද කරයි.´´
´´උපරජ, එපරිද්දෙන්ම මේ ශරීරය ආයුෂ සහිත වූයේ ද, උෂ්ණය සහිත වූයේ ද, විඥානය සහිත වුයේ ද එකල මේ (ශරීරය) ක්‍රියාකරයි. උපරජ, මේ කාරණයෙන් ද, තොපට මෙබදු සිතක් ඇති වේවා. මේ කාරණයෙන් ද පරලොව ඇත්තේය.´´
15. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.
´´පින්වත් කාශ්‍යපය, මෙහි මගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන සොරකු අල්වා ගෙනවුත්, ඔව්හු ඒ පුරුෂයාට වද දෙත්. අපි මේ පුරුෂයාගේ ජිවිතය නොදකුම්හයි කියත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන් ද පරලොව නැත්තේය.´´
16. ´´උපරජ එසේ වී නම් තට උපමාවක් දක්වන්නෙමි. පෙර වූ කරුණක් කියමි. ගිනිදෙවියා පුදන්නා වූ එක්තරා ජටිලයෙක් ළදරුවෙක් ආශ්‍රමයට ගෙනවුත් ඇතිදැඩි කළේය. යම් කලෙක ඒ ළමයා දස අවුරුදු හෝ දොළොස් අවුරුදු වයස් ඇත්තේ ද, එකල ඒ ජටිලයාට ජනපදයෙහි කිසියම් කටයුත්තක් උපන්නේය. ඒ ජටිල තෙම ඒ ළමයාට කථා කොට ´´පුත්‍රය, මම ජනපදයට යන්නට කැමැත්තෙමි. පුත, තෝ, ගිනි පුදව. තාගේ ගිනි නොනිවව. නිවුහොත් මේ දරය, මේ ගිනි ගානා දඬු දෙකය, ගිනි උපදවා ගිනි පුදව´´යි කියා ජනපදයට ගියේය. ඉක්බිතිව ඒ ළමයා ගිනි ගානා දඬු දෙක වෑයෙන් සැස්සේය. හෙතෙම ගිනි නොලැබීය. ගිනි ගානා දඬු දෙක කැබලි කැබලි කළේය, වනෙහි ලා කොටා මහා සුළඟෙහි පිඹ හැරියේය. හෙතෙම ගිනි නොලැබුයේමය. ඊට පසුව ගිනි පුදන ජටිල තෙම තමන්ගේ ආශ්‍රමයට පැමිණියේය. පැමිණ, පුත්‍රය, කිමෙක් ද, තාගේ ගිනි නොනිවුනේදැයි ඇසීය. ´´පියාණෙනි, මෙහි මා සෙල්ලම් කරමින් සිටිත් දී මාගේ ගිනි නිවියේය.´´ ඒ ජටිලයා මේ ළදරු තෙම අඥානය කෙසේ නම් නුවණින් ගිනි සොයන්නේදැයි සිතා ඔහු බලා සිටියදීම ගිනි ගානා දඬු දෙක ගෙන ගිනි උපදවා, ඒ ළමයාට මෙසේ කීයේය. ´´පුත්‍රය, මෙසේ ගිනි ඉපදවිය යුතුය. අඥාන වූ, අදක්ෂ වූ තොප මෙන් නුවණින් ගිනි නොසොයන්නෙහිය´´යි කීයේය. උපරජ, එපරිද්දෙන්ම අඥාන වූ, අදක්ෂ වූ තෝ නුවණින් පරලොව සොයන්නෙහිය.
17. ´´කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. එසේ වී නමුත් මේ ලාමක වූ දෘෂ්ටිය හරින්නට නොහැකි වෙමි, පසේනදී කොසොල් රජ තෙමේ ද වෙනත් රජවරු ද ´´පයාසී රාජ්‍ය තෙමේ මේ කාරණයෙන් ද පරලොව නැත්තේය, මැරී උපදිනා සත්වයෝ නැත්තාහුය, යන වාද දෘෂ්ටි ඇත්තෙකැයි ද, දනිත්. පින්වත් කාශ්‍යපය, ඉදින් මම මේ ලාමක දෘෂ්ටිය හරින්නේම් නම් ´´පයාසි රාජ්‍ය තෙමේ අඥාන වෙයි, අව්‍යක්ත වෙයි, වරදවා ගන්නා ලද්දක් ගන්නෙක් වෙයි ඔව්හු කියති. එකට එක කිරීමක් වශයෙන් ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි´´ කීයේය.
18. ´´උපරජ එසේ වී නම් තට උපමාවක් කියන්නෙමි. පෙර වූ දෙයක් කියමි, එකෙක් ගැල් පන්සියයකට ද, තවත් එකෙක් අනික් ගැල් පන්සියයකට ද ඒ ගැල් සමූයෙහි ගැල් නායකයෝ දෙදෙනෙක් වූහ. ඒ ගැල් නායකයන්ට මෙබඳු සිතක් ඇතිවිය. අපි යම් මාර්ගයකින් යන්නමෝ ද, ඒ මාර්ගයන්හි තණ ද, දර ද, දිය ද, අවසන් වෙයි, අපි එක් කොටසකට ගැල් පන්සියය බැඟින් මේ ගැල් සමූහය දෙකට බෙදන්නෙමු නම් හොඳ යයි සිතීය. එක් ගැල් නායකයෙක් බොහෝ තණ ද, දර ද, දිය ද, ගැල්වල පටවාගෙන ගැල් සමූහය පැදවූයේය. දෙතුන් දිනක් ගියා වූ ඒ ගැල් සමූහය මඩ තැවරුණ වූ රෝදවලින් යුක්ත වූ යහපත් වූ රථයකින් ඉදිරි මාර්ගයට එන්නාවූ රතුපාට වු ඇස් ඇති දරන ලද දුනු ඊ තල ඇති බෙල්ලෙහි පළඳින ලද මානෙල් මල් මාලා ඇත්තා වූ තෙත් වූ වස්ත්‍ර ඇත්තා වූ තෙත් වූ ඉසකෙස් ඇති කලුපාට වූ පුරුෂයකු දුටුයේය. දැක, ඉදිරි කාන්තාරයෙහි මහා වැස්සක් වැස්සේය, පාරවල් වතුරෙන් පිරී ඇත. බොහෝ වූ තණ ද, දර ද, දිය ද ඇත්තේ වෙයි. පින්වත, පරණ වූ තණ ද, දර ද, දියද අහක දමව්. සැහැල්ලු බර ඇති ගැල්වලින් යුක්තව වහ වහා යව්, ගවයන් මහන්සි නොකරව් යයි´´ කීයේය. ඒ ගැල් සමූහයේ සිටි පුරුෂයෝ පරණ වූ තණ ද, දර ද, දිය ද අහක දමා ගැල්වල බර අඩු කරගෙන පැදවූහ. ඔවුහු නවාතැන්වලදී තණ හෝ දර හෝ දිය හෝ නොදුටුවාය. ඒ සියලලෝම මහත් විනාශයට පැමිණියාහුය. මනුෂ්‍ය වූ ද තිරිසන් වූ ද යම් කෙනෙක් ඒ ගැල් සමූහයෙහි වූවාහුද , ඒ සියල්ලෝම අමනුෂ්‍ය වූ යකුන් විසින් කා දමන ලද්දාහ. ඇට පමණක් ඉතිරි කළෝය. දෙවන ගැල් ප්‍රධානියා එකල බොහෝ තණ ද, දර ද, දිය ද ගැල්වලට පටවාගෙන ගැල් සමූහය පැදවුයේය. මේ ගැල් සමූහය ද, තුන් දිනක් ගිය පසු හෙතෙම ඉහතින් ආ පුරුෂයා දුන් අවවාද පිළි නොගත්තේය.
´´ඔවුහු නවාතැන් පොළවල් ද තණ හෝ දර හෝ දිය හෝ නොදුටුවාය. මහා විනාශයට පැමිණියාවූ ඒ ගැල් සමූහය දුටුවේය.´´
´´පින්වත්නි, එහෙනම් අපගේ ගැල් සමූහයෙහි අඩු වූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් අහක දමා මේ ගැල් සමූහයෙහි වැඩි වූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් ගනිව් යයි´´ කීයේය.
´´පණ්ඩිත වූ ඒ ගැල් නායකයා යම්සේ ඒ කාන්තාරය සැපසේ එතෙර කළාහුද, උපරජ, එපරිද්දෙන්ම අඥාන වූ අව්‍යක්ත වූ, නුවණින් පරලොව සොයන්නා වූ තෝ මහා විනාශයට පැමිණෙන්නෙහිය. උපරජ, මේ ලාමක වූ මිථ්‍යා දෘෂ්ටිය දූරුකරව, තොපට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවා.´´ උපරජ ඉහත මෙන් දෘෂ්ටිය දුරුකළ නොහැකි බව කීවේය.
19. ´´උපරජ එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි. ඌරන් ඇති කරන්නෙක් අන් ගමකට ගියේය. ඒ ගමෙහි දමන ලද බොහෝ වූ වියලි අසූචි දුටුයේය. හෙතෙම උතුරු සලුව දිග හැර බොහෝවූ වියලි අසූචි අහුලා පොදියක් බැඳ හිසෙහි තබා ගෙන ගියේය. අතර මඟ මහත් අකාල වර්ෂාවක් වැස්සේය. මනුෂ්‍යයෝ ඒ පුරුෂයා දැක මෙසේ කීවාහුය. කිමෙක් ද බොල තෝ පිස්සෙක් ද? විකල සිත් ඇත්තෙක්දැයි´´ ඇසූහ. ´´බොලව්, මේ කාරණයෙහි තොපිම උම්මත්තකයෝය, විකල සිත් ඇත්තෝය එසේ ද වූවත් මාගේ ඌරන්ට කෑම නැත්තාහුයැයි ඔහු කීය. උපරජ, තෝ ඒ පුරුෂයා වැනි යයි වැටහෙන්නේය, උපරජ, මේ ලාමක වූ මිථ්‍යා දූෂ්ටිය දූරුකරව, තොපට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවා.´´ කීවේය.
´´කිසිසේත් පින්වත් කාශ්‍යප තෙමේ මෙසේ කියද්ද එසේ වී නමුත් ලාමක දෘෂ්ටිය හරින්නට නොහැක්කෙමි´´ කීයේය.
20. ´´එසේ වී නම් තට උපමාවක් දක්වන්නෙමි. උපරජ, පෙර වූ සූදු කෙළින්නෝ දෙදෙනෙක් දාදු කැට වලින් ක්‍රීඩා කළෝය. එයින් එකෙක් පරාදවන පරාදවන දාදු කැටය ගිලියි. ඒ දූ කෙළින්නා ඒ දෙවැනි දූ කෙළින්නාට දාදු කැට දුන්නේය. ඉක්බිත්තෙන් ඒ දෙවැනි දූ කෙළින්නා ද දාදු කැට විෂයෙන් යොදා ඒ දූ කෙළින්නාට මෙසේ කීයේය. යහළුව, එව, දාදු කැට වලින් ක්‍රීඩා කරන්නෙමු යයි කියාය. යහළුව, එසේය කියා ඒ දූ කෙළින්නා දෙවැනි දූ කෙළින්නාට පිළිතුරු දුන්හ.
දෙවනුව ද ඒ අක්‍ෂධතීකයෝ දෙදෙන පස ඇටවලින් ක්‍රීඩා කළෝය. දෙවැනි වතාවේ ද ඒ අක්‍ෂධතික තෙමේ පැමිණි පැමිණි පරාජය ගුලිය ගිලියි, ඒ අක්‍ෂධතිකයාට මේ ගාථාව කීයේය. ´´තියුණු වූ විෂයෙන් ගල්වන ලද පස ඇට ගිලින්නා වූ පුරුෂ තෙම නොදනියි. එම්බල පුරුෂය, ගිලුව. පාපී වූ ධතීකය, ගිලපිය. පසුව තට දරුණු වූ විපාක වන්නේය.´´
´´උපරජ, එපරිද්දෙන් තෝ දූ කෙළින්නෙකු වැනි යයි වැටහෙන්නේය. මේ ලාමක වූ දෘෂ්ටිය අත්හැරව.´´
´´කිසිසේත් භවත් කාශ්‍යප තෙමේ මෙසේ කියන්නේය. එසේ වූයේ නමුත් මේ ලාමක වූ දෘෂ්ටිය අත් හරින්නට නොහැක්කේ වෙමි´´ ඉහත දී මෙන් කියේය.
21. ´´උපරජ, එසේ නම් තට උපමාවක් කියන්නෙමි. යහළුවෝ දෙදෙනෙක් ජනපදයකට පැමිණියාහුය. එහි දමන ලද බොහෝ වූ සණවැහැරි දුටුවාහුය. ඔහු දෙදෙනම සණවැහැරි මිටි ගෙන දියුණු ගමකින් ගමකට යෑමේදී තවත් ගමකට පැමිණියාහුය. එහි දමන ලද හන නූල්, හණ පිළි, තවත් ගමක දමන ලද කොමු වැහැරි, නූල් කොමු පිළි, කපු පුලුන්, කපු නූල්, කපු පිළි, යකඩ, තඹ, සුදු ඊයම්, රිදී දුටහ.´´
´´ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමන ලද බොහෝ වූ රන් මසු දුටහ. යහළුව, එහෙයින් තෝ ද හණමිටිය අහක දමව, මම ද රිදී බර අහක දමන්නෙමි. දෙදෙනාම රන් මසු ගෙන යන්නෙමුයි´´ කීය.
´´යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේ ද, මනාකොට බඳනා ලද්දේ ද වෙයි´´. ´´මට එයින් ප්‍රයෝජන නොවෙයි. ඉඳින් තෝ ගනු කැමැත්තෙහි නම් ගනුවයි´´ කීයේය. ඊට පසුව යහළු තෙම රිදී බර අහක දමා රන් මසු බරක් බැඳ ගත්තේය. ඔහු දෙදෙන තමන්ගේ ග්‍රාමය යම් තැනක ද එහි පැමිණියාහුය. එහි යම් යහළුවෙක් හණ මිටිය ගෙන ගියේද, ඔහුගේ මවුපියෝ අඹු දරුවෝ ද, යාළු මිත්‍රයෝ ද, සතුටු නොවූහ. ඒ කරන කොටගෙන හෙතෙම සැපතට ද සතුටට ද නොපැමිණියේය. යම් ඒ යහළුවෙක් වනාහි රන්මසු මිටිය රැගෙන ගියේ ද, ඔහුගේ මවුපියෝ ද, අඹු දරුවෝ ද, යාළු මිත්‍රයෝ ද, සතුටු වුවාහුය. ඒ කරන කොටගෙන සැපතට ද සතුටට ද, පැමිණියේය.
උපරජ එපරිද්දෙන් තෝ හණ මිටිය ගෙන ගිය පුරුෂයා වැනි යයි වැටහෙන්නේය. උපරජ මේ ලාමක වූ දෘෂ්ටිය අත්හැරව. තට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස නොවේවායි´´ කීයේය.
22. ´´මම පළමු උපමාවෙන්ම පින්වත් කාශ්‍යපයන් කෙරෙහි සතුටු සිත් ඇත්තේ විශේෂයෙන් පැහැදුනෙමි. එසේද වූවත් මම මේ විසිතුරු ප්‍රශ්න වැටහිම් අසනු කැමැත්තෙම්. මෙසේ මම පින්වත් කාශ්‍යපයන්ට විරුද්ධව කරුණු දැක්විය යුතු යයි සිතුයෙමි. පින්වත් කාශ්‍යපය, ධර්ම දේශනාව ඉතා මැනව, පින්වත් කාශ්‍යපයන් විසින් නොයෙක් පරිද්දෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. පින්වත් කාශ්‍යපය, ඒ මම ඒ භවත් ගෞතමයාණන් වහන්සේ ද, නවලෝකෝන්තර ධර්මය ද, ආර්යය භික්ෂු සංඝයා ද සරණකොට යමි. භවත් කාශ්‍යපයන් වහන්සේ ද අද පටන් දිවි හිමියෙන් සරණගියා වු උපාසකයෙකැයි මා දරණ සේක්වා. පින්වත් කාශ්‍යපයයන් වහන්ස මම මහා දානයක් දීමට කැමැත්තෙමි, පින්වත් කාශ්‍යපයයන් වහන්සේ යමක් මට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේ ද එසේ මට අනුශාසනා කෙරේවායි´´ යි කීයේය.
23. ´´උපරජ, යම් බඳු වූ යාගයෙහි නොයෙක් ප්‍රාණීහු විනාශයට පැමිණෙත් ද මිථ්‍යාදෘෂ්ටිය ඇත්තා වු මිථ්‍යා සංකල්පනා ඇත්තා වු මිථ්‍යා වචන ඇත්තා වු මිථ්‍යා ව්‍යායාම ඇත්තා වු, මිථ්‍යා ස්මෘති ඇත්තා වු, මිථ්‍යා සමාධි ඇත්තා වු, දන් පිළිගන්නෝ වෙද්ද උපරජ, මෙබඳු වූ දානය තෙම මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිශංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. දානය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිශංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි.
´´උපරජ, යම් බඳු වූ දානයෙක්හි නොයෙක් ප්‍රාණීහු විනාශයට නොපැමිණේද්ද, සම්‍යක් දෘෂ්ටික ඇත්තාවූ, සම්‍යක් සංකල්පනා ඇත්තා වූ, සම්‍යක් වචන ඇත්තා වූ, සම්‍යක් ආජීවය ඇත්තා වූ, සම්‍යක් ව්‍යායාමය ඇත්තා වූ, සම්‍යක් ස්මෘති ඇත්තා වූ, සම්‍යක් සමාධියෙන් යුක්තවූ දන් පිළිගන්නෝත් වෙද්ද, උපරජ, මෙබඳු වූ දානය තෙම මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ආනිශංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වෙයි.´´
´´උපරජ, යම්සේ ගොවියෙක් මනාකොට තවානෙහි දමන ලද්දා වූ බීජයන් වපුරන්නේ නම් වර්ෂාව ද කලින් කල මනා කොට වර්ෂා කරන්නේ නම් කිමෙක්ද, ඒ බීජයෝ වැඩීමට ද, දියුණු බවට ද, විපුල බවට ද, පැමිණෙන්නාහු ද ගොවි තෙම මහත් ඵල ලබන්නේ දැයි´´ ඇසීය.
´´පින්වත් කාශ්‍යපය, එසේය´´යි කීයේය. ´´උපරජ, එපරිද්දෙන්ම ඉහත දැක්වූ දානයේ තෙම මහත් ඵල ඇත්තේ වෙයි, මහානිශංස ඇත්තේ වෙයි´´ කීයේය.
24. ඊට පසුව පායාසි උපරජ තෙමේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචක යන මොවුන්ට දානය පිහිටෙව්වේය. ඒ දානයෙහි වනාහි උත්තර නම් මානවකයෙක් කටයුතුවල යෙදුනේය. හෙතෙම දන්දී මෙසේ නැවත නැවත කියයි. ´´මේ දානයෙන් පායාසි උපරජ සමඟ මේ ලෝකයෙහි එක්වූයෙමි. පරලොව ඔහු හා සමඟ එක් නොවේවා´´යි කියාය.
