40.කප්පරුක්ඛිය ථෙරාපදානය

890. මම සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්ථූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප් රුකක් තැබීමි.

891. දිව්‍යවූ හෝ,  මනුෂ්‍යවූ හෝ,  යම් යම් යෝනියක උපදිම්ද,  (ඒ හැම අත්බැව්හිදීම) මාගේ දොරටුව හොබවමින් කප් රුකක් එහි පිහිටයි.

892. මමද,  මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වෙත් නම් ඔවුහුද යන අපි හැම කල්හි එම කප් රුකින් දුහුල් ගෙන හැඳීමු.

893. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කප් රුකක් තැබීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   කල්ප වෘක්‍ෂ දානයාගේ මේ විපාකයයි.

894. මෙයින් සත්වෙනි කල්පයෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූඛේල නම්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.

895. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

39. ධම්මචක්කික ථෙරාපදානය

884 .සිද්ධාත්‍ර්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණ ලද,  නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණ ලද ධර්ම චක්‍රයක් තබන ලදී.

885 .මනොඥවූ (ස්වර්‍ණ) වර්‍ණවූයේ (ස්වර්‍ණ සිවිකාවි) යානද (සේනාපති – මහාමාත්‍යාදී) සේවා භටයන්ද (හස්ති – අශ්ව – රථ නම්) වාහනද ඇත්තේ බබළමි.   මා අනුව පවතින්නාවූ බොහෝ දෙනා නිරතුරුවම මා පිරිවරත්.
886. මම හැමකල්හි සැටදහසක් තූය්‍ර්‍යයන්ගෙන් පරිවරණය කරමි.   පිරිවර කරණකොටගෙන බබළමි.   පුණ්‍ය කර්‍මයාගේ මේ පලයයි.

887. (මින්) සිව් අනූවන කල්පයෙහි මම යම් (ධර්‍ම) චක්‍රයක් තැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   ධර්‍මචක්‍ර දානයාගේ මේ විපාකයයි.

888. මින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම්වූ,  ජනාධිපතිවූ, මහත් බල ඇති සක්විති රජවරු අටදෙනෙක් (අට වරකට) වූවාහුය.

889. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´

38.ආයාගදායක ථෙරාපදානය

874  කථා කරන්නවුන් අතුරෙහි උතුම්වූ සිඛී බුදුරජාණන් වහන්සේ් පිරිනිවි කල්හි (මම) සතුටුවූයේ,  සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.

875  මම එකල්හි වඩුවන් සමග කථාකොට මුදල් දී සතුටුවූයේ,  සතුටු සිතින් දීර්ඝ භෝජන ශාලාවක් කරවීමි.

876  (ඒ හේතුවෙන්) මම අට කපක් නොකඩකොට දෙව්ලොව විසීමි.  සෙසු කල්පයන්හි (දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.

877  මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ.  ආයුධ මා නොනසත්.   දියෙහි මම නොමැරෙමි.   ආයාග (දීර්‍ඝ ශාලා) දානයාගේ මේ විපාකයයි.

878 ඉදින් මම වැස්ස කැමතිවෙම් නම් මහ වැසි වසින්නේය.   දෙවියෝද මාගේ වසඟයට පැමිණෙත්.   (ආයාග දානමය) පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.

879 මම තිස් වරක් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වීමි.   මට කිසිවෙක් නින්දා නොකෙරෙත්.   පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.

880 මින් තිස් එක්වන කල්පයෙහි (මම) යම් දීර්ඝ ශාලාවක් කරවීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   දීර්ඝ ශාලා දානයාගේ මේ විපාකයයි.

881 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

37. ලසුනදායක ථෙරාපදානය

879.මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි.   (රතු) ළුහුණු (ආහාර කොටගෙන) ජීවත් වෙමි.   මාගේ භෝජනය ළුහුණුය.

880.මම (ළුහුණු) කදක් පුරවාගෙන සඞ්ඝාරාමයට ගියෙමි.   සතුටුවූයේ සතුටු සිතින්ම සංඝයාට ළුහුණු දුනිමි.

881. මම විපස්සි නරශ්‍රෙෂ්ඨයන් (බුදුරජාණන්) වහන්සේ්ගේ සසුනෙහි නිරතවු සංඝයාට ළුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.

882. (මින්) එකානූවන කල්පයෙහිවූ එකල්හි (මම) යම් ළුහුණු දනක් දුනිම්ද,  (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   ළුහුණු දානයාගේ මේ විපාකයි.

