11. සාරීපුත්ත සීහනාද සූත්‍රය

1. ´´භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ඇවැත්වූ සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක වැඩ හුන්හ. එක පැත්තක වැඩහුන් ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. ´´ස්වාමිනි, මා විසින් සැවැත්නුවර වස් වසන ලද්දේය. ස්වාමීනි, මම ජනපද චාරිකාවෙහි හැසිරෙන්ට කැමැත්තෙමි.´´ – ´´සාරීපුත්තයෙනි, දැන් ඊට කාලයයි ඔබ දන්නෙහිය.´´

2. ඉක්බිති ඇවැත්වූ සැරියුත් තෙරහු උන් තැනින් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට, (වටේටත් වැඳ) ගියහ. ඉක්බිති සැරියුත් තෙර ගිය නොබෝ වේලාවකින් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. ´´ස්වාමීනි, ඇවැත්වූ සැරියුත් තෙර මට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) ගියේය.´´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවූහ. ´´භික්‍ෂුවෙනි, මෙහි එව. ´ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්´ යයි මාගේ වචනයෙන් සැරියුත් තෙර කැඳවව.´´ – ´´එසේය, ස්වාමීනි´´ යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඇවැත්වු සැරියුත් තෙර යම් තැනෙකද, එහි පැමිණ, ´ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්ය´ යි ඇවැත්වු සැරියුත් තෙරුන්ට කීය. ´´එසේය, ඇවැත්නි´´ යි ඇවැත්වු සැරියුත් තෙර ඒ භික්‍ෂුවට පිළිතුරු දුන්නේය.

3. ඒ කාලයෙහි ඇවැත් මහ මුගලන් තෙරද, ඇවැත් අනඳ තෙරද, යතුරු ගෙන විහාරයෙන් විහාරයට, ´ඇවැත්නි, නික්මෙව. ඇවැත්නි, නික්මෙව, දැන් ඇවැත්වූ සැරියුත් තෙර භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිංහ නාදය පවත්වන්නේය´ යි කියමින් ඇවිදිත්.

4. ඉක්බිති ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්හ. එක පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. ´´සාරීපුත්තයෙනි, ඔබට මෙහි එක්තරා භික්‍ෂුවක් සමග හැසිරෙන භික්‍ෂුවක් දොස් කීමට පැමිණියේය. (කෙසේද?) ´ස්වාමීනි, මට ඇවැත්වු සැරියුත් තෙර දොස් නඟා, එය නිදොස් නොකොට, චාරිකාවෙහි ගියේය´ කියායි.´´

5. ´´ස්වාමීනි, යමකුට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නීද, හෙතෙම (ඒ භික්‍ෂුව) මෙහි එක්තරා සමග හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා, ඒ දෝෂය නිදොස් නොකොට චාරිකාවෙහි යන්නේ වේ. ස්වාමීනි, යම් සේ පොළොවෙහි පවිත්‍ර දෙයද දමත්. අපවිත්‍ර දෙයද දමත්. අසූචිද දමත්. මූත්‍රද දමත්. කෙළද දමත්. සැරවද දමත්. ලෙයද දමත්. එයින් පොළොවට පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය ගැන සිහිය එළඹ නොසිටියා වන්නීද, ඒ භික්‍ෂුව මෙහි එක්තරා එකට හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) යන්නේ වේ.

6. ´´ස්වාමීනි, යම්සේ ජලයෙහි පවිත්‍ර දෙයද සෝදත්. අපවිත්‍ර දෙයද සෝදත්. අසූචිද සෝදත්. මූත්‍රද සෝදත්. කෙළද සෝදත්. ලෙයද සෝදත්. එයින් ජලය පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ජලය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

7. ´´ස්වාමීනි, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි. අසූචිද දවයි. මූත්‍රද දවයි. කෙළද දවයි. සැරවද දවයි. ලෙයද දවයි. එයින් ගින්න පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ගින්න හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

8. ´´ස්වාමීනි, යම්සේ වාතය පවිත්‍ර දෙයෙහිද හමයි. අපවිත්‍ර දෙයෙහිද හමයි. අසූචියෙහිද හමයි. මූත්‍රයෙහිද හමයි. කෙළෙහිද හමයි. සැරවයෙහිද හමයි. ලෙයෙහිද හමයි. එයින් වාතය පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, වාතය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

