අනාථපිණ්ඩික වර්‍ගය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්ධසස

1. චන්‍දිමස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි චන්‍දිම දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක්පසෙක සිටි ඒ චන්‍දිමස නම් දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

3. ´´යම් කෙනෙක් ධ්‍යානයනට පැමිණ, එකඟ සිතැතිව,ප්‍රඥා ඇතිව, සිහි ඇතිව වෙසෙත්ද, ඔහු වනාහි පර්‍වත දැලක හෝ ගංගා දැලක හෝ වසන මුවන් මෙන් සැපයට පැමිණෙන්නාහ.´´

4. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් කෙනෙක් ධ්‍යාන ලැබ නොපමාව කෙලෙස් නසන්නේද, ඔහු තුමූ නූල් දැලක් බිඳගෙන මිදී යන මාලුවෙකු මෙන් පරතෙරට (නිවනට) යන්නාහ.´´

__________

2. වෙණ්හු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

3. ´´යම් කෙනෙක් සුගතයන් වහන්සේ ආශ්‍රයකොට නොපමාව ගෞතම ශාසනයෙහි යෙදී ශික්‍ෂා පුරත්ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන්ම සැප ඇත්තෝම වෙත්.

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´වෙණහුවෙනි, යම් කෙනෙක් ධ්‍යානයෙහි ඇලුණේව මා කී අනුශාසනා පදයන් අනුව හික්මෙත්ද, සුදුසු කාලයෙහි නොපමාවන ඔවුහු මරහුට වසඟ නොවන්නාහ.´´

__________

3. දීගලට්ඨි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:

2. ´´මේ රහත් බව අනුසස් කොට ඇති මහණතෙම (ශාසනයෙහි) හෘදය යයි කියනලද රහත්බව පතන්නේනම්, ධ්‍යානයෙහි ඇලුණෙක් වන්නේය. සංස්කාරයන්ගේ පහළ වීමත්, නැසීයාමත්, විදර්‍ශනා ඥානයෙන් දැන, තන්හා දෘෂ්ටීන් ඇසුරු නොකෙළෙක් වන්නේය. යහපත් සිත් ඇතියෙක්ද වන්නේය.´´

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි නන්‍දන නම් දිව්‍යපුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ නන්‍දන දිව්‍යපුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ )කීය:

2. ´´මහත් නුවණ ඇති ගෞතමයන් වහන්ස, භගවත්වූ ඔබගේ ඥානදර්‍ශනය, ආවරණ රහිතය, එසේවූ ඔබ අතින් විචාරමි. කෙබන්දකු සිල්වතකුකොට කියත්ද? කෙබන්දකු ප්‍රඥාවන්තයකු කොට කියත්ද? කෙබන්දෙක් දුක් ඉක්මවා වෙසේද? කෙබන්දකු දෙවියෝ පුදත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමෙක් සිල් ඇත්තේද, නුවණ ඇත්තේද, වඩනලද සිත ඇත්තේද, සමාධියට පැමිණියේද, ධ්‍යානයෙහි ඇලුනේද, එළඹ සිටි සිහි ඇත්තේද, ඔහුගේ සියලු ශෝක පහව ගියේද, පුහීණවීද, (කාමාදී) ආශ්‍රවයන් නැසුයේද, අන්තිම ආත්මය දරන්නේද, එබඳු පුද්ගලයා සිල්වතියයි කියත්, ප්‍රඥාවන්තයායයි කියත්. එබඳු පුද්ගලයා දුක් ඉක්මවා වෙසේ. එසේවූ තැනැත්තහු දෙවියෝ පුදත්.

__________

5. චන්‍දන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි චන්‍දන නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි ඒ චන්‍දන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´මෙහි කවරෙක් නම් රෑ දාවල් අනලස්වූයේ සතර ඕඝය (කාමාදී ජලස්කන්‍ධ සතර) තරණය කට හැක්කේද? යටින් පය ගසන්ට ආධාරයක් නැති, උඩින් එල්බ ගන්ටද කිසිත් නැති, ගැඹුරු (සතර ඕඝයන්හි) මහවතුරෙහි කවරෙක් නම් කිඳා නොබස්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´හැම කල්හි සම්පූර්‍ණවූ සිල් ඇති, ප්‍රඥා ඇති, යහපත් සමාධියෙන් යුක්තවූ, සම්පූර්‍ණකළ වීය්‍ර්‍ය ඇති, නිවන් කරා යවනලද සිත් ඇති මහණතෙම තරණයට (ඉක්මවන්නට) දුෂ්කරවූ (සතර ඕඝය) මහවතුරු ඉක්මවයි.´´

´´යමෙක් කාමසංඥායෙන් පහවූයේද, රූපාරූප සංයෝජන ඉක්මවූයේද, ක්‍ෂයකළ නන්‍දිරාගයයි කියනලද ත්‍රිවිධ කර්‍මාභිසංස්කාරයන් ඇත්තේද, එසේවූ (රහත්) පුද්ගල තෙම (ගැඹුරු සතර) මහවතුරෙහි නොකිඳෙයි.´´

__________

6. සුදත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුදත්ත නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සුදත්ත දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම කාමරාගය දුරලනු පිණිස සිහි ඇතිව උත්සාහ කරන්නේය.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු ගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම සිහි ඇතිව සත්කාය දෘෂ්ඨිය වනසනු පිණිස (උත්සාහීව) වසන්නේය.´´

__________

7. සුබ්‍රහ්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්‍රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:

´´නූපන් දුක් අරමුණු කොටද, උපන් දුක් අරමුණු කොටද, (මගේ) මේ සිත නිතරම තැති ගත්තේය. මේ සිත නිකර බියෙන් සැලුනේ වෙයි. ඉදින් නොකැතිගත් සිතෙක් ඇත්නම් මවිසින් විචාරන ලද ඔබ එය මට වදාරන්න.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´(සප්ත) බෝධ්‍යඞග වැඩීමෙන් වෙන්ව, තපෝ ගුණයෙන් වෙන්ව, ඉන්‍ද්‍රිය සංවරයෙන් (ශීලයෙන්) වෙන්ව, නිවනින් වෙන්ව, සත්නට සුවයක් නොදකිමි.´´

