රාමණෙය්‍යක සූත්‍රය

5. රාමණෙය්‍යක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක හුන් ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ස්වාමීනි, භූමිය පිළිබඳ රමණීය භාවය නම් කිමෙක්දැ´´ යි ඇසීය.

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ආරාම චෛත්‍යයෝද, වන චෛත්‍යයෝද, හොඳාකාර කරනලද පොකුණුද, මනුෂ්‍යරමණීයත්වයෙන් සොළොස් කලාවෙන් කලාවකුත් අගනාහු නොවෙති.
ගමෙහි වේවා, ඉදින් වනයෙහි හෝ වේවා, පහත් භූමියෙහි හෝ වේවා, ඉදින් ගොඩබිම හෝ වේවා, යම් තැනෙක්හි රහත්හු වෙසෙත්ද, භූමියෙහි රමණීයභාවය එයයි කියත්.´´

දළිද්ද සූත්‍රය

4. දළිද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක.´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

3. ´´හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

4. ´´හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

5. ´´ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ ( ඒ දෙවියා ) ලාමක වශයෙන් සිතත්:, ( ඒ බව ) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ´පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

6. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.´´(කියායි.)
 
7. ´´ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:  ´´යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආය්‍ර්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.´´

දේවා සූත්‍රය

3. දේවා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වසනසේක.

2. ඉක්බිති මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

3. එකත්පසෙක හුන් මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දක්නා ලද්දේදැ?´´ යි ඇසීය.

4. ´´මහාලි, මා විසින් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දක්නා ලද්දේය´´.

5. ´´ස්වාමීනි, හෙතෙම වනාහි ඒකාන්තයෙන් ශක්‍රයාමෙන් පෙනී සිටියෙක් විය යුතුයි. ස්වාමීනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දැකීමට ඉතා දුෂ්කරය.´´

6. ´´මහාලි, මම ශක්‍රයාද ශක්‍රකරණ (ශක්‍රබව ලබා දෙන) ධර්‍මයන්ද දනිමි. යම් ධර්‍මයක් සමාදන්වූ බැවින් ශක්‍ර තෙම ශක්‍ර බවට පැමිණියේ නම් ඒ ධර්‍මයන්ද දනිමි.

7. ´´මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ඔහු ´මඝවා´ යි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුනි. එහෙයින් ´පුරින්‍දද´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින්´ශක්‍ර´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ´වාසව´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ´සහස්සක්ඛ´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ´සුජා´ නම් අසුර කන්‍යාවක් ප්‍රජාපතී වූවාය. එහෙයින් ´සුජම්පතී´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඓශ්චය්‍ර්‍යාධිපති භාවයෙන් රජය කරවීය. එහෙයින් ´දේවා නමින්‍ද´ යයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ශක්‍ර තෙම ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රබවට පැමිණියේය.

9. ´´ඒ වත්සත කවරහුද? ´ දිවි ඇති තෙක් මව්පියන් පෝෂණය කෙරෙම්වා: දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා: දිවි ඇතිතෙක් ප්‍රිය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇත්තේ, සිතින් දෙන්නේ දීම පිණිස යෙදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, දන් ඉල්ලීමට යෝග්‍යවූයේ, වස්තුව බෙදාදීමෙහි ඇලුනේව වසන්නෙම්වා: දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යනුයි).
 
10. ´´මහාලා, සක් දෙවිඳු පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහුය. මේ වත්සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු තෙපුල් කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරුකිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ කියත්.´

දේවා සූත්‍රය

2. දේවා සූත්‍රය.
 
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ´මඝවා´ යයි කියනු ලැබේ.

3 ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ´පුරින්‍දද´ යයි කියනු ලැබේ.

4. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින් ´ශක්‍ර´ යයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ´වාසව´ යයි කියනු ලැබේ.

6. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ´සහස්සක්ඛ´ (දහසක් ඇස් ඇත්තා) යයි කියනු ලැබේ.

7. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ´සුජා´ නම් අසුර කන්‍යාව ප්‍රජාපතී වූවාය. එහෙයින් (ඔහුට) ´සුජම්පතී´ යයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ගේ ඓශ්චය්‍ර්‍යාධිපති භාවයෙන් රාජ්‍යය කරවීය. එහෙයින් ´දේවා නමින්‍ද´ යයි කියනු ලැබේ.

9. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.ඒ වත්සත කවරහුද? දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙක් වෙම්වා. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙක් වෙම්වා, දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දීම පිණිස සේදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇලුනෙක්ව වෙසෙම්වා, දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙක් වෙම්වා. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.). ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහු වෙති. මේ වත්සත සමාදන්වන බැවින් ශක්‍ර දේවේන්‍ද්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.´´

දේවා (නොහොත් වතපද) සූත්‍රය

1. දේවා (නොහොත් වතපද) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මනුෂ්‍යයව සිටිකල වත්සතක් සමාදන්වන ලද්දේය. මේ වත්සත සමාදන්වීම නිසා ශක්‍රතෙම ශක්‍ර පදවියට පැමිණියේය.

3. ´´කවර වත් සතක්ද? යත්: දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙම්වා. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා, දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වන්නෙම්වා, දිවි ඇතිතෙක් කේළාම් නොකියනෙම්වා, දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දෙනු පිණිස හැම කල සේදූ අත් ඇත්තේ, දීමෙහි නිතර ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, දන් බෙදාදීමෙහි ඇලුනේ වන්නෙම්වා, දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙම් වෙම්වා. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තෙම් වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.)

4. ´´මහණෙනි, පෙර මිනිස් බවෙහිවූ සක්දෙවිඳු විසින් මේ වත් සත සමාදන්වූයේ විය. මේ වත් සත සමාදන්ටූ බැවින් ශක්‍ර තෙම ශක්‍රත්වයට පැමිණියේය.

5. ´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ තෙපුල් ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.´´

ඉසයො සමුද්දකා (නොහොත් සම්බර) සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු මුහුදු තෙර පන්සල්හි වෙසෙත්.

3. ´´ මහණෙනි, එසමයෙහි වනාහි දෙවි අසුර යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීන්ට මේ අදහස විය: ´දෙවියෝ ධාර්මිකයෝය. අසුරයෝ අධාර්මිකයෝය. අපට අසුරයන්ගෙන් බියෙක් විය හැකිය. අපි සම්බර අසුරිඳු වෙත පැමිණ අභයදානය (භය නැතිකිරීම) ඉල්ලන්නෙමු නම් මැනව.´

4. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු වීය්‍ර්‍ය ඇත්තෙක් හැකුළූ අත දික් කරන්නේ හෝ දික්කළ අත හකුළන්නේ හෝ යම්සේද, එසේම මුහුදු තෙර පන්සලින් අතුරුදන්ව සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළවූහ.

5. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ගාථායෙන් මෙසේ කීහ:

´´සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.´´

6. (සම්බර අසුරයා මෙසේ කීය:) ´අපට විරුද්ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.´

7. (ඎෂීහු මෙසේ කීහ:) නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්‍ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.´

8. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ශාපකොට වෙර ශක්තිමත් පුඟුලෙක් වක්කළ අත දික් කරන්නේ හෝ දික්කළ අත වක් කරන්නේ හෝ යම්සේද, එසේම සම්බර අසුරිඳු හමුයෙන් අතුරුදහන්ව සමුද්‍රතෙර පන්සල්හි පහළවූහ.

9. ´´ මහණෙනි, ඉක්බිති ඒ සම්බර අසුරිඳු තෙම ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීන් විසින් ශාපකරණ ලද්දේ, රෑ තෙවිටක් තැතිගති.´´

පළමුවන වර්‍ගයය

ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීහු වනයෙහි පන්සල්හි වෙසෙත්. මහණෙනි,

ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙමේද සිල්වත් යහපත් දහම් ඇති ඒ ඎෂීන් වෙත පැමිණියාහ.

3. ´´ මහණෙනි, එවිට වේපචිත්ති අසුරිඳු තෙම කීප පටකින් යුත් පාවහන් පැළඳ, කඩුව උරෙහි එල්ලා ගෙන, කුඩය දරමින් ප්‍රධාන දොරින් පන්සලට පැමිණ, ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීන්ට ගරුසරු නොදක්වා ඉක්ම ගියෝය.

4. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම කීප පටකින් යුත් පාවහන් ඉවත්කොට, කඩුව අන්‍යයන්ට දී, කුඩය අකුලා තබා ( කුඩා ) දොරින්ම පන්සලට පිවිස ඒ සිල්වත් ගුණවත් ඎෂීන් ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.

5. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.

