50. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය.

1. “මහණෙනි, යම්බඳු උපක්ලේශයන්ගෙන් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ට මේ උපක්ලෙශ සතරක් වෙත්. කවර සතරක්ද යත්.

2. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, වළාකුල් චන්‍ද්‍ර සූය්‍ර්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, හිම චන්‍ද්‍ර සූය්‍ර්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, දුම් හා රජස් චන්‍ද්‍ර සූය්‍ර්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, රාහු චන්‍ද්‍ර සූය්‍ර්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූය්‍ර්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, මේ චන්‍ද්‍ර සූය්‍ර්‍යන්ට සතර උපක්ලේශයෝය.

3. “මහණෙනි, එසේම යම්බඳු කෙලෙසුන්ගෙන් කිලිටිවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ආලෝකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේ උපක්ලේශ සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, සුරා බොන, මෙරය බොන, රහමෙර පානයෙන් නොවැලැක්කාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මහණෙනි, යම් උපක්ලේශයකින් කිලිටිවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලෝකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ පළමුවෙනි උපක්ලේශයයි.

4. “මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙවුන්දම් සේවනය කරත්. මෛථුන ධර්මයෙන් වෙන්නුවූවාහු වෙත්. යම් උපක්ලේශයකින් කිලිටිවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෙවෙනි උපක්ලෙශයයි.

5. “මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රන්, රිදී, මසු, කහවණු ඉවසත්. රන්, රිදී, මසු, කහවණු පිළිගැනීමෙන් නොවැලැක්කාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ තුන්වෙනි උපක්ලෙශයයි.

6. “මහණෙනි, වැරදි ජීවිකාවෙන් ජීවත්වන, වරදි ජීවිකාවෙන් වෙන් නොවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. යම් උපක්ලේශයකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සතරවෙනි උපක්ලෙශයයි.

7. “මහණෙනි, යම් උපක්ලේශයකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ආලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ උපක්ලෙශයයි.

8. “රාග ෙවශයන්ගෙන් කිලිටිවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අවිද්‍යාවෙන් වැසුනාහුය. පිය රූපයන්හි සතුටුවන ඒ පුරුෂයෝ රහ මෙරය පානය කරත්. මෛථුන සේවනය කරත්. බාලයෝ රන් රිදී ඉවසත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වැරදි ජීවිකාවෙන් ජීවත් වෙත්. ආදිච්චබන්ධුවූ බුදුරජාණන් වහන්සේ විසින් මේ උපක්ලේශයෝ වදාරණ ලද්දාහ. යමකින් කෙලෙසුණු සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අස්ථිරවූ කෙලෙස් සහිත ජලයෙන් නොදිලිසෙත්. නොබැබලෙත්. තණ්හා යොතින් ගෙන යන අන්‍ධකාරයෙන් වැළඳගත්, තෘණ දාසයෝ සොහොන් පුරවත්. දරුණු පුනර්භවය ගනිත්.”

( පස්වෙනි රොහිතස්ස වර්‍ගය නිමි. )

49. චතුවිපල්ලාස සූත්‍රය.

1. “මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

2. “මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි.

3. “මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝය. විපරීත චිත්තයෝය. විපරීත දෘෂ්ටීහුය. මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝ නොවෙති. විපරීත චිත්තයෝ නොවෙති. විපරීත දෘෂ්ටීහු නොවෙති. කවර සතර දෙනෙක්ද?

4. “මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍යය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, දුකෙහි දුකය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්මය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අසුභයෙහි අශුභය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, මේ සතර සංඥා විපය්‍යාසයෝ නොවෙති. චිත්ත විපය්‍ර්‍යාසයෝ නොවෙති. දිට්ඨි විපය්‍ර්‍යාසයෝ නොවෙති.”