__________

8. කකුධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ශුමණය, සතුටුවෙහිදැ?´´ යි ඇසීය. ´´ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?´´යි (භාග්‍යවත්හු ඇසූහ.) ´´එසේනම් ශ්‍රමණය, ශෝක කෙරෙහිදැ?´´යි (දෙව්පුත් ඇසීය.) ´´ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?´´යි (භාග්‍යවත්හු ඇසූහ.) ´´එසේනම් ශ්‍රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?´´යි (දෙව්පුත් ඇසී.) ´´ඇවැත්නි, එසේය´´යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)

3. ´´මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද? කිම, හුදෙකලාව ඉන්නා ඔබ වෙත කලකිරීම නොපැමිනේද?´´ (දෙව්පුත් ඇසීය.)

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යක්‍ෂය, මම ඒකාන්‍තයෙන් නිදුක්වෙමි. එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.´´

5. ´´මහණ, ඔබ කෙසේ නම් නිදුක්වහුද? ඇල්ම කෙසේ නම් නැත්තෝද? කලකිරුම හුදෙකලාවූ ඔබ කෙසේ නම් නොමැඩලාද?´´ (දෙව්පුත් ඇසීය.)

6. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´සසර දුකෙහි පිහිටියාහට තණ්හාව ඒකාන්‍තයෙන් වෙයි. උපන් තණ්හා ඇත්තහුට ඒකාන්‍තයෙන් දුක් ඇතිවෙයි. මම්වූ කලී තණ්හා නැති, එහෙයිම දුක්ද නැති භික්‍ෂුවක් වෙමි. ඇවැත්නි මෙය මෙසේ දැනගන්න.´´

7. ´´පව් දුරලූ, පිරිනිවනින් නිවුණු, තණ්හාව නැති, දුක් නැති, ලොල් ඇල්ම ඉක්මවූ, භික්‍ෂුවරයකු බොහෝ කලකින් දුටිමි´´යි දෙව්පුත් කීය.

__________

9. උත්තර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි උත්තර නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි උත්තර දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

2. ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට එළඹියාහට එය වළකාලිය හැකි රැකවරණෙක් නැත. මේ මරණ භය සලකා සුව ගෙනදෙන පින් කටයුතු.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට පැමිණියාහට රැකවරණ නැත. මේ මරණ භය සලකා නිවන් කැමැත්තේ ලෞකික ආශාව දුරු කටයුතුය.´´

__________

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්Ȁdධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්Ȁdධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුමි.´´

3. අනේපිඬු දෙව්පුත් තෙම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. ´´මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්Ȁdධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්Ȁdධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.

5. මහණෙනි, ඒ දෙව්පුත් මෙසේ කීය. මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.´´

6. මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරතෙම ´´ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය. අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි´´යි කීයේය.

7. ´´ආනන්‍දය, මැනවි, මැනවි. ඔඔ විසින් සිතීමෙන් යම්තාක් පැමිණිය යුතු නම්, ඒතාක්ම පැමිණිණ. ආනන්‍දය, ඒ දෙව්පුත් අනාථපිණ්ඩිකමය´´යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

දෙවෙනි අනාථපිණ්ඩික වර්‍ගයයි.

__________

සූරිය වර්‍ගය

1. කස්සප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල කාශ්‍යප දේව පුත්‍රතෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක්පසෙක සිටි ඒ කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව (මෙසේයයි) පැවසූසේක. එහෙත් භික්‍ෂුවට අනුශාසනය නොපැවසූ සේක.´´

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාශ්‍යපය, එසේ නම් එය ඔබටම වැටහේවා.´´

3. (දෙවිපුත් තෙම මෙසේ කීය: ´´වාක් සුචරිතය පුරුදු කරන්නේය. මහණුන් විසින් වැඩිය යුතුවූ කමටහන්ද වඩන්නේය. නොහොත් බහුශ්‍රුත මහණුන් ඇසුරු කිරීමද කළයුතු. හුදකලාව ඒකාසනිකාංගයද පුරුදු කරන්නේය. අෂ්ට සමාපත්ති වශයෙන් සිත සංසිමද පුරුදු කරන්නේය.

4. කාශ්‍යප දෙව්පුත් මෙය කීය. භා්‍යවතුන් වහන්සේ එය මැනවයි අනුමත කළසේක. ඉක්බිති කාශ්‍යප දෙව්පුත් තෙම, ´´ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුදත් සේකැ´´ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එහිම අතුරුදහන් විය.

__________

2. (දෙවැනි) කස්සප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාශ්‍යප දේව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්මුණු කල මනාපැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කීය:

2. ´´රහත් බව කැමැත්තේ නම්, මහණ තෙම ධ්‍යාන කරන්නෙක් විය යුතු. (කර්‍මස්ථාන විමුක්තියෙන්) මිදුණු සිතැත්තෙක් විය යුතු. (සංස්කාර) ලෝකයේ හටගැන්මත් විනාශයත් දැන, මනා සිතැත්තේව, තණ්හා දෘෂ්ටින් ඇසුරු නොකෙළෙක්ව, ඒ රහත් බව අනුසස් කොට ඇත්තෙක් විය යුතු.´´

__________

3. මාඝ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:

2. ´´කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආය්‍ර්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.

__________

4. මාගධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි මාගධ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ගාථායෙන් (මෙසේ) කීය:

2. ´´යමෙකින් ලොව ආලෝකවත් වේ නම්, එසේ වූ පහන් කීයෙක් ලොව වෙත්ද?

භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට අවුක් සිටිමු. එය අපි කෙසේ දැනගත හැක්කෙමුද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ලොව පහන් සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද ගින්න රෑ දවල් දෙක්හිම ඒ ඒ තැන බබළයි. බබළන්නවුන් අතුරෙන් සම්‍යක් සම්බුද්Ȁdධ තෙම ශ්‍රෙෂඨයි. මෙම නිරුත්තර ආලෝකයයි.´´

__________

5. දාමලි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. මෙහි (මේ සස්නෙහි) බ්‍රාහ්මණයා (රහත්හු) විසින් අකුසීතව (ප්‍රධන්) වීය්‍ර්‍යය කටය්‍රතුය. කාමයන් දුරලීමෙන් ඔහු භවය නොපතයි.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´දාමලිය, බ්‍රාහ්මණයා විසින් (රහත්හු විසින්) නැවත කළ යුත්තෙක් නැත. බ්‍රාහ්මණතෙම (රහත් තෙම) ඒකාන්තයෙන් කොට නිමවූ කටයුතු ඇත්තේය. සත්ත්‍ව තෙමේ ගංගාවෙහි ස්ථිරව සිටීමට තැනක් නොලබන තෙක්ම සියලු ශරීර අවයවවලින් (ගොඩනගින්නට) තැත් කෙරේ. ඔහු ස්ථිරව සිටීමට තැනක් ලැබ සිටගත්තේ (ඉන්පසු) උත්සාහ නොගනී. කවර හෙයින්ද යත්, ඔහු එගොඩ වූයේය. එබැවිනි. දාමලිය, ප්‍රඥා ඇති, ධ්‍යානයෙහි ඇලුණු, ආශ්‍රව නැසූ, පව් බැහැර කළාහට මේ උපමාවෙකි. ඔහු ජාති මරණ දෙකේ කෙළවරට පැමිණ, ඒකාන්තයෙන් (භව සාගරයේ) පරතෙරට ගියේ, උත්සාහ නොකෙරේ.´´

__________

6. කාමද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාමද දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

2. එක් පසෙක සිටි කාමද දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට, ´´භාග්‍යවතුන් වහන්ස, දුස්කරය, අතිශයින් දුෂ්කරය´´ යි කීය.

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, ශීලයෙන් යුක්තවූ ස්ථිර සිත් ඇති,

ශෛක්‍ෂයෝ දුෂ්කරවූද මහණදම් කරත්, ගිහිගෙන් වෙන්වූ බවට පැමිණියාහටම සැප ගෙන දෙන ලද දැයෙහි සතුට වෙයි.´´

4. ´´භාග්‍යවතුන් වහන්ස, මේ ලද සිවුපසයෙහි සතුටය යන යමෙක් ඇද්ද, එයද දුර්ලභ දෙයකි.´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, දිවා රෑ දෙක්හි යම් කෙනෙකුන්ගේ සිත (භාවනායෙහි) ඇලුණේද, සිත සන්සිඳීමෙහි ඇලුණු ඔවුහු දුර්ලභවූ නමුදු ඒ සතුට ලබත්.´´

6. ´´භාග්‍යවතුන් වහන්ස, මේ සිත නම් වූ යමක් ඇද්ද, එය එකඟ කිරීම දුෂ්කරය.

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, (චක්‍ෂුරාදී) ඉන්‍ද්‍රියයන් සන්සිඳවීමෙහි ඇලුණෝ එකඟකිරීමට දුෂ්කරවූ නමුදු (සිත) එකඟ කරත්. ඒ ආය්‍ර්‍යයෝ මරහුගේ දැල (කෙලෙස් දැල) සිඳදමා යෙත්.´´

8. ´´භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය දුකසේ යා යුතුය, විෂමය.´´

9. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කාමදය, ආය්‍ර්‍යයෝ දුකසේ යායුතුවූද මාර්‍ගයෙහි යෙත්. අනාය්‍ර්‍යයෝ යටිකුරුවූ හිස ඇත්තෝ විෂම මාර්‍ගයෙහි වැටෙත්. මාර්‍ගය ආය්‍ර්‍යයන්ට සමය, ආය්‍ර්‍යයෝ සම නුවූයෙහි සම වූවෝයි.´´

__________

7. පඤචාලචණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි පඤචාලචණ්ඩ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ පඤචාලචණඩ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨවූ යම් බුද්Ȁdධ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේද, මහත් ප්‍රඥා ඇති හෙතෙම අවහිරයෙහි ඉඩ ලැබීය.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´පඤචාලචණ්ඩය, නුවණැත්තෝ අවහිරයෙහි පවා (නිවන් පිණිස) ධ්‍යාන ලබත්. යම් කෙනෙක් නිවන් ලබනු පිණිස සිහිය ලැබුවාහුද, ඔහු හොඳින් (ලෝකෝත්තර) සමාධියෙන් සමාහිත වූවෝය.´´

__________

8. තායන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිත්තෙන් පෙර අත්බැව්හි තීර්‍ථකරව සිටි තායන දෙව්පුත් තෙම රෑ මැදුම්යම්හි බබළන ශරීර ප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ තායන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

2. ´´බ්‍රාහ්මණය, වීය්‍ර්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය (ධ්‍යානයන්) නොලබයි.

3 ´´ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.

4. ´´පව් නොකළේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.

5. ´´වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්ද) නිරයට ඇද දමයි.

6. ´´යම් ලිහිල් මහණකමක් වේද, කිලිටිවූ යම් සීලයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ.

7. තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.

8. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම ගිය පසු භික්‍ෂූන්ට කථාකළ සේක.

´´මහණෙනි, මේ (ගතවූ) රැයෙහි පුරාණ තීර්‍ථංකරවූ තායන නම් දෙව්පුත් රෑ පෙරයම ඉක්මුණුකළ බබළන ශරීරය ඇත්ාත් සියලු ජේතවනය බබුළුවා මම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ මා වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි තායන දෙව්පුත් මා සමීපයෙහි,

´´බ්‍රාහ්මණය, වීය්‍ර්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය ධ්‍යානය නොලබයි.