´´බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ වත් ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමයි. දහසක් ඇස් ඇති ශක්‍රය, මෙයින් ( මේ වාතය හමන දෙසින් ) ඉවත් වෙව. දේවේන්‍ද්‍රය, ඎෂීන්ගේ සිරුරු ගඳ අපිරිසිදුය.´´

6. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ ව්‍රත ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමා වා. ස්වාමීනි,
මේ ගන්‍ධය අප හිසෙහිවූ විසිතුරු මල් ඇති මල්දමක් මෙන් කැමැත්තෙමු. මෙහි (සීලවන්තයන්ගේ ගන්‍ධයෙහි) දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නොවෙත්.

වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විවේකීවූ සේක් දහවල් විවේකයට වැඩිසේක.

2. එකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේරෝචන අසුරේන්‍ද්‍ර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහ. පැමිණ, පිටිපස දොරබා සමීපයෙහි වෙන වෙනම සිටියහ.

3. ඉක්බිති වේරෝචන දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:

´´බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.´´

4. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහ. ඉවසීමට වඩා උතුම් අර්‍ථයක් නම් නැත්තේය.´´

5. (වේරෝචන මෙසේ කීය.) සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිදි හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදිය සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු ඉටුවීම නිසාම හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.´´

6. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදී සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු නිසාම හොබනාහු වෙත්. ක්‍ෂාන්තියට වඩා උතුම් අර්‍ථයෙක් නම් නැත්තේය.´´

න දුබ්භිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ( වරක් ) රහසිගතවූ, හුදෙකලාවූ ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ සිතිවිල්ලක් පහළවිය. ´යමෙක් මට සතුරු වන්නේද, ඔහුට වුවද මම විරුද්ධකම් නොකරන්නෙමි´ ( කියායි.´

2. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සිතිවිල්ල තම සිතින් දැන ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙත ගියේය.

3. ´´ මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයා එන බව දුරදීම දුටුවේය. දැක වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට මෙසේ කීය. ´´සිටින්න, වේපචිත්ති අසුරේන්‍ද්‍රය. තා අල්ලා ගන්නා ලද්දේවෙහිය.

4. ´´ නිදුකාණෙනි, තාගේ යම්බඳුවූම සිතෙක් පෙරවීද, නිදුකාණෙනි, ඔබ එය දැන් දුරු කෙළෙහිද?´´

5. ´´ වේපචිත්තිය, මා කෙරෙහි විරුද්ධකම් නොකරන බවට දිවුරව´´ යි ( ශක්‍රයා කීය. )

6. ´´ බොරු කියන්නාහට යම් පාපයක් ඇද්ද, රහතුන්ට නින්දා කරන්නාහට යම් පාපයක් ඇද්ද, මිත්‍රද්‍රෝහියකුට යම් පාපයක් ඇද්ද, කළගුණ නොදත්තාට යම් පාපයක් වේද, සුජම්පතිය, යුෂ්මත්හට යමෙක් විරුද්ධකම් කෙරේ නම් හෙතෙම එවැනිවූ පවක් කරගනී.´´ ( වේපචිත්ති කිය. )

කුලාවක සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඒ යුද්ධයෙහි අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.

2. ´´ මහණෙනි, පැරැදුන දෙවියෝ උතුරු දෙස බලා පලා ගියහ. අසුරයෝ ඔහු ලුහු බැන්දාහ.

3. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම මාතලී රථාචාය්‍ර්‍යයාට ගාථායෙන් ( මෙසේ කීය.)

´´ මාතලිය, ඉඹුල් වෙනෙහි ( ගුරුළු ) කූඩු වෙති. ( ඔවුන් ) රියදඬු හිසින් පහකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන් ජීවිතය හරිමු. මේ කුරුල්ලෝ විනාශනුවූ කූඩු ඇත්තෝ වෙත්වා.´´ (කුරුල්ලන්ට හානියක් නොවනසේ වගබලාගනුව යන තේරුමයි.)

4. ´´ මහණෙනි, ´පින්වත, එසේ යහපතැ´ යි මාතලී රථාචාය්‍ර්‍යයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට උත්තර දී ආජන්‍ය අශ්වයන් දහසකින් යුත් රථය ආපසු හැරවීය.

5. ´´ මහණෙනි, ඉක්බිතිව අසුරයන්ට මේ අදහස වීය. ´´දැන් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආජන්‍ය අශ්වයන් දහසක් යෙදූ රථය ආපසු හරවන ලදී. ඒකාන්තයෙන් දෙවියෝ නැවතත් අසුරයන් සමග යුද්ධයට එන්නාහ.´ ( මෙසේ සිතා ) බිය වූවෝ අසුර පුරයටම ( නැවත ) ගියහ.

6. ´´ මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ධර්‍මයෙන්ම ජය විය.´´