ඒ වචනය පායාසි උපරජට අසන්නට ලැබුනේය. මේ වචනය කුමක් සඳහා කියන්නෙහිදැයි ඇසීය. ඉක්බිතිව පායාසි උපරජ තෙමේ සකස් නොකොට දන් දී සිය අතින් දන් නොදී අගෞරවයෙන් දන් දී සිය කැමැත්තෙකු මෙන් දන් දී මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට ගියා වූ සිස් වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර නම් වූ යම් මාණවකයෙක් ඒ පායාසි උපරජුගේ දානයෙහි ව්‍යවෘත වූයේද හෙතෙම සකස් කොට ශ්‍රද්ධාවෙන් භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.
25. එසමයෙහි වනාහි ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම නිරතුරුව සිස් වූ සෙරිස්සක විමානයට දිවා විහරණය සඳහා වඩින්නේය. ඉක්බිතිව පායාසි දිව්‍ය පුත්‍ර තෙම ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම වෙත පැමිණ ආයුෂ්මත් ගවම්පති ස්ථවිරයන් වැඳ එක පැත්තක සිටියේය. එකත් පසෙක සිටියා වූ පායාසි දිව්‍ය පුත්‍රයාට ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම මේ කාරණය කීයේය.
´´ඇවැත්නි, තෝ කවරෙක් වූයෙහිදැ´´යි ඇසීය.
´´ස්වාමීනි, මම පායාසි උපරජ වෙමි´´යි කීයේය.
´´ඇවැත්නි, තෝ මේ කාරණයෙන් ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවේදැ´´යි ඇසීය.
´´එසේය, ස්වාමීනි, එහෙත් මම කුමාර කාශ්‍යප ආර්යයන් වහන්සේ විසින් මේ ලාමක වූ දෘෂ්ටියෙන් මුදනු ලැබූවෙමි.´´
26. ´´ඇවැත්නි, තාගේ දානයෙහි ව්‍යවෘත වූ උත්තර මානවක තෙම කොහි උපන්නේදැ´´යි ඇසීය. ´´ස්වාමීනි, මාගේ දානයෙහි යෙදුනා වූ උත්තර මානවක තෙම මරණින් මතු මනා ගති ඇති ස්වර්ග නම් තව්තිසා වැසි දෙවියන්ගේ එකී භාවයට පැමිණියේය. ස්වාමීනි, මම වනාහි මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකී භාවයෙහි වූ සිස් වූ සෙරිස්සක නම් මේ විමනයෙහි උපන්නෙමි. ස්වාමීනි, ගවම්පති ස්ථවිරයන් වහන්ස, එබැවින් නුඹ වහන්සේ මනුෂ්‍ය ලෝකයට ගොස් මෙසේ දැන්නුව මැනවි. ´´සකස් කොට දන් දෙව්, සියතින් දන් දෙව්, සිතින් ගුණ සලකා දන් දෙව්, නිරතුරුව දන් දෙව්. පායාසි උපරජ තෙමේ සකස් නොකොට දන් දී සිතින් ගුණ නොසලකා දන් දී, අහක දමනු කැමැත්තෙකු මෙන් දන් දී මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකී භාවය වන සිස් වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර මානවක තෙම වනාහි ඒ පායාසි උපරජුගේ දානයෙහි යෙදී සකස් කොට ශ්‍රද්ධාවෙන් දන් දී, සිය අතින් දන් දී, සිතින ගුණ සලකා දන් දී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.´´
ඉන්පසු ආයුෂ්මත් ගවම්පති ස්ථවිරයන් වහන්සේ මිනිස් ලොවට අවුත් ඒ ගැන දැන්නුවේය.
22. මහා සතිපට්ඨාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම් වූ කුරු රට වැසියන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය.
´´මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳු වීම පිණිසද , ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිස ද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද , ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ද, නිර්වාණය අවබෝධ කිරීම පිණිස ද, එකම මාර්ගය වන්නේ යයි´´ දේශනා කළාහුය.
´´මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුත්තව (1) මේ ශරීරයෙහි ලෝභය ද ක්‍රෝධය ද සංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව (2) විඳීම් රාශියෙහි ලෝභය, හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව (3) සිත්හි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් අනුව දක්නා ස්වභාව ඇතිව (4) නීවාරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දෝම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන ධර්මයෙන් කෙරෙහි ධර්ම අනුව සිහි කරම්න් වාසය කරන්නේය. (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්.)
2. (1) ´´මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරනන්නේ ද යත්, මේ ශාසනයෙහි මහණ තෙම් කැලයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ (එරමිනිය ගොතාගෙන) ශරිරය කෙළින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙෙතම සිහියෙන්ම ආශ්වාස සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. ලූහුඬු කොට ආශ්වාස හෝ ප්‍රශ්වාස කරන්නේ හෝ ´´ලුහුඬු කොට ආශ්වස ප්‍රශ්වාස කරන්නෙමියි´´ දන්නේය. මුල මැද අග යන සියළු ආශ්වාසය ප්‍රකට කරගත්තෙමියි යන අදහසින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස යන් හෝ සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ ද අනුන්ගේ ද ආශ්වාස ප්‍රශ්වාස අනුන්ගේ හා තමන්ගේද (ආශ්වාස ප්‍රශ්වාස) ශරිරයෙහි හෝ ආශ්වාස ප්‍රශ්වාස ශරිරය අනුව බලමීන් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හටගැනිම නැතිවිම කලෙක හටගැනිම, විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥනයේ වැඩිම පිණිස ද සිහියේ වැඩිම පිණිස ද පවති. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙම ඇත්තේය මනා කොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දාෂ්ටියෙන් දුරුව වසන්නේ ද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදී වශයෙන්) තොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරිරයෙහි ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.´´
3. ´´මහණෙනි, නැවත ද මහණ තෙම යන්නේ හෝ ´´යන්නේමියි´´ සිටියේ හෝ ´´සිටියෙමි´´ හුන්නේ හෝ ´´හුන්නේමියි´´ සයනය කරන්නේ හෝ ´´සයනය කරන්නේමියි´´ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටු වන ලද ද ඒ ඒ ආකාරයෙන් දන්නේය.
4. ´´මහණෙනි, නැවත ද මහණ තෙමේ ඉදිරියට යාමයෙහි ද ආපසු ඊමයෙහි ද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලිමෙහි ද සරස බැලිමෙහි ද අත් පා හැකිලිමෙහි ද දිගු කිරිමෙහි ද පාත්‍රා දෙපට සිවුරු තනිපට සිවුරු දැරිමෙහි ද අනුභව කිරීමෙහි ද පානය කිරීමෙහි ද කඩා කැමෙහි ද රස බැලිමෙහි ද මළ මුත්‍ර පහ කිරීමෙහි ද, යාමෙහි ද, සිටිමෙහිද, හිඳීමෙහි ද, නිදීමෙහි ද, නිදි දුරු කීරිමෙහි ද, කථා කිරීමෙහි ද කථා නොකිරීමෙහි ද, ප්‍රඥවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේය.
5. ´´නැවත ද මහණෙනි, යෝගාවචර තෙම මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේද යත්) මේ ශරිරයෙහි හිසකෙස්ය ලොම්ය, නියපොතූය, දෙතිස් දත්ය, හමය, මස් පීඩුය, නහරය, ඇටය ඇටමිදුලුය, වකූගඩුය, අක්මාවය, හෘදය, මාංශය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, ස්මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය කඳුලුය, වුරූණු තෙලය, කෙලය, සොටුය, සදමිඳුලුය, මූත්‍රය, ඇත්තාහ.
´´මහණෙනි, යෝගාවචාර තෙමෙ පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට නොයෙක් ආකාර අසූචිවලින් පිරුණා වු මේ ශරිරයම සිහි කරන්නේය.
6. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව මේ ශරිරය යම්සේ සිටියේ ද, යම්සේ පිහිටු වන ලද ද, එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරිරයෙහි පෘථවි ධාතුව (තදගතිය), ආපෝ ධාතුව (දියවන ගතිය), තේජෝ ධාතුව (උණු ගතිය), වායො ධාතුව (විහිදෙනා ගතිය) (යන ධාතුහු) ඇත්තේය කියායි. මේසේ තමන්ගේ හෝ අනුන්ගේ ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.
7. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව මැරි එක දවසක් ගියාවු හෝ දෙදවසක් ගියා වු හෝ තුන් දවසක් ගියා වු හෝ ඉදිමුනා වු නිල් වු (පුයා) සැරව වැහිරෙන්නා වු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නා වු හෝ අමු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේ ද, ලේ මස් සහිත වූ නහර වලින් බැඳුන ඇටසැකිල්ලක් වූ සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේ ද, මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක් වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දකින්නේ ද, මස් ලේ දෙකින් පහ වු නහරින් බැඳුන ඇට සැකිල්ල වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දකින්නේ ද, නහර බැඳුම් වලින් වෙන් වු දිශා අනුදිශාවන්හි විසිරුණු ඇට කැබලි ද, සොහොනෙහි දමන ලද මළමිනිය යම්සේ දකී ද, සක්ගෙඩියක පාටට සාමන ස්වභාව ඇති සුදුව ඇට ඇත්තා වු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද අවුරුදු ගණනක් ඉක්ම ගිය ඇට ගොඩක් වු සාහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, කුණු වු, සුණු වු ඇට කැබලි වලට පැමිණි සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, ඒ භික්‍ෂුව (තම) ශරිරයම නුවණින් බලන්නේය. මේ මාගේ ශරිරය ද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියයි.
8. කලෙක ශරීරයෙහි ඇතිවීම ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවිම ස්වභාව දක්නේ හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්ව පුද්ගල නොව) ශරිරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥනයාගේ වැඩිම පිණිස ද පවතී. කෙලෙස කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි. මහණෙනි, භික්‍ෂුව මේසේ ද ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.
9. (2) මහණෙනි, භික්‍ෂුව විදීම් කෙරෙහි විදීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේ ද? මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දුක් ද නොවු සැප ද නොවු වේදනාවක් හෝ ඒ ඒ වේදනාවක් විදීමියි දැන ගනී. එසේම කාමාශාවන් පිළිබඳ වු හෝ කාමාශාවන් පිළිබඳ නොවන වේදනාවක් විදින්නේ හෝ විඳිමියි දැන ගනී. මෙසේ තමන්ගේ හෝ අනුන්ගේ හෝ තමාගේ හෝ අනුන්ගේ විදීම් කෙරෙහි හෝ විදිම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවිම් ස්වභාව හෝ නැතීවිම් ස්වභාව කලෙක වේදනාවන්හි ඇතිවිම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවිම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්ව පුද්ගල නොව) වේදනාව (විදීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥනයාගේ වෑයම පිණිස ද, සිහිය වැඩිම පිණිස ද පවතී. කෙලෙස කරන කොට ආශ්‍රය නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි, මහණෙනි, මෙසේ ද විඳීම කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.
10. (3) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ සාරග සිත, වීතරාග සිත, සද්‍රෙස සිත, සමෝහ සිත, වීතමෝහ සිත, සංඛතන සිත, විකඛතන සිත, මහගගන සිත, අමාහගගන සිත, සඋත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුත්ත සිත, අවිමුත්ත සිත ඒ ඒ සිත් යයි දැනගනි. මෙසේ විඳීම් මෙන්ම භික්‍ෂුව සිත කෙරෙහි සිත ද අනුව බලමින් වාසය කරන්නේය.
11. (4) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව පංච නීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මේ ශාසනයෙහි භික්‍ෂුව තමා කෙරෙහි ඇත්තා වු කාමචජන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තා වු කාමචජන්දය නැතැයි දැනගනි. යම් කරුණකින් නූපන්නා වූ කාමචජන්දයාගේ ඉපදීම ද උපන්නා වූ කාමචජන්දයාගේ දුරු කිරීම ද දුරු කරන ලද කාමචජන්දයාගේ නැවත ඉපදීමක් නොවේද ඒ කරුණු දැන ගනි. ව්‍යාපාද (ක්‍රෝධය) ගැන ද ථිනමිද්ධය ගැනය. උඬච්චකුක්කුච්චය ගැන ද නැත්තා වු උද්ධච්ච කුක්කුච්චය නැතැයිද, නුපන් උඬච්චකුක්කුච්චයාගේ ඉපදීම ද, උපන් උද්ධච්චයාගේ දුරු කිරීම ද, දුරු වු උඬචච කුක්කුචචායාගේ නැවත ඉපදීමක් නොවේ ද එය ද දැන ගනී.
´´විවිකිච්ජාව ගැන ද මා තුළ විචිකිච්ජා ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තා වු හෝ වීචිකිච්ජාව´´ මා තුළ විචීකිච්ජාව නැතැයි´´ දන්නේය.
12. ´´මෙසේ තමා තුළ වු හෝ අනුන් පිළිබඳ හෝ තමන් පිළිබඳ වු ද අනුන් පිළිබඳ වු ද (පංච නීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
´´ඒ ධර්මයන් ගේ ඉපදීම් ස්වභාව නැතිවීම් ස්වභාව, විටක ඉපදිම් ස්වභාව හා විටක නැතිවිම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඔහු විසින් නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය නුවණ වැඩීම පිණිස ද සිහිය වැඩිම පිණිස ද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වසන්නේය. ලෝකයෙහි කිසිවක් (මමය මගේ යයි) ගැනිම නොකරන්නේය.
13. ´´මහණෙනි, (භාවනා කරන) භික්‍ෂුව නැවත ද පස් ආකාර උපදාන ස්කන්ධ (රූප වේදනා සංඥා, සංඛාර, විඥාන) ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මේ රූප රාශියයි, මේ රූපයාගේ පහළවීමේ හේතුවයි, මේ රූපයාගේ විනාශයයි ද, ඒ සේම වේදනාවය, සංඥවය, සංස්කාරයය, විඥානය, මේසේ තමා තුළ වු (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (අනුන් තුළ වු) හො තමන් කෙරෙහි වු හෝ අනුන් කෙරෙහි වු ධර්මයන්ගේ ඇතිවිම් ස්වභාව, ධර්මයන්ගේ විනාශ විම් ස්වභාවය බලමින් වාසය කරන්නේය. ඔහු විසින් ස්කන්ධ ධර්මයෝ ඇත්තාහූය (යන) සිහිය හොදීන් පිහිටුවන ලද්දීය. (ඒ සීහිය) නුවණ වැඩිම පිණිස ද, සිහිය වැඩිම පිණිස ද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වාසය කරයි. (පංචස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මමය මගේයයි) ගැනිමක් නොකරන්නේය.
14. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව තමන් තූළ වු සය ආකාර ආයතනයන් ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත) පිටත වු සය ආකාර ආයතන ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇස ද දැන ගනී. රුපයන් ද දැන ගනී. ඒ දෙදෙනාගේ එක්විම් හේතුකොට ගෙන යම් සංයෝජනයන් උපදින්නේ ද එය ද දැනගනි. යම් කරුණකින් නුපන් සංයෝජනයාගේ ඉපදිම වේ ද, එය ද දැන ගනී.
යම් කරුණකින් උපන් සංයෝජනයාගේ රුවම වේ ද එයද දැන ගනී. යම් කරුණකින් රුවම සංයෝජනයාගේ නැවත ඉපදිමක් නොවේ ද, එය ද දැන ගනි. මෙසේම කණ ද දැන ගනී. ශබ්දය ද දැන ගනී. නාසය ද දැන ගනී, ගන්ධයන් ද දැන ගනී, කය ද දැන ගනී, ස්පර්ශය ද දැන ගනී, සිත ද දැන ගනී, ධර්මයන් ද දැන ගනි. මෙසේ තමා තුළ වු හෝ පිටත්හි වු ද හෝ ආයතනන ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළ වු ද පිටත්හි වු ද හෝ ධර්මයන්ගේ ඉපදිම විනාශවීම ස්වභාව හෝ කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කෙරේ. ඔහු විසින් ආයතන ධර්මයෝ ඇත්තාවුය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. (එය) නුවණ වැඩීම පිණිස ද, සිහිය වාසය කරන්නේය, (ආයතන ධර්ම) ලෝකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකෙරේ.
15 ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව සප්ත බොඡ්ඣංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්‍ෂුව තමා තුළ ඇත්තා වූ හෝ නැත්තා වූ සති සම්බොජ්ඣංගය (සිහිය) ඇතැයි දැන ගනී. යම් කරුණකින් නුපන් සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ ද, උපන්නා වූ සති බොජ්ඣංගයාගේ වැඩීම වේ ද, එය ද දැනගනි.
´´මහණෙනි, එසේම ධම්මවිචය (ප්‍රඥව), විරිය, පීති (ප්‍රිති), පසසඬි (සංසිදීම), සමාධි (සිත එකඟ කිරිම). උපේක්ඛා (මැදිහත් බව), සම්බොජ්ඣංගය ඇතැයි හෝ නැතැයි දැන ගනී. සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ ද, වැඩිම වේ ද එය ද දැන ගනී.
´´ඒ භික්‍ෂුවට බොඡ්ඣංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඔන ලද්දේය. (ඒ භික්‍ෂුව) කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි.
16 ´´මහණෙනි, භික්‍ෂුව නැවත ද චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. භික්‍ෂුව මේ දුක යයි ඇති සැටියෙන් දැන ගනි. මේ දුක් ඉපදීමේ හේතුව යයි ඇති සැටියෙන් දැන ගනී. මේ දුක් නැති කිරීම යයි ඇති සැටියෙන් දැන ගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැන ගනී.
( පළමු වෙනි බණවර නිමියේය. )
17. ´´මහණෙනි, දුක්ඛ්‍ය සත්‍යය නම් කවරේද? ඉපදීම ද, දිරීම ද, රෝගය ද, මරණය ද, ශෝක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශෝක කීරීමෙන් වන වෙහෙසය යන මොව්හු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්විම ද, කැමති දෙයින් වෙන්විම ද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබිම ද දුක් වන්නේය. උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.
18. ´´ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදිමක් වේ ද, හටගැනිමක් වේ ද, (උත්පත්තියට) ඇතූළත් විමක් වේ ද, විශේෂයෙන් ඉපදිමක් ද වේ ද, ස්කන්ධයන් පහළවීමක් වේ ද, ආයතනයන්ගේ ලැබිමක් වේ ද, මහණෙනි, මෝ තොමෝ ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.
´´ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේ ද, දිරන බවක් වේ ද, මේ ජරාව යයි කියනු ලැබේ.
´´ඒ ඒ සත්වයන්ගේ චුත විමක් වේ ද, වෙන්විමක් වේ ද, මිය යාමක් වේ ද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේ ද, මෙය මරණ යයි කියනු ලැබේ. ´´යම් යම් විපතකින් යුක්ත වු සත්වයාගේ ශෝකයක් වේ ද, ශෝක කරන බවක් වේ ද, මෙය ශෝකයයි කියනු ලැබේ.
´´යම් යම් විපතකින් යූක්ත වුවහුගේ යම් යම් දුකකට පත්වුවන්ගේ යම් වැළපිමක් වේ ද, විලාප කිමක් වේ ද, මෙය පරිදේවයයි කියනු ලැබේ.
´´කයෙහි වු යම් දුකක් ඇද්ද, කයෙහි යම් නොසැපක් වේ ද, කායස්පර්ශයෙන් හටගත්තා වු දුකක් වේ ද, නොසැප වු විදිමක් වේ ද, මහණෙනි, මෙය දුක යයි කියනු ලැබේ.