´´ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.

´´පව් නොකරන ලද්දේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.

´´වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්දා) නිරයට ඇද දමයි.

´´යම් ලිහිල් කොට ගත් මහණකමක් වේද, කිලිටිවූ යම් (ධුතාඞග) ව්‍රතයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ´´ යි කීය.

´´මහණෙනි, තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.

´´මහණෙනි, තායන දෙව්පුත්ගේ ගාථා උගනිවු. මහණෙනි, තායන ගාථාවන් පුහුණු කරවු. මහණෙනි, තායන ගාථා යහපත පිණිස වෙයි. මාර්‍ග බ්‍රහ්මචරියාවට ආදිය (මුල) වේය´´ යි වදාළ සේක.

__________

9. චන්‍දිම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.

´´බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.´´

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

´´එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.´´

3. එවිට රාහු අසුරිඳු චන්‍දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.

´´එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්‍දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?´´

4. (එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ´´බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්‍දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.´´

__________

10. සූරිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූය්‍ර්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූය්‍ර්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

´´බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.´´

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූය්‍ර්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

´´එම්බා රාහු, සූය්‍ර්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.´´

´´එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූය්‍ර්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූය්‍ර්‍යයා අතහරුව,´´

3. එකල රාහු අසුරිඳු සූය්‍ර්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

´´එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?´´

4. (එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ´´බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූය්‍ර්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය..ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.´´

ප්‍රථම වර්‍ගයයි.

නාන තිත්‍ථිය වර්‍ගය

1. සිව සූතුය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සිව දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ සිව දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

2. ´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන එය පිළිපදින්නාහට අභිවෘද්ධිය වෙයි. කිසිදු අවැඩක් නොවෙයි.

´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමග මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන් පිළිපදින්නහුට ප්‍රඥාව ලැබේ. අන් කෙනෙකුන්ගෙන් ප්‍රඥාව නොලැබේ.

´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සද්Ȁdධර්‍මය දැන පිළිපදනේ ශෝක වස්තු මැද ශෝක නොකෙරේ.

´´සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ද්Ȁdධර්‍මය දැන පිළිපදින්නේ නෑයන් මැද බබළයි.

´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන සත්ත්‍වයෝ ස්වර්‍ගයට යෙත්.

´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන පිළිපැදීමෙන් සත්ත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්. ´´

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දිව්‍යපුත්‍රයාට මෙසේ පෙරළා වදාළ සේක:

´´සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සදහම් දැන පිළිපදනේ සියලු දුකින් මිදේ. ´´

__________

2. ඛෙම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු ඛෙම දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි ඛෙම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

´´යම් කර්‍මයෙක් නපුරු විපාක ඇත්තේද අනුවණ බාලයෝ එසේවූ පව්කම් කරන්නාහු තමන්ට සතුරකු වැනි ආත්මභාවයෙන් යුතුව හැසිරෙත්.

´´යමක් කිරීමෙන් පසුතැවේද, කඳුළු පෙරෙන මුහුණ ඇතිව යම් කර්‍මයෙක නපුරු විපාකය විඳීද, එසේවූ පාප කර්‍මය නොකිරීම යහපති.

´´යමක් කිරීමෙන් එය කළ තැතැත්තේ නොපසුතැවේද, පිණා ගියෙක්ව, සතුට ඇතිව යමෙක විපාක සැපය විඳීද, එසේවූ කුසල් කිරීම යහපති.

´´යමක් තමහට වැඩ සලසතැයි දන්නේද, එය පළමුවෙන්ම කළයුත. ු ඥානවන්තයා ගැල් පදවන්නා මෙන් නොදැඟලිය යුතු.

´´ගැල් පදවන්නා සම මාර්‍ගයවූ මහා මාර්‍ගය හැර විෂම මගට නැගගොස් කැඩුණු කඩඇණය ඇතියේ යම්සේ සිතිවිලි සිතාද, එපරිද්දෙන් අඥානතෙම දහමින් වෙන්ව අදහම් අනුව ගොස්, මරුමුවට පැමිණියේ කඩඇණය සුන් ගැල්කරු සේ සිතිවිලි සිතයි.´´

__________

3. සේරී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සේරී දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සේරී දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

´´දෙවි, මිනිස් දෙකොටසම ඒකාන්තයෙන් ආහාර කැමතිවෙත්. එසේ කල්හි ආහාර කැමති නොවනුයේ කුමන යකෙක්ද?

3. (දෙව් පුත්: ස්වාමීණි පුදුමයි, ස්වාමීනි ඉතා පුදුමය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් මනාකොට වදාරණ ලද්දේද?

(එඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක,) ´´යම් කෙනෙක් ශ්‍රද්Ȁdධාවෙන් හොඳින්, පැහැදුන සිතින් ආහාර දෙද්ද, ඒ ආහාරයේ විපාකය මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.

´´එබැවින් මසුරු මල දුර ලන්නේය. (දුර ලියයුතු.) මසුරු මල දුරුකළ කෙනෙක්ව දන් දෙන්නේය. පරලොවදී සත්ත්‍වයාට පිහිට නම් පින්ය.´´

4. ස්වාමීනි, පෙර වූවක් කියමි. මම (පෙර) දන් දෙන (දායක්වූ) දානපතිවූ, දීමෙහි ගුණ කියන, සේරී නම් රජෙක් වීමි. ස්වාමීනි, ඒ මගේ (නුවර) සතර දොරෙහි මහණ, බමුණු, දුගී, මගී, පුලන්නන්, යාචක යන මොවුන්ට දන් දෙනු ලැබීය.

