2. දෙවෙනි වර්‍ගය

ථේර ගාථා-ඒකක නිපාතය-දෙවෙනි වර්‍ගය.

1.  චූලගවච්ඡ ථෙරගාථා :-  ´´ තථාගත බුදුන් විසින් දෙසනලද සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයෙහි නොහොත් නව ලොවුතුරා දහමෙහි  ඇලීම් වශයෙන් ප්‍රීති බහුල ඇති මහණතෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට පිහිට වූ පරම සුඛවූ ශාන්තපදයට පැමිණෙන්නේය ´´ආයුෂ්මත් චූලගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

2.  මහාගවච්ඡ ථෙරගාථා :- ´´  අතිශය ප්‍රඥා බලයෙන් යුක්තවූ සිව් පිරිසුදු සිල්වලින් හා තෙළෙස් ධූතාඞ්ග ගුණයයි, කියන ලද ව්‍රතයන්ගෙන් සමන්විතවූ ( උපචාර අර්පනා සමාධි විසින් ) මුල, මැද, අග සමසේ පිහිටුවනලද සිත් ඇත්තාවූ දෙවැදෑරුම් ධ්‍යානයෙහි ඇලුනාවූ, මුසුකළ සිහි ඇත්තාවූ, පිණ්ඩපාත සේවනයෙන් ලැබෙන අටවැදෑරුම් ප්‍රයෝජනයෙන් පහනොවූ භොජනය වළඳන්නාවූ මේ සස්නෙහි පහකරණලද රාග ඇති රහත් මහණතෙමේ පරිනිර්වාණ කාලය බලා හිඳින්නේය ´´

ආයුෂ්මත් මහාගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

3. වනවච්ඡ ථෙරගාථා :-  ´´  නිල් වලාකුඑ බඳු සිත් කලුවූ සිහිල් දිය ඇති සුවිසුද්ධ ප්‍රදේශයෝ නොහොත් ආය්‍ර්‍යයන් දරන්නාවූ ( පබලුවන් ) ඉඳුගොව් පණුවන්ගෙන් වැසීගියාවූ ඒ පර්‍වතයෝ මා පිනවාලති.´´ ආයුෂ්මත් වනවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

4. වනවච්ඡ සාමණේර ගාථා :- ´´ සීවකය, මෙයින් වනයට යම්හ  යි උපාධ්‍යයන්වහන්සේ මට කීහ. මගේ කය ගම්හි වෙසේ.මා සිත වනයට ගියේය. සයනය කෙරෙමින් හෝ යෙමි. කවර හෙයින්ද යත් ? නුවණැතියන්ගේ කිසි තැනෙක ඇල්මෙක් නැත. එහෙයිනි ´´ වන වච්ඡ සාමණේරතෙම මේ ගාථාව වදාළේය.

5. කුණ්ඩධාන ථෙරගාථා :-  ´´ කාමරාගාදී ඕරම්භාගීය පස් සංයෝජනයන් සිඳිනේය. රූප රාගාදී උද්ධම්භාගීය පස් සංයෝජනයන් හරණේය. ශ්‍රද්ධාදී පස් ඉන්ද්‍රිය ධර්‍මයන් අනාගාමී මාර්‍ගයෙන් මත්තෙහිත් වඩනේය. පස්වැදෑරුම් සඞ්යන් ( ඇලුම් ) ඉක්මගියාවූ රහත් මහණතෙම  ඕතිණ්ණ ය ´ යි කියනු ලැබේ. ´´  ආයුෂ්මත් කුණ්ඩධාන තෙරණුවෝ මේ ගාථව වදාළහ.

6.  බෙල්ලට්ඨ සීස  ථෙරගාථා :- ´´ යම්සේ යහපත් අං ඇති වෘාෂභාජානීය තෙමේ නගුල් මාර්‍ගයෙහි මද වෙහෙසින් යුක්තව ගමන් කෙරේද, එසෙයින්ම සසරට අයත් ආමිස නොමුසුවූ ඵල සමාපත්ති සුවය ලත්කල්හි මාහට රෑ දාවල් මඳ වෙහෙසින්ම ( සුවසේම ) ඉක්ම යන්නාහ. ´´ බෙල්ලට්ඨසීස නම් තෙරණුවෝ මේ ගාථව වදාළහ.

7.  දාසක ථෙරගාථා :-  ´´ යම් කලෙක පුරුෂතෙම සිත කය පිළිබඳ අලසභාවයෙන් මැඩී ගියේවේද, අධික ආහාර සේවනය ඇත්තේ වේද, නිදන සුඑවූයේ පෙරළි පෙරළී හෝනා සුඑවේද, කෑමෙන් පෝෂණය කරණලද මහත් ඌරකු මෙන් මඳ නුවණැති ඒ පුද්ගලතෙම නැවත නැවතත් මවුකුසට පැමිණේ.´´ මේ ගාථාව ආයුෂ්මත් දාසක තෙරණූවෝ වදාළහ.