´´සිතෙහි හටගන්නා වු යම් දුකක් වේ ද, සිතෙහි වු යම් අමිහිරි බවක් වේ ද, සිතේ ස්පර්ශය නිසා හටගත් යම් දුකක් වේ ද, සැප නොවු යම් විදිමක් වේ ද, මහණෙනි, මෙය දොම්නස යයි කියනු ලැබේ.
´´යම් යම් විපතකින් යුක්ත වුවහුගේ ද, යම් යම් දුකකින් යුක්ත වුවහුගේ ද යම් දැඩි වෙහෙසක් ඇත්තේ ද යම් ක්ලාන්තවිමක් වේ ද, මෙය උපයාසයයි කියනු ලැබේ. ආසා කරන යමක් නොලැබිම දුක කියනු ලැබේ.
´´මහණෙනි, ´´කැමති වු යමක් නොලබා ද, එය ද දුක්වන්නේය.´´ සසර හට ගැනිම අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය´´ යනුවෙන් මෙ කාරණය කැමැත්තේන් (ආශාවෙන්) පැමිණිය හැක්කක් නොවේ.
´´ඒකාන්තයෙන් මහළුවිම අප වෙත නොඑන්නේ නම් කාරණය ආශාවෙන් පැමිණිය හැක්කක් නොවේ. නිරෝගි බව නොලැබිම මරණයට නොපැමිණිය හැකි බව ශෝකයට පැමිණෙන ස්වභාවය නැත්තෝ නොවිම වැළපිමට නොපැමිණෙන්නේ නොවිම දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම දොම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම බලවත් වෙහෙසකට නොපැමිණෙන්නෝ නොවිම දුක් වෙත්.
´´මහණෙනි, සංක්ෂේපයන් දුක් වු පඤ්ච උපදාන ස්කන්ධයෝ නම් කවරහු ද? හේ මෙසේයි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, උපදාන ස්කන්ධ, යන මොවුහුයි. මහණෙනි, සංක්ෂේපයන් දුක් වන්නාහු මේ පඤ්ච උපදාන ස්කන්ධයෝයි. මෙය දුක්ඛ සත්‍ය යයි කියනු ලැබේ.
19. ´´මහණෙනි, දුක්ඛ සමුද්‍රය ආර්ය සත්‍යය කවරේද? නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇති කරන්නා වු, ඇලීම් සහගත වු ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නා වු යම් තණ්හාවක් වේ ද, ඒ කවරේද යත් කාම තණ්හාව භාව තණ්හාව විභාව තණ්හාව වෙත්.
´´ලෝකයෙහි කුමන ප්‍රිය ස්වභාව ඇත්තේ ද, සැප ස්වභාව ඇත්තේ ද? එහි උපදිනු ලබන්නා වු මේ තණ්හාව උපදි, පවතිනු ලබන්නා වු මේ තණ්හාව පවතී.
´´ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු මේ තන්හාව මෙහි පවති.
´´එසේම කණ, නාසය, දිව, ශරිරය, සිත, ඇස මෙන් තණ්හා උපදින පවතින තැන් වෙත්.
ලෝකයෙහි රුපය ද, ශබ්දය ද, සුවඳ ද, රසය ද, ස්පර්ශය ද, ධර්මය ද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නා වු තණ්හාව මෙහි පවති.
´´ලෝකයෙහි චක්ඛු සෝත ප්‍රාණ ජීව හා කාය මනෝ විඥාන ප්‍රිය ස්වභාවය ද සැප ස්වභාවය ද ඇත්තාහ.
´´ලෝකයෙහි සැප චක්ඛු සෝත ප්‍රාණ ජිව හා කාය මනෝ සම්පස්ස ප්‍රිය ස්වභාවය ද ඇත්තාහ.
´´ලෝකයෙහි ඇස හා රූපය, කණ හා ශබ්දය, නාසය හා ගඳ සුවඳ, දිව හා රසය, කය හා ස්පර්ශය, සිත හා ධර්මයන් ස්පර්ශ විමෙන් ඇතිවන විඳීම ද, ප්‍රිය ස්වභාවය ද සැප ස්වභාවය ද ඇත්තාහ. ලෝකයෙහි සැප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥා ද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ. ලෝකයෙහි රූපය ශබ්දය ගඳ සුවඳ ස්පර්ශය ධර්මය නිසා පවත්නා චේතනා ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.
´´ලෝකයෙහි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥා ද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.
´´ලෝකයෙහි රූපය ආදිය නිසා හටගන්නා විචාරය ද, සැප ස්වභාව ඇත්තාහ. මේ කරුණු වලින් උපදින ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. මේ කරුණුවලින් උපදිනු ලබන්නා වු තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු තණ්හාව මෙහි පවති. මහණෙනි, මේ දුක්ඛ සමුදය නම් වු ආර්ය සත්‍යයයි.
20. ´´මහණෙනි, මේ දුක් නැති කිරිම නම් වු උතුම් සත්‍යය (නිවන) කවරේ ද? එම තණ්හාවගේ ඉතුරු නොවන යම් නොඇලීම නම් වු තිරුඬ (නැති) කිරිමක් වේ ද, සම්පුර්ණයෙන් දුරලීමක් වේද, මිදිමක් (ගැලවිමක්) වේ ද, ආලය නොකිරීමක් වේ ද එයයි.
´´ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේ ද, යමක් සැප ස්වභාව ඇත්තේ ද, පහවනු ලබන්නා මේ තණ්හාව මෙහි නැති වේ. ලෝකයෙහි ඇස ද, කණ ද, නාසය ද, දිව ද, කය ද, සිතද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. යමක් සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නේය.
´´ලෝකයෙහි රූපය ද, ශබ්දය ද, ගඳ, සුවඳ ද, රසය ද, ස්පර්ශයද, ධර්මය ද එසේමය.
´´ලෝකයෙහි චක්ඛු ආදී සෝත මනෝවිඥාන ද ඒසේමය.
´´ලෝකයෙහි චක්‍ෂ ආදි ස්පර්ශය එසේමය. ලෝකයෙහි ඇස හා රුපය, කණ හා ශබ්දය ද, නාසය හා ගන්ධය ද, දිව හා රසය ද, කය හා ස්පර්ශය ද, සිත හා අරමුණ ගැටීමෙන් උපදින වේදනා ද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නේය.
´´ලෝකයෙහි රුපය ආදි හැඟීම් ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි නැතිවන්නේය.
´´ලෝකයෙහි රූපය ආදීයෙහි පැවති සිත වන්නීය. පැවති සිතද ප්‍රිය ස්වභාව ඇත්තේය, සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නිය. නැතිවන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නීය.
´´ලෝකයෙහි රූප ආදීයෙහි තණ්හාව රූපය ආදීය නිසා උපදින චේතනා ද රූපයෙහි ආදීයෙහි පැවති විතර්කය ද ලෝක ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නිය. නැති වන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නීය. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කීයනු ලැබේ.
21. ´´මහණෙනී, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය නම් කවරේ ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කවරේ ද? සත්‍යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥාවයි, යහපත් වචනය, යහපත් කල්පනාවය, යහපත් කර්මාන්තය, යහපත් ජිවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය, යනුය. මහණෙනි, දුක දුකට හේතුව නිරුද්ධ කිරීම දුක නැති කිරිමට පමුණුවන මාර්ගය පිළිබඳ යම් දැනිමක් වේ ද මහණෙනි, මේ සම්මාදිට්ඨ (යහපත් ප්‍රඥාව) යයි කියනු ලැබේ. යහපත් කල්පනාව නම් ගිහි සැප අත්හැරීමේ ක්‍රෝධ නොකිරිමේ හිංසා නොකිරීමේ සංකල්පනාවයි. සම්‍යයක් වචනය නම් බොරු කිමෙන් කේළාම් කිමෙන් රඵ වචන කීමෙන් හිස් කථා කීමෙන්, වැළකීමය. සම්‍යක් කර්මාන්තය නම් සතුන් මැරිමෙන් අන්සතු වු නුදුන් දෙය ගැනිමෙන් කාමයන්හි වරදවා හැසිරිමෙන් වැළකීමය. සම්‍යක් ආජිවය නම් මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ වරද සහිත වු ජිවත්විම හැර නිවරද වු අන්දමින් ජිවිකාව කිරීමයි. සම්‍යයක් ව්‍යයාමය මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ නුපන් අකුශල ධර්මයන්ගේ නොඉපදිම පිණිස ද, නුපන් කුසල ධර්මයන්ගේ ඉපදිම පිණීස ද උපන් කුශල ධර්මයන්ගේ නැවතීම පිණිස ද, මුළා නොවිම පිණිසද, වැඩිම පිණිස ද, මහත් බව පිණිස ද භාවනාවන් සම්පුර්ණ කිරීම පිණිස ද කැමැත්ත උපදවා ද, උත්සහ ෙකරේ ද, විර්ය පටන් ගනී ද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේ ද, මෙය යහපත් උත්සාහයයි.
සම්‍යයක් ස්මෘතිය (යහපත් සිහිය) නම් මේ ශාසනයෙහි භික්‍ෂුව ශරිරයෙහි ශරිරය අනුව දක්නේ මේ ශරිරය නම් වු ලෝකයෙහි විදිම කෙරෙහි විදිම් අනුව දක්නේ සිත්හි සිත අනුව දක්නේ ධර්මයන් කෙරෙහි ධර්මය අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව සිහියෙන් යුක්තව ලෝභය ද ද්වේෂය ද සංසිඳුවා ගෙන වාසය කෙරේද, මෙය සම්‍යක් ස්මෘතියයි. සම්‍යක් සමාධිය නම් මේ ශාසනයෙහි භික්‍ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිත වු, විචාර සහිත වු විවේකයන් ඇදිවන ප්‍රිතිය හා සැප ඇත්තා වු පළමුවන ධන්‍යයට පැමීණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිත පහදවන්නාවු සිත එමඟින් කරගන්නාවු විතර්ක රහිත වු සමාධියෙන් උපන් ප්‍රිති සැප ඇත්තා වු දෙවනි ධන්‍යයට පැමිණ චාසය කරයි ද යම් ධන්‍යයක් පිළිබද ආර්යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරේ යයි කියත් ද ප්‍රිතියෙන් වෙන්ව සිහියෙන් යුක්ත වුයේ නුවණින් යුක්ත වුයේ සැපය කයින් විඳිමීන් ඒ තුන්වැනි ධන්‍යයට පැමිණ වාසය කෙරේද, සුඛය පහකිරිමෙන් ද දුක පහකිරීමෙන් ද සොම්නස දොම්නස් දෙදෙනා දුරු කීරිමෙන් දුක් ද නොවු සැප ද නොවු උපෙක්‍ෂාවගේ ද සිහියගේ ද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යනයට පැමීණ වාසය කෙරේද, මෙය සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ.
මෙසේ තමන් තුළ වූ ද අනුන් පිළිබද වූ ද තමන් පිළිබඳ වූ හා අනුන් පිළිබඳ වූ ද (වතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (වතුරාර්ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතු වූ ද, විනාශයට හේතු වූ ද, කලෙක වතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තිය ද කලෙක විනාශය ද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥානයේ වැඩ පිණිස ද සිහියේ වැඩ පිණිසද පවතී. (ඒ භික්‍ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්‍ෂුව ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
22. ´´මහණෙනි, යම් කිසිවක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවූරුද්දක් හෝ සත් දවසක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙළසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණිම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමති විය යුතුය.
´´මහණෙනි, රාගාදී කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදේව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිස ද දුක් දොම්නස් නැති කිරිම පිණිස ද ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබිම පිණිස ද, නිර්වණය ප්‍රත්‍යක්‍ෂ කිරිම පිණිස ද, යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේ යයි. මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
ව්සිදෙවැනි වූ මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේය.
21. සක්කපඤ්හ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසන්ඩ නම් බමුණ ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහි වේදික නම් පර්වතය සමීපයෙහි වූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළාහුය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණීස උනන්දුවක් ඇති විය.
2. සක් දෙවිඳු තවුතිසා වැසි දෙවියන්ට කථා කළේය.
´´නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ දැකගැනීම පිණිස යන්නෙමු නම් යහපත නොවේදැයි´´ ඇසුවේය. ´´පින්වතුන් වහන්ස, එසේ වේවායි´´ තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටු කොටගෙන, වේදික නම් පර්වතයෙහි පහළ විය.
3. එකල්හි වේදික නම් පර්වතය ද, අම්බසණ්ඩ නම් බමුණු ගම ද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත් විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේ කීහ. ´´වේදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වේදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසාදැයි´´ සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
4. එකල සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. ´´දරුව, පංචසිඛය, තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහි ද? ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම් පිණිස යන්නෙමු.´´
5. පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍ර තෙම බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්දසාල ගුහාවට පැමිණ එක පැත්තක සිටියේය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රතෙම වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිත වූ ද, දහම් ගුණ සහිත වූ ද, සඟ ගුණ සහිත වූ ද, කම ගුණ සහිත වූ ද ගාථාවන් කීයේය.
6. මෙසේ කී කල්හි භාගුවතුන් වහන්සේ පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කළෝය. ´´පංචසිඛය, තාගේ වීණා තත් හඬ ගී හඬ සමඟ ද, ගී හඬ වීණා හඬ සමඟ ද ගැළපේමය.´´
7. එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය.
´´මාගේ දරු වූ පංචසිඛය, තෝ භාග්‍යවතුන් වහන්සේට වඳුව.´´
´´පින්වතුන් වහන්ස, එසේය´´යි පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා සක් දෙවිඳුගේ වචනය සතුටින් අසා භාග්‍යවතුන් වහන්සේට වැන්දේය. ´´ස්වාමීනි, ඇමැතියන් සහිත වූ, පිරිවර ජනයන් සහිත වූ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියාය.
´´පංචසිඛය, ඇමැතියන් සහිත වූ, පිරිවර ජනයන් සහිත වූ සක් දෙවිඳු සැප ඇත්තෙක් වේවා.´´
´´දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අසුරයෝ ද, නාගයෝ ද, ගන්ධර්වයෝ ද මෙයින් අන්‍ය වූ බොහෝ සත්ව සමූහයෝ ද වෙත් නම් ඔවුහු ද සැප කැමැත්තෝමය´´යි කීවෝය.
8. මෙසේ ආශිංසනය ලත් සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ඉන්දසාල ගුහාවට ඇතුල් වී භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක සිටියේය. තව්තිසා වැසි දෙවියෝ ද පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා ද භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක් පැත්තක සිටියාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට මෙසේ කීහ. ´´ආයුෂ්මත් සක් දෙවිඳු පිළිබඳ වූ මෙය පුදුමය. (කුමක්ද යත්) එපමණ බොහෝ කෘත්‍ය ඇත්තා වූ බොහෝ කටයුතු ඇත්තා වූ තොපගේ යම් බඳු මෙහි පැමිණීමක් වී නම් එයයි.´´
9. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට කැමැත්තෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ මේ යම් කළයුතු වැඩවල යෙදුනෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එන්ට නොහැකි වූයෙමි. ස්වාමීනි, මෙහි එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සල්ලාගාරයෙහි වසන සේක. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියෙමි.´´
10. ´´ස්වාමීනි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියකින් යුක්තව උන්හ. ´´භුංජති´´ නම් වූ වෙසමුණි රජුගේ බිසව දොහොත් මුදුන් තබා වඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස පැමිණ සිටියාය. ස්වාමීනි, මම එවිට භුංජති නම් පරිබ්‍රාජිකාවට මෙය කීවෙමි. ´´මාගේ නැගණියෙනි, තී භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිත වූ, පිරිවර ජනයන් සහිත වූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.
´´මෙසේ කී කල්හි භුංජති මට මෙය කීවාය. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කාලය සුදුසු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියෙන් යුක්තය´´ යනුය.
´´නැගණිය, එහෙනම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටි සේක් ද, එකල්හි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිත වූ, පිරිවර ජනයන් සහිත වූ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.
´´ස්වාමීනි, මාගේ නැගණිය වූ ඈ කිමෙක් ද, භාග්‍යවතුන් වහන්සේ වැන්දේ ද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහිකරන සේක්දැයි?´´ ඇසුවේය.
´´ශක්‍ර දේවේන්ද්‍රය, ඒ නැගණිය මා වැන්දාය. තවද මම ඇගේ වචනය සිහි කරමි. තව ද මම යුෂ්මතාගේ රථයේ රෝද ශබ්දයෙන් ඒ සමාධියෙන් නැඟිටියෙමි´´යි කීහ.
11. ´´ස්වාමීනි, යම් ඒ දෙවියෝ අපට වඩා පළමුව තව්තිසා භවනයෙහි උපන්නාහු ද, මා විසින් ඔවුන්ගේ සමීපයෙන් අසන ලදි. පිළිගන්නා ලදි. යම් කලෙක ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතවරයෝ උපදිත් ද, එකල්හි දිව්‍ය නිකායවල් (දිව්‍ය කොටස්) සම්පූර්ණ වෙත්. අසුර නිකායෝ පිරිහෙත්, යනුයි. ඒ මේ කාරණය මා විසින් සාක්‍ෂි වශයෙන් දක්නා ලදි. කෙසේද?´´
´´ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදුනා වූ ද, සීලයෙන් සම්පූර්ණ කරන්නා වූ ද ගොපික නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ භාවය සම්බන්ධ සිත වඩා මරණින් මතු ශෝභන ගති ඇත්තා වූ සැපයෙන් අග්‍ර වූ ලෝකයෙහි (දෙව් ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණි තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදී ද, ඔහු ගෝපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්‍ෂූන් තුන් නමක් ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත් වූ ගන්ධර්ව කොටසක උපන්නාහුය. ඔව්හු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහුය, එහි ඉන්ද්‍රියයන් හසුරවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. ඔවුන්ට ගෝපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය. ´´නිදුකාණෙනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහු ද? ´´මම වනාහි ස්ත්‍රියක්වම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී ශීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රීභාවය සම්බන්ධ වූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තා වූ දෙව්ලොව ඉපදී සක් දෙවිඳුගේ පුත් බවට පැමිණ තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගෝපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැන ගනිත්.´´
´´නිදුකාණෙනි, තොපි වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත් වූ ගන්ධර්ව නිකායට පැමිණියාහුය. ඒකාන්තයෙන් දැකීමට නුසුදුසු ආකාරයට දුටුවෙමු. අපි යම් බඳු වූ පහත් වූ ගන්ධර්ව නිකායට පැමිණියා වූ සහ ළාර්මිකයන් (එකට හැසිරුණු අය) දුටුවෙමූ නම් එයයි´´ ස්වාමීනි, ගෝපක දිව්‍ය පුත්‍රයා විසින් සිහි කරවන ලද්දා වූ ඔවුන්ගෙන් දෙවිවරු දෙදෙනෙක් මේ ආත්මයේදීම (ධ්‍යානයෙන් යුත්) සිහිය හා බ්‍රහ්ම පුරෝහිත ශරීර ලැබූහ. එක් දෙවි කෙනෙක් ඒ කාමයන්හි ගැලී විසුවේය.´´
12. ´´මම පසැස් ඇත්තා වූ බුදුන් වහන්සේගේ උපාසිකාවක් වීමි. මට ගෝපික යන නමක් විය. බුදුන් කෙරෙහි ද, ධර්මය කෙරෙහි ද විශේෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංඝයාට උපස්ථාන කළෙමි.´´
´´දිව්‍ය ලෝකයෙහි උපන්නා වූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගෝපක දිව්‍ය පුත්‍රයා යයි ද (නමින්) දැන ගනිත්.´´
´´එකල්හි මම ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවා වූ පෙර දක්නා ලද්දා වූ භික්‍ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍ය වූ ගෞතම ශ්‍රාවක වූ, අපි යම් බඳු වූ ආහාරයෙන් ඒ භික්‍ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහ කොට ආහාරයෙන් හා පාන වලින් ද උපස්ථාන කළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළිගත්දාහු ද?´´
´´ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දත යුත්තේ වේ. මම ද තෙපිද බුදුන් (උපාසනය) ආශ්‍රය කරන්නෝ වීමු.´´
´´තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාස බවට පැමිණියාහුය, ගිහි ෙගයිම් විසුවා වූ මාගේ මේ වෙනස බලව්.´´
´´ඒ මම ස්ත්‍රියන් වී අද දිව්‍ය කාමයන්ගෙන් යුක්ත වූ දිව්‍ය පුරුෂයෙක් වෙමි.´´
13. ´´ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්යය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශානයෙන් සිහි කරන්නෝ වූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපී වූ මාරයාගේ යෙදුම් වූ දුකසේ පහ කළ යුත්තා වූ කාම සංයෝජනයන් හා කාම බැඳුම් සිඳ දැමීම වශයෙන් දැක්කාහුය.´´
´´හීන නිකායකට පැමිණි ඒ මොව්හු තව්තිසා වැසි දෙවියන් ඉක්මවති යයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගෝපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය.´´
´´දේවේන්ද්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි බුදු කෙනෙකු ඇත. මොවුහු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුත වූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.´´
´´ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළා වූ අනාගාමී මාර්ගයට අනුව වූ සමාධි ගත සිත් ඇති දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.´´
´´මෙහි ඔබ වනහ්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතුරින් විශේෂයකට පැමිණි ඒ දෙදෙනෙක් පුරෝහිත බඹ ලොවට පැමිණි මාර්ග ඵල විශේෂයක් අවබෝධ කළාහු ද, නිදුකණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු. නිදුකණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දා වූ අපි ප්‍රශ්න අසන්නෙමුයි´´ කීය.
14. එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. ´´මේ ශක්‍රයා බොහෝ කලක් මුළුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේ ද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නෙමි. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම් ද, එය වහාම දැන ගන්නේය´´ කියාය.
නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට මෙසේ වදාළහ.
´´ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමියි´´ කියාය.
(පළමුවෙනි බණවර නිමියේය)
15. ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝ ද, අසුරයෝ ද, නාගයෝ ද, ගන්ධර්වයෝ ද, මෙයින් අන්‍ය වූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හු ද ක්‍රෝධ නැත්තාහු, දඬුවම් නැත්තාහු, සතුරන් නැත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ´´අපි අවෛරීව වසන්නෙමු´´ යි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේ ද, ඒ ඇති කල්හිත් ඔව්හු ක්‍රෝධ සහිත වූවාහු දඬුවම් සහිත වූවාහු, සතුරන් සහිත වූවාහු, සිත් අසතුටු සහිත වූවාහු, වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීම නිසාද?´´
භාග්‍යවතුන් වහන්සේ ඕ හට මෙය ප්‍රකාශ කළෝය. ´´දේවේන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් හැඟවීම) යන බැඳුම් වලින් බැඳීම හේතු කොටගෙනය.´´
´´භාග්‍යවතුන් වහන්ස, එය එසේය. මාගේ සැකය දුරින්ම දුරුවිය.´´
16. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැඟවීම යන දෙක කුමක් මුල්කොට කුමක් හේතුකොට කුමක් ඇති කල්හි කුමක් ජාතිකොට කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේද?´´ කීය.
´´දේවේන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක, ප්‍රිය වූ දේද, අප්‍රියවූ දේද, මූල කාරණාකොට හේතුව කොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නොවේයයි´´ කීවෝය.
17. ´´නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය යන දෙක වනාහි කුමක් නිදානකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේ ද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආශාව මූල්කොට හේතුකොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ආශාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේ යයි´´ කීවෝය.
18. ´´නිදුකාණන් වහන්ස, ආශාව වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආශාව වේද? කුමක් නැති කල්හි ආශාව නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, ආශාව වනාහි හිතින් පරීක්‍ෂාකර බැලීම මූල්කොට, හේතුකොට ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්‍ෂාකර බැලීම ඇති කල්හි ආශාව වේ. හිතින් පරීක්‍ෂාකර බැලීම නැති කල්හි ආශාව නොවේ යයි´´ කීවෝය.
19. ´´නිදුකාණන් වහන්ස, හිතින් පරීක්‍ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේද? කුමක් නැති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, හිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතු වූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මූල්කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. ප්‍රමාදයට හේතු වූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්‍ෂා කිරීම නොවේ යයි´´ කීවෝය.
20. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදූණ හැඟීම දුරුකිරීමට සුදුසු වූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ´´යි ඇසුවේය.
´´දේවේන්ද්‍රය, මම සැප වේදනාව ද දුක් වේදනාව දුක සැප දෙකම මැදිහත් විඳීම ද යම් සැප වේදනාවක් මෙසේ දන්නේ ද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත් ද කුශල ධර්මයෝ පිරිහෙත් ද, මෙබඳු වූ සැප වේදනාව සේවනය නොකට යුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේ ද? කෙසේද, මේ සැප වේදනාව සේවනය කරන්නා වූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ සැප වේදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක රහිත විචාර රහිත සැප වේදනාව අතිශයින් උතුම්ය.´´
´´යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම වැඩෙත්, කුශල ධර්ම පිරිහෙත්යයි දන්නේ ද ඒ දොම්නස සේවනය නොකළ යුතුයි. යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්යයි දන්නේද ඒ දොම්නස් වේදනාව සේවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.´´
´´යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නා වූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්ය යි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නා වූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය කළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් විතර්ක සහිත ද, විචාර සහිතද , යම් උපේක්‍ෂාවක් විතර්ක රහිත ද, විචාර රහිත ද ඒ අවිතර්ක අවිචාර උපේක්‍ෂාව අතිශයින් ප්‍රණීතය. දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතු වූ ආශාව සමඟ යෙදුණ හැඟීම සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියන ලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේ´´යයි ප්‍රකාශ කළෝය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තා වූ ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
21. මෙසේ මෙහිදී ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙම සීල සංවරය පිණිස පිළිපදින්නේ වේ ද?´´
´´දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද , වචනයේ පැවැත්ම ද, සෙවීම ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්ත ද යනුවෙනි.´´
´´යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්ය යි දන්නේ ද, මෙබඳු වූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත් යයි දන්නේ ද, මෙබඳු වූ කායික පැවැත්ම සේවනය කටයුතුයි.´´
´´යම් වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි දන්නේ ද, මෙබඳු වූ වචනයේ පැවැත්ම සේවනය නොකටයුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත් යයි දන්නේ ද, මෙබඳු වූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.´´
´´මේ පර්යේසනය (සෙවීම) සේවනය කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි යම් සෙවීමක් මෙසේ දන්නේ ද, මෙබඳු වූ පර්යේසනය සේවනය නොකටයුතුයි. එහි මේ පර්යේසනය සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත් යයි යම් මේ පර්යේසනයක් මෙසේ දන්නේ ද, මෙබඳු වූ පර්යේසනය සේවනය කටයුතුයි. දේවේන්ද්‍රය, මම පර්යේසනය ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්ත ද යනුවෙනැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදි.´´
´´දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ප්‍රාතිමෝක්‍ෂ සංවරය පිණිස පිළිපදින්නේය´´යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තා වූ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය.
22. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද? ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේ වේදැයි´´ කියායි.
´´දේවේන්ද්‍රය, මම ඇසින් බලා දත යුතු වූ රූපයද, කණින් අසා දත යුතු වූ ශබ්දය ද, නාසයෙන් ගඳ සුවඳ විඳ දත යුතු වූ ගන්ධය ද, දිවෙන් රස විඳ දත යුතු වූ රසය ද, ශරීරයෙන් ස්පර්ශ කොට දත යුතු වූ ස්පර්ශය ද, සිතෙන් පරීක්‍ෂාකොට බලා දත යුතු වූ ධර්මය ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්තද යනු යයි´´ කීවාහුය.
23. මෙසේ කී කල ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම් බඳු වූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත් ද මෙබඳු වූ ඇසට පෙනෙන්න වූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳු වූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ ඇසට පෙනෙන රූපය සේවනය කටයුතුයි.´´
´´ස්වාමීනි, යම් බඳු වූ කණට ඇසෙන ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නා වූ ගන්ධයක්, දිවට දැනෙන්නා වූ රසයක්, ශරීරයට දැනෙන්නා වූ ස්පර්ශයක්, සිතින් දැනගන්නා වූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත් ද මෙබඳු වූ දැනගන්නා වූ ධර්ම තෙමේ සේවනය නොකටයුතුයි. ස්වාමීන් වහන්ස, යම් බඳු වූ දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ දැනගන්නා වූ ධර්මයෝ සේවනය කටයුතුයි.´´
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නා වූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරු කරන ලදි.´´
24. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය.
´´සියළුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහු ද, සමාන ඡන්ද ඇත්තාහු ද, සමාන කෙළවර ඇත්තාහු ද?´´
´´දේවේන්ද්‍රය, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ඡන්ද ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙත්ම යයි´´ කීවාහුය.
´´නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ඡන්ද ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙද්ද?´´
´´දේවේන්ද්‍රය, ලෝක සත්ව තෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ලෝකයේ සත්වයෝ යම් යම් අදහස් ගනිත් ද, ඒ ඒ අදහස්ම දැඩිසේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ලබ්ධි ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙත් යයි´´ කීවෝය.
25. ´´නිදුකාණන් වහන්ස, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝ ද, විනාශය ඉක්මවන්නා වූ සසර බැඳීම් සිඳින්නා වූ නිර්වාණය ඇත්තෝ ද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝ ද, නිත්‍ය වූ අවසානයක් ඇත්තෝ ද´´
´´දේවේන්ද්‍රය, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එසේ ඇත්තෝ ද නොවෙත්ය යි´´ කීවාහුය.
´´නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියළු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙත් ද?´´
´´දේවේන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්‍ෂය කිරීමෙන් මිදුනාහු වෙත් ද, අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්.´´
´´එහෙයින් සියළු මහණ බමුණෝ අත්‍යන්ත ඉක්ම වූ නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ බඹසර ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ කෙළවර ඇත්තෝ නොවෙත් යයි´´ කීවාහුය.
26. මෙසේ මෙහි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, තණ්හාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදීම පිණිස අදින්නේය. එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ.´´
27. ´´ස්වාමීන් වහන්ස, යම් බඳු වූ ප්‍රශ්නයන් සම්බන්ධව මෙයින් පිට අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙම් ද, බොහෝ කලක සිට පැවැත්තා වූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම් බඳු වූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේදැයි පැවති හුලක් වූයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේ යයි´´ දැන්නුවේය.
´´දේවේන්ද්‍රය, මේ ප්‍රශ්න අන්‍ය වූ මහණ බමුණන්ගෙන් ඇසුවෙහිදැයි ඔබ දන්නෙහි ද´´
´´ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍ය වූ මහණ බමුණන්ගෙන් ඇසුවෙමියි, මම දනිමි.´´
´´දේවේන්ද්‍රය, කෙසේ නම් ඔව්හු ප්‍රකාශ කලාහුදැයි, ඉදින් තොපට බරක් නොවේ නම් කියවයි´´ කීවාහුය.
´´ස්වාමීන් වහන්ස, යම් මහණ බමුණන් වනවාසීහුයයි කියා හෝ ප්‍රාන්ත සේනාසන ඇත්තෝ යයි කියා හෝ හඟිම් ද, මම ඔවුන් වෙත පැමිණ මේ ප්‍රශ්නයන් ඇසූයෙමි. මා විසින් අසන ලද්දා වූ ඔව්හු නොදනිත්, නොදන්නා වූ ඔව්හු මගෙන්ම ආපසු අසත්. ´´ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තේදැයි´´ අසන ලද මම ඔවුන්ට ´´නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්ද්‍රයයි´´ ප්‍රකාශ කරමි. ඔව්හු ´´ආයුෂ්මත් දේවේන්ද්‍ර තෙමේ කවර කර්මයක් කොට මේ ස්ථානයට පැමිණියේදැයි´´ මත්තෙහිත් අසත්. ඔවුන්ට මම අසන ලද පරිදි ඉගෙන ගන්නා ලද පරිදි ධර්මය දෙසමි. ඔව්හු එපමණකින්ම සතුටු සිත් ඇත්තෝ වෙත්. ´´ස්වාමීන් වහන්ස, මම වනාහි සෝවාන් වූ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තා වූ නියත වූ රහත් බව පිහිටකොට ඇත්තා වූ බුද්ධ ශ්‍රාවකයෙක්මි.´´ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ලබන ලද්දා වූ ඒ දඬුවම් රහිත වූ ආයුධ රහිත වූ ප්‍රීති ප්‍රතිලාභය සොම්නස් ප්‍රතිලාභය ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, රාගය නැති කිරීම පිණිස, නිරෝධය පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, විශේෂ අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස පවතී යයි´´ ප්‍රකාශ කළේය.
28. ´´දේවේන්ද්‍රය, ඔබ කිනම් කරණයක් අර්ථ වශයෙන් දක්නේ මෙබඳු වූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් විඳින්නේදැයි´´ ඇසුවෝය.
´´ස්වාමීන් වහන්ස, මම කරණා හයක්ම අර්ථ වශයෙන් දක්නේ යයි´´ ප්‍රකාශ කළේය.
(1). මේ ස්ථානයෙහි සිටගෙනම මා විසින් නැවත ජීවිතය ද ලබන ලදි. නිදුකාණන් වහන්ස, මෙසේ දැන වදාල මැනවි.
(2). මම දිව්‍ය ලෝකයෙන් චුත වූයෙමි, සිහි මුළා නොවී මිනිස් ලොව ක්‍ෂත්‍රියාදී කුලයෙහි සිත ඇලේ නම් එහි ගර්භෝත්පත්තියට පැමිණෙන්නෙමි.
(3). ඒ මම මුළා නොවන ප්‍රශ්න ඇත්තේ ශාසනයෙහි ඇලී වාසය කරමින් යහපත් ප්‍රඥා ඇත්තෙමි, සිහි ඇත්තෙමි, නුවණින් වාසය කරමි.
(4). න්‍යාය ක්‍රමයෙන් වාසය හැසිරෙන්නා වූ මට සම්බෝධිය සකෘදාගාමී මාර්ගය වන්නේ නම් දැනගනු කැමතිව වාසය කරන්නෙමි. එය මනුෂ්‍ය ලෝකයෙහි මාගේ කෙළවර වන්නේය.
(5). මම මනුෂ්‍ය ආයුෂ ගෙවා මනුෂ්‍ය ලෝකයෙන් චුතවන්නෙම් නැවත දිව්‍ය ලෝකයෙහි උතුම් වූ දෙවියෙක් වන්නෙමි.
(6). කීර්ති ඇත්තා වූ අතිශයින් ප්‍රණීත වූ අකනිටා බඹලොව වාසී වූ ප්‍රසිද්ධ දෙවියෝ වෙත් ද, අන්තිම භවය පවත්නා කල්හි ඒ නිවාසස්ථානය වන්නේය.´´
´´ස්වාමීන් වහන්ස, මේ කාරණා හය දක්නා වූ මම මෙබඳු වූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.´´
29. ´´නිම නොකරන ලද මනෝරථ ඇත්තේ සැක ඇත්තේ කෙසේ කෙසේදැයි පැවති සැක ඇත්තේ තථාගතයන් වහන්සේ සොයමින් බොහෝ කලක් හැසිරුනෙමි.´´
´´යම් කලෙක්හි මම සැක දුරුකළාවූ බුදුරජානන් වහන්සේ දුටුයෙම් ද, ඒ මම සර්වඥයන් වහන්සේ ආශ්‍රය කොට පහ වූ භය ඇත්තෙක් වීමි. තණ්හාව නැමැති හුල නැසුවා වූ සමාන පුද්ගලයෙක් නැති හෙයින් අප්‍රති පුද්ගල වූ සම්බුදුරජාණන් වහන්සේ මම වඳිමි. නිදුකාණන් වහන්ස, දෙවියන් සමඟ බ්‍රහ්මයාට අපි යම් නමස්කාරයක් කළෙමු ද, ඒ නමස්කාරය අද නුඹ වහන්සේට කරමු. එබැවින් තුමූම නුඹවහන්සේට නමස්කාර කරමු. නුඹ වහන්සේ නිරුත්තර වූ ශාස්තෘය, දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේ ප්‍රති පුද්ගලයෙක් නැත්තේය.´´
30. එවිට ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අතින් පෘථිවිය පිරිමැද තුන් යලක් ප්‍රීති වාක්‍ය කීවේය. කෙසේද? ´´ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා´´ කියායි.
මේ ප්‍රශ්න විසඳීම කරනු ලබන කල්හි ශක්‍ර දේවේන්ද්‍රයාට රාගාදී කෙලෙස් රහිත වූ පහ වූ කෙලෙස් මල ඇති ධර්ම ඇස උපන්නේය, කෙසේද? ´´සමුදය ස්වභාව වූ යම් කිසිවක් වේ නම් ඒ සියල්ලම නැතිවීම ස්වභාව කොට ඇත්තේය´´ යනුවෙනි. අන්‍ය වූ අසූ දහසක් දේවතාවන්ට ද මෙසේ ධර්ම ඇස උපන්නේය.
විසිඑක්වැනි සක්කපඤ්හ සූත්‍රය නිමියේය.
20. මහා සාම්‍ය සූත්‍රය
1. මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කිඹුල්වත් පුරය සමීපයෙහි වූ මහ වනයෙහි සියල්ලම රහත් වූ පන්සියයක් භික්‍ෂුන්ගෙන් යුක්ත වූ මහත් භික්‍ෂු සංඝයා සමඟ වාසය කරන සේක. දස දහසක් ලෝක ධාතුවෙන් ද දෙවියෝ බුදු රජුන් ද භික්‍ෂු සංඝයා ද දැකීම පිණිස බොහෝ සෙයින් රැස්වූවෝ වෙත්.
2. ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නා වූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. භික්‍ෂූන් දස දහසක් ලෝක ධාතුවෙන් ද දෙවියෝ බුදුරජුන් ද භික්‍ෂු සංඝයා ද දැකීමට ඛොහෝ සෙයින් රැස් වූවෝ වෙත්. අපිත් එතැනට පැමිණ බුදුන් හමුවෙහි එක් එක් ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි´´ කියායි.
3 එවිට ඒ දෙවියෝ ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වුවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වුහ.