5. ස්වාමීනි, ඉක්බිති ස්ත්‍රී නිවාසයෙහි වසන ස්ත්‍රීහු මා කරා පැමිණ ´දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. අපගේ දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙන්නට ලබන්නමෝ නම්, පින් කරන්නට ලබන්නමෝ නම්, ඒ යහපතැ´ යි කීහුය.

6. ස්වාමීනි, ඒ (ඇසූ) මට මේ සිත විය.: ´මම දායකයෙක්මි. දානපති වෙමි. දීමෙහි ගුණ කියන්නෙමි, දන් දෙන්නෙමුයි නියන්නවුන්ට කුමක් නම් කියම්ද? ස්වාමීනි, ඒ මම (නුවර) පළමු දොර ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ට පැවරීමි. ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ගේ දානය දෙන ලද්දේය. මගේ දානය නැවතිණ.

7. ඉක්බිති, ස්වාමීනි, සේවක ක්‍ෂත්‍රියයෝ මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. ස්ත්‍රී නිවාසයේ ස්ත්‍රීන්ගේද දන් දෙනු ලැබේ. අපගේ වූකලී දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ ඇසුරුකොට දන් දිය හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ ඇසූ මට මේ සිත විය: ´මම් වූකලී දායකයෙක්මි. දානපතියෙමි. දීමෙහි ගුණ සුල්ලෙමි, දන් දෙන්නෙමුයි කියන්නවුන්ට කෙසේ නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම් වනාහි දෙවෙනි දොර සේවක ක්‍ෂත්‍රියයන්ට දිනිමි. (එවිට) සේවක ක්‍ෂත්‍රියයන්ගේ දානය දෙන ලදී. මගේ දානය නැවතිණ.

8. ´´ ස්වාමීනි, ඉක්බිති, බල සෙනග මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ දානය නම් දෙවේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගෙත් දානය දෙනු ලැබේ. අපේ දානයක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන්දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ මට මෙසේ සිත් විය: ´මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. දන් දෙන්නෙමුයි කියන කල්හි කුමක් නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම තෙවෙනි දොර බල සෙනගට දිනිමි. එහි බල සෙනගගේ දානය දෙන ලදී. මගේ දන නැවතිණ.

9. ´´ස්වාමීනි, එයින් පසු බමුණෝත්, ගෘහපතියෝත් මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ නම් දන දෙනු ලැබේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගේත් දන දෙනු ලැබේ. සේවක ක්‍ෂත්‍රියයන්ගේත් දනද දෙනු ලැබේ. බල සෙනගගේත් දන දෙනු ලැබේ. අපේ දනෙක් නොදෙනු ලැබේ. යහපත, අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ මට මෙසේ සිත විය: ´මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. ඒ මම් ´දන් දෙන්නෙමු´ යි කියන්නවුන්ට කුමක් නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම සතරවෙනි දොර බමුනන්ටත්, ගෘහපතීන්ටත් දිනිමි. එහි බමුණන්ගේත් ගැහැවැයන්ගෙත් දන දෙන ලදී. මගේ දන නැවතිණ.

10. ´´ස්වාමීනි, ඉක්බිති (මගේ) රාජ පුරුෂයෝ මා වෙත පැමිණ, ´දැන් වනාහි දේවයන් වහන්සේගේ දනෙක් කිසිම තැනෙකත් නොදෙනු ලැබේ´ යයි කීහ.

´´මෙසේ කියනු ලැබූ මම ´ස්වාමීනි, ඒ රාජපුරුෂයින්ට මෙසේ කීවෙමි. ´එසේ නම් බැහැර දනව්වල යම් ආදායමෙක් උපදීද, එයින් හරි අඩක් ඇතුළු නුවරට ඇතුල්කරව්. අඩකින් එහිම මහණ, බමුණු, දුගී, මගී, යදියනට දන්දෙවු´ යයි කීමි.

11. ´´ස්වාමීනි, ඒ මම පින් මෙතෙකැයි කියා හෝ, පින්පල මෙතෙකැයි කියා හෝ, ස්වර්‍ගයෙහි මෙතෙක් කල් සිටිය යුතුයයි කියා හෝ, මෙසේ දික් කලක් කළ පින්වල, මෙසේ දික් කලක් කළ කුසල්වල කෙළවරකට නොපැමිණෙමි.

12. ´´ස්වාමීනි, පුදුමයි ,´ ඉතා පුදුමයි.´ හොඳින් පැහැදුන ශ්‍රද්Ȁdධා සිතින් ආහාර දෙද්ද, එහි විපාක මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.

´එබැවින් මසුරුමල දුරලන්නේය. (දුරලිය යුතුය,) මසුරුමල දුරුකළ කෙනෙක්ව දන් දිය යුතුය. පරලොවදී සත්ත්‍වයාට පිහිටවනුයේ පින්ය.´

__________

4. ඝටීකාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ඝටීකාර දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ගෙවුනු පසු බබළන ශරීර පැහැ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ ඝටීකාර දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

2. ´´ස්වාමීනි, භික්‍ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ, රාග ෙවෂයන් නැසුවෝ, ලොව ඇල්ම තර්ණය කළහ.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ, සංසාරවර්‍තය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද? කවුරුනම් මිනිස් කය හැර දිව්‍යයෝගය ඉක්මවාලූවෝද?´´

4. (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ´´උපක ද, පලගණ්ඩ ද, පුක්කුසාති ද යන මොවුන් තුන් දෙනාත්, භද්දිය ද, ඛන්ඩදේව ද, බාහුරග්ගි ද, පිඞ්ගිය ද යන මොවුන් මනුෂ්‍ය දේහය හැර, දිව්‍යයෝගය ඉක්මවූහ.´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මරහුගේ මළපුඩුව දුරලූ ඔවුන්ගේ ගුණ ඔබ කීයෙහිය. ඔවුහු කාගේ ධර්‍මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?´´

6. ´´ඔවුහු යමෙකුගේ ධර්‍මය දැන සසර බැම්ම සින්දෝ නම්, ඒ භාග්‍යවතුන්ගේ මිස අනෙකෙකුගේ නොවේ. ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.