8. සිගාලක පිතා ථෙරගාථා:- ´´ බුදුහුගේ නව ලොවුතුරා දහම නමැති දායාදයට හිමිවූ භික්ෂූවක් භෙසකලා නම්වූ වෙනෙහි වෙයි.( හෙතෙම) ඇටසැකිල්ලක් අරමුණු කොට ගෙන වඩන හෙයින් අට්ඨික සඤ්ඤා නම්ලත් භාවනායෙන්  මේ අත් බැව් නමැති මුඑ පොළොව පතුරුවාලීිය.ඒ මහණ තෙම වහාම කාමරාගය පහකෙරේයයි මම හඟිමි.´´ ආයුෂ්මත් සිගාලක පිතු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

9. කුණ්ඩල ථෙරගාථා :- ´´ ජලය බෙදන්නෝ තමන් රිසිරිසි තැනට ජලය ගෙනයති.හී වඩුවෝ හී ඇදහැර ලති.රිය වඩුවෝ ලී නමා ගනිති. ශීලාදී මහා වෘත ඇති ධීරයෝ ආත්ම දමනය කෙරෙත්. ´´ ආයුෂ්මත් කුණ්ඩල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

10. අජිත ථෙරගාථා :- ´´ මරණය නිමිති කොට මට බියෙක් නැත. ජීවිතය කෙරේ ආලයෙක් නැත. තීරණ ප්‍රඥාවෙන් හා මුහුකළ සිහියෙන් යුත් මම ස්වකීය දේහය ඉවත ලා පියන්නෙමි.´´ ආයුෂ්මත් අජිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

1. පළමුවන වර්ගය

ථේර ගාථා-ඒකක නිපාතය-පළමුවන වර්ගය.

ප්‍රථම ගාථා:-

(1)  උතුම් දළ ඇත්තාවූ පර්වත ගුහායෙහි ගුගුරන මෘගරාජයින්ගේ අභීත නාද වැනි (සමථ විදර්ශනා වශයෙන් වඩනා ලද සිත් ඇති) ක්ෂීණාස්‍රවයන්ගේ ආත්මාර්ථාදී අර්ථයන් එළවන්නාවූ ගාථාවන් අසව්.

(11) සුභූති- මහාකොට්ඨිත ආද ීයෝග්‍ය නම් ඇත්තාවූ ගෞතම කාශ්‍යපාදී යෝග්‍ය ගෝත්‍ර ඇත්තාවූ (ශ්‍රද්ධා විමුක්ති ප්‍රඥා විමුක්තීන් අතුරෙන්) යෝග්‍ය උසස් මිදීම් ඇත්තාවූ සප්‍රාඥවූ ක්ෂීණාස්‍රවයෝ නොමැලිව වාසය කළහ.

(111) ඒ ඒ වන රුක්මුල්හි විදසුන් වඩා නිර්වාණ පදයට පැමිණ නිවන් සුව සලකා බලන්නාහූ මේ අර්ථය ගාථා බන්ධන වශයෙන් වදාළහ.

1. සුභූති ථෙර ගාථා:-  ´´ වැසිවළාව, මගේ කුටිය සෙවෙනි කරණ ලද්දීය. සැපය. වාත ප්‍රවේශ රහිතය. තෝ රිසිසේ වසින්න.මගේ සිත ( මාර්ගඵල සමාධීන්ගෙන් ) මොනොවට එකඟ බවෙහි පිහිටියේය.සැම කෙලෙසුන් කෙරෙහි මිදිණ. වීය්‍ර්‍ය සම්පන්නව වෙසෙමි.වැසිවළාව, වසින්න.´´ ආයුශ්මත් සුභූති ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.

2.  මහාකොට්ඨිත ථෙරගාථා :- ´´ සංසිඳුනාවූ, සැම පවින් වැලකුනාවූ, පමණින් යුක්තව කථාකරණ උඩඟු නොවූ මහණතෙම ගසක කොලයක් හෙළාලන සුළඟක් සෙයින් ලාමකවූ, අකුශල ධර්මයන් කම්පාකොට හරණේය.´´ මහා කොට්ඨිත ස්ථවිර තෙම මේ ගාථාව වදාළහ.

3.  කඞ්ඛාරේවත ථෙරගාථා:-  ´´ යම් තථාගත කෙනෙක් තමන් වෙත පැමිණ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ සැක දුරු කෙරෙද්ද, ඒ තථාගතවරයන්ගේ මධ්‍ය රාත්‍රියෙහි දල්වන ලද ගිනි කඳක් මෙන් බබලන මේ ප්‍රඥා මහිමය බලන්න.