5. “අනිත්‍යයෙහි නිත්‍යය යන සංඥා ඇත්තාවූද, දුකෙහි සැපය යන සංඥා ඇත්තාවූද, අනාත්මයෙහි ආත්මය යන සංඥා ඇත්තාවූද, අශුභයෙහි ශුභය යන සංඥා ඇත්තාවූද, වික්‍ෂිප්තවූ සිත් ඇති, විපරීත සංඥා ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටි ගත්, මාරයාගේ බැම්මෙහි බැදුනාවූ, යොගයන් ක්‍ෂය නොකළ ජනයන් වන ඒ සත්ත්‍වයෝ ඉපදීමට, මරණයට පැමිණෙමින් සසර ගමන් කරත්. යම් කලෙක්හි ආලෝකය ඇති කරන්නාවූ බුදුවරයෝ ලෝකයෙහි උපදිත්ද, ඔවුහු දුක සංසිඳීමට යන මේ ධර්‍මය ප්‍රකාශ කරත්. නුවණැත්තෝ ඔවුන්ගේ ධර්‍මය අසා ස්වකීය චිත්තය ලැබ, අනිත්‍යය අනිත්‍යය වශයෙන් දැක්කාහුය. දුක, දුක වශයෙන් දැක්කාහුය. අනාත්මය, අනාත්මය වශයෙන් දැක්කාහුය. අශුභය, අශුභ වශයෙන් දැක්කාහුය. සම්‍යක් දෘෂ්ටි ඇතිවීමෙන් සියලු දුක ඉක්මවූවාහුය.”

48. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය.

1 එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි පඤ්චාලී පුත්‍ර ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අත්‍ර්‍ථ හඟවන, විවර්‍තපය්‍ර්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැගිට සිටිසේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ භික්‍ෂූන්ට

ඇමතූ සේක. මහණෙනි, කවරෙක් උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අත්‍ර්‍ථ හඟවන, විවර්‍තපය්‍ර්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයිද. සමාදන් කරවයිද. තෙද ගන්වයිද. සතුටු කරවයිදැයි විචාළ සේක.

3. “ස්වාමීනි, ආයුෂ්මත් පඤ්චාලී පුත්‍ර විසාඛ තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂ අත්‍ර්‍ථ හඟවන, විවර්‍තපය්‍ර්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.

4. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලීපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ තෙරුන්ට, ´විසාඛ, යහපත´. යහපත´. විසාඛ ඔබ පැහැදිලි, නිර්දෝෂ අත්‍ර්‍ථ හඟවන, විවර්‍තපය්‍ර්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන්ට නිදර්‍ශන සහිතව කීයෙහිය. සමාදන් කරවූයෙහිය. තෙද ගැන්වූයෙහිය. සතුටු කරවූහ. යහපතැ´ යි වදාළ සේක.

5. “කථා නොකරන්නාවූ පණ්ඩිතයාගේ බාලයන් හා ඇති වෙනස නොදනිත්. අමෘත පදය දේශනා කරණ කල්හිම බාලයාගේත්, පණ්ඩිතයාගේත් වෙනස දැන ගනිත්. ධර්මය කියන්නේය. බබුළුවන්නේය. ඎෂීන්ගේ ධජය ඔසවන්නේය. ඎෂීහු සුභාෂිතය ධජය කොට ඇත්තාහ. ධර්මය ඎෂීන්ගේ ධජයයි.”

47. සුවිදුරවිදුර සූත්‍රය.

1. “මහණෙනි, ඉතා දුරවූ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, අහසද, පොළොවද යන මෙය පළමුවෙනි ඉතා දුරවූ කරුණය. සමුද්‍රයේ එතෙරද, මෙතෙරද යන මෙය දෙවෙනි ඉතා දුරවූ කරුණය, මහණෙනි, යම් තැනකින් සූය්‍ර්‍යයා පහළවේද, යම් තැනක අස්තඞ්ගම වේද, මේ තුන්වෙනි ඉතා දුරවූ කරුණයි. මහණෙනි, සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද යන මෙය සතරවන ඉතා දුරවූ කරුණයි. මහණෙනි, මේ සතර දුරවූවෝ වෙති.”