9. ´´ස්වාමීනි, යම්සේ දූවිලි පිස දමන රෙදි කඩ පවිත්‍ර දෙයද පිස දමයි. අපවිත්‍ර දෙයද පිස දමයි. අසූචිද පිස දමයි. මූත්‍රද පිස දමයි. කෙළද පිස දමයි. සැරවද පිස දමයි. ලෙයද පිස දමයි. එයින් දූවිලි පිස දමන රෙදි කඩ පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොවෙයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, දූවිලි පිස දමන රෙදි කඩ හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

10. ´´ස්වාමීනි, යම්සේ කබලක් අතේ ඇති, රෙදි කඩක් හැඳගත්, සැඩොල් දරුවෙක් හෝ දැරියක්, කුඩා ගමකට හෝ මහ ගමකට හෝ ඇතුල් වන්නේ, යටහත් පහත් සිත ඇතිකරගෙනම පිවිසෙයිද, ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට පැමිණි, අපමණවූ, අවෛරීවූ, පීඩා රහිත, සැඩොල් දරුවෙකුගේ සිතට බඳු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

11. ´´ස්වාමීනි, යම් සේ අං සිඳුණු, කීකරු, හොඳීන් දැමුණු, හොඳීන් හික්මුණු, ගොන් රජෙක් වීථියෙන් වීථියක, හන්දියෙන් හන්දියක, ඇවිදින්නේ පයින් හෝ, අඟින් හෝ, කිසිවකුට හිංසා නොකරයිද, ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

12. ´´ස්වාමීනි, යම් සේ සැරසෙන ස්වභාව ඇති, හිස සිට ස්නානය කළ, ළදරු තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නයි කුණක් හෝ, බලු කුණක් හෝ, මිනිස් කුණක් හෝ, බෙල්ලේ එල්ලන ලද්දේ පීඩා වන්නේද, ලජ්ජා වන්නේද, පිළිකුල් කරන්නේද, ස්වාමීනි, එමෙන් මම මේ කුණු කය කරණ කොට පීඩා වෙමි. ලජ්ජා වෙමි. පිළිකුල් කරමි. ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය ගැන සිහිය එළඹ නොසිටියා වන්නීද, ඒ භික්‍ෂුව මෙහි එක්තරා එකට හැසිරෙන භික්‍ෂුවකට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) යන්නේ වේ.

13. ´´ස්වාමිනි, යම් සේ පුරුෂයෙක් කුඩා සිදූරු ඇති, මහ සිදූරු ඇතිවූ, උඩින් වැගිරෙන, වටින් වැගිරෙන මේද තෙල් තලියක් යම් සේ පරිහරණය කරයිද, ස්වාමීනි, එමෙන් මම කුඩා සිදූරු ඇති, මහ සිදූරු ඇති, උඩින් වැගිරෙන, වටින් වැගිරෙන මේ කය පරිහරණය කරමි. ස්වාමිනි, යම් භික්‍ෂුවකට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නීද, මෙහි හෙතෙම එක්තරා එකට මහණදම් පුරණ භික්‍ෂුවකට දොස් නඟා, එය නිදොස් නොකොට චාරිකාවෙහි හැසිරෙන්නේ වේ´´ යයි කීහ.

14. ඉක්බිති ඒ භික්‍ෂුව හුන් තැනින් නැගිට, තනිපොට සිවුර ඒකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල හිස බිම තබා, වැටී හිඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, මෝඩවූ ලෙස, මුළාවූ ලෙස, අකුසල් වු ලෙස වරදවා ඉක්මවිය. (මම වරදට යටවිය.) යම්බඳවු මම ඇවැත්වූ සැරියුත් තෙරුන්ට අසත්‍යවූ, හිස්වු, සිදු නොවු, බොරුවෙන් දොස් නැඟූයෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නැවත සංවරවීම පිණිස ඒ මගේ වරද, වරද ලෙස පිළිගන්නා සේක්වා.´´

