9. තුදු බ්‍රහ්මා සූත්‍රය

9. තුදු බ්‍රහ්මා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි කෝකාලික භික්‍ෂුතෙම හටගත් ආබාධ ඇත්තේ දුක් වූයේද දැඩි ගිලන් වූයේද වී.

2. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ තුදු බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත්වූ කල සියලු දෙව්රම් වෙහෙර තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා කෝකාලික භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහස සිට කෝකාලික භික්‍ෂුහට මෙසේ කීය:

3. ´´කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් තෙරහු ශීලවන්තයෝය.´´

´´ ඇවැත්නි, නුඹ කවරෙක්ද?´´

´´ මම තුදු නව් පච්චේක බ.්‍රහ්ම වෙමි.´´

4. ´´ඇවැත්නි, නුඹ අනාගාමි ( මේ කාම ලෝකයට නැවත නොඑන්නේ ) යැයි භාග්‍යවතුන් වහනසේ විසින් ප්‍රකාශ කරන ලද්දේ නොවේද? එසේ කල්හි මෙහි කුමකට ආයෙහිද? නුඹ විසින් කොතරම් අපරාධයෙක් කරන ලදදැයි බලව.´´

( බ්‍රහ්මතෙම මෙසේ කීය. )

5. ´´( මෙලොව ) උපන් පුද්ගලයාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල ( දුර්ජන ) තෙම තමාම නසාගනියි.

´´ යමෙක් නින්‍දා කටයුත්තා ප්‍රශංසා කරාද, ප්‍රශංසා කටයුත්තා ගර්හා කෙරේද, ඒ පුඟුල්තෙම මුවින් අපරාධ රැස් කර ගනී. ( හෙතෙම ) ඒ අපරාධ කරණකොටගෙන සුවයක් නම් නොවිඳී.

´´ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත් මගින් ගිය පුද්ගලයින් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි මහත් අපරාධය වෙයි.

´´ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආය්‍ර්‍යන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උත්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද, අර්බුද පසෙක්ද වෙත්.´´

__________

8. තිස්සක සූත්‍රය

8. තිස්සක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, උළුවහුකණුව ඇසුරුකොට වෙන වෙනම සිටියහ. ඉක්බිතිව ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසතෙම කටමෝරකතිස්සක භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණ කරමින් විශේෂයෙන් කල්පනා කරන්නේද? අප්‍රමෙය්‍යවූ රහතන් වහන්සේ ප්‍රමාණ කරන්නාවූ පෘථග්ජනයා (වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි ) අඥානයෙකැයි හඟිමි.´´

__________

10. වජිරා සූත්‍රය

10. වජිරා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.

2. එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ´මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්ධවන්නේද?´´

4. එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: ´´ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ´´

5. ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. ´´ මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව , පාපීවූ මාරයා ගාථා කියයි. ´´

6. ඉක්බිති වජිරා මෙහෙණි ´ මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.

´´මරුව, කිම? ´සත්ත්‍වයෙකැ´ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ´සත්ත්‍වවයැ´ යි ගක යුත්තෙක් නොලැබේ.

´´අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.

´´මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.´´

6. එවිට පාපීවූ මාරයා ´වජිරා මෙහෙණිය මා දනීයැ ´ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.

භික්‍ෂුණී සංයුත්තය නිමියේය.

__________

වන්‍දනා සූත්‍රය

7. වන්‍දනා සූත්‍රය.
 
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක.

3. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙනවෙන දොරබාව ( උළුවහු කණු ) ඇසුරුකොට සිටියහ.

4. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.දිනනලද (මාර) යුද්ධ ඇත්තාවූ, බහා තබන ලද බර ඇත්තාවූ, ණයගැති නොවූ මහා වීරයන් වහන්ස, නැගිටින්න. ලෝකයෙහි දහම් අමා දිය වස්වමින් ඇවිදින්න, නුඹවහන්සේගේ සිකද, පසළොස්වක් පොහෝ රාත්‍රියෙහි සඳ මෙන් මිදුනේය.´´
 
5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ ඔය ලෙසින් නොවේ. දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ මේ ලෙසය: දිනනලද (මාර) යුද්ධ ඇති, බහා තබන ලද බර ඇත්තාවූ, ණයෙන් මිදුනාවූ පින්වතුන් වහන්ස, නැගී සිටිනු වැනවි. ලෙව්හි ( දහම් දෙසා නිවන් අමා වස්වමින් ) ඇවිද්ද මැනවි. පින්වතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ඒ අවබෝධකරන සත්ත්‍වයෝ ඇතිවන්නාහ.´ ´´

යජමාන සූත්‍රය

6. යජමාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
´´පින් කැමතිව යාග කරන්නාවු, මතු භවයන්හි විපාක ගෙනදෙන පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන ලද්ද මහත්ඵල වේද?´´

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´සිව්මගට පිළිපන්නෝද, (සෝවාන් ආදී) සිව් පෙලෙහි සිටියෝද, යන මේ (අෂ්ටාය්‍ර්‍යපුද්ගල) සඞ්ඝතෙම ඎජුය, ප්‍රඥාශීල සමාධීන් යුක්තය. පුණ්‍යාර්ත්‍ථිව යාග කරන්නාවූ, මතු භවයෙහි විපාක ගෙන දෙන්නාවූ, පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් සඞ්ඝයාහට දෙනලද්ද මහත් විපාක ඇත්තේයි.´´

රාමණෙය්‍යක සූත්‍රය

5. රාමණෙය්‍යක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක හුන් ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ස්වාමීනි, භූමිය පිළිබඳ රමණීය භාවය නම් කිමෙක්දැ´´ යි ඇසීය.