883.´මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

36.අධිමුත්තක ථෙරාපදානය.

864. මනුෂ්‍යොත්තමවූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ් පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදුනු සිතින් යුතුව භික්‍ෂු සංඝයාට උපස්ථාන කෙළෙමි.

865. ඎජු ගුණයෙන් යුත්,  එකඟ සිත් ඇති,  සංඝරත්නය පවරා,  උක්වලින් මඩුවක් කරවා,  උතුම් සංඝයා වැළඳවීමි.

866. දිව්‍යයවූ හෝ,  මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියළු සත්ත්‍වයන් අභිභවනය කරමි.   මේ (එම) පුණ්‍ය කර්මයාගේ ඵලයයි.

867. කල්ප එක් දහස් අටසියයකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද,  (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   උක් දනෙහි මේ විපාකයයි.

ර්‍878. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

35.මොඝරාජ ථෙරාපදානය.

940. සියල්ල තෙමේම දැනගත්තාවූ,  අපරාජාතවූ,  (පස්මරුන් දිනූ)  අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ වීථියට පිළිපන් සේක.

941. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගෘහයෙන් නික්මුණෙමි.   නික්ම ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.

942. සිරසෙහි ඇඳිලි බැඳ,  බුදුරජුන් වැඳ,  සිය සිත පහදවා,  ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.  (කෙසේදයත්?)

943. ´යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝ වෙත්ද,  එසේම අරූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝද,  අසංඥතල සත්ත්‍වයෝ වෙත්ද,  ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙත්.   (ඔබ වහන්සේගේ නුවණට ඔවුන් පෙනෙත්.)

944.යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි දමන්නේ නම් (එවිට) දියෙහි කිසියම් ප්‍රාණී කෙනෙක් වෙත්ද? (ඔවුහු) ඇතුලෙහි වෙත්.

945. රූපී සත්ත්‍වයන් පිළිබඳවූ හෝ,  අරූපී සත්ත්‍වයන් පිළිබඳවූ යමෙකුගේ චේතනාවක් ඇත්නම්,  ඒ සියළු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.

946. අඳුරෙන් ගැවසීගත් මේ ලෝකයා (ඔබ) නගා සිටුවූයෙහිය.   ඔවුහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.

947. ලෝකවාසී සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසා ගන්නා ලදී.  (මොහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී.   ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝ වැස්සෝ) නසන ලද මෝහාන්‍ධකාර ඇත්තෝ වෙත්.

948. ඔබ සියළු දෙනාගේ මහා මොහාන්‍ධකාරය දුරුකරන්නාවූ ඇසක් වෙහිය.   බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙළෙස් ගින්න) නිවා ගනී.

949. නිදොස්වූ ඛුද්දක මධු සැළියක් පුරවා දෙහොතින් ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

950. මහර්ෂීවූ,  මහාවීරවූ,  (අත්‍ථදස්සී) බුදුරජ තෙම ඒ මී අනුභවකොට අහසට නැංගේය.

951. අහසෙහි සිටියාවූ,  නරශ්‍රෙෂ්ඨවූ,  අත්‍ථදස්සී ශාස්තෘතෙම මාගේ සිත පහදවමින් මෙම ගාථාවන් දෙසීය.

952. මේ (බුද්ධ) ඥානය යමෙකු විසින් පසසන ලදද,  බුද්ධශ්‍රේෂඨතෙමේද (යමෙකු විසින්) තුති කරණ ලදද,  හෙතෙම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දුගතියකට නොයයි.

953. ´හෙතෙම තුදුස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   අටසිය වරක් පෘථිවි රාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේය.

954. ඉක්බිති පන්සිය වරක් සක්විති රජ වන්නේය.   පෘථිවියෙහි අසංඛ්‍ය වාර ගණනක් ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.
්‍

955. වේද හදාරන්නාවූ,  මන්ත්‍රධරවූ,  වේදත්‍රයෙහි පරතෙරට ගියාවු,  (හෙතෙම) ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.

956. ගැඹුරුවූ සියුම්වූ අත්‍ර්‍ථ නුවණින් දැනගන්නේය.   (හෙතෙම) නමින් මෝඝරාජ යයි බුද්ධශ්‍රාවකයෙක් වන්නේය.