15. ´´භික්‍ෂුවෙනි, ඔබ මෝඩවූ ලෙස, මුළාවූ ලෙස, අකුසල්වූ ලෙස වරද ඉක්මවූයෙහිය. (වරදට යටවිය.) යම්බදූ ඔබ ශාරීපුත්‍රයන්ට අසත්‍යවූ, හිස්වූ, සිදුනොවූ බොරුවෙන් දොස් නැඟූයෙහිය. භික්‍ෂුවෙනි, ඔබ වරද, වරද වශයෙන් පිළිගෙන, ධර්‍මය වූ පරිදි පිළියම් කරයිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. භික්‍ෂුවෙනි, යමෙක් වරද, වරද වශයෙන් පිළිගෙණ නැවත සංවර වෙයිද, ධර්‍මය වු පරිදි පිළියම් කරයිද, එය ශාසනයෙහි දියුණුවකි.´´

16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇවැත්වූ සැරියුත් තෙරුන් කැඳවූහ. (කැඳවා) ´´සාරීපුත්තයෙනි, මොහුගේ හිස සත් කඩකට පැලෙන්ට මත්තෙන් මේ හිස් මිනිසාට ක්‍ෂමා කරව. (ඉවසව.)´´ – ´´ස්වාමීනි, ඉදින් ඒ ඇවැත් තෙම ´මට මේ ඇවැත් තෙම කමාකරවා´ යි කියයි නම් මම ඒ ඇවැත්හට ක්‍ෂමා වෙමි´´ යි කීය.

10. නව ආහුණෙය්‍ය සූත්‍රය

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.

2. කවර නවදෙනෙක්ද? රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, ගොත්‍රභූය යනුයි. මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.

9. නවපුග්ගල සූත්‍රය

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. ඒ නවදෙන කවරහුද?

2. ´´රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, පෘථග්ජනයාද යනුයි.

3. ´´මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන ලෝකයෙහි ඇත්තාහ.´´

8. සජ්ඣපරිබ්බාජක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සජ්ඣපරිබ්බාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සජ්ඣපරිබ්බාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

2. ´´ස්වාමිනි, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?´´

3. ´´සජ්ඣපරිබ්බාජකය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සජ්ඣපරිබ්බාජකය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව බුදුරදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව ධර්‍මය අත්හැර දමන්ට හෝ ධර්‍මයට විරුද්ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව ශික්‍ෂාව අත්හැර දමන්ට හෝ ශික්‍ෂාවට විරුද්ධවන්ට නුසුදුසුය, සජ්ඣපරිබ්බාජකය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුතෙම ඡන්‍දයෙන් අගතියට යාමට නුසුදුසුය, වෙෂයෙන් අගතියට යාමට නුසුදුසුය, මොහයෙන් අගතියට යාමට නුසුදුසුය, භයෙන් අගතියට යාමට නුසුදුසුය, සජ්ඣය, පෙරද, දැනුදු මම මෙය කියමි. ඒ භික්‍ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.´´

7. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

2. ´´ස්වාමිනි, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය.

කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?´´

3. ´´සුතවන්තය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සුතවන්තය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව බුදු රදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව ධර්‍මය අත්හැර දමන්ට හෝ ධර්‍මයට විරුද්ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව ශික්‍ෂාව අත්හැර දමන්ට හෝ ශික්‍ෂාවට විරුද්ධවන්ට නුසුදුසුය, සුතවන්තය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, ඒ භික්‍ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.´´

11. රාගාදි පෙයියාලය

1. ´´මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? නිවැරැදි දැක්ම, නිවැරැදි වචනය, නිවැරැදි කල්පනාව, නිවැරැදි වෑයම, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ආජීවය, නිවැරැදි සිහිය, නිවැරැදි සිත එකඟකම යනුය. මහණෙනි, රාගයාගේ දැන ගැනීම පිණිස, මේ කරුණු අට වැඩිය යුතුය. කවර අටක්ද?

2. ´´ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

3. ´´ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

4. ´´ඇතුළත අරූප යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

5. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

6. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත නිල්වූ, නිල්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

7. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත රන්වූ, රන්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

8. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත ලේ වූ, ලේ වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

9. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත සුදුවූ සුදුවන්වූ, සුදට බඳු ආකාර ඇත්තාවූ, සුදට බඳු වැටහීම් ඇත්තාවු, රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.