යම් තැනෙක්හි සියලු නාමයත්, සියලු රූපයත් නිරුද්Ȁdධවේද, ඒ (නිර්‍වාණ) ධර්‍මය ඔවුහු මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ´´ යයි ඝටීකාර බ්‍රහ්මයා කීය.

7. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´දුකසේ දතයුතු අර්‍ථ ඇති, දුකසේ අවබෝධ කටයුතු අර්‍ථ ඇති, ගැඹුරු වචනයක් කීයෙහි, ඔබ කාගේ ධර්‍මයක් දැනගෙන මෙබඳු වචනයක් කීයෙහිද?´´

8. (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ´´මම පෙර වේහලිඞ්ග ගම වළන් සාදන (ඝටීකාර නම්) කුඹලෙක් වීමි. මවු පියන් රැක බලා ගන්නා ඒ මම කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.

´´මෛථුන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්‍රහ්මචාරී (හෙවත් අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් විමි. ඒ පෙර ආත්මබවයේ ඔබගේ යහළුවා වීමි.

´´ඒ මම රාග, ෙවෂ, මොහ ක්‍ෂය කළ ලොව තණ්හාව ඉක්මවූ, කෙලෙසුන්ගෙන් මිදුණු මේ භික්‍ෂූන් සත් දෙනම දනිමි.´´

9. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද, එසේම එය විය.

´´ පෙර ඔබ වේහලිඞ්ග ගම වළන් සාදන (ඝටීකාර නම්) කුඹලෙක් වූයෙහි. මවු පියන් රක්නෙක් වූයෙහි. කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.

´´මෛථුන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්‍රහ්මචාරී (හෙවත් අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් විමි. ඒ පෙර ආත්මබවයේ ඔබගේ යහළුවා වීමි.

´´මෛථුන සේවනයෙන් වැළකුණු, නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි. මගේ ගමෙහි වැසියෙක් වූයෙහි. පෙර මගේ මිත්‍රයා වූයෙහි.

10. (මෙසේ භාවනාවෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.)

__________

5. ජන්තු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්‍ය කුටියෙක බොහෝ භික්‍ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්‍ර.්‍ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්‍රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.

2. එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්‍ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:

´´පෙරැ ගෞකම ශ්‍රාවකවූ භික්‍ෂූහු තණ්හාව නැතිව පිඬු සොයන්නාහු, තණ්හාව නැතිව සෙනසුන්

සොයන්නාහු, සුවසේ දිවි පවත්වන්නෝ වූහ. ලොව අනිත්‍යතාව දැන ඔවුහු දුක් නෙළවර කළහ.

´´එහෙත් දැන් ඇතැම් භික්‍ෂූහු තමන් දායකයන් විසින් ලෙහෙසියෙන් පෝෂිත කළ නොහැක්කවුන් කොටගෙන ගමෙහි ගම් දෙටුවන් සේ අන් ගෙවල්හි ක කා මුළාව නිදත්.

´´සංඝයාට ඇඳිලිකොට (වැඳ) කියමි. මෙහි ඇතැම් පැවිදි කෙනෙක් ඈතට තුමූම නෙරපුණේ (එහෙයින්) අනාථවූයේ, සොහොනෙහි දමා ගිය මළසිරුරු බඳු වෙත්.

´´යම් කෙනෙක් වනාහි පමාව වෙසෙත්ද, ඔවුන් සඳහා මෙය මා විසින් කියන ලදී. යම් කෙනෙක් නොපමාව වෙසෙත්ද, ඔවුන් හැමට මම නමස්කාර කෙරෙමි.´´

__________

6. රොහිතසස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු රොහිතස්ස දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි රොහිතස්ස දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙසේ කීය.

2. ´´ස්වාමීනි, යම් තැනෙක නොඋපදීනම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒ ලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ඇවැත්නි, යම් තැනෙක්හි ඉපැද්මෙක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමෙක් නැද්ද, ඒ ලෝකාන්තය ගමනෙකින් දත හැක්කැයි, දැක්ක හැක්කැයි, එහි යාගත හැක්කැයි මම නොකියමි.´´

4. ´´ස්වාමීනි, ´යමෙක්හි ඉපදීමෙක්, ජරායෙක්, මරණයෙක්, චුතවීමෙක්, නැවත ඉපදීමෙක් නැත්නම් එය ගමනින් දත හැක්කැයි නොකියමි´ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ෂ්වාමීනි, ආශ්චය්‍ර්‍යයි.´ ස්වාමීනි, පුදුමයි.´

5. ´´ස්වාමීනි, පෙර මම් ඎද්Ȁdධිමත්, අහසින් යත හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඎෂියෙක් වීමි. දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදුබව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද්ව යුද්ධ ඇති, රාජාදීන් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහත්ම දුන්නක් අත ගත් දුනුවායෙක් හෑල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද, එබඳුවූ ගමන් වේගයක් මට විය.

6. ´´පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තැබීමෙක් විය. ඒ මට ලොව කෙලවරට ගමනින් පැමිණෙන්නෙමියි´´ ආශාවෙක් විය.

7. ´´ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පිය ඉක්මවා තැබීමෙන්ද, සමන්විත වූයෙම්, කන බොන වේලාවල් හැර, මල මූත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා විඩා දුරුකරනා වේලාවල් හැර, හවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියක් ජීවත් වන්නෙම්, අවුරුදු සියක්ම ඎද්Ȁdධිමය ගමනින් ගොස් ද ලොව කෙළවරට නොපැමිණ අතර (මග)දීම මැරුණෙමි.