ඉක්බිති ඒ දෙවියෝ බුදුන් වහන්සේට නමස්කාර කර එකත්පසෙක සිටියා වූ එක් දෙවියෙක් බුදුන් වහන්සේ හමුවෙහි මෙම ගාථාව කිය.
´´මේ මහා වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමුහයෝ රැස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවන ලද සංඝයා දැකීමට මේ ධර්ම සමාගමට ආම්හ´´ යි කියා යි. එව්ට අනෙක් දෙවි කෙනෙක් මේ ගාථාවක් කිය.´´ ඒ මහා සමුහයෙහි භික්‍ෂුහූ තමන්ගේ සිත සමාධියෙහි පිහිට වූහ. ඍජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්ය යි´´ කීය.
එවිට අනෙක් දේවතාවෙක් මේ ගාථාව කීය. ´´(කෙලෙස් නැමැති) හුල් කපා (කෙලෙසුන් නැමැති) පලිය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිත වූ පිරිසිදු වූ කෙලෙස් කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දා වූ ඒ තරුණ රහත්හු හැසිරෙත්´´ යයි කීහ.
ඉක්බිති තවත් දේවතාවෙක් මෙම ගාථාව කීය. යම් කිසිවෙක් බුදුසරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්, මිනිස් සිරුර හැර දිව්‍ය ශරීර සම්පුර්ණ කරන්නාහු (දෙවි බවට පැම්ණෙත්)´´යයි කීහ..
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කතා කළ සේක. ´´මහණෙනි දස දහසක් ලෝක ධාතූවෙහි දෙවියෝ තථාගතයන් ද භික්‍ෂු සංඝයා ද දැකීමට බොහෝ සෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය දවස අර්හත් වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහූ ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ද මෙපමණම දෙවියෝ රැස්වූහ. දැන් මා දැක්මට යම් පමණක් රුස්වූවෝ ද, එතරම්මය.
´´මහණෙනි, මතු කාලයෙහි අර්හත් වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය.´´
භාග්‍යවතුන් වහන්සේ ඒ දේව සමූහයාගේ නම් දේශනා කළ සේක.
5. මේ සැටක් දෙවි සමූහයෝ සියල්ලෝම නොයෙක් පැහැයෙන් යුක්ත වූවෝම තම තමන්ගේ නම්ගොත් වශයෙන් ආවාහුය. යම් සෙසු දෙවියෝ ද නම් ආදියෙන් සමාන වෙත් නම් ඔවුන් සමඟ ආවාහුය. පහවු ජාති ඇත්තා වු, රාගාදී උල් රහිත වූ චතුරොයෙන් එතෙර වූ කෙලෙස් නැතිකලා වූ නාග නම් වූ කෘශ්ණ භාවය ඉක්මවා ගියා වූ පූර්ණ චන්ද්‍රයා වැනි වූ බුදුරජුන් ද දකින්නෙමු.
ඍධි ඇත්තා වූ ආර්ය්‍ය පුත්‍ර වූ සුබ්‍රහ්ම නම් වූ ද, පරමත්ත නම් වූ බ්‍රහ්මයෝ ද සනංකුමාර නම් මහා බ්‍රහ්මයා ද තිස්ස නම් මහා බ්‍රහ්මයා ද සිය පිරිස් සමඟ අර්හත් භික්‍ෂු සමූහය දක්නට මහා වනයට ආවාහුය.
බඹලෝ දහසකින් බ්‍රහ්මයන් දහසක් ද ආයේය. බඹලොව උපන්නා වූ ශෝභාවත් වූ, මහත් කයක් ඇත්තා වූ, යසස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක් ද සිටින්නේය. මේ බඹ පිරිසෙහි වෙන වෙනම තම තමන්ගේ පිරිස් වසගයෙහි පවත්නා වූ ප්‍රධාන වූ බඹුන් දස දෙනෙක් ආවෝය. ඒ මහා බඹුන්ගේ මධ්‍යයෙහි බඹුන් විසින් පිරිවරන ලද්දා වූ හාරිත නම් බඹ රජ තෙමේ ද ආයේය.
7. මහ වනයට රැස් වූ, ශක්‍රයා ද සහිත වූ, බඹුන් සහිත වූ, ඒ සියළු දෙවියන් කරා මාර සේනාවෝ පැමිණියාහුය. මාරයාගේ අඥානකම බලව, එව, අල්ලා ගනිවු, සියළු දිව්‍ය සමූහයා රාගයෙන් බඳනා ලද්දේ වේවා, හාත්පසින් පිරිවර වු, තෙපි කිසිවෙක් ඒ දෙවි පිරිසෙන් එකෙකුදු නොමුදවු. මෙසේ කියා මහත් සේනාවක් ඇති ඒ වසවත් මරු තෙමේ අත්ලෙන් පොලෝ තලයට ගසා විදුලිය සහිත වූ වැසි කල්හි වූ හෙවත් වර්ෂා කරන්නා වූ මේයක් තෙමේ යම්සේ ගර්ජනා කරන්නේ ද එමෙන් බියජනක නාදකොට මර සෙනඟ ඒ දිව්‍ය පිරිස මැදට යැවීය. එසමයෙහි ඒ වසවර්තිමාර තෙමේ දිව්‍ය පිරිස තම වසඟයෙහි පවත්වාගත නොහැකි වූයේ අතිශයෙන් කිපුනෙක් ව ආපසු හැරී ගියේය.
8. ඉක්බිත්තෙන් නුවණ නැමැති ඇස් ඇති බුදුරජානන් වහන්සේ ඒ සියල්ල දැන ව්‍යවස්ථා කොට සස්නෙහි ඇලුනා වූ ශ්‍රාවකයන්ට කථාකර මෙසේ කීවෝය.
´´මහණෙනි මාර සේනාවෝ පැමිණියාහුය. ඒ මරුවුන් දනිවු´´. ඒ භික්‍ෂූ ද බුදුන්ගේ ධර්ම වචනය අසා කෙලෙස් තැවීමට වීර්ය කළාහුය. වීතරාගී වූ දෙව් බඹුන් කෙරෙන් පහව ගියාහුය. ඒ වීතරාගීන්ගේ රෝමයකුදු කම්පා නොකළාහුය. ජයගත් මාර යුධය ඇති ඉක්මවන ලද බිය ඇති යසස් ඇත්තා වූ ජනයන් අතරෙහි ප්‍රකට වූ ඒ සියළු බුදු සව්වෝම දේව බ්‍රහ්ම ආදී ආර්ය ශ්‍රාවකයන් හා සතුටු වෙත්.´´
විසිවැනි වූ මහා සාම්‍ය සූත්‍රය නිමියේය.
19. මහා ගෝවින්ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකුට පර්වතයෙහි වැඩ වසන සේක. ඉක්බිති පන්චසික නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි නොයෙක් පාටින් මුළු ගිජ්ජකුට පර්වතය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිට මේ කාරණය දැන්නුවේය. ස්වාමින් වහන්ස මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ සම්මුඛයෙන් යමක් අසන ලද්දේ ද ස්වාමින් වහන්ස ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමියි දැන්විය. පන්චසිකය තෝ මට ඒ කාරණය දන්වවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
2. ස්වාමින් වහන්ස නැවත ශක්‍ර දෙවේන්ද්‍ර තෙමේ තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන ඒ තව්තිසා වැසි දෙවියන්ට කථා කර මෙසේ කිවේය. දෙව්වරුනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ගුණ අට නම්-
(1). ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට වැඩ පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිස ද වැඩ පිණිස ද සැප පිණීස ද පවතින්නේ වේ.
(2). ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගුණ කීයේය.
(3). මේ කුසලයයි මේ අකුසලයයි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. මේ වරදය මේ නිවරදය මේ සේවනය කළයුතු ධර්මය, මේ සේවනය නොකට යුතු ධර්මය, මේ (ලාමක) ධර්මය මේ උතුම් ධර්මය මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මයෝයි, කියා හොඳින් ප්‍රකාශ කරන ලද්දේය.
(4). ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණයට පැමිණෙන පිළිවෙත හොඳින් ප්‍රකාශ කරන ලද්දෙය. ඒ නිර්වාණයත් මාර්ගයත් හොඳින් සංසන්දනය වේ.
(5). ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ග පල ලාභීන්ගේ ද රහතුන් වහන්සේලාගේද ලබන ලද සහයෝගය ඇත්තේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ආර්ය පුද්ගලයන් සිතින් දුරු නොකොට එක්ව වාසය කිරීමෙහි කැමැත්ත ඇතිව වාසය කරනසේක.
(6). ඒ භාග්‍යවතුන් වහන්සේට කීර්තිය ද මනා ලෙස උපන්නේය. බොහෝ වූ ලාබ උපන්නේය. ක්‍ෂත්‍රියන්ගේ පටන් සියල්ලෝම උන්වහන්සේට ප්‍රිය වෙමින් සතුටු වෙමින් වාසය කරත්. පහ වූ මාන මදාදිය ඇතුව ඒ භාග්‍යවතුන් වහන්සේ ආහාර ගනිත්.
(7). ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් (ධර්මානුශාසනා) කියත් ද, එසේම කරන්නාහ. යම්සේ කටයුතු කරන සේක් ද, එසේම කියන සේක.
(8). ඒ භාග්‍යවතුන් වහන්සේ පහ කරන ලද සැක ඇත්තේය. පහ වූ කෙසේද කෙසේදැයි පැවති සැක ඇත්තේය. සම්පූර්ණ වූ සියලු අදහස් ඇත්තේය. ආර්ය මාර්ගයෙන් සිය’ළු කෙලෙස් වැනසූ සේක. කෙළෙස් දුරු කළා වූ මේ අංග අටෙන් යුක්ත වූ ශාසන කෙනෙකු, භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහි ද නොම දක්නෙමු. මේ වර්තමානයෙහි ද නොම දක්නෙමු.
3. ස්වාමින් වහන්ස, ඒ දේව සමාගමයෙහි සමහර දෙවි කෙනෙක් මෙසේ කීහ. නිදුකාණෙනි, ගෞතම භාග්‍යවතුන් වහන්සේ මෙන් සම්‍යක් සම්බුද්ධයන් වහන්සෙස්ලා සතර නමක් ලෝකයෙහි උපදින්නාහු නම් ධර්මයත් දේශනා කරන්නාහු නම් ඉතා යහපත්ය කීවාහුය.
4. සක්දෙව් තෙමේ තව්තිසා වැසි දෙවියන්ට මේ කාරණ කීවේය. නිදුකාණෙනි, එක් ලෝක ධාතුවෙක්හි අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා දෙනමක් එක් කාලයේදී උපදින්නාහුය. යන මීට හේතුවක් අවකාශයක් නැත්තේමය.
ඒ කියන ලද වචන ඇත්තා වූ ඒ සතර වරම් මහ රජහු අනුශාසනාව හාරගෙන අතිශයින් පැහැදුන සිත් ඇතිවම තමන්ගේ ආසනයෙහිම සිටියාහුය.
5. එකල්හි ස්වාමින් වහන්ස, මේ සම්බන්ධව යම් ප්‍රතිපලයක් වන්නේ නම් එය හොඳින් දැනගෙනම යන්නෙමුයි සිතා තම තමන්ගේ ආසන වලම සිටියාහුය. මේ කාරණය අසා තව්තිසා වැසි දෙවියෝ මේ ආලෝකය දැනගන්නෙමු. යම් පලයක් වන්නේ නම් එයත් ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙනම යන්නෙමුයි කියා එකඟ වූහ.
6. ස්වාමින් වහන්ස, අනතුරුව තව්තිසා වැසිදෙවියෝ සනත් කුමාර බ්‍රහ්මයාට මේ කාරණය කීයේය. මහ බ්‍රහ්මයා හොඳයි. අපි මේ මතු කියනු ලබන කාරණය දැන ගෙනම සතුටු වෙමු. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් කියන ලද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අටක් ඇත්තාහුය. අපි ඒ ගුණ දැනගෙනම ප්‍රිති වෙමුයි, කීවාහුය. ස්වාමින් වහන්ස, ඊට පසුව සනත් කුමාර බ්‍රහ්ම තෙමේ සක් දෙව්ඳු හට මේ කාරණය කිවේය. දේවේන්ද්‍රය අපි ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ ගුණ අට අසන්නෙමු නම් යහපත්ය, මහ බ්‍රහ්මය ඒ මැනවයි, සක් දෙවිඳු තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වූ සත්‍ය ගුණ අට ප්‍රකාශ කළේය.
සනත් කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ මේ ගුණ අට අසා සතුටු සිත් ඇත්තේ වැඩියක් සතුටු සිත් ඇත්තේ හටගත් ප්‍රිති හා සොම්නස් ඇත්තේ විය.
7. ස්වාමින් වහන්ස, මෙහි එකල්හි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මහත් ආත්ම හාවයක් මවාගෙන පන්චසික දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වෙස් ගෙන තව්තිසා වැසි දෙවියන් අතර පහළ වූයේය. ඒ බ්‍රහ්ම රජ තෙමේ අහසට නැඟී පළක් බැඳ උන්නේය. පර්යංකයෙන් හිඳ තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
8. පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමක්දැයි කියත්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මහත් ප්‍රඥා ඇතිසේක. පින්වත්නි, පෙර කාලයෙහි දියම්පති නම් රජෙක් සිටියේය. ඒ රජහට ගෝවින්ද නම් පුරෝහිත බමුණෙක් ද රේණු නම් පුත් කුමරෙක්ද වූහ. ගෝවින්ද නම් පුරෝහිත බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් වූ පුතෙක් ද වූහ. මෙසේ රේණු සහ ජෝතිපාල ද අන්‍ය වූ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන් කුමරුවෝ සදෙනෙක්දැයි යන මොහු අටදෙනෙක් යහළුවෝ වූහ.
ඉක්බිති දීර්ඝ කාලයක් ගිය පසු ගෝවින්ද බ්‍රාහ්මණයා මළේය.
9. දිසම්පතී රජ තෙමේ ජෝතිපාල තරුණ බ්‍රාහ්මණයා පියා වූ ගෝවින්ද බ්‍රාහ්මණයාට අයිති තනතුරෙහි අහිෂේක කළේය. ජෝතිපාල තරුණයාට ගෝවින්දය මහා ගෝවින්දය යන නාමයම ඇති විය.
10. පින්වත්නි, ඊට පසු රැයක් සහ දවාලක් පසුවීමෙන් දිසම්පතී රජතෙමේ මැරුණේය. දිසම්පතී රජ මැරුණ කළ රජ ඇමතියෝ රේණු රාජ පුත්‍රයා රාජ්‍යයට පත් කළාහුය. රජකමට පත් කරන ලද රේණු කුමාරයා පඤ්චකාම සම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රියෝ සදෙන යම් තැනෙක්හිද එතැනට පැමිණ ඒ ක්‍ෂත්‍රියන් කුමාරයන් සදෙනාට මේ කාරණය කීයේය. පින්වත්නි රේණු නම් කුමාර තෙම රජකමට පත් කරන ලද්දේය. හෙතෙම පඤ්චකාම සම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි කවරෙක් නම් දනී ද? කාමයෝ නම් මත් කරන්නෝය.
පින්වත්නි, එවිට ක්‍ෂත්‍රියෝ සදෙන විධි වූ පරිද්දෙන් තමාහට අයිති වූ රජ්‍ය ලාහයෙන් සතුටු සිත් ඇත්තෝ වූහ. සම්පූර්ණ කැමැත්ත ඇත්තෝද වූහ. සත්තහූය, බ්‍රහ්මදත්තය, වෙස්සහූය, හරතය, රේණුය, ධතරටය යන රජුන් සත්දෙන ඒ කාලයෙහි රාජ්‍යහාරය ඉසුලූහ.
පළමුවැනි බණ වර නිමවන ලදී.
11. පින්වත්නි, ඊට පසු හවත් මහාගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රිය රජුන් සත්දෙනාටම අනුශාසනා කළේය. මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනකුට ද අනුශාසනා කළේය. නහාතක යන නම් ඇති බ්‍රාහ්මණයන් සත්සියයකටද මන්ත්‍ර කියෙව්වේය.
12. ඉක්බිතිව මෑත කාලයකදී හවත් මහගොවින්ද බ්‍රාහ්මණයාගේ මෙසේ වූ යහපත් වූ කීර්ති ඝෝෂාවක් ඉතා උස්ව නැංෙඟ්ය. කෙසේද? මහා ගෝවින්ද තෙම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මහ බඹහු දකී. බ්‍රහ්මයා සමඟ කථා කෙරෙයි. එක්ව කථා කෙරෙයි. මන්ත්‍රණය කෙරෙයි කියායි. පින්වත්නි, එකල්හි මහ ගොවින්ද බ්‍රහ්මණයාට මෙබඳු අදහසක් ඇතිවිය. මාගේ මෙබඳු යහපත් කීර්ති ඝෝෂාවක් උස්ව නැඟ්ඟේය. මම වනාහි බ්‍රහ්මයා නොදක්නෙමි. එහෙත් වැඩි වයසට පැමිණියා වූ මහළු වූ ආචාර්යය වූ ද ආචාර්යයන්ගේ ආචාර්යය වූ ද බ්‍රාහ්මණයන් විසින් කියන්නා වූ මේ කාරණය මා විසින් අසන ලද්දේමය. එනම් යමෙක් වර්ෂා සෘතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නේ ද, කරුණාධ්‍යානය හාවනා කෙරේද හෙතෙම බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා සමඟ සාකච්ජා කරයි. එක්ව කථා කෙරෙයි. ඔහු හා මන්ත්‍රණය කෙරේය යනුයි. මම ඒකාන්තයෙන් වර්ෂා සෘතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නේ නම් කරුණා බ්‍රහ්ම විහාර හාවනා කරන්නේ නම් ඉතා යෙහෙකැයි සිතීය.
13. පින්වත්නි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙම රේණු රජුවෙත පැමිණ රේණු රජහට මේ කාරණය දැන්වීය.
ඊටපසු හවත් ගෝවින්ද බ්‍රහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රිය රජුන් සදෙනාට ද ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනාට ද සමාන වූ සතළිසක් හාර්යාවන්ට ද ඉහත මෙන් ඒ කාරණය කීයේය.
ඊට පසුව හවත් මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙම නුවරට පූර්ව දිසාවෙහි අළුත් සන්ථාගාරයක් කරවා වර්ෂා සෘතුව පිළිබඳ හාරමාසයෙහි විවේකව වාසය කෙළේය. කරුණා බ්‍රහ්ම විහාරය වැඩුයේය. බත් ගෙන එන්නා වූ එක්කෙනකු හැර අන් කිසිවෙක් ඔහු වෙත නොපැමිණියේය. තවද පින්වත් ගොවින්ද බ්‍රාහ්මණයාට සාරමසක් ගියකල බ්‍රහ්මයා දැකීමට ආශාවක් ඇතිවිය.
14. පින්වත්නි, සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ සිත පිළිබඳ වූ අදහස් තමන්ගේ සිතින් දැනගෙන බඹලොවින් අන්තර්ධාන වී මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ ඉදිරියෙහි (පහළ විය) පෙනී සිටියේය. පින්වත්නි, ඊට පසුව මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ හිතේ හයක් ඇතිවිය. ඉක්බිතිව මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් (මෙසේ) කීයේය.