10. ´´ මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? රූප ඇත්තේ, රූපයන් බලාද, ඇතුලත අරූපය යන හැඟීම ඇත්තේ, පිටත රූප බලාද, ශුභයයිම ඇලුණේ වේද, හැම අතින් රූපය යන හැඟීම ඉක්මවා, ෙවෂ හැඟීම යටපත් කොට, වෙනස්කම් පිළිබඳ හැඟීම් නොසිතා, අහස කෙළවරක් නැත්තේයයි ආකාසානඤ්චායතන (අහසේ තැන) නම් පළමුවන අරූප ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකාසානඤ්චායතනය ඉක්මවා සිත කෙළවරක් නැත්තේයයි විඤ්ඤාණඤ්චායතන (සිතේ තැන) නම් දෙවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතන (කිසිත් නැති තැන) නම් තුන්වන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (හැඟීම නොවේය, නොහැඟීමක්ද නැත) යන සතරවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධ (හැඟීම් – විඳීම් නැති කළ) සමවතට පැමිණ වෙසේද,

11. ´´මහණෙනි, රාගය දැනගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය. මහණෙනි, රාගය පිළිබඳ (තීන්දු කොට) දැනීම පිණිස, සම්පූර්‍ණයෙන් ගෙවා දැමීමට, නැති කිරීමට, පහ කිරීමට, වැය කිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරු කිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.

(සාමඤ්ඤ වර්‍ගයේ රාගය වෙනුවට මෙහි පහත දැක්වෙන ෙවෂ යනාදිය යොදනු.)

12. ´´ෙවෂය, මොහය, ක්‍රොධය, බද්ධ වෛරය, ගුණමකු බව, දොස් කීම, ඊෂ්‍ර්‍යාව, මසුරුකම, මායාව, සට බව, ආඩම්බරය, එකටෙක කිරීම, මානය, අතිමානය, මදය, පමාව, — මනාව දැනීමට, තීන්දුකොට දැනීමට, සම්පූර්‍ණයෙන් ගෙවීමට, නැතිකිරීමට, පහකිරීමට, වැයකිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරුකිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.´´

සාමඤ්ඤ වර්‍ගය – 1 – 27 සූත්‍ර

1 – 27 සූත්‍ර
බොජඣාය, සිරිමාය, පදුමාය, සුධනාය, මනුජාය, උත්තරාය, මුත්තාය, ඛෙමාය, සෝමාය, සොතය, රුචිය, චුන්‍දිය, බිම්බිය, සුමනාය, මල්ලිකාය, තිස්සාය, තිස්සාවගේ මව්ය, සොණාය, සොණාවගේ මව්ය, කාණාය, කාණාවගේ මව්ය, උත්තරා නම් නන්‍ද මාතාවය, විශාඛා නම් මිගාර මාතාවය, ඛුජ්ජුත්තරා නම් උපාසිකාවය, සාමාවතී නම් උපාසිකාවය, සුප්පවාසා නම් කෝලිය දූය, සුප්පියා නම් උපාසිකාවය, නකුල මාතාව නම් ගෘහපති භාර්යාය යන

(ඉහත දක්වන නාම අනුව මෙහි පහත දක්වන සූත්‍රය මෙන් සකස් කළ යුතුය.)

1. ´´එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වසන සේක. ඉක්බිත්තෙන් වනාහි බොජ්ඣා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන් බොජ්ඣා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´බොජ්ඣාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. බොජ්ඣාව, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි.

3. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. ´´මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි. ´´මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

4. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද, ´´මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

5. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ´මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

6. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. ´´මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය´´ යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

7. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

8. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

9. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.

10. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ´මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.

11. ´´බොජ්ඣාව, අංග අටකින් යුත් පෙහෙවස සමාදන්වූයේ, මහත් ඵලය, මහානිශංසය, මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය. ´´කොපමණ මහත් ඵලද, කොපමණ මහත් ආනිශංසද, කොපමණ මහත් ආලෝක ඇත්තේද, කොපමණ මහත් පැතිරීම් ඇත්තේද?

12. ´´ බොජ්ඣාව, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග – මගධ – කාශි – කොශල – වජ්ජි – මල්‍ය – වෙදි – වංග – කුරු – පඤ්චාල – මත්ස්‍ය – ශුරසෙන – අශ්වක – අවන්ති – ගන්‍ධාර – කාම්බොජ යන මොවුන්ගේය.´´

13. ´´මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.

14. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.

15. ´´ බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.

16. ´´ බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. බොජ්ඣාව, මිනිසුන්ගේ යම් වර්‍ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

17. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් යාම දෙවියන්ට මේ එක්රෑ දාවලක් වේද, ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු යාම දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

18. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු හාරසියයක් වේද, තුෂිත දෙවියන්ට මේ එක්රෑ දාවලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාර දහසක් තුෂිත දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තුෂිත දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

19. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු අටසියයක් වේද, නිර්මාණ රතී දෙවියන්ට මේ එකරෑ දවාලෙකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිර්මාණ රතී දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු නිර්මණෙ රතී දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

20. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දහසය දහසක්, පරනිර්මිත වසවර්ති දෙවියන්ට මේ එකරෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් වර්ෂ දහසය දහසක් පරනිර්මිත වසවර්ති දෙවියන් ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

21.
(1) ´´පණ නොනසව. අනුන් දෙය නොගනුව. බොරු නොකියව, මත්පැන් බොන්නෙක් නොවව. දෙදෙනෙකුගේ හැසිරිමවූ අබ්‍රහ්මවර්යාවෙන් වෙන් වෙන්න. රැය නොකල්හි කෑම නොකව.

(2.) ´´මල්දම් නොදරව. සුවඳ නොගනුව. පොළොවේ මෙන් මැස්සෙහිද, තණ ඇතිරියේද නිදව. මෙය දුක් කෙළවරට ගිය බුදුන් පැවසූ අංග අටින් යුත් පෙහෙවසයයි කියත්.

(3.) ´´ඉරද, සඳද දෙදෙනා මනාව පෙනෙමින් එළිය පතුරුවත්ද, අහසේ හැසිරෙන, අඳුරු දුරලන, දිගුන් බබුළුවන ඔවුහු වනාහි අහසේ දිලිසෙත්.

(4.) ´´මේ අතර මුතුය, මැණික්ය, උසස් වෛදුර්යය, රත්රන්ද, එසේම රන්ද, යමක් ජාත රූපය හටකය කියාද, එයද සියලු චන්‍ද්‍ර ප්‍රභාවද, ඒ තාරකා සමූහයද, අංග අටින් යුත් පෙහෙවීමට දහසයින් අඩකුත් සමාන නොවේ.

(5.) ´´එබැවින් ස්ත්‍රීහුද, පුරුෂයෝද, සිල්වත්වූවාහු, අංග අටින් යුත් පෙහෙවීම සමාදන්ව වසත්වා. සැප විපාක ඇති පින් කර නින්‍දාවට නොගියාහු ස්වර්‍ග භූමියට එළඹෙත්.´´

6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය

1. එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේ, ´´ඇවැත්වූ මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූහ. ´´ඇවත´´ යයි ඒ භික්‍ෂූහු ඇවැත්වූ සැරියුත් තෙරුන්ට පිළිවදන් දුන්හ. ඇවැත්වූ සැරියුත් තෙර මේ සුත්‍රය දෙසූහ.

2. ´´ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) ඇවැත්නි, සිවුරද දෙයාකාරයකින් දතයුතුය. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) ඇවැත්නි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් දත යුතුය. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. ඇවැත්නි, සෙනසුනද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. ඇවැත්නි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) ඇවැත්නි, ජනපදයද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.

3. ´´ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) ´´එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද දුකසේ රැස්කර ගත යුත්තාහු වෙත්ද, යමක් නිසා  මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.

4. ´´එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.

5. ´´එහි යම් පුද්ගලයෙකු ගැණ මේ පුද්ගලයා සේවනය කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්, කුසල් දහම් වැඩෙත් යයි දන්නේ, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර (ද්රව්‍ය) රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මාගේ ඒ පැවිදිවීමේ අර්ථයද භාවනා කිරීමෙන් සම්පූර්‍ණවීමට යෙයි. ඇවැත්නි ඒ පුද්ගලයා විසින් (ඒ) අර පුද්ගලතෙම දිවි ඇතිතාක් ලුහුබැන්ද යුතුය. එලවා දැම්මත් නොයා යුතුය. ඇවැත්නි, සේවනය කළ යුතු පුද්ගලයාය. සේවනය නොකළයුතු පුද්ගලයායයි පුද්ගලයා දෙයාකාරයකින් දතයුතුයයි යමක් කියන ලද නම් එය මේ නිසා කියන ලදී.