2. “අහසද දුරෙහිය. පොළොවද දුරෙහිය. සමුද්‍රයෙන් එතෙරද දුරය. යම් තැනකින් ආලෝකය ගෙන දෙන සූය්‍ර්‍යා උදාවේද, යම් තැනක අස්ත වේද, එමෙන් සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද ඒකාන්තයෙන් ඊටක් වඩා අතිශයින් දුරයයි කියත්. සත්පුරුෂයන්ගේ සමාගමය වෙනස් නොවන ස්වභාව ඇත්තේය. යම්තාක් කල් පවතී නම්, ඒ තාක් එසේම වේ. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා වෙනස් වේ. එසේ හෙයින් අසත්පුරුෂ සමාගමයෙන් සත්පුරුෂයන්ගේ ධර්මය ඈත්ව සිටියේය.”

46.දුතිය රොහිතස්ස සූත්‍රය.

1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පසු භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි හොබනා ශරීර වර්‍ණ ඇතිව. මුළු ජේතවනය ආලෝක කොට, මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියේය.

2. “එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ´ස්වාමීනි, යම් තැනෙක වනාහි නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, පහළ නොවේද. ස්වාමීනි, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දැන ගැනීමට හෝ දැකීමට හෝ පැමිණීමට හෝ හැක්කේදැ?´ යි ඇසීය. මෙසේ ඇසූ කල්හි, මහණෙනි, මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ´ඇවැත්නි, යම් තැනෙක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයෙහි ඒ කෙළවර දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ මම නොකියමි.´

3. “මහණෙනි, මෙසේ කී කල්හි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින්, ´ඇවැත්නි, යම් තැනෙක්හි වනාහි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ඒ ලෝකයෙහි ඒ කෙළවර ගමනින් දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ නොවදාරමි´ යි වදාරන ලද්ද, යහපත්කොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයි. ස්වාමීනි, අද්භූතයකියි කීයේය.

4. ´ස්වාමීනි, පෙරවූ දෙයක් නම් මම ඉර්ධි ඇති, අහසින් යන වැදි පුත්‍රවූ, රොහිතස්ස නම් ඎෂිවරයෙක් වීමි. ස්වාමීනි, ඒ මට මෙබඳු ජවයක් විය. හික්මුනාවූ, අත්දැකීම් ඇති, සිල්ප දක්වා, පළපුරුදු දුනු දරණ, දුනු ආචාය්‍ර්‍යයෙක් යම් සේ සීඝ්‍ර ඊතලයෙන් නිදුකින් තල් ගසක සෙවනක් සරසට ඉක්ම

වන්නේද, ඒ යම් සේ පෙරදිග මුහුදින් බටහිර මුහුද යම් සේ ඉක්මවන්නේද, මෙබඳු ගමන් වේගයක් වූයේය. ස්වාමීනි, මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් වේගයකින් යුත්, ඒ මට මම පා ගමනින් ලොකයෙහි කෙළවරට පැමිණෙන්නෙමි යන මෙබඳු අදහසක් පහළ විය. ස්වාමීනි, ඒ මම අනුභව කිරීම්, පානය කිරීම්, කෑම් රස විඳීම් හැර, මළ මූත්‍ර කිරීම් හැර, නිදීම්, ක්ලාන්ත සංසිඳුවීම් හැර, වර්‍ෂ සියයක් ඉතිරිවූ ආයුෂ ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලෝකයාගේ කෙළවරට නොපැමිණම, අතරෙහි කළුරිය කෙළෙමි.

5. ´ඇවැත්නි, යම් තැනක පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද නොකියමි´ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ වචනය මනාකොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, එය ආශ්චය්‍ර්‍යයි. අද්භූතයි” කීයේය.

6. “මහණෙනි, මෙසේ කී කල්හි මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ´ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමණින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි´ යි කීවෙමි. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය හෙවත් දුක්ඛ සත්‍යයද පනවමි. සමුදය හෙවත් දුකට හේතුවද පනවමි. දුක්ඛ නිරෝධය හෙවත් නිවන පනවමි. දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව පනවමි.