නිදුකාණෙනි, ශරීර වර්ණ ඇත්තා වූ යසස් ඇත්තා වූ ශ්‍රීමත් වූ නුඹ කවරෙක් වෙහි ද?නොදන්නා වූ අපි ඔබගෙන් අසමු. අපි ඔබ කෙසේ දැන ගනිමුද?
මා බ්‍රහ්ම ලෝකයෙහි සනත් කුමාරයයි ඒකාන්තයෙන්ම දනිත්. සියළු දෙවියෝ සනත් කුමාර බ්‍රහ්මයයි මා මෙසේ දැනගනිත්. ගෝවින්දය, එසේ දැනගනුව.
මේ ආත්ම හාවයෙහි වැඩ පිණිස ද, පරලොව සැප පිණීස ද, පවත්නා වූ යම් කිසිවක් මනාකොට පතන ලද්දේ ද, ඒ කාරණය විචාරව.
ඊට පසුව මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් මෙසේ කීයේය.
කවර ප්‍රතිපදාවෙහි, සිටියා වූ කවර නම් ධර්මයෙක්හි හික්මෙන්නා වූ මනුෂ්‍ය තෙම උතුම් බඹ ලොවට පැමිණේදැයි අසමි.
එම්බා ශ්‍රෙෂ්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසිවෙක් මමත්වය හෙවත් තෘෂ්ණාව අත් හැර හුදකලාව කරුණා ධ්‍යානය උපදවා කෙලෙසුන්ගෙන් මිදුනේ ද කාම ක්‍රෝධාදී වූ ආමගන්ධ (පිලී ගඳ) නැත්තේ මෛතුන ධර්මයෙන් වැළකුණේ ද හෙවත් බ්‍රහ්මචාරී වූයේ වේ ද, ඒ මනුෂ්‍ය තෙම මේ ධර්මයන් කෙරෙහි හික්මෙන්නේ උත්තම බ්‍රහ්ම ලෝකයට පැමිණේ.
පින්වත් බ්‍රහ්මය, මනුෂ්‍යන් විෂයෙහි වූ කවර නම් කාරණයෝ ආමගන්ධය යන නම් ඇත්තාහුදැයි මේ කාරණය මම නොදනිමියි. නුවණැති බ්‍රහ්මරාජය එහෙයින් මට මෙදි ඒ කාරණයන් කියනු මැනව. කවර නම් ක්ලේශාවරණයකින් ආවරණය කරන ලද සත්ව සමුහය දුර්ගන්ධය වහනය කෙරේද අපායට පමුණුවන ක්ලේශ ෂර්ම ඇත්තෝ වෙත් ද හෙවත් කවර නම් අකුශලයක් කරණකොට ගෙන සත්වයෝ බඹ ලොවට නොපැම්ණේ ද?
ක්‍රෝධ කිරීම ද, බොරු කිමද , වංචාව ද, මිත්‍රද්‍රෝහි හාවය ද, තද මසුරු බව ද, අධික මානය ද, ඊර්ෂ්‍යයා කිරීම ද, තෘෂ්ණාව ද, සැකයද අනුන්ට හිංසා කිරිම ද, ද්වේශය ද, මදය ද මෝහය ද යන මේ ක්ලේශ ධර්ම වල යෙදුනා වූ පුද්ගල තෙම දුගඳ ඇත්තේම වෙයි. අපායට යන්නෝ හෙවත් බ්‍රහ්ම ලෝකයට නොයන්නෝ වෙත්.
පින්වතුන් විසින් කියන ලද ආමගන්ධ කාරණයන් මම යම් පරිද්දකින් දනිම් ද, ඒ දුර්ගන්ධ වහනය වන කාරණයන් ගිහිගෙයි වාසය කරන්නවුන් විසින් සුවසේ බැහැරලීම දුෂ්කර වෙයි.
පින්වත, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි කීය. දැන් ගෝවින්ද පණ්ඩිත තෙමේ යමක් ගැන කාලයයි දන්නේ නම් ඒ කාරණය කෙරේවායි කීයේය.
15. ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ රේණු රජුට ද ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනට ද මේ කාරණය දැන්වීය.
පින්වත්නි, ඊට පසුව මහ ගෝවින්ද බ්‍රහ්මණ තෙමේ සමාන ජාති ගෝත්‍ර ඇති සතලිසක් හාර්යාවෝ ද වෙත පැමිණ ඔවුන්ට ද මේ කාරණය කීයේය. ඉදින් පින්වත් ගෝවින්ද තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් අපි ද ගිහිගෙන් නික්ම පැව්දි වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ නම් එය අපගේ ද පරලොව ගතිය වන්නේ යයි කීහ.
16. පින්වත්නි, ඊට පසුව මහ ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ හිසකෙස් දැලි රැවුලු කපා කස වස්ත්‍රයන් ඇඳගෙන ගිහිගෙයින් නික්ම මහණ වූයේය. ඔහු අනුව ක්‍ෂතිය සත්රජහු ද, මහසල් බමුණෝ සත්දෙන ද, සත්සියයක් නහාතකයෝ ද, සමාන ජාති ගෝත්‍ර ඇති සම සතලිසක් හාර්යාවෝ ද, පැවිදි වූහ. එසේම නොයෙක් දහස් ගණන් ක්‍ෂතියෝ ද, බ්‍රාහ්මණයෝ ද, ගෘහපතිහු ද, අන්තඃපුර ස්ත්‍රීන් අතුරෙන් නොයෙක් ස්ත්‍රීහු ද, කෙස් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම මහ ගෝවින්ද බ්‍රාහ්මණයාට අනුව මහණ වූහ. පින්වත්නි, එකල්හි ඒ පැවිදි පිරිස පිරිවරන ලද මහ ගෝවින්ද බ්‍රාහ්මණ තෙම ගම් නියම් ගම් රාජධානි වල හැසිරීම් කරයි. පින්වත්නි ඒ කාලයෙහි මහ ගෝවින්ද පින්වත්නි ඒ කාලයෙහි යම් යම් මනුෂ්‍ය කෙනෙක් නාසාවාත හරින්නේ හෝ කණුකටු ආදියක හැපෙන්නේ හෝ වෙත් ද ඔවිහු මෙසේ කීහ. මහ ගෝවින්ද බ්‍රාහ්මණයාට නමස්කාර වේවා. පුරෝහිතයන් සත්දෙනාට ද නමස්කාර වේවායි කියායි.
17. පින්වත්නි, මහ ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ මෛත්‍රිය කරුණාව මුදිතාව ක්‍රොධ නැත්තා වූ සතුටු, මධ්‍යස්ථතාව, සමඟ පැවති සිතින් දිසා හතර ද පතුරුවා වාසය කලේය. උඩ ද, යට ද, හරහ ද යන සියළු කල්හි තන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තා වූ විපුල වූ මහත් බවට පැමිණියා වූ අප්‍රමාණ වෛර නැත්තා වූ ක්‍රොධ නැත්තා වූ මෛත්‍රිය සමඟ පැවති සිත පතුරුවා වාසය කලේය. සෑම ශ්‍රාවකයන්ට ද බඹලොව බ්‍රහ්මයාගේ සහහාවය පිණිස මාර්ගය දේශනා කලේය.
18. පින්වත්නි, ඒ කාලයෙහි මහ ගෝවින්ද බ්‍රාහ්මණයාගේ ශ්‍රාවක කෙනෙක් සියළු ආකාරයෙන් සියළු අනුශාසනාව දැනගත්තාහුද , ඔව්හු ශරිරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති බඹලොව උපන්හ. යම් කෙනකු සර්වප්‍රකාරයෙන් එක් අනුශාසනාවක්වත් නොදනිද්ද ඔව්හු මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් නිර්මාණ රතී දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ යාම දෙවියන්ගේ තව්තිසා වැසි දෙවියන්ගේ චාතුර්මහා රාජික දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන් මේ සියල්ලටම වඩා අතිශයින් ලාමක වූ ගතියක් සම්පූර්ණ කළාහු ද, ඔව්හු ගාන්ධර්ව නිකාය සම්පූර්ණ කළාහුය. මෙසේ ඒ සියළු කුල පුත්‍රයන්ගේ පැව්ද්ද හිස් නොවීය. වඳ නොවීය. පල සහිත විය. භාග්‍යවතුන් වහන්සේ එය සිහි කෙරේදැයි? ඇසුවේය.
19. පන්චසිකය, මම එය සිහිකරමි. මම ඒ කාලයේදි මහ ගෝවින්ද බ්‍රාහ්මණ වූයෙමි. මම ඒ ශ්‍රාවකයාට බඹලොව බ්‍රාහ්මයන්ගේ සහහාවය පිණිස පවතින මාර්ගය දේශනා කෙළෙමි. පන්චසිකය, ඒ බ්‍රහ්මචර්යාව සසර කලකිරීස පිණිස නොපවතී. සසර නොඇලීම පිණිස ද නොපවතී. කෙළෙස් දුරුකිරීම පිණිස ද නොපවතී. කෙළෙස් සංසිඳවීම පිණිස ද නොපවතී. සංසාර වෘත්තය විශේෂයෙන් දැනගැනීම පිණිස හෙවත් ඉතා උසස් ඥාන ලාහය පිණිස නොපවතී. සම්‍යක් සම්බෝධිය ලැබීම පිණිස ද නොපවතී. කෙළෙස් නැතිකර ලබන නිර්වානය පිණිස ද නොපවතී. බඹලොව ඉපදීම පිණිසම පවතී. පන්චසිකය, මාගේ බ්‍රහ්මචර්යාව ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද, සසර නොඇලීම පිණිස ද, කෙළෙස් දුරුකිරීම පිණිස ද, කෙළෙසුන් සංසිඳවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලාහය පිණිස ද, සම්‍යක් සම්බෝධිය පිණිස ද, කෙළෙස් නැතිකිරීමෙන් ලබන නිර්වාණය පිණිස ද පවතී. එනම් මේ අංග අටකින් යුක්ත වූ ආර්යය මාර්ගයයි, ඒ අට කවරේදයත්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, ස්මෘතිය, සම්‍යක් සමාධිය, යන මේයි. පන්චසිකය, ඒ මේ බ්‍රහ්මචර්යාව ඒකාන්තයෙන් සසර කළකිරීම පිණිස ද, සසර නොඇලීම පිණිස ද, කෙළෙස් සංසිඳවීම පිණිස ද ඉතා උසස් ඥාන ලාහය පිණිස ද, සම්‍යක් සම්බෝධිය පිණිසද, නිර්වාණය පිණිස ද පවතින්නේය.
20. පන්චසිකය, යම් ශ්‍රාවක කෙනෙක් සියළු ආකාරයෙන් මාගේ අනුශාසනාව දැනගනිත් ද, ඒ ශ්‍රාවකයෝ කෙළෙස් රහිත වූ හිතේ නිදහස ද, අර්හත්පල ප්‍රඥාව ද මේ ආත්ම හාවයේදීම තමන්ම ඉතා උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරත්. යම් ශ්‍රාවකයෙක් සියළු අනුශාසනාව දැනනොගනී ද, ඒ ඇතැම් කෙනෙක් ඕරම්භාගිය (යට හජනය කරන) යයි කියන ලද කාම හවයෙහි රැහැන් පහ නැති කිරීමෙන් ඕපපාතික වෙත්. ඒ බඹලොවදීම පිරිනිවන් පාන ස්වහාව ඇත්තෝ වෙත්. ඒ බ්‍රහ්මලෝකයෙන් නැවත නොඑන ස්වහාව ඇත්තෝ වෙත්. යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන් සියළු අනුශාසනාව දැන නොගනිද්ද ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සංයෝජන රැහැන්) නැති කිරීමෙන් රාග, ද්වේෂ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වෙත්. එක්වරම මේ ලොවට උත්පත්ති වශයෙන් පැමිණ සංසාර දුක කෙළවර කෙරෙත්. යම් ශ්‍රාවක කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් සියළු අනුශාසනාව නොදනිද්ද, ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සංයෝජන) රැහැන් නැති කිරීමෙන් ශෝතාපන්න පුද්ගල වෙත්. අපායෙහි වැටෙන ස්වහාව ඇත්තෝ නොවෙත්. අර්හත්වයට පැමිණීම නියතකොට ඇත්තෝ වෙත්. සම්බෝධිය පිහිට කොට ඇත්තෝ වෙත්. පන්චසිකය, මෙසේ ඇති කල්හි මේ සියළු කුලපුත්‍රයන්ගේ මහණකම හිස් නොවෙයි, වඳ නොවෙයි, විපාක සහිත වෙයි, දියුණුව සහිත වේ යයි, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මය දේශනා කළෝය.
සතුටු සිත් ඇති පන්චසික ගාන්ධර්ව පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැදකුණු කොට (ගෞරව දක්වා) එහිදීම නොපෙනී ගියේය.
මහා ගෝවින්ද සූත්‍රය නිමියේය.
18. ජනවසභ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවස්ථ නම් විහාරයෙහි වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ නාදික ගම අවට ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මැරුණා වූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක.
කාසි කෝසල ජනපද ද, වජ්ජි මල්ල ජනපද ද, චෙතිය වංස ජනපද ද, කුරුපංචාල ජනපද ද, මච්ජ සූරසෙන ජනපද ද වෙත්. සමීප අතීත කාලයෙහි මැරුණා වූ නාදික ගමෙහි විසූ ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූ බඹලොව පිරිණිවන්පාන ස්වහාව ඇත්තා වූ ඒ ලෝකයෙන් නැවත එන ස්වහාව නැත්තා වූ උපාසකවරු පනසකට වැඩිවෙත්. ළඟ අතීත කාලයෙහි මැරුණ සංයෝජන (කෙලෙස් රුහැන්) තුනක් නැති කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීම හේතු කොටගෙන සකෘදාගාමී වූවාහු. මේ මිනිස් ලොවට එක්වරක් පමණක් අවුත් දුක් කෙළවර කරන්නා වූ නාදික ගම විසූ උපාසකවරු අනූවකට වැඩිවෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණා වූ නාදික ගම්වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන් සෝවාන්පලයට පැමිණියා වූ (සතර) අපායට නොවැටෙන ස්වහාව ඇත්තා වූ අර්හත් පලයට නියත වූ උපාසකයෝ පන්සියකට වැඩිවෙත්.
2. නාදික ගම් වැසි උපාසකයෝ ද ආයුෂ්මත් වූ ආනන්ද තෙරුන්වහන්සේ ද මේ කාරණය ඇසුවාහුය.
´´භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික නම් ගම්වැසි උපාසකයෝ සතුටු සිත් ඇත්තෝ, ප්‍රමුදිත සිත් ඇත්තෝ, හටගත් ප්‍රිති සොම්නස් ඇත්තෝ වූහ.
3. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, මගධ ජනපද වැසි උපාසකයන් අරබයා වූ මේ කාරණය, තනියම රහසිගතව නැවත නැවත සිතා ඒ රාත්‍රියෙහි අළුයම් කාලයෙහි නැඟිට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කාරණය දැන්වූහ. මා විසින් මේ කාරණය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ නාදික ගමට හාත්පස ජනපද වල ළඟ ඉකුත් කාලයෙහි මැරුණා වූ උපාසකයන් උපන් තැන් ප්‍රකාශ කරන සේක.
4. ´´ස්වාමිනී, ළඟ ඉකුත් කාලයෙහි මැරුණා වූ මගධ ජනපද වාසී මේ උපාසකයෝ ද බොහෝ වූහ. චිර රාත්‍රි දන්නෝ ද වූහ. මේ මගධ දෙරට වැසි උපාසකයෝ ද බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදුනෝ වූහ. සීලයන් සම්පූර්ණ කළෝ වූහ. ඒ උපාසකයන් ගැන ද යහපත් විසඳීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතුවෙන් සුගතියට යන්නේය.
´´තවද මගධ ජනපදයට අධිපති වූ බිම්බිසාර රජුද ධාර්මික විය. (ජනයන්) සතුටු කළේය.
ඒ රජු ද බුදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි පැහැදුනේය, සීලයන් සම්පූර්ණ කරන්නෙක් වූයේය. තව ද මිනිස්සු මෙසේ කීහ. මරණ කාලය දක්වාත් මගධ රටට අධිපති වූ, සේනා ඇති බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණා කරන්නෙක්වම මැරුණේය යනුයි. ඔහු ගැනත් හොඳ ප්‍රකාශ කිරීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතු කොටගෙන සුගතියට යන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදවැසි උපාසකයන් ගැන වූ විස්තර කථාව භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ දී මෙසේ ප්‍රකාශ කොට ගියේය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන නාදික ගමෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාත භෝජනයෙන් පසු ආපසු වැඩි සේක්. පතුල් සෝදා ගිඤ්ජකාවසථ නම් විහාරයට ඇතුල්ව මගධ ජනපද වැසි උපාසකයන් අරබයා කරුණු සලකා, මෙනෙහි කොට සියල්ල ප්‍රඥාවෙන් පිරිසිඳ දැන පැන වූ ආසනයෙහි වැඩහුන් සේක.
ඒ පින්වත්හු යම් ඥාන ගතියක් ඇත්තෝ වූවාහු ද, යම් පරලොවක් ඇත්තෝ වූවාහු ද, ඒඥාවගතිය ඇත්තා වූ පරලොවට පැමිණියා වූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලදහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමාපත්තියෙන් නැඟී සිට, ගිඤ්ජකාවසථ විහාරයෙන් නික්ම විහාර සෙවණැල්ලෙහි පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක.
6. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉතා ශාන්ත (සංසිඳුනු) දැකුම් ඇත්තේය. ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න හාවය හේතුකොට ගෙන භාග්‍යවතුන් වහන්සේගේ මුහුණේ ශෝහාව බොහෝ සෙයින් බබළන්නේය. භාග්‍යවතුන් වහන්සේ අද ඒකාන්තයෙන් ශාන්ත විහරණයකින් යුක්තව වාසය කළ සේකැයි යනුයි.
7. ´´ආනන්දය, මම මගධ ජනපද වැසි උපාසකයන් අරබයා හොඳින් සලකා මෙනෙහි කොට ප්‍රඥාවෙන් පිරිසිඳ දැන, පනවන ලද ආසනයෙහි උන්නෙමි.
ආනන්දය, ඒ පින්වත්හු යම් ඥාන ගතියක් ඇත්තෝ ද යම් පරලොව ගතියක් ඇත්තෝ ද මගධ දනව් වැසි ඒ උපාසකයන් මම (නුවණැසින්) දුටුවෙමි.
ආනන්දය, එවිට නොපෙනෙන දෙවියෙක්, භාග්‍යවතුන් වහන්ස, මම ජනවසහ නම් වෙමි, මුරගා කීය. ආනන්දය, ජනවසහ යන මේ නම යම්සේ ද, මින් පෙර මෙබඳු නමක් අසා ඇතිබව දන්නෙහිදැයි ඇසුවෝය. ස්වාමීනි, මම මීට පෙර ජනවසහ යන මෙබඳු නමක් ඇසු බවක් නොදනිමි. එහෙත් ජනවසහ යන මේ නම අසා මාගේ ලොම් කෙලින් සිටියේය. ස්වාමීනි ඒ මට මේ අදහස විය. යමෙකුට මේ ජනවසහ යන නම වීද ඒකාන්තයෙන් ඒ දෙවි තෙමේ ලාමකයෙක් (සුළු කෙනෙක්) නොවන්නේයයි කියායි.