6. ´´ඇවැත්නි, සිවුරු දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සිවුරය, සේවනය නොකළයුතු සිවුරය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සිවුරක් ගැණ මේ සිවුරු පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග නොකළ යුතුය. එහි යම් සිවුරක් ගැණ මේ සිවුර පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග කළ යුතු. ඇවැත්නි, පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.

7. ´´ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතු පිණ්ඩපාතයය, අනුභව නොකළ යුතු පිණ්ඩපාතයයයි දෙයාකාරකින් දතයුතුය. මෙසේ මෙය කියන ලදී. කුමක් නිසා මෙය කියන ලදද? එය යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව නොකළ යුතුය. එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව කළ යුතුය. ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතුය, අනුභව නොකළ යුතුයයි දෙයාකාරකින් දක්වන ලද්දේයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.

8. ඇවැත්නි, සෙනසුනද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුය. මෙසේ මෙය කියන ලදී. කුමක් නිසා මෙය කියන ලදද? එය යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සෙනසුනක් සේවනය නොකළ යුතු. එහි යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සෙනසුනක් සේවනය කළ යුතු. ඇවැත්නි, සෙනසුනද සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.

9. ´´ඇවැත්නි, ගම හා නියංගමද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙය මෙසේ කියන ලදී. මෙය කුමක් නිසා කියන ලදද? එහි යම් ගමක් හා නියංගමක් ගැණ මේ ගම හා නියංගම සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ගම් හා නියංගම්ද සේවනය නොකළ යුතුය. එහි යම් ගමක් හා නියංගමක් ගැණ මේ ගම හා නියංගම සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ගම හා නියංගම සේවනය කළ යුතු. ඇවැත්නි, ගම හා නියංගම සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.

9. ´´ඇවැත්නි, ජනපද පෙදෙසද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ මෙය කියන ලදී. මෙය කුමක් නිසා කියන ලදද? එහි යම් ජනපද පෙදෙසක් ගැණ මේ ජනපද පෙදෙස සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ජනපද පෙදෙස සේවනය නොකළ යුතුය. එහි යම් ජනපද පෙදෙසක් ගැණ මේ ජනපද පෙදෙස සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ජනපද පෙදෙස සේවනය කළ යුතුය. ඇවැත්නි, ජනපද පෙදෙසද සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.´´

40. සම්මාවත්තන සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

2. ´´කවර කරුණු අටකින්ද යත්? ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ගේ ගුණ කියාද, ධර්මයේ ගුණ කියාද, සංඝයාගේ ගුණ කියාද, ගිහියන්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය කෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

3. ´´මහණෙනි, ´´පාපිය්‍යසිකා´´ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

4. ´´උපසම්පදා නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. සාමණේරවරු උපස්ථාන නොකළ යුතුය. භික්‍ෂුණීන්ට අවවාද දීමේ සම්මුතිය බාර නොගත යුතුය. සම්මතවූවද, භික්‍ෂුණීන්ට අවවාද නොදිය යුතුය. කිසිම සංඝ සම්මතයක් භාර නොගත යුතුය. කිසිම වෙන් තැනෙක තැබිමක් නොකළ යුතුය. ඒ මුලින් නොනැගිටවිය යුතුය. මහණෙනි, ´´පාපිය්‍යසිකා´´ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

5. බලසඞ්ගහවත්‍ථු සූත්‍රය

1. ´´මහණෙනි, මේ බල සතර දෙනෙකි. කවර සතරක්ද? පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතරයි.

2. ´´මහණෙනි, පඤ්ඤා බලය කවරිද?  අකුසල්වූ, අකුසල නම් වූ, යම් ධර්ම කෙනෙක් වෙත්ද? කුසල්වූ, කුසල නම් මේ ධර්ම කෙනෙක් වෙත්ද, සාවද්‍ය (වැරදි සහිත) සාවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අනවද්‍ය (වැරදි නැති) අනවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ (කලු) කණ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සේවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්යභාවය කිරීමට සුදුසු බවක් නැති) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආර්යභාවය කිරීමට සුදුසු බවක් ඇති) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයෝ ඔහුගේ ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, පුරුදු කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ පඤ්ඤා බලයයයි කියනු ලැබේ.

