30. දුතිය කණ්හසප්ප සූත්‍රය

1. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහි වේ යන පසයි.´´

3. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි දෝෂ පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහි වේ.

´´මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්‍රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්‍රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්‍රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්‍රියගේ මිත්‍ර ද්‍රෝහී බව වේ යන පසයි.´´

6. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

( 23 වන දීඝචාරිකා වර්‍ගය නිමි. )

__________

29. පඨම කණ්හසප්ප සූත්‍රය

1. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්, අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහිවේ යන පසයි.´´

3. ´´මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්, අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහිවේ යන පසයි.´´

6. ´´මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

28. උස්සූරභත්ත සූත්‍රය

1. ´´මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්‍රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන් වැළකුණාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි නොපුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ අසතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එපමණකින්ම නුසුදුසු කාලයෙහි අනුභව කරණ ලදීද, ඕජාව පතුරුවන්ට නොහැකිවේ යන පසයි.

3. ´´මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුගයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. එක වේලේ බත් ඇති, රාත්‍රි භෝජනයෙන් වැළකුණාවූ, විකල් බොජුනෙන් තොරවූ යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ සතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එතෙකින්ම සුදුසු කාලයෙහි අනුභව කරණ ලද්ද, ඕජාව පතුරුවන්ට හැකිවේ යන පසයි.´´

6. ´´මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.

27. භොගාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? සම්පත් ගින්න හා සාධාරණ වෙත්. සම්පත් ජලය හා සාධාරණ වෙත්. සම්පත් රජුන් හා සාධාරණ වෙත්. සම්පත් සොරුන් හා සාධාරණ වෙත්. සම්පත් අප්‍රියවූ දායාදයන් හා සාධාරණ වෙත්. යන පසයි.

3. ´´මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.

4. ´´මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? භෝගයන් හෙවත් සම්පත් නිසා තමන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරවයි. පිනවයි. මනාව සැපසේ

පරිහරණය කරයි. අඹුදරුවන්ද, දැසිදස් කම්කරු පුරුෂයන්ද සුවපත් කරවයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු භවයන්හි උතුම් විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ දක්‍ෂිණාව පිහිටුවයි යන පසයි.´´

6. ´´මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.

26. දුතිය කුලුපගාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්‍ෂුහට මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? ස්ත්‍රිය පිළිබඳවූ නිතර දැකීමද, දැකීම ඇති කල්හි සංසර්‍ගයද, සංසර්‍ගය ඇති කල්හි විශ්වාසයද, විශ්වාසය ඇතිකල්හි මෛථුන රාගයට බැසගැන්මද, බැසගත් සිත් ඇත්තහුට මෙය කැමති විය යුතුයි. නොඇළුනේ හෝ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නේය. එක්තරා ඉතා කිළුටුවූ ඇවැතකට හෝ පැමිණෙන්නේය. ශික්‍ෂාව හෝ හැර දමා ගිහි බවට පෙරලෙන්නේය. යන පසයි.

3. ´´මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්‍ෂුහට මේ දෝෂ පසක් වෙත්.

25. පඨම කුලුපගාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, කුලයට එළඹෙන්නහු කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? අනාමන්තවාර (වැඩිහිටියන් නොවිචාරා යෑමේ) ශික්‍ෂා පදයෙහි ඇවතට පැමිණේ. රහසිගතව හිඳීමෙන් වන ඇවතට පැමිණේ. වැසුනාවූ ආසනයෙහි හිඳීමෙන් වන ඇවතට පැමිණේ. ස්ත්‍රියකට වචන පහකින් හයකින් වැඩි ධර්‍මයක් දේශනා කරන්නේ ඇවතට පැමිණේ. කාම සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කරයි යන පසයි.´´

3. ´´මහණෙනි, කුලයට එළඹෙන්නහු කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

24. පඤ්චමච්ඡරිය සූත්‍රය

1. ´´මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් වේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ගුණ වර්‍ණනායෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. යන පසයි.´´

3. ´´මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් නොවේ.

ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ගුණ කීමෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. යන පසයි.´´

6. ´´මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.

23. අතිනිවවාසාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? බොහෝ බඩු රැස් කිරීම ඇත්තේ බහුභණ්ඩික වේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය එකතු කිරීම ඇත්තේ බහුභෙසජ්ජ වේ. බොහෝ කටයුතු ඇත්තේ පිළිවිස කටයුතුවල ව්‍යක්තවූයේ බහුකිච්ච වේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් හා නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්තව වාසය කෙරෙයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂා සහිතවම බැහැර යයි යන පසයි.´´

3. ´´මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? බොහෝ බඩු රැස් කිරීම නැත්තේ බහුභණ්ඩික නොවේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය රැස් කිරීම නැත්තේ බහුභෙසජ්ජ නොවේ. පිළිවිස කටයුතුවල ව්‍යක්ත නොවූයේ බොහෝ කටයුතු නැත්තේ බහුකිච්ච නොවේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් සමග නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත නොව වාසය කරයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂාවක් නැතිව බැහැර යයි යන පසයි.´´

6. ´´මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්.

22. දුතිය දීඝචාරිකා සූත්‍රය

1.´´මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලබන ලද සමහරකින් නිර්භය නොවෙයි. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තේද නොවේ, යන පසයි.´´

3.´´මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.

4.´´මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? නොලබන ලද්ද ලබයි. ලබන ලද්ද නොපිරිහෙයි. ලබන ලද සමහරකින් නිර්භය වේ. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි, යන පසයි.´´

6.´´මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.

21. පඨම දීඝචාරිකා සූත්‍රය

1. ´´මහණෙනි, අවස්ථාවට සුදුසු නොවූ දීර්ඝ චාරිකාවෙහි යුක්තව වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්? නොඅසන ලද්ද නොඅසයි. අසනලද්ද පිරිසිදු නොකෙරෙයි. අසනලද ඇතමකින් විශාරද නොවෙයි. දැඩිවූ රෝගාබාධයක් ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තෙක්ද නොවේ. යන පසයි. මහණෙනි, මොහු වනාහි දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුගේ දෝෂ පස වෙත්.

´´මහණෙනි, නියමවූ හැසිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්, නොඅසන ලද්ද අසයි. ඇසූ දෙය පිරිසිදු කරයි. අසන ලද සමහරකින් විශාරද වේ. දැඩිවූ රෝගාබාධය ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි. යන පසයි.