8. ආනන්දය, ශබ්දය පහල වීමෙන් පසු මහත් ශරීර වර්ණයක් ඇති (ලක්‍ෂණ) සෝම නම් දෙවියෙක් මා ඉදිරියෙහි පහළ වූයේය. දෙවෙනි වරද ශබ්දය ඇස්විය.
භාග්‍යවතුන් වහන්ස, මම බිම්බිසාර වෙමි. ස්වාමීනි මම මේ සත්වෙනි ජාතියෙහි වෙසමුණු මහා රජුගේ සහ හාවයට පැමිණියෙමි. මම එයින් චුතව මනුෂ්‍ය රජෙක් හෝ දිව්‍ය රජෙක් හෝ වන්නෙමි.
මේ දෙව් ලොවින් චුතව සත්වරක් ද, ඒ මිනිස් ලොවින් චුතව සත්වරක්දැයි ජාති දාහතරක් (දෙව් මිනිස් දෙගතියෙහි) සැරිසරමි, මම පෙර කාලයෙහි යම් තැනක වාසය කෙළෙම් ද, ඒ පෙර විසූ ජාති පිළිවෙල මනාසේ දනිමි.
ස්වාමීනි, මම බොහෝ කලක පටන් සෝවාන් පලයට පැමිණියේ සතර අපායෙහි නොවැටෙන්නෙකු බව දනිමි.(එහෙත්) සකෘදාගාමී මාර්ග ලාහය සඳහා මාගේ බලාපොරොත්තුව ඇත්තේය.
කුමක් හෙයින් ආයුෂ්මත් ජනවසහ දෙවි තෙම මෙබඳු මහත් විශේෂ අධිගමයක් දනිදැයි ඇසීය.
9. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් පිටත් වෙන සසුනකින් නොලබන ලද්දේය. ස්වාමීනි, මම යම් දවසක පටන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් මනාකොට පැහැදුනෙම්ද, ස්වාමීනි එදා පටන් කොට ඇති මේ දීර්ඝ කාලයක් අපායෙහි නොවැටෙන ස්වහාව ඇත්තෙක් වීමි, අවිනිපාත වූ (සෝවාන්) මාර්ගය හොඳින් දනිමි. මගේ ආසාව ද සකෘදාගාමී මාර්ග ලාහය පිණිස එළඹ සිටී. මේ මම වෙසමුණු මහා රජු විසින් විරුළහක මහා රජු ළඟට කිසියම් කටයුත්තක් සඳහා යවන ලද්දෙමි.
මම මෙහි වැඩ උන් භාග්‍යවතුන් වහන්සේ ඒ අතරමඟ දී දුටුවෙමි.
ස්වාමීනී, ඒ පින්වත්හු යම් ගතියක් ඇත්තාහු ද යම් පරලොවක් ඇත්තාහුදැයි වෛශ්‍රවණ දෙවියන්ගේ පිරිසෙහි වූවකුගේ සමිපයෙන්ම අබිමුඛයෙන්ම (ඔහුගෙන්ම) ඇසිමි, පුදුමයෙකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ද දක්නෙමි. මේ මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමියි, යන අදහස මට ඇතිවිය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඒ මට මේ කරුණු දෙක හේතු වූවයි කීහ.
10. ස්වාමීනි, දවස් කීපයකට පෙර, පසළොස්වක් පෝය පවත්නා කල්හි වස් එළබීම් ඇති සම්පූර්ණ වූ සඳ ඇති රාත්‍රියෙහි සියළු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා නම්(දිව්‍ය) සහායෙහි එක්රුස්ව උන්නාහු වෙත්. මහත් දිව්‍ය පිරිසක් ද අවටින් උන්නේ වෙයි. සතරවරම් මහ රජහු ද සතර දිගින් උන්නහු වෙත්.
ස්වාමීනි, යම් ඒ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යාව රැක තව්තිසා දිව්‍ය ලෝකයෙහි අළුත උපන්නාහු වෙද්ද, ඔව්හූ ශරිර වර්ණයෙන් ද, යසසින් ද අනිකුත් දෙවියන්ට වැඩියෙන් බබලත්. ස්වාමීනි, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ප්‍රමුදිත සිත් හට ගත් ප්‍රිති ඇත්තෝ වෙත්, පින්වත්නි දිව්‍ය සමුහයා දියුණු වෙත්. අසුර සමුහයා පිරිහෙත් යයි කියායි.
11. ස්වාමීනි. එකල්හි ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ ගාථා වලින් සතුට ප්‍රකාශ කළේය.
´´පින්වත්නි, ඉන්ද්‍රයා (ශක්‍රයා) සහිත වූ තව්තිසා වැසිදෙවියෝ තථාගතයන් වහන්සේට ද, ධර්මයට ද, සංඝයාට ද නමස් කෙරෙමින් සතුටු වෙත්.
සුගතයන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිර මේ දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියා වූ උතුම් ශරිර වර්ණ ඇත්තා වූ, යසස් ඇත්තා වූ අළුත් දෙවියන් දක්නාහුය.
ඒ දෙවියෝ ශරිර වර්ණයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද, අන්‍ය දෙවියන්ට වැඩියෙන් බබළත්. මහත් වූ ප්‍රඥාවෙන් යුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දෙව් ලොවෙහි විශේෂ බවට පැමිණියාහුය.
ඒ සතරවරම් රජහු අනුශාසනා පිළිගෙන අතිශයින් පැහැදුනු සිත් ඇත්තෝ තමන්ගේ ආසනයෙහිම සිටියාහුය.
12. එවිට උතුරු පැත්තෙන් මහත් වූ ආලෝකයක් හටගත්තේය. මහත් බැබළීමක් පහළ වූවේය. දෙවියන්ගේ දේවානුහාවය(ආලෝකය) මැඬ පවත්වා පහළ වූවේය. ස්වාමීනි, එවිට සක්දෙව් තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. නිදුකාණනි, යම් හෙයකින් (යම් දිගකින්) පෙරනිමිති දක්නා ලැබේ ද , ආලෝකයක් හටගනී ද, මහත් බැබළීමක් පහළ වේ ද (ඒ දිගින්) බ්‍රාහ්ම තෙමේ පහළ වන්නේය. මහා බ්‍රහ්මයාගේ පහළ විමට මේ පෙරනිමිත්ත යැයි කීයේය.
13. ස්වාමීනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ ද සතරවරම් මහරජහු ද තම තමන්ගේ ආසන වලම උන්නාහුය. මේ ආලෝකය දැනගන්නෙමු. ඉන් යම් විපාකයක් වන්නේ නම් එය ද හොඳින් දැනගෙනම යන්නෙමු කියායි.
14. ස්වාමීනි, සනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වන්නේ ද, එකල්හි මහත් ශරිරයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනි, මහබඹුගේ යම් ඒ ප්‍රකෘති ශරිර වර්ණයක් වේ ද එය තව්තිසා වැසි දෙවියන්ගේ ඇසට හමු නොවෙයි.(නොපෙනෙයි). ස්වාමීනි, යම් කලෙක සනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහල වේ ද ඒ බ්‍රහ්ම තෙමේ තමාගේ ශරිර වර්ණයෙන් ද යසසින් ද අනිකුත් දෙවියන් මැඬ පවත්වා වැඩියත් බබළයි.
ස්වාමීනි, යම් කලෙක්හි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළ වේ ද, ඒ පිරිසෙහි කිසි දේවතාවෙක් ඔහුට නොවඳියි, උන් ආසනයෙන් නොනැඟිටියි (වාඩිවීමට) ආසනයක් හෝ නොපවරයි. සනත් කුමාර බ්‍රහ්ම තෙමේ යම් දෙවියකුගේ ආසනයක් කැමති වන්නේ ද, ස්වාමීනි, ඒ දෙවියාගේ ආසනයෙහි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ හිඳගන්නේයයි ඒ සියළු දෙවියෝම නිශ්ශබ්දව ඇඳිලි බැඳගෙන ආසනයන්හි හිඳිත්.
15. ස්වාමීනි, එකල්හි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ (මහත්) ශරිරයක් මවාගෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වේශයෙන් තව්තිසා වැසි දෙවියන් අතරෙහි පහළ වූයේය. ඔහු අහසට නැඟී පිටීමක් නැති ආකාශයෙහි පළක් බැඳ හිඳ මේ ගාථා වලින් සතුට ප්‍රකාශ කෙළේය.
පින්වත්නි, ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද ධර්මයට ද, සංඝයාට ද නමස්කාර කරමින් ඉතා ප්‍රිතිමත් වෙත්මය.
ජනයෝ සුගතයන් වහන්සේ කෙරෙහි බඹසර (උතුම් හැසිරීම) රැක මේ දෙව්ලොවට පැමිණියා වූ වර්ණවත් වූ ද යසස් ඇත්තා වූ ද අළුත් දෙවියන් දක්නාහුය.
ඒ දේවතාවෝ වර්ණයෙන් ද යසසින් ද ආයුෂයෙන් වෙන දෙවියන් ඉක්මවා බබළත්. මහා ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍ය ලෝකයෙහි විශේෂ බවට පැම්ණියාහුය.
ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධාන කොට ඇති තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේට ද, ධර්මයට ද, සංඝයාට ද නමස්කාර කරමින් වඩාත් සතුටු වෙත්.
16. ස්වාමිනී, ඉන්පසු සනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය. පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතත්ද?
ඒ භාග්‍යවතුන් වහන්සේ යම්තාක් බොහෝ දෙනාට වැඩ පිණිස ද, බොහෝ සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිස ද, වැඩ පිණිස ද සැප පිණිස ද පිළිපන් සේක, එහෙයින් පින්වත්නි, යම් කෙනෙක් බුදුසරණ ගියාහු ද ධරිමය සරණ ගියාහු ද, සඟ සරණ ගියාහු ද, ශීලයන් සම්පූර්ණ කරන්නාහු ද ඒ සත්වයෝ ඇතැම් කෙනෙක් මරණින් මතු පරිනිර්මිත වසන්තී නම් දෙවියන් සමඟ හෝ නිර්මාණ රතී දෙවියන් සමඟ හෝ තුසිත දෙවියන් සමඟ හෝ යාම දෙවියන් සමඟ හෝ තාවතිංස දෙවියන් සමඟ හෝ චාතුර්මහාරාජික දෙවියන් සමඟ හෝ එක්විමට පැමිණෙත්. යම් කෙනෙක් සියල්ලන්ටම පහත් වූ ශරිරයක්(උත්පත්තියක්) සම්පූර්ණ කෙරෙත් ද (ලබත් ද) ඔව්හූ ගන්ධර්ව නම් කොටසෙහි උපදිත්.
17. ස්වාමීනි, ඉක්බිති සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. පින්වත් වූ තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. පින්වත් වූ තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතන්නාහු ද (ඥානයෙන්) දන්නා වූ, දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පමණ වූ මේ සතර ආකාර සෘද්ධිපාද කෙනෙක් ඉතා හොඳින් පනවන ලද්දාහු ද, බොහෝ සෘද්ධිමත් හාවය පිණිස ද, සෘද්ධි සේවනය සඳහා ද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිස ද වෙත්. ඒ සතර කවරහුද යත් පින්වත්නි, මේ ශාසනයෙහි යම් භික්‍ෂු කෙනෙක් ජන්ද සමාධි, වීර්යය සමාධි, චිත්ත සමාධි, වීමංස සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ සෘද්ධි පාදය වඩා ද, පින්වත්නි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සෘද්ධි පාද සතර බොහෝ සෘද්ධිමත් හාවය පිණිස ද සෘද්ධියගේ ආසේවනය පිණිස ද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිස ද පණවන ලද්දාහුය.
පින්වත්හි අතීතයෙහි ද අනාගතයෙහිද මේ කාලයෙහි ද යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සෘද්ධි විධි වලින් ප්‍රයෝජන ගත්තාහු ද ඒ සියළු මහණ බමුණෝ මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින් ද, බොහෝ සෙයින් පුරුදු කරන ලද බැවින් ද ඒ සෘද්ධි වලින් ප්‍රයෝජන ලබන්නාහුය. මම ද මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින් ද බහුල කල බැවින් ද මෙබඳු මහත් සෘද්ධි ඇත්තෙක් ද මෙබඳු මහත් ආනුහාව ඇත්තෙක් ද වෙමියි කීය.
18. ස්වාමීනි, ඒ සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය කීයේය.
පින්වත්නි තව්තිසා වැසිදෙවියන් නුවණීන් දන්නා වූ දක්නා වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ධ්‍යාන මාර්ගාදි) සැප ලැබීම පිණිස මේ ඕකාසාධිගම තුනක් අවබෝධ කරන ලද්දහුය. ඒ කවර තුනක්ද යත්,
(1). පින්වත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සමඟ යෙදුනු සිත් ඇතිව, අකුශල ධර්මයන් සමඟ යෙදුනු සිත් ඇතිව වාසය කෙරේ ද, ඉදින් ඒ පුද්ගල තෙම නොබෝ කලකින් උතුම් ධර්මය අසා ද, නුවණින් මෙනෙහි කෙරේ ද, ධර්මයට අනුව පළිපදී ද, ඔහු උතුම් ධර්මය ඇසීමට ද, නුවණින් මෙනෙහි කිරීමට ද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ද පැමිණ කාමයන් සමඟ යෙදුනු සිත් නැතිව, අකුශල ධර්මයන් සමඟ යෙදුනු සිත් නැතිව වාසය කෙරේ ද, ඒ පුද්ගලයාට සැපයක් උපදි. සැපයෙන් පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝසයට පසුව ප්‍රමුදිත හාවය උපදින්නේ ද එපරිද්දෙන් කාමයන් සමඟ නොයෙදුන සිත් ඇත්තා වූ ද, අකුශල ධර්මයන් සමඟ නොයෙදුන සිත් ඇත්තා වූ ද ඔහුට සැපයක් උපදි. සැපයෙන් මත්තෙහි සොම්නස උපදි.
19. (2). මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකුගේ ඖදාරික කාය වාක් මනෝසංස්කාර නොසන්සිඳෙව්වාහු වෙත් ද, ඒ පුද්ගලයා පසු කලකදී උතුම් ධර්මය අසා ද, නුවණින් මෙනෙහි කෙරේද , ධර්මයට අනුව පිළිපදීද, ඔහුගේ ඖදාරික කාය වාක් මනෝ සංස්කාර සංසිඳෙත්. ඒ නිසා සැපයක් උපදී. සැපයෙන් සතුට උපදී.
20. (3). මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක්මේ කුසල් යයි මේ අකුසල් යයි මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළ යුතුය, මෙය සේවනය නොකළ යුතුය, මෙය ලාමකය මෙය උතුම්ය, මේ කුසල් අකුසල් වලට සමාන ධර්මයෝ යයි ඇති සැටියෙන් නොදනි ද, ඒ පුද්ගලයා පසු කලකදි උතුම් වූ ධර්මය අසා ද නුවණින් මෙනෙහි කෙරේ ද ධර්මයට අනුව පිළිපදි ද, ඒ පුද්ගලයා ඇසිමට ද, නුවණින් මෙනෙහි කිරීමට ද, ධර්මයට අනුව පිළිපැදීමට ද පැමිණ මේ කුසල් යයි මේ අකුසල් යයි ඇති සැටියෙන් දැනගනී, මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළ යුතුය, මෙය සේවනය නොකළ යුතුය, මෙය ලාමකය, මෙය උතුම්ය, මෙය කුසල් අකුසල් දෙකට සමානය කියා ඇති සැටියෙන් දැනගනී. මෙසේ දන්නා වූ ද, දක්නා වූ ද, ඔහුගේ අවිද්‍යාව (නොදැනීම) නැතිවෙයි, විද්‍යාව (දැනීම) ඇතිවෙයි.
ඒ පුද්ගලයාගේ අවිද්‍යාව නැතිවීමෙන් ද, විද්‍යාව ඉපදීමෙන් ද සැපයක් උපදී. සැප ලැබීමට පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝෂයට පසුව ප්‍රමුදිත උපදී ද, පින්වත්නි එපරිද්දෙන්ම අවිද්‍යාව නැතිවිමෙන් විද්‍යාව ඉපදිමෙන් සැපයක් උපදි. සැපයට මත්තෙන් සතුට උපදී.
21. ස්වාමීනි සනත් කුමාර බ්‍රහ්මතෙම මෙසේද කීවේය.
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් ලැබිම පිණිස මේ සතර සතිපට්ටානයක් පණවන ලද්දාහුය. කවර සතරක්ද යත්?
(1). පින්වත්නි, මේ ශාසනයෙහි යම් මහණෙක් අධ්‍යාත්මික (තමන්ගේ) කයෙහි කය අනුව දක්නා ස්වහාව ඇත්තේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මහා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ කය නම් වූ ලෝකයෙහි ආසාව සහ සිතෙහි දුක මැඬ පවත්වා වෙසේ ද, තමන්ගේ කය අනුව බලමින් වාසය කරන්නා වූ (භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වෙසෙසින් පහදී, ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟ වූ සිත් ඇත්තේ, මනා කොට වැඩියක් පැහැදුනේ, පිටත අනුන්ගේ කය පිළිබඳව ද හොඳ නුවණින් දැකීම(බැලිම) හොඳින් උපදවයි.
(2). තමා තුළ වූ වේදනාව (විඳීම) කෙරෙහි විඳීම අනුව දක්නා ස්වහාවය ඇත්තේ කෙලෙස් තවන වීර්යය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ විඳීම නම් වූ ලෝකයෙහි ආශාව සහ සිතෙහි දුක(දොම්නස) මැඩ පවත්වා වාසය කෙරේද, තමන් තුළ වූ විඳිම කෙරෙහි විඳිම අනුව බලමින් වාසය කරන්නා වූ (භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනා කොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟ වූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ විඳිම පිළිබඳව ද හොඳ නුවණින් දැකිම උපදවයි.
(3). තමාගේ සිත කෙරෙහි සිත අනුව දක්නා ස්වහාව ඇත්තේ, කෙළෙස් තවන වීර්යය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ සිත නම් වූ ලෝකයෙහි ආශාව හා සිතේ දුක මැඬ පවත්වා වාසය කෙරේ ද, තමාගේ සිත කෙරෙහි සිත අනුව බලමින් වසන්නා වූ (භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟ වූ සිත් ඇත්තේ මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ සිත පිළිබඳව ද හොඳ නුවණින් දැකීම (බැලීම) උපදවයි.
(4). තමා තුළ වූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නා ස්වභාවය ඇත්තේ, කෙළෙස් තවන විර්යය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ සිහි ඇත්තේ ධර්ම නම් වූ ලෝකයෙහි ආශාව සහ සිතේ දුක මැඩ පවත්වා වාසය කෙරේ ද තමන් තුළ වූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වසන්නා වූ (භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කෙරෙයි, මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟ වූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ ධර්මයන් පිළිබඳව ද හොඳ නුවණින් දැකිම (බැලිම) උපදවයි.
22. ස්වාමීනි, සනත් කුමාර බ්‍රහ්ම තෙම මෙසේද කිවේය.