8. ´´පුදුමයි .´ ස්වාමීනි, ඉතා පුදුමයි.´ ස්වාමීනි, ´යමෙක ජාතියෙක්, ජරාවෙක්, මරණයෙක්, චුතවීමෙක්, මැරී නැවත ඉපදීමෙක් නැත්නම් ඒ ලෝක කෙළවර, ගමනින් දතහැක්කැයි, දැක්ක හැක්කැයි, පැමිණිය හැක්කැයි නොකියමි.´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළා කොතරම් සරිද?´´

9. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´එතෙකුදු වුවත් ඇවැත්නි, ලොවේ කෙලවරට නොපැමිණ, දුක් කෙළවර කිරීමක් මම නොකියමි. තවද ඇවැත්නි

සංඥා සහිතවූ, සිත සහිතවූ, බඹයක් තරම්වූ මේ ආත්ම භාවයෙහිම, ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමී ප්‍රතිපත්තියත් පණවමි.´´

10. ´´ලොව කෙළවරට ගමනෙකින් කිසි කලෙකත් පැමිණිය නොහැක්ක, ලොව කෙළවරට නොපැමිණත් දුකින් මිදීමෙක් නැත.

´´එබැවින් ලොව දන්නා, මනා නුවණැති, (සංස්කාර) ලෝකයේ කෙළවරට ගිය, වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාව ඇති, කෙලෙසුන් සංසිඳුවාලූ (රහත්) පුද්ගලතෙමේ (සංස්කාර) ලෝකයේ කෙළවර දැන, මෙලොවද, පරලොවක්ද, නොපතයි.´´

__________

7. නන්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍ද දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´කාලයෝ ඉක්මයෙත්. රාත්‍රීහු මරණයට පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ භය මරණ ලා දක්නේ සැප ගෙන දෙන පින් කරන්නේය.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු මරණයට පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය සලකන්නේ පරම ශාන්තිය පතා ලෞකික ආශාව දුරලන්නේය.

__________

8. නන්‍දිවිසාල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍දිවිසාල දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ නන්‍දිවිසාල දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´මහා වීරයන් වහන්ස, රෝද සතරක් ඇති, දොර නවයක් ඇති, අසූචියෙන් පිරුණු ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීර යානයාගේ මිදී යෑම කෙසේ වන්නේද?´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´බද්Ȁdධ වෛර නමැති ලනුවද, (සෙසු කෙලෙස් නමැති) වරපටද, නොලත් දෙයෙහි ආශාවද, ලත් දැයෙහි ආශාවද, සිඳ දමා (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීර යානයාගේ මිදී යෑම වන්නේය.´´

__________

9. සුසිම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ.

3. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ´´ආනන්‍දය, ශාරීපුත්‍ර තෙම තොපටත් රුස්නේද?´´

4. ´´ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීය්‍ර්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුස්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?´´

5. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය

බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපය්‍ර්‍යාසවූ සිත් නැති කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද? ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේක යෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීය්‍ර්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ආනන්‍දය, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපය්‍ර්‍යාසවූ සිත් නැති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?´´

6. එසෙමෙහි සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි මහ දෙවි පිරිසෙකින් පිරිවැරුණේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය, පැමිණ, වැඳ එක්පසෙක සිටියේය.

7. එක් පසෙක සිටි සුසීම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භාග්‍යවතුන් වහන්ස, ඒ එසේමය, සුගතයන් වහන්ස, ඒ එසේමය, ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති, කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීය්‍ර්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?´´

´´ස්වාමීනි, මමත් යම් යම් දෙව්පුත් පිරිසක් කරා පැමිණෙම්ද ඒ හැම තැනදීම ´´ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීය්‍ර්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ.´´ යන මේ ශබ්දයම බොහෝ සෙයින් අසමි. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපය්‍ර්‍යාසවූ සිත් නැති, කාහට නම් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද?´´

8. එකල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සතුටුවූ සිත් ඇත්තාහු, ප්‍රීති වූහු, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තාහු, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙත්.

9. සුන්දරවූ, ජාතිසම්පන්නවූ, සේදීම් ආදියෙන් හොඳින් පිරියම් කළ, රතු පළසෙක තබනලද, අටැස් වෙරළුමිණෙක් යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද, එසේම ආයූෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිසද සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

10. දක්‍ෂ කර්‍මකාර පුත්‍රයකු විසින් කෝවෙහි පිස මොනවට ශුද්Ȁdධකැරුණු දඹරන්මුවා නිකෙක් රතු පළසෙක තබන ලද්දේ යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

11. රෑ අලුයම්හි පහන් තරුව යම්සේ ප්‍රභා විහිදුවාද, දිලිසේද, බබළාද, එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

12. සරත් කාලයෙහි අහස පහවූ වළාකුළු ඇතිව පැහැදිලිවූ කල්හි හිරුතෙම ඉහළ නගින්නේ අහසෙහිවූ සියපු අඳුර දුරලා රැස් විහිදුවාද, දිලිසේද, බබළාද, එපරිද්දෙන්ම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

13. එවිට සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ශාරීපුත්‍ර ඉර්ෂිතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන සුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමනයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. (හෙතෙම) ශාස්තෘාන් වහන්සේ විසින් ගෙනහැර දැක්වුණු ගුණ ඇත්තෙක.´´

14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන සුසීම දෙව්පුතුට ගාථායෙන් මෙසේ පෙරළා වදාළ සේක:

´´ශාරීපුත්‍රතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන්නෙකියයි, වුවමනාසුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමපයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. ඉතා දැමුණු හෙතෙම දිනපතා මෙහෙකරුවකු සෙයින් (පිරිනිවනට) කල් බලා සිටී.´´

__________

10. නානාතිර්‍ථය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි අසම දෙව්පුත්ද, සහලී දෙව්පුත්ද, නිංක දෙව්පුත්ද, ආකෝටක දෙව්පුත්ද, වේටම්බරී දෙව්පුත්ද, මානවගාමික දෙව්පුත්ද යන නොයෙක් තීත්‍ර්‍ථක ශ්‍රාවකවූ බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීරප්‍රභා ඇත්තාහු සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහ.