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ආරාම චෛත්‍යයෝද, වන චෛත්‍යයෝද, හොඳාකාර කරනලද පොකුණුද, මනුෂ්‍යරමණීයත්වයෙන් සොළොස් කලාවෙන් කලාවකුත් අගනාහු නොවෙති.
ගමෙහි වේවා, ඉදින් වනයෙහි හෝ වේවා, පහත් භූමියෙහි හෝ වේවා, ඉදින් ගොඩබිම හෝ වේවා, යම් තැනෙක්හි රහත්හු වෙසෙත්ද, භූමියෙහි රමණීයභාවය එයයි කියත්.´´

7. කෝකාලික ( හෙවත් කෝකාලිය ) සූත්‍රය

7. කෝකාලික ( හෙවත් කෝකාලිය ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකණුව වෙත සිටියහ.

4. එවිට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම කෝකාලික භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණය කරමින් කල්පනා කරන්නේද? ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ පමණ කරන්නාවූ ඒ පෘථග්ජනයා වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි හඟිමි.´´

__________

දළිද්ද සූත්‍රය

4. දළිද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක.´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

3. ´´හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

4. ´´හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

5. ´´ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ ( ඒ දෙවියා ) ලාමක වශයෙන් සිතත්:, ( ඒ බව ) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ´පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

6. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.´´(කියායි.)
 
7. ´´ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:  ´´යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආය්‍ර්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.´´

දේවා සූත්‍රය

3. දේවා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වසනසේක.

2. ඉක්බිති මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

3. එකත්පසෙක හුන් මහාලි ලිච්ඡවිතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දක්නා ලද්දේදැ?´´ යි ඇසීය.

4. ´´මහාලි, මා විසින් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දක්නා ලද්දේය´´.

5. ´´ස්වාමීනි, හෙතෙම වනාහි ඒකාන්තයෙන් ශක්‍රයාමෙන් පෙනී සිටියෙක් විය යුතුයි. ස්වාමීනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම දැකීමට ඉතා දුෂ්කරය.´´

6. ´´මහාලි, මම ශක්‍රයාද ශක්‍රකරණ (ශක්‍රබව ලබා දෙන) ධර්‍මයන්ද දනිමි. යම් ධර්‍මයක් සමාදන්වූ බැවින් ශක්‍ර තෙම ශක්‍ර බවට පැමිණියේ නම් ඒ ධර්‍මයන්ද දනිමි.

7. ´´මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ඔහු ´මඝවා´ යි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුනි. එහෙයින් ´පුරින්‍දද´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින්´ශක්‍ර´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ´වාසව´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ´සහස්සක්ඛ´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ´සුජා´ නම් අසුර කන්‍යාවක් ප්‍රජාපතී වූවාය. එහෙයින් ´සුජම්පතී´ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඓශ්චය්‍ර්‍යාධිපති භාවයෙන් රජය කරවීය. එහෙයින් ´දේවා නමින්‍ද´ යයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ශක්‍ර තෙම ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රබවට පැමිණියේය.

9. ´´ඒ වත්සත කවරහුද? ´ දිවි ඇති තෙක් මව්පියන් පෝෂණය කෙරෙම්වා: දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා: දිවි ඇතිතෙක් ප්‍රිය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇත්තේ, සිතින් දෙන්නේ දීම පිණිස යෙදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, දන් ඉල්ලීමට යෝග්‍යවූයේ, වස්තුව බෙදාදීමෙහි ඇලුනේව වසන්නෙම්වා: දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යනුයි).
 
10. ´´මහාලා, සක් දෙවිඳු පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහුය. මේ වත්සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු තෙපුල් කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරුකිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ කියත්.´

දේවා සූත්‍රය

2. දේවා සූත්‍රය.
 
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ´මඝවා´ යයි කියනු ලැබේ.

3 ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ´පුරින්‍දද´ යයි කියනු ලැබේ.

4. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින් ´ශක්‍ර´ යයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ´වාසව´ යයි කියනු ලැබේ.

6. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ´සහස්සක්ඛ´ (දහසක් ඇස් ඇත්තා) යයි කියනු ලැබේ.

7. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ´සුජා´ නම් අසුර කන්‍යාව ප්‍රජාපතී වූවාය. එහෙයින් (ඔහුට) ´සුජම්පතී´ යයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ගේ ඓශ්චය්‍ර්‍යාධිපති භාවයෙන් රාජ්‍යය කරවීය. එහෙයින් ´දේවා නමින්‍ද´ යයි කියනු ලැබේ.

9. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.ඒ වත්සත කවරහුද? දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙක් වෙම්වා. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙක් වෙම්වා, දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දීම පිණිස සේදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇලුනෙක්ව වෙසෙම්වා, දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙක් වෙම්වා. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.). ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහු වෙති. මේ වත්සත සමාදන්වන බැවින් ශක්‍ර දේවේන්‍ද්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.´´