7. “ගමනින් ලොකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලොකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, ලෝකය දත්, ඤාණවන්ත, පම් සමනය කළ පුද්ගලයා ලොකයෙහි කෙළවර දැක, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙයි.”

45. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය.

1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි බබලන ශරීර වර්‍ණයෙන් යුක්තව, ජේතවනය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

2. “එකත්පසෙක සිටි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “යම් තැනෙක්හි නූපදියිද, නොදිරයිද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ස්වාමීණි, ගමණින් ලෝකයෙහි කෙළවර දැනගන්ට හෝ දකින්ට හෝ පැමිනෙන්ට හෝ හැක්කේදැ” යි ඇසීය.

3. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.”

4. “ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයයි. ස්වාමීනි, පුදුමයි. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යන යමක් වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යහපත්කොට වදාරණ ලදී.

5.”ස්වාමීනි, මම පෙර ඉර්ධි ඇති, අහසින් යන්නාවූ, වැදි පුත්‍රවූ, රෝහිතස්ස නම් ඎෂියෙත් වූවෙමි. ස්වාමීනි, ඒ මට හික්මුනාවූ, කළ පුරුද්ද ඇති, දක්වන ලද ශිල්ප ඇති, සැහැල්ලු ඊයකින් නිදුකින් තල් සෙවනැල්ලක් ඉක්මවන්නේ නම් එබඳු උතුම් දුන්නක් ඇති දුනු දරන්නෙක් යම් සේද, එබඳු ජවයක් වූයේය. යම්සේ පූර්‍වදිග මුහුදින් බටහිර මුහුද යම් සේද, එබඳු පා මාරුවක් වූයේය. ´මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් ඇති, ඒ මට, මම ගමනින් ලෝකයෙහි කෙළවරට යන්නෙමි´ යි මෙබඳු අදහසක් ඇතිවිය. ස්වාමීනි, ඒ මම කෑම් බීම් දෙක හැර, මල මූත්‍ර කිරීම් හැර, නිදීම් ක්ලාන්ත සංසිඳවීම් හැර, වර්‍ෂ සීයක් ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලොකයෙහි අන්තයට නොපැමිණම, ලෝකය අතරෙහිම කාලක්‍රියා කළෙමි.

6. “භාගයවතුන් වහන්සේ විසින්, “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යි වදාරණ ලද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොටම වදාරණ ලද්දකි.”

7. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි. ඇවැත්නි, එහෙත් යම් තැනක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, ඇවැත්නි, මම ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරිම නොකියමි. ඇවැත්නි, මම සංඥාවෙන් යුත්, සිතින් යුත් මේ බඹයක් පමණ ශරීරයෙහි ලෝකයද, (දුක්ඛ සත්‍යයද) පනවමි. ලෝක සමුදයද (දුකට හේතුවද) පනවමි. ලෝක නිරෝධයද පනවමි. ලොක නිරෝධයට පැමිණෙන මාර්‍ගයද පණවමි.”

8. “කිසිකලෙක ලෝකයාගේ කෙළවරට ගමණින් නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදීමක් නැත. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකය දත් ප්‍රඥාවත්, ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, පව් සමනය කළ ලෝකයාගේ කෙළවර දැන, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙමි.”

44. අසද්ධම්ම චතුක්ක සූත්‍රය

1. “මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, ක්‍රොධය ගරු කරන, සධර්‍මය ගරු නොකරණ බවය, ගුණමකු බව ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය, ලාභය ගරු  කරණ ධර්මය ගරු නොකරණ බවය, සත්කාරය ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය, මහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝයි.

2. “මහණෙනි, සද්ධර්‍ම සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, ධර්‍මය ගරු කරණ, ක්‍රොධය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ගුණමකු බව ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ලාභය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, සත්කාරය ගරු නොකරණ බවය. මහණෙනි, මේ සතර සද්ධර්මයෝයි.