3. එක් පසෙක සිටි අසම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පූරණ කාශ්‍යප (තීත්‍ර්‍ථංකරයා) ගැන මේ ගාථාව කීය:

´´මෙලොව අත් පා ආදිය සිඳීමෙහිත්, ප්‍රාණ නැසීමෙහිත්, පුද්ගලයාට පිනක් හෝ පවක් කාශ්‍යපයෝ නොදකිති. ඒ ශාස්තෘාන් වහන්සේ (මෙසේ) විශ්වාසය වදාරති. ඒ ශාස්තෘාන් වහන්සේ බුහුමනට සුදුසු සේකි.´´

4. ඉක්බිති සහලී දෙව්පුත් තෙම මක්ඛලීගෝසාලයන් ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´(පව් පිරිහෙලන තපසින් හෙවත් කය තැවීමෙන්) හොඳින් වසාගත් ආත්ම ඇති, විවාද හැර ජනයා හා සමවූ පැවතුම් ඇති, වැරැදි දෙයින් වැළකුණු, සත්‍යවාදීවූ, ශ්‍රෙෂ්ඨවූ ඔහු ඒකාන්තයෙන් පවු නොම කෙරෙති.´´

5. ඉක්බිති නංක දෙව්පුත් තෙම නිඝණ්ඨනාථපුත්‍රයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

´´කයට දුක් දෙමින් කෙලෙසුන් පිරිහෙලන, පණ්ඩිතවූ, සතර සංවරයෙන් (චාතුයාම සංවරයෙන්)

වැසුනාවූ, දුටු දේත්, ඇසූ දේත්, නොසඟවා කියන, සසර භය දක්නා නිඝණ්ඨනාථපුත්‍රයන් වහන්සේ පව් ඇතියෝඇතියෝ නම් නොවන්නාහුමය.´´

6. ඉක්බිති ආකෝටක දෙව්පුත් නානා තීත්‍ර්‍ථකයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත්හි මේ ගාථාව කීය:

´´පකුධ (කත්‍යායනයන්) වහන්සේද, නිගණ්ඨ (නාතපුත්‍රයන්) වහන්සේද, මක්ඛලී, පූරණ යන යම් කෙනෙක් වෙත් නම් ඒ මේ දෙදෙනා වහන්සේද යන ශ්‍රාවකගණයාගේ අනුශාසකවූ, මහණදමෙහි කෙලවරට පැමිණි ඒ ශාස්තෲහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් කෙරෙන් දුරු නොවෙත්´´

7. එවිට වේටම්බරී දෙව්පුත් තෙම ආකෝටික දෙව්පුතුට ගාථායෙන් (මෙසේ) පෙරලා කීය:

´´නීචවූ කළු සිවලා සිංහයාට බඳු (ආචාරයෙනුත්) පැවතුම්වලින් කිසිම කලෙක සිංහයාට සම නොවන්නේය. (එසේම) නිර්‍වස්ත්‍රවූ, බොරු තෙපලන ගති ඇති, කසලට බඳු නින්දිත හැසුරුම් ඇති, ගණශාසකයා බුද්Ȁdධාදී සත්පුරුෂයන් හා සම නොවන්නේය.´´

8. එකල පව්කාර මාරතෙම වේටම්බරී දෙව්පුතුට වැහී (ආවේසව) භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

´´යම් කෙනෙක් තපෝ ජුගුප්සායෙන් යුක්තවූවෝ, (චතුර්විධ) ප්‍රවිවේකය (කෙස් සිඳීම, නිර්වස්ත්‍රව සිටීම, බල්ලන් මෙන් කෑම කෑම, කටු ඇඳන්වල නිදීම) රක්නාහු, තෘස්ණාදෘෂ්ඨීන්ගේ වශයෙන් රූපයෙහි බැඳී සිටියාහු, දෙව්ලොව පතන්නෝ වෙත්ද, ඒ සත්හු පරලොව යහපත පිණිස හොඳින් අනුශාසන කෙරෙත්මය.´´

9. එකල භාග්‍යවතුන් වහන්සේ ´මේ පව්කාර මාරයා´ යි දැන මෙසේ ගාථායෙන් ඔහුට පෙරලා වදාළ සේක,

´´මෙහි හෝ අන් ලොවක හෝ අහසෙහි හෝ ප්‍රභාසම්පන්න යම් රූපයක් වෙත්ද, මාරය, ඒ සියලු රූපයෝ මසුන් මරන්නට දැම්මාවූ ඇමක් වැන්න.´´

10. ඉක්බිති මානවගාමිය දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ගැන උන්වහන්සේ ළඟ මේ ගාථා කීය:

´´රජගහ නුවරවූ පර්‍වතයන් අතුරෙහි වෛපුල්‍යගිරිය ශ්‍රෙෂ්ඨයයිද, හිමවත් වැටියේ කඳු අතරෙහි කෛලාශය ශ්‍රෙෂ්ඨයයිද, අහස හැසිරෙන්නවුන් අතුරෙහි හිරු ශ්‍රෙෂ්ඨයයිද කියනු ලැබේ,´´

´´ජලාධාරයන් අතුරෙහි මුහුද ශ්‍රෙෂ්ඨයයිද, නකත් තරු අතරෙහි සඳු ශ්‍රෙෂ්ඨයයිද, දෙවියන් සහිත ලොවෙහි බුදුරජ ශ්‍රෙෂ්ඨයයිද කියනු ලැබෙි,´´

තුන්වෙනි නානාතීත්‍ර්‍ථක වර්‍ගයයි.

(දෙවපුත්ත සංයුත්තය නිමි.)

__________