3. ´´මහණෙනි, විරිය බලය කවරේද? අකුසල්වූ, අකුසල නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සාවජ්ජ (වැරදි සහිත) සාවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ්හ (කලු) කණ්හ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්යභාවයක් කිරීමට සමත් නොවූ) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ නැති කිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්යය කරයිද, කුසල්වූ කුසල නම් යම් ධර්ම කෙණෙක් වෙත්ද, අනවජ්ජ (වැරදි නැති) අනවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සෙවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආය්‍ර්‍ය භාවය කිරිමට සමත්) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ ලැබීම පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්යය කරයිද, මහණෙනි, මේ වීර්ය බලයයි.

4. ´´මහණෙනි, අනවජ්ජ බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි අරිය සාවක තෙම නිවැරැදි කාය කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි වාක් කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි මනො කර්මයෙන් යුක්ත වෙයිද, මහණෙනි, මේ අනවජ්ජ බලයයයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, සංගහ බලය කවරේද? මහණෙනි, මේ සංගහ වත්‍ථු සතරකි. දානය, ප්‍රිය වචන කීමය, අත්‍ථචරියාය, සමානත්තතා (යන සතරය.) මහණෙනි, දානයන් අතුරෙන් යම් මේ ධර්ම දානයක් වෙයිද, එය අග්‍රයි. මහණෙනි, ප්‍රිය වචන කීම් අතුරෙන් ප්‍රයෝජනය ඇති කන් මෙහෙයවන්නෙකුට දහම් දෙසයිද, මෙය අග්‍රයි. මහණෙනි, අත්‍ථචරියාවන් අතුරෙන් යම් මේ සැදැහැත්තෙකු සද්ධා සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, දුසිල් වූවෙකු සිල් සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මසුරෙකු චාග සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, නුවණැත්තෙකු පඤ්ඤාසම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මෙය අග්‍රයි. මහණෙනි, සමානත්තතාවන් අතුරෙන් යම්තම් සෝතාපන්නයෙක් සොතාපන්නයෙකුට සමානත්තවේද, සකදාගාමියෙක් සකදාගාමියෙකුට සමානත්තවේද, අනාගාමියෙක් අනාගාමියෙකුට සමානත්තවේද, රහත් පුද්ගලයෙක් රහත් පුද්ගලයෙකුට සමානත්තවේද, මෙය අග්‍රයි. මහණෙනි, මේ සංගහ බලයයි. මහණෙනි, මේ බල සතර දෙන වෙත්.

6. ´´මහණෙනි, මේ සතර බලයන්ගෙන් යුත් අරියසාවක තෙම බිය පසක් ඉක්මවූයේ වෙයි. ඒ බිය පස කවරහුද? ආජීවික භය, අසිලෝක භය, පරිසසාරජ්ජ භය, මරණ භය, දුගති භය (යන පසයි.)

7. ´´මහණෙනි, ඒ අරියසාවක තෙම මෙසේ කල්පනා කරයි. මම ආජීවික ජීවත්වීමට බිය නොවෙමි. කවර හෙයින් ආජීවික භයට බිය වෙම්ද, මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය, යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් ආජීවික භයට බිය වෙයි. කුසීතයෙක් ආජීවික භයට බිය වෙයි. වැරදි සහිත කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් ආජීවික භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් ආජීවික භයට බිය වෙයි. මම අසිලොක (අකීර්ති) භයට බිය නොවෙමි. මම පරිස සාරජ්ජ (පිරිසේ නොඇල්මට) බිය නොවෙමි. මම මරණ  භයට බිය නොවෙමි. මම දුගති භයට බිය නොවෙමි. මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් දුග්ගති භයට බිය වෙයි. කුසීතයෙක් දුග්ගති භයට බිය වෙයි. සාවජ්ජ (වැරදි සහිත) කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් දුගති භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් දුගති භයට බිය වෙයි. මහණෙනි, මේ බල සතරෙන් යුත් අරිය සාවක තෙම මේ භය පස ඉක්මවූයේ වෙයි.