957. (සසර කතරින් සත්ත්‍වයන් එතර කරණ බැවින්) අග්‍රසාත්‍ර්‍ථවාහකයෙකු වැනිවූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රි විද්‍යාවන්ගෙන් යුක්තවූ,  කොට නිමවන ලද කටයුතු ඇති,  ආශ්‍රව රහිතවූ (හේ) අග්‍ර පදවියෙහි තබන්නේය´´ කියායි.

958. මිනිස් යෙදුම් හැර,  භව බැඳුම් සිඳ,  සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන,  (හැරදමා) ආශ්‍රව රහිතව වෙසෙමි.

959. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

34. කාළුදායී ථෙරාපදානය.

926. මම එකල්හි ලොක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති,  මහමගට පිළිපන්,  චාරිකාවෙහි හැසිරෙන්නාවූ,  ශාස්තෘවූ,  පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මැනවින් පිපුණු පියුම්ද,  උපුල්ද,  බෝලිද්ද ආහාර (දානය) ද ගෙන (එහි) ගියෙමි.

927. මහාවීර තෙම උතුම් ආහාරය වූ මනා භෝජනය වළඳයි.   ඒ මල්ද ගෙන මහජනයාට දැක්වීය. (කෙසේද යත්?)

928. (මේවා) ලෝකයෙහි ඉෂ්ටවූ,  මනවඩන්නාවූ,  ප්‍රියවූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නාවූ) පුෂ්පයෝ වෙති.   යමෙක් තෙම මට මේ මල් දුන්නේද,  ඔහු විසින් ඉතා දුෂ්කර පින්කමක් කරණ ලදී.

929. යමෙක් මට මල් නගා දුන්නේද,  උතුම්වූ ආහාරය දුන්නේද,  ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි.   කියන්නාවූ මාගේ වචනය අසව් (කෙසේදයත්?)

930. හෙතෙම අටලොස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   එකෙණෙහි ඔහුගේ පුණ්‍ය විපාකයෙන් උපුල්ද,  පියුම්ද,  බෝලිද්දද,  එයටද වැඩි දිව්‍යමය සුගන්‍ධයෙන් යුතුව අහසෙහි වියනක් කොට දරන්නේය.

931. පස්විසි වරක් සක්විති රජ වන්නේය.   පන්සිය වරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වසන්නේය.

932. (මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  නමින් ගෞතම නම් වූ,  ශාස්තෘතෙම ලොව පහළවන්නේය.

933. කුශල මූලයෙන් මෙහෙයන ලද ස්වකිය කටයුතු පටන්ගත් හෙතෙම ශාක්‍යයින්ගේ සතුට ඇතිකරන්නාවූ නෑ සබඳකම් ඇත්තෙක් වන්නේය.

934. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

935. ලොක බන්ධුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ පැමිණි (සිව්) පිළිසිඹියාවන් ඇතිකරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ හේ අග්‍ර පදවියෙහි ගබන්නේය. (කෙසේද යත්?)

936. ´වීය්‍ර්‍ය වැඩූ,  නිවණ කෙරහි මෙහෙයූ සිත් ඇති,  උපශාන්තවූ,  උපධි රහිතවූ,  හෙතෙම නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේය කියායි.

937. රාගයද,  ෙවෂයද,  මොහයද,  මක්ඛය (ගුණමතු බව) ද,  විනාශ කරණ ලදුයේ,  සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.

938. කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ,  ප්‍රඥාවත්වූ,  මම බුදුරජාණන් වහන්සේ සතුටු කෙළෙමි.   ප්‍රමුදිතවූ බුදුරජ තෙම මා අග්‍ර පදවියෙහි තැබීය.

939. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

33.මහාකච්චායන ථෙරාපදානය.

911. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් විය.   (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීය.

912. ස්වර්‍ණමය ඡත්‍රයක්ද,  වල්විදුනාවක්ද ගෙන ලෝකබන්ධුවූ,  තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට නගා තැබීමි.

913. එකල්හි භූමිය ඇසුරු කළාවූ යම්තාක් දෙවියෝ වෙත්නම් සියල්ලෝම රැස්වූහ.   (කුමකටදයත්?)  ස්වර්‍ණමය ඡත්‍රයාගේ විපාකය වදාරන්නේය.   එසේ වදාරන්නාවූ බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු.   සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ  ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමුය කියායි.