´´ ඒ මේ බුදුවරයෝ හික්මිය යුතු ජනයාට ප්‍රඥාලෝකය දෙන්නෝ වෙති.´´ ආයුශ්මත් ඛඞ්කා රේවත ස්ථවිරතෙම මේ ගථාව වදාළේය.

4.  පුණ්ණ ථෙරගාථා:-   ´´ නුවණැත්තාවූ, අත්වැඩ පරවැඩ ආදී හිතාභිවෘධිය දන්නාසුඑවූ බුද්ධාදී සත්පුරුෂයන් හා එක්ව හිඳිනේය. නොපමාවූ විචක්ෂණවූ වීරයෝ ගැඹුරුවූ දැක්මට අපහසු සියුම් ඉතා සියුම් මහත්වූ අර්ථය නම්වූ ආය්‍ර්‍යසත්‍යය මොනොවට අවබොධ කෙරෙත්.´´ ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

5. දබ්බ (මල්ලපුත්ත) ථෙරගාථා :- ´´ යමෙක් අමාරුවෙන් හික්මිය යුතු වූයේ බුදුරදුන් විසින් හික්මවන ලද්දේද, ප්‍රඥාදී මගපලසුවින් හටගත් සතුටු ඇති දුරුකළ සැකඇති කෙලෙස් සතුරන් මැඩ ජය ගත්තාවූ පහවගිය සසර බිය ඇති ( ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන හෙයින්) අචල වූ ඒ දබ්බ තෙමේ ක්ලේෂ පරිනිර්වාණය කෙළේය.´´ ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

6.  සීතවනිය ථෙරගාථා :-  ´´ යම් මහණෙක් තනිව ශීතවනයට පැමිණියේද, ඒ මහණතෙම, ධෛය්‍ර්‍ය සම්පන්න වූයේ ´ කායගතා සතිය ´ රකිමින් සතුටට පත්විය.අග්‍රමාර්ගයෙන් සන්සිඳින. සියලු කෙලෙස් සතුරන් මැඩ ජයගත. පහවගිය ලොමුඩැහැගැනීම් ඇත්තේවී´´ ආයුෂ්මත් සීතවනිය සම්භූත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

7.  භල්ලිය ථෙරගාථා :- ´´ යමෙක් තෙම ඉතා දුර්‍වල උණ හෝ බට ඒදණ්ඩක් පාකොට යන මහා වතුරක් සෙයින් මරසෙනග දුරුකළේද කෙලෙස් සතුරන් ජයගත්, පහවූ බිය ඇති දැමුණු, අචලවූ, ඒ භල්ලිය මහණතෙම කෙළෙස් පිරිනිවනින් නිවීගියේය.´´ ආයුෂ්මත් භල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

8. වීර ථෙරගාථා :- ´´ යමෙක් අමාරුවෙන් හික්මිය යුතුවූයේ බුදුරදුන් විසින් හික්මවන ලද්දේද, මගඵල සුවින් හටගත් සතුටුඇති තරණය කළ සැක ඇති, කෙළෙස් සතුරන් මැඩ ජයගත්තාවූ, පහවගිය ලොමුඩැහැගැනීම් ඇති අචලවූ ඒ වීර මහණතෙම කෙළෙස් පිරිනිවනින් නිවීගියේය. ´´  ආයුෂ්මත් වීරතෙරණුවෝ මේ ගාථාව වදාළහ.

9. පිළින්දිවච්ඡ ථෙරගාථා :-  ´´ මාගේ මේ පැමිණීම මනා පැමිණීමකි.නපුරු පැමිණීමක් නොවේ. ( බුදුන් වෙත පැමිණෙමැයි) මා විසින් සිත විමසන ලද්දේද, නපුරු විමසීමක් නොවේ. ( ඒ ඒ ශාස්තෘවරයන් විසින් නොයෙක්ලෙස ) විභාග කොට දෙසනලද ධර්‍මයන් අතුරෙහි යම් ධර්‍මයක් අතිශයින් උතුම් වේද, ඒ ආය්‍ර්‍ය සත්‍යධර්‍මයට මම පැමිණියෙමි.´´ ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

10. පුණ්ණවාස ථෙරගාථා :-  ´´ යමෙක් මාර්‍ගඥාන පිළිවෙලින් නිවන් පැමිණියේ ද, සතර සත්‍යයන් දැනසිටියේද, කෙළෙස් නිවීමෙන් සංසිඳුනේද, සැමපවින් වැළකීගිය සිත් ඇත්තේද, මෙලොවෙහි හා පරලොවෙහි තෘෂණාව වෙසෙසින් හැර දැමුයේ වේද, හෙතෙම ලෝකයාගේ ඇතිවීමද නැතිවීමද, දැන සියලු රූපාදී අරමුණු සයෙහි නොතැවරී සිටින්නේය ´´ යි ආයුෂ්මත් පුණ්ණමාස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

(පළමුවන වර්‍ගය නිමි.)