37. අවණ්ණභාසවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි බලවත් ගිජුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තේ වේද, , ශ්‍රද්Ȁdධාවෙන් දුන් දෙය විනාශ කෙරේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.

5. ´´කවර පසකින්ද යත්? දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක්, ආවාසයෙහි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තෙක්, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, , ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

36. යථාගතාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත දමාද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

40.කප්පරුක්ඛිය ථෙරාපදානය

890. මම සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්ථූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප් රුකක් තැබීමි.

891. දිව්‍යවූ හෝ,  මනුෂ්‍යවූ හෝ,  යම් යම් යෝනියක උපදිම්ද,  (ඒ හැම අත්බැව්හිදීම) මාගේ දොරටුව හොබවමින් කප් රුකක් එහි පිහිටයි.

892. මමද,  මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වෙත් නම් ඔවුහුද යන අපි හැම කල්හි එම කප් රුකින් දුහුල් ගෙන හැඳීමු.

893. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කප් රුකක් තැබීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   කල්ප වෘක්‍ෂ දානයාගේ මේ විපාකයයි.

894. මෙයින් සත්වෙනි කල්පයෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූඛේල නම්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.

895. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

39. ධම්මචක්කික ථෙරාපදානය

884 .සිද්ධාත්‍ර්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණ ලද,  නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණ ලද ධර්ම චක්‍රයක් තබන ලදී.

885 .මනොඥවූ (ස්වර්‍ණ) වර්‍ණවූයේ (ස්වර්‍ණ සිවිකාවි) යානද (සේනාපති – මහාමාත්‍යාදී) සේවා භටයන්ද (හස්ති – අශ්ව – රථ නම්) වාහනද ඇත්තේ බබළමි.   මා අනුව පවතින්නාවූ බොහෝ දෙනා නිරතුරුවම මා පිරිවරත්.
886. මම හැමකල්හි සැටදහසක් තූය්‍ර්‍යයන්ගෙන් පරිවරණය කරමි.   පිරිවර කරණකොටගෙන බබළමි.   පුණ්‍ය කර්‍මයාගේ මේ පලයයි.

887. (මින්) සිව් අනූවන කල්පයෙහි මම යම් (ධර්‍ම) චක්‍රයක් තැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   ධර්‍මචක්‍ර දානයාගේ මේ විපාකයයි.

888. මින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම්වූ,  ජනාධිපතිවූ, මහත් බල ඇති සක්විති රජවරු අටදෙනෙක් (අට වරකට) වූවාහුය.

889. මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´

38.ආයාගදායක ථෙරාපදානය

874  කථා කරන්නවුන් අතුරෙහි උතුම්වූ සිඛී බුදුරජාණන් වහන්සේ් පිරිනිවි කල්හි (මම) සතුටුවූයේ,  සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.

875  මම එකල්හි වඩුවන් සමග කථාකොට මුදල් දී සතුටුවූයේ,  සතුටු සිතින් දීර්ඝ භෝජන ශාලාවක් කරවීමි.

876  (ඒ හේතුවෙන්) මම අට කපක් නොකඩකොට දෙව්ලොව විසීමි.  සෙසු කල්පයන්හි (දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.

877  මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ.  ආයුධ මා නොනසත්.   දියෙහි මම නොමැරෙමි.   ආයාග (දීර්‍ඝ ශාලා) දානයාගේ මේ විපාකයයි.

878 ඉදින් මම වැස්ස කැමතිවෙම් නම් මහ වැසි වසින්නේය.   දෙවියෝද මාගේ වසඟයට පැමිණෙත්.   (ආයාග දානමය) පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.

879 මම තිස් වරක් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වීමි.   මට කිසිවෙක් නින්දා නොකෙරෙත්.   පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.

880 මින් තිස් එක්වන කල්පයෙහි (මම) යම් දීර්ඝ ශාලාවක් කරවීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.   දීර්ඝ ශාලා දානයාගේ මේ විපාකයයි.

881 මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´´

35. අනුකම්පකාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.

2. ´´කවර පසකින්ද යත්? පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ´ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය´ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ වේද, නොයෙක් නොරට වැසි භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ´ඇවැත්නි, මහා භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක්  වෙන රටවල වැසි භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කල් වේය´ යි සැළ කෙරේද, රූක්‍ෂවූ හෝ ප්‍රණිතවූ හෝ යම් භෝජනයක් වනාහි මොහුට දෙද්ද, එය තෙමේ වළඳාද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත නොදමාද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.

34. බහුපකාරාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.

2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, කැඩුම් බිඳුම් ප්‍රතිසංස්කරණය කෙරේද, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේ වේද, නොයෙක් පිට රට භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ´ඇවැත්නි, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් පිට රට භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කාලය´ යි සැළ කෙරේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.

33. ආවාස සෝභණ සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි.

2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අත්‍ර්‍ථ හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්තවූවෙක් වේද, ලඟට පැමිණෙන්නෙකු දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට සමත්‍ර්‍ථයෙක් වේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි.

32. පිය මනාපාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

2. ´´කවර පසකින්ද යත්? සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුත වූයේ ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තෙක් වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මවය්‍ර්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අත්‍ර්‍ථය හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, උතුම් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ, චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරේද යන පසිනි.´´

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

31. අභාවනියා වාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

2. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්‍රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, යහපත් වචන නැත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ නොවේද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්‍රාඥයෙක් වේද යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

5. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයෙන් යුක්ත වූයේ, වත් සම්පන්නයෙක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නෙක් වේද, සැහැල්ලු බැව් ඇත්තේ, විවේකයෙහි ඇලුනෙක් වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ වේද, ජඩ නොවූ, කෙළ තොලු නොවූ ප්‍රඥා ඇත්තෙක් වේද යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.