914. සියළු දතයුතු දෑ තෙමේම දන්නාවූ,  අග්‍ර පුද්ගලවූ,  බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදසේක්,  ස්වර්‍ණාසනයෙහි හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

915. යමෙකු විසින් ස්වර්‍ණ රත්නමයවූ (සත් රුවනින් කරණ ලද) මෙම අසුන පුදන ලදද,  ඔහු (කවරෙක්දැයි) මම ප්‍රකාශ කරන්නෙමි.   (එය) පවසන්නාවූ මාගේ වචනය අසව්.

916. තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.   හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේය.

917. මිනිස් ලොව අවුත් උග්‍ර තේජස් ඇති නමින් ප්‍රභාස්වර නම්වූ,  සක්විති රජෙක් වන්නේය.   (මෙම) ක්‍ෂත්‍රිය තෙමේ උදාවූ සුය්‍ර්‍යයා මෙන් දිවා රෑ දෙක්හිම හාත්පස අට රියනක් (තැන්) බබුලුවන්නේය.

918. (මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.

919. කුශලමූලයෙන් මෙහෙයෙන ලද්දාවූ මම තුසී පුරයෙන් චුතව,  නමින් කච්චායන නම්වූ බමුණෙක් වන්නේය.

920. හෙතෙම පසුව පැවිදිව,  ආශ්‍රව රහිතවූ රහත් කෙනෙක් වන්නේය.   ලොව බබුළුවන්නාවූ ගෞතම බුදුරජ තෙමේ (හේ) අග්‍රස්ථානයෙහි තබන්නේය. (කෙසේද යත්)

921. (මෙතෙම) සඞ්ක්‍ෂිප්ත ලෙස විචාරණ ලද ප්‍රශ්ණය විස්තර වශයෙන් කියන්නේය.   ඒ ප්‍රශ්ණය (විස්තරකොට) කියන්නේද,  (අසන්නාගේ) අදහස සම්පූර්ණ කරන්නේය´´ (කියායි.)

922. ආඪ්‍ය කුලයෙහි උපන්නාවූ,  මන්ත්‍ර විෂයයෙහි පරතෙරට ගියාවූ,  බ්‍රාහ්මණයෙකුවූ (මම) ධන ධාන්‍යයන් අතහැර දමා අනගාය්‍ර්‍ය නම් සසුනෙහි පැවිදිවීමි.

923. මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හිදු විස්තර වශයෙන් කියමි.   (විචාරන්නාවූ) ඔවුන්ගේ අදහස් සම්පූර්ණ කරමි.   විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේ සතුටු කරමි.

924. මා විසින් තුටු කරණ ලද්දාවූ,  මහා වීරවූ,  සියල්ල තෙමේම දක්නාවූ, අග්‍ර පුද්ගලවූ (ජ්‍යෙෂ්ඨ බුදුරජ තෙම) බික් සඟන මැද හිඳ මා එතදග්‍රස්ථානයෙහි තැබීය.

925. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

32. සාගත ථෙරාපදානය.

897. ´එකල්හි මම නමින් සෝභිතයයි (ප්‍රකට) බමුණෙක් වීමි.   ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ආරාමයට ගියෙමි.

898. එකල්හි පුරුෂොත්තමවූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේය.

899. දමනයවූ දමනයවුවන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.   (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කෙළෙමි. (කෙසේදයත්?)

900. යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ සියලු වෘක්‍ෂයෝ පොළොවෙහි වැඩෙත්.   ඒසේම බුද්ධිමත් සත්ත්‍වයෝ සර්‍වඥ ශාසනයෙහි වැඩෙත්.

901. සප්‍රාඥවූ,  මහර්ෂිවූ බුදුරජාණන් වහන්ස!  (ඔබ වහන්සේ) බොහෝ ජනයා විෂයෙහි (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) සාත්‍ර්‍ථවාහකයෙක් වෙහිය.   ඔබ නොමගින් නගා (සත්ත්‍වයාට) මග කියන්නෙහිය.

902. (එසේම ඔබ තෙමේ) දැමුනේ දමනය වූවන් විසින් පිරිවරණ ලද්දෙහිය.   ධ්‍යාන කරණ සුළුවූයේ ධ්‍යානයෙහි ඇළුණවුන් විසින්ද,   කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූයේ නිවණ කරා මෙහෙයූ සිත් ඇත්වුන් විසින්ද,  උපශාන්තවූවන් විසින් හා තාදී ගුණ යුක්තවූවන්  විසින්ද (පිරිවරණ ලද්දෙහිය.)