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යහපත් සමාධියක් වැම පිණිස ද, යහපත් සමාධියක් සම්පුර්ණ කිරීම පිණිස ද, මේ පිරිවර ධර්ම සතක් පනවන ලද්දාහුය. ඒ සත කවරහුද යත්? යහපත් දැකීමය (සම්‍යක් දෘෂ්ටිය) යහපත් කල්පනාවය (සම්‍යක් සංකලපනා) යහපත් වචනය (සම්‍යක් වචනය) යහපත් කර්මාන්තය (සම්‍යක් කර්මාන්ත) යහපත් ජීවත්වීමය (සම්‍යක් ආජීව) යහපත් උත්සාහය (සම්‍යක් ව්‍යායාම) යහපත් සිහිය (සම්‍යක් ස්මෘති) යන මොවූහුයි.
පින්වත්නි, මේ අංග (කරුණු) සතෙන් සිතේ යම් එකඟ බවක් (සමාධියක්) පිරිවරණ ලද්දේ ද, ඒ සමාධිය ආර්යය සම්‍යක් සමාධිය යයි ද, පිරිවර සහිත සම්‍යක් සමාධිය යයි ද කියනු ලැබේ.
පින්වත්නි, යහපත් දැකීම ඇත්තාහට යහපත් සංකල්පනාව පවතී. යහපත් කල්පනාව ඇත්තා හට යහපත් කර්මාන්තය පවති. යහපත් කර්මාන්තය ඇත්තා හට යහපත් ආජීවය (ජීවත්වීම) පවතී. යහපත් ආජීවය ඇත්තා හට යහපත් උත්සහය පවති. යහපත් උත්සහය ඇත්තා හට යහපත් සිහිය (ස්මෘතිය) පවති. යහපත් සිහිය ඇත්තා හට යහපත් සමාධිය (සිත එකඟබව) පවති. යහපත් සමාධිය ඇත්තා හට යහපත් නුවණ පවති. යහපත් නුවණ ඇත්තා හට යහපත් විමුක්තිය (කෙළෙසුන්ගෙන් මිදිම) පවති.
පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට ප්‍රකාශ කරන ලද්දේය. මේ ආත්මයේදීම ලැබිය යුතු පල ඇත්තේය. කල් නොයවා ලැබිය යුතු පල ඇත්තේය. එව, බලවයි දැක්වීමට සුදුසු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුත්තේය. නිවන් දොරටුව විවෘත කරන ලද්දේ යයි කියන්නේය.
පින්වත්නි බුදුන් වහන්සේ කෙරෙහි ද ධර්මය කෙරෙහි ද සංඝයා කෙරෙහි ද නොසෙල්වන පැහැදිමෙන් ද යුක්ත වූ ද, උත්තමයන් හොඳ යයි සම්මත කරන ලද සීලයන්ගෙන් යුක්ත වූ ද, උතුම් ධර්මයෙහි හික්මුණා වූ මේ ඕපපාතික වූ ද ළඟ ඉකුත් කාලයෙහි මැරුණා වූ මගධ ජන පද වැසි උපාසකයෝ සංයෝජන තුනක් නැති කිරීමෙන් සෝවාන් පලයට පැමිණියා වූ අපායෙහි නොවැටෙන ස්වහාව ඇත්තා වූ අර්හත් පලයට නියත වූ පුද්ගලයෝ විසිහතර දහසකට වැඩිවෙත්.
තව ද සකෘදාගාමි පුද්ගලයෝ ඇත්තාහුය. මේ අනිකුත් පිරිස ද කුසල් කළ ඇත්තෝය යනු මගේ අදහසයි. මුසාවාදයට බිය නිසා ඒ ගණන නියම කරන්නට නොහැක්කෙමි.
23. සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය තව්තිසා වැසි දෙවියන්ට කීයේය. තව්තිසා වැසි දෙවියන් කියන්නා වූ සනත් කුමාර බ්‍රහ්මයාගේ ඉදිරිපිටදි මේ කාරණය වෙසමුණු මහරජු අසා ඔහුගේ ඉදිරියේදිම පිළිගෙන තමන්ගේ පිරිසෙහි දි කීයේය.
තමන්ගේ පිරිසෙහි දී කියන්නා වූ වෙසමුණු මහරජුගේ ඉදිරිපිටදීම මේ කාරණය ජනවසහ දෙවි තෙම අසා ඔහුගේ ඉදිරිපිටදී පිළිගෙන භාග්‍යවතුන් වහන්සේට කීවේය. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ ජනවසහ දෙවියාගෙන් අසා ඔහු ඉදිරිපිට දී පිළිගෙන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළේය. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිට දී අසා, උන්වහන්සේගේ ඉදිරිපිට දී පිළිගෙන ආනන්ද ස්ථවිරයන් වහන්සේ භික්‍ෂුන්ට හා භික්‍ෂුනීන්ට ද උපාසකයන්ට හා උපසිකාවන්ට ද කීවෝය.
ඒ මේ ශාසන මාර්ගය වූ උතුම් හැසිරීම යම් පමණ දෙව් මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දේ ද, ඒ තරමට වැඩෙයි. දියුණු වෙයි. පතළ වූයේ වෙයි. බොහෝ ජනපද අතර ප්‍රසිද්ධියට පැමිණියේ වෙයි. ස්ථිරහාවයට පැමිණියේ ද වේ යයි´´ වදාළෝය.
දහඅට වැනි වූ ජනවසහ සූත්‍රය නිමියේය.
17. මහා සුදර්ශන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.
2. එවිට ආයයුෂ්මත් වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය.
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක් වූ නොසම නුවරක් වූ ශාඛා නගරයක් වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපාන සේක්වා.
3. ´´ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවා වූ, ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නා වූ, (ආයුධ නොගෙන) සතුරන් ජයගත්තා වූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියා වූ, මහා සුදර්ශන නම් රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වී. ඒ නගරය වනාහි නැගෙනහිරින් ද, බටහිරින් ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකණු දිගින් ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියළු සම්පත්තියෙන් සමෘද්ධි විය. සියල්ලෙන් සම්පුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තී විය. කෑම්බීම් ආදියෙන් ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියළු සම්පත්තියෙන් සමෘද්ධි ද සම්පූර්ණ ද එමෙන්ම කුසාවතී රාජධානිය සියළු සම්පත්තියෙන් සමෘද්ධි විය. සම්පූර්ණ ද විය.
4. ´´ආනන්දය, මහා සුදර්ශන රජ රත්න හතකින් ද, සෘධි සතරකින් ද සමන්විත වූයේය. ආනන්දය, ඒ පුන්පෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහා රජුට දැති දහසයකින් යුක්ත වූ නිම් වළලු සහිත වු නැබ මඩුලු (බොස් ගෙඩිය )සහිත වූ සියළු ආකාරයෙන් සම්පූර්ණ වූ දිව්‍යය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. දිව්‍යමය වූ චක්‍ර රත්නයක් පහළ වූ බැවින් ඔහු සක්විති රජ වෙම්දෝයි යනුවෙනි.
5. ´´ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැඟිට සලුවක් ඒකාන්ශ කොට පොරවා වම් අතින් රන් කෙන්ඩිය ගෙන ´පින්වත් චක්‍රරත්නය, (මාගේ අණසක) පවත්වාවා! පින්වත් චක්‍රරත්නය (සතර මහත් දිවයින) ජයගෙන දේවායි´ කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍ර රත්නය මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනඟ කැටුවම පෙරදිගට ගමන් ගති. ආනන්දය, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේ ද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනඟ සමඟ වාසයට පැමිණියේය.
6. ´´ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහු ද ඔව්හු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. ´´මහ රජ්ජුරුවන් වහන්ස, එනු මැනව. ඔබගේ ගමන ඉතා යහපත් වේ මය. (මේ මහද්වීපය) ඔබ සන්තකය, අපට අනුශාසනා කළ මැනවයි´´ යනුවෙනි. මහාසුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ. සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය. (සොරකම් නොකල යුතුය) කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සරා පානය නොකල යුතුය. (තොප) අනුහව කල අය බදුම අනුහව කරව්යයි´´ (ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි) ආනන්දය, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔව්හු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය. (යටත්වූහ.)
7. ´´ආනන්දය. ඉක්බිති ඒ චක්‍ර රත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැඟී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනඟ කැටුවම දකුණු දිශාවට පෙරදිග ගමන මෙන් විය. බස්නාහිර ගිය ගමන ද උතුරට ගිය ගමන ද එසේම විය.
8. ´´ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය මුහුද කෙළවර කොට ඇති මුළු පොළව ජය ගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, රජුගේ ඇතුළු නුවර (අන්තංපුරය) වැඩියක් හොබවමින් රථ අලවන්ගුවේ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු (ආනුහාව ඇති) චක්‍රරත්නය පහළ වූයේය.
9. ´´ආනන්දය, නැවත ද සර්වාංගයම සූදු වූ ස්ථාන හතකින් පොළව ස්පර්ශ කරන්නා වූ, සෘධි ඇත්තා වූ අහසින් යන්නා වූ, උපෝසථ නම් හස්ති රාජ රත්නයක් පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුගේ සිත පැහැදුනේය. පින්වත්නි, ඒකාන්තයෙන් හස්තියානය ඉදින් නික්මීමට පැමිණේ නම් ඉතා යහපතැයි කියායි, ආනන්දය එවිට ඒ හස්ති රත්නය ඉතා බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුම් අජානීය හස්ති රාජයෙක් යම්සේ ද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොදින් හික්මුණේය.
ආනන්දය, පෙර වූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැඟී මුහුද කෙළවර කොට ඇති මුළු පොළවට අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිම වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු හස්ති රත්නයක් පහළ වූයේය.
10. නැවත ද ආනන්දය, මහා සුදර්ශන රජහට, මුළු ශරීරිය සූදු වූ කාක ශීර්ෂ වූ(කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති) දකුණට කැරකුන කෙශ කලාපයක් ඇති සෘධිමත් වූ අහසින් යන්නා වූ වලාහක අශ්වරාජ වූ අශ්ව රත්නයක් පහළ වූයේය. ආනන්දය, පෙර වූ දෙයක් කියමි. මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසු පිටට නැඟී සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළවෙහි ඇවිද කුසාවති රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිම වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජහට මෙබඳු අශ්ව රත්නයක් පහළ වූයේය.
11. ´´තවද අනිකක් නම්, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මාණික්‍ය රත්නයේ ආලෝකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙර වූ දෙයක් නම් මහා සුදර්ශන රජ ඒ මණි රුවන විමසනුයේ සිව්රඟ සේනාව සරසා ඒ මාණික්‍ය රත්නය කොඩියෙහි අගට නංවා ඇස් අදුරු කරන තද කළුවර රාත්‍රියෙහි(නුවර) සැරිසරයි, ආනන්දය, ඒ කුසාවති නගරය අවට ගම් වාසීහු මාණික්‍යයේ ආලෝකයෙන් දවාලයයි සිතා කර්මාන්ත ආරම්හ කළහ. මහා සුදර්ශන රජහට මෙබඳු මාණික්‍ය රත්නයක් පහළ වූයේය.
12. ´´නැවත ද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රි රත්නයක් පහළ වූයේය. ඕ තොමෝ මනා රූ ඇත්තීය. දැකුම්කට යුත්තීය. උතුම් වූ වර්ණ සෞන්දර්යයයෙන් යුක්ත වූවාය. ඉතා උස් ද නොවීය. ඉතා මිටි ද නොවිය. ඉතා කෙට්ටු ද නොවීය. ඉතා මහත් ද නොවීය. ඉතා කළු ද, ඉතා සුදු ද නොවීය, මිනිස් වරණය ඉක්මුණා වූ දිව්‍යය වර්ණයට නොපැමිණියා වූ (දෙවඟනක් සමාන) ස්ත්‍රික් වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රි රත්නයාගේ මෙබඳු වූ ශරීර ස්පර්ශයක් වේ. ඉඹුල් පුළුන් වල හෝ කපු පුළුන් වල යම් බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රිර ත්නයගේ ශරීරය උණුසුම් වෙයි, උණුසුම් කාලයේදී සීත වෙයි. ආනන්දය, ඒ ස්ත්‍රි රත්නයගේ ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙයි, කටින් මහනෙල් මල් සුවඳ විහිදෙයි, ආනන්දය, ඒ ස්ත්‍රි රත්නය වනාහි මහා සුදර්ශන රජුට පළමුකොටම නැඟිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නීය, දාසියක් මෙන් හැසිරෙන්නීය, ප්‍රියමනාපව හැසිරෙන්නීය, ප්‍රිය වචන කියන්නීය, ආනන්දය, ඒ ස්ත්‍රි රත්නය වනාහි මහා සුදර්ශන රජු ඉක්මවා සිතින්වත් නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරේද? ආනන්දය මහා සුදර්ශන රජුට මෙබඳු වූ ස්ත්‍රි රත්නයක් පහළ වූයේය.
13. ´´නැවත ද අනිකක් නම්, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළ විය. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්ස, උත්සහ නොකල මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි´´ ධනයෙන් පැවරීය.
14. නැවත ද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත වූයේය. කීමෙහි, බිණිමෙහි දක්ෂ වූයේය. ඥාණවන්ත වූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණ වීමට ද, නොපැමිණවිය යුත්තන් නොපැමිණවීමට ද, සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි, කීය. ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු පරිනායක රත්නයක් පහළ වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.
15. ´´ආනන්දය, නැවත ද අනිකක් නම්, මහා සුදර්ශන රජ සතර සෘද්ධියකින් යුක්ත වූයේය. මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප ශෝහා ඇති දැකීමට ප්‍රිය වූ සතුට ගෙන දෙන්නා වූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත විය.
සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත් වන්නෙක් විය. අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් විය.
16. තව ද, ආනන්දය, සක් දෙවිඳු මහා සුදර්ශන රජුගේ සතිවිල්ල තමාගේ සිතින් දැන විස්වකර්ම දිව්‍ය පුත්‍රයාට කථා කර මහා සුදර්ශන රජුට විසීමට ´ධම්ම´ නම් ප්‍රාසාදයක් මවවයි, කීය. විස්වකර්ම දිව්‍ය පුත්‍ර තෙමේ ´ධර්ම´ නම් වූ ප්‍රාසාදයක් මැවූයේය.
17. ´´ආනන්දය, ඊට පසුව මහා සුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇතිවිය. එනම් යම් හෙයකින් මම දැන් මහත් සෘද්ධි ඇත්තේ මහත් ආනුහාව ඇත්තේ වෙම්ද , මාගේ මේ සම්පත්තිය කිනම් කුසලකර්මයක්හුගේ ඵලයක් ද, කවර කර්මයෙක්හුගේ විපාකයෙක් ද?කියායි. ඉක්බිති රජහට මෙබඳු අදහසක් ඇතිවිය, මාගේ මේ සම්පත්තිය ත්‍රිවිධ කුශල කර්මයාගේ ඵලය වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. ඒ කවරේද යත්, දානයේ ද, උපෝසථ සීලයේ ද, කය හා වචනය සංවර කිරීමේ ද, යන ත්‍රිවිධ කුසල කර්මයේ ඵල විපාකය යනුයි.
18. තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජ තෙම මහාබ්‍යහ නම් කූටාගාරයෙහි දොරටුව ළඟ සිට ප්‍රිති වාක්‍යයක් කීයේය. කාම සිතිවිලි සිටුව, ක්‍රෝධ සිතිවිලි සිටුව, කාම සිතිවිලි ක්‍රෝධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හිංසා සිතිවලි මෙපමණකින් සිටීවා, මෙපමණකින් සිටීවා කියායී.
19. තව ද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම මහාබ්යුහ නම් කුටාගාරයෙහි රනින් කළ පර්යන්කයෙහි (ආසනයෙහි) හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානය උපදවා විසුයේය. දෙවැනි ධ්‍යානය උපදවා වාසය කළේය. තුන්වැනි ධ්‍යානය උපදවා විසුයේය. සතරවැනි ධ්‍යානය උපදවා විසුයේය.
20. නැවත ද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම සෑම තන්හි සියළුම ප්‍රාණින් සහිත වූ සියළුම ලෝකය විශාල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වෛර නැති හිංසා රහිත වූ මෛත්‍රි සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.
21. එකල්හි ආනන්දය, සුහද්‍රා දේවිය සිව්රඟ සෙනඟ ද අන්තඃපුර ස්ත්‍රින්ද සමඟ ධර්ම ප්‍රාසාදයට එළඹ ධර්ම ප්‍රාසාදයට නැඟී මහාබියූහ කූටාගාරයට පැමිණ දොරබාව අල්වා ගෙන සිටියාය. ඉක්බිති මහා සුදර්ශන රජ තෙම ශබ්දය ඇසී කිමෙක්ද? මේ මහත් සේනාවක්හුගේ ශබ්දයක් මෙනැයි සිතා මහාබියූහ කූටාගාරයෙන්, නික්මුණේ, දොරබාව අල්වා ගෙන සිටි සුහද්‍රා දේවිය දුටුවේය. දැක, සුහද්‍රා දේවියට මෙසේ කීවේය. එම්බා දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට ඇතුල් නොවෙවයි කීයේය.
22. ආනන්දය අනතුරුව, සුහද්‍රා දේවියට මෙබඳු අදහසක් ඇතිවිය. මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය. විශේෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජ තෙම කාලක්‍රියා නොකෙරේවා. දේවි තොමෝ කඳුළු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. දේවයන් වහන්ස, ප්‍රිය වූ මනාප වූ සියල්ලන්ගේ නා නා හාවය වන්නේය. වෙන්වන්නා වූ ස්වහාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වහාවය ඇත්තේය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ ආසාවක් නැතුවම කාලක්‍රියා කල මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය.
23. එවිට මහා සුදර්ශන රජ තෙම නොබෝ වේලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය, කාලක්‍රියා කලාවූ මහා සුදර්ශන රජ තෙම මනා ගති ඇති හෙයින් සුගති නම් වූ බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. ආනන්දය, මම ඒ කාලයේදී මහා සුදර්ශන රජවීමීයි වදාළ සේක. ආනන්දය, ඒ අසූහාරදහසක් නගර අතුරින් යම් කුසාවතී රාජධානියෙක් වී ද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසය කළෙමි.
24. ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව, සියළුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ. මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය. අස්ථිර වන්නාහුමය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. යම් මේ සියළු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට නොඇලෙන්ට මිදෙන්ට සුදුසු වන්නේමය.
25. ආනන්දය, මම වනාහි මේ ප්‍රදේශයෙහි හය වාරයක්ම ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවාළය කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජයගත්තා වූ ජනපදයන්හි ස්ථිරහාවයට පැමිණියා වූ සප්තවිධ රත්නයෙන් යුක්ත වූ සක්විති රජ කාලයන්හිමය. මේ සත්වෙනි ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමිම) වන්නේය. ආනන්දය, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ලෝකයෙහි යම් තැනෙක්හි තථාගත තෙම අටවැනි වර ශරිර නික්‍ෂෙපය කරන්නේ ද එබඳු වූ ප්‍රදේශයක් මම නොදක්නෙමියි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය මෙසේ වදාරා එයින් මත්තෙහි සුගත නම් වූ ශාස්තෘන්වහන්සේ මෙසේද වදාළ සේක.
´´ඉපිද නැසෙන සුළු වූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැතිවෙත්, ඔවුන්ගේ සංසිඳීම සැපවන්නේය´´ යනුයි.
දහහත්වැනි මහා සුදර්ශන සූත්‍රය නිමියේය.