3, “ක්‍රොධය, ගුණමකු බව ගරු කරණ, ලාභ සත්කාරයන් ගරු කරණ, භික්‍ෂුව යහපත් කෙතෙක්හි කුණුවූ බීජයක් මෙන්, සද්ධර්මයෙහි නොවැඩෙයි. යම් කෙණෙක් සද්ධර්මය ගරුකොට වාසය කළාහුද, වාසය කරත්ද, ඔවුහු ඒකාන්තයෙන් ඖෂධය තෛලයෙන් මිශ්‍රවූවාක් මෙන් ධර්මයෙහි වැඩෙත්.”

43. කොධගරුතා සූත්‍රය.

1. “මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. කවර සතර දෙනෙක්ද යත්, ක්‍රොධය ගරු කරන, ධර්‍මය ගරු නොකරන නොගන්නා පුද්ගලයාය, ගුණමකුබව ගරු කරන, ධර්මය ගරු නොකරන පුද්ගලයාය, ලාභය ගරු කරන, සද්ධර්මය ගරු නොකරන පුද්ගලයාය, සත්කාරය ගරු කරන, ධර්මය ගරු නොකරන පුද්ගලයාය යන මොහුය. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ.

2. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, ධර්මය ගරු කරණ, ක්‍රොධය ගරු නොකරන පුද්ගලයාය, ධර්මය ගරු කරණ, ගුනමකු බව ගරු නොකරණ පුද්ගලයාය, ධර්මය ගරු කරණ, ලාභය ගරු නොකරණ පුද්ගලයාය, ධර්මය ගරු කරණ. සත්කාරය ගරු නොකරණ පුද්ගලයාය, යන සතර දෙනයි. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ.

3. “ක්‍රොධය, ගුණමකු බව ගරු කරණ, ලාභ සත්කාර ගරු කරණ, ඒ භික්‍ෂූහු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි නොවැඩෙත්. යම් කෙනෙක් සද්ධර්‍මය ගරු කොට වාසය කළාහුද, වාසය කෙරෙත්ද, ඔවුහු ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වදාළ ධර්මයෙහි වැඩෙත්. “

42. පඤ්හව්‍යාකරණ සූත්‍රය.

1. “මහණෙනි, මේ ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, බෙදා විසඳියයුතු ප්‍රශ්නයක්ද ඇත්තේය. මහණෙනි, ප්‍රශ්නකොට විසඳියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, නොවිසඳා තැබියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, මේ ප්‍රශ්න ප්‍රකාශකිරීම් සතරය.

2. “ඒකාන්තයෙන් කිවයුතු එකෙක. බෙදා කිවයුතු අනිකෙක. විචාරියයුතු තුන්වැන්නය. සතරවැන්න වනාහි තැබිය යුතුය. යමෙක් ඒ ඒ තන්හි ධර්‍මයට අනුව ඒ ප්‍රශ්නයන් දනීද, එබඳු භික්‍ෂුව ප්‍රශ්න සතරෙහි දක්‍ෂයයි කීහු. හෙතෙම නොගැටිය හැකි, මැඩපැවැත්විය නොහැකි, ගැඹුරු ගත් දේ වෙනස් නොකළ හැකි, අත්‍ර්‍ථයෙහිද, අනත්‍ර්‍ථයෙහිදැයි යන දෙක්හිම දක්‍ෂවෙයි. ඒ පණ්ඩිත තෙම අනර්‍ථය දුරුකරයි. අර්‍ථය ගනියි. අර්‍ථය අවබෝධ කළ හෙතෙම නැණවත්, පණ්ඩිත පුද්ගලයායයි කියනු ලැබේ.”

41. සමාධිභාවනා සූත්‍රය.

1. ” මේ සමාධි භවනා සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණ පිණිස වන්නීද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය. මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද සමාධි භාවනාවක්, දිව්‍යචක්‍ෂුරභිඥානය පිණිස වන්නේද, එබඳු සමාධි භාවනාවක් නැත්තේය. වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ සමාධි භාවනාවක්, සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, එබඳු සමාධි භාවනාවක් ඇත. වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්චය්‍ර්‍ය ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත. Continue reading