903. පිණින් හා නුවණින් යුත් පිරිස කරණකොටගෙන අලංකාරවූයේ හොබනෙහිය.   හිරු උදාවන කල්හි මෙන් ඔබගේ ප්‍රභාව පැතිරේ. (ය කියායි.)

904. මහර්ෂීවූ පදුමුත්තර බුදුරජතෙම පහන් සිත් ඇති (මා) දැක බික් සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.   (කෙසේද යත්)
905. යම් බමුණෙක් තෙම සතුටු සිත් උපදවා මා වර්‍ණනා කෙළේද,  හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.

906. කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ,  තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතව ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.

907. මැනවින් කරණ ලද එම පුණ්‍යකර්‍මය කරණකොටගෙන රහත්බව ලබන්නේය.   (නමින්) සාගත නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.´´ කියායි.

908. සසුනෙහි පැවිදිව කයින් පවුකම් දුරුකළෙමි.   වාග් දුශ්චරිතය හැර දිවි පැවැත්ම පිරිසිදු කළෙමි.

909. මෙසේ වසන්නාවූ මම තෙජොධාතූන්හි දක්‍ෂවූයේ,  (සියළු ආශ්‍රවයන්) ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.

910. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________

31. කුණ්ඩධාන ථෙරාපදානය.

881  සතියක් (නිරෝධ සමාපත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තෙමේම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගලවූ (පදුමුත්තර) බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ වෙත එළඹීමි.

882 මම (නිරෝධ සමාපත්තියෙන්) නැගී සිටි මහා මුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට  (දානය පිළිගැන්වීමට) සුදුසු කළැයි දැන මහත්වූ කෙසෙල් කැණක් ගෙන එළඹියෙමි.

883 ලොකනායකවූ,  මහා මුනිවූ,  භාග්‍යවතුන් වහන්සේ එම පලය (කෙසෙල් කැණ) පිළිගෙන මාගේ සිත පහදවන සේක් වැළඳූ සේක.

884 ´(තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) සත්ත්‍වයන් සසර කතරින් එතෙර කරණ බැවින් සාත්‍ර්‍ථවාහකයෙකු වැනිවූ බුදුරජාණන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ,  මෙම ගාථාවන් වදාළ සේක.

885 මෙම පර්‍වතයෙහි රැස්වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම් (ඔවුහුද),   අරණෙහි (මෙම ධර්‍මයට සුදුසු අනිකුත්) භූතයෝද මාගේ වචනය අසත්වා!

886 ඒ යමෙක් කේශර සිංහයෙකු මෙන් සර්‍වඥවූ මා වෙත එළඹියේද,  මම ඔහු (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි.   (එය) කියන්නාවූ මාගේ වචනය අසව්.

887 ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේය.   සූතිස් වරක් සක්විති රජ වන්නේය.

888 කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ,  ගොත්‍රයෙන් ගෞතම නම් ශාස්තෲ තෙම ලොව පහළ වන්නේය.

889 සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රොශකොට එම පාප කර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩවධාන යන) නමක්ද ලබන්නේය.

890 හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාදවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ නමින් කුණ්ඩවධාන නම් ඖරස (බුද්ධ) පුත්‍රවූ ශ්‍රාවකයෙක් වන්නේය.´´ (කියායි.)´´

891 මම ප්‍රකර්‍ශ විවේකයෙහි යෙදුනේ,  ධ්‍යාන කරණ සුළුවූයේ,  ධ්‍යානයෙහි ඇළුනේ,  ශාස්තෲන් වහන්සේ සතුටුකොට,  ආශ්‍රව රහිතව වෙසෙමි.

892 අග්‍ර ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද,  භික්‍ෂු සංඝයා විසින් පෙරටු කරණ ලද,  සර්‍වඥ තෙම බික් සඟන මැද හිඳ සලාක ගැන්වීය.

893 සිව්රු සකස්කොට ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේට වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහිදීම පළමුකොටම (සළාක) ගතිමි.

894 එම කර්‍මය කරණකොටගෙන දසදහසක් සක්වල කම්පණය කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ අග්‍රස්ථානයෙහි තැබීය.

895 නිර්‍වාණ සංඛ්‍යාත යෝගක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ විය්‍ර්‍යයයි.   (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)